සියක් සියපත් 18

සනාතන ට මහත් ලැජ්ජාවක් දැනෙන්නට ගති. සදාතන සියපත් ගැන සුවිශේෂ හැඟීමකින් පසු වෙන බව ඔහු ට දැනෙන්නේ දැන් ය. ඔහු වූ කලී සිය යෞවනයේදී හෝ කෙල්ලක ගැන උනන්දු වූ කොල්ලෙකු නොවන බව සනාතන දනී. කොටින් ම ඔහු ට යෝජනා වී තිබෙන වියානා ගැන හෝ කිසිදු හැඟීමක් සදාතන ට නොවූ බව සනාතන දනී. තවමත් ඔහු එක වචනයකුදු වියානා සමගින් කතා කොට නැත. එදා රාත්‍රියේ ඇතැම් විට ඔහු සනාතන සමගින් කියන්නට එන්න ඇත්තේ සියපත් ගැන යයි සනාතන ට හිතෙන්නේ දැන් ය. නමුත්  තමුන් ඉස්සර වූ නිසා ඔහු සිය සිතැඟි ගිල ගන්නට ඇත. කුළුඳුළේ ම හද උපන් ප්‍රේමය ද නිවුන් සහෝදරයා වෙනුවෙන් අහිමි කර ගන්නට හිත හදා ගන්නට ඇත. සිදු වූ වරද කොහොම නිවැරදි කරන්නද කියා සනාතන ට සිතා ගත නො හැකි තරම් ය.

සනාතන තුළ සියපත් ගැන ඇති වූ හැඟීම ප්‍රේමයක හැඩ තළ ගත්තායි සිතිය නො හැකි ය. ගෑනු ළමයින් ගැන මීට පෙර ද ඇති වී තිබූ හැඟුම් ඔහු හඳුනයි. නමුත් සියපත් කෙරේ සුවිශේෂ පැහැදීමක් ඔහු ට දැනිණ. ඇය ඉක්මනින් ම ගෙදර හැම දෙනාගේ ම හිත් දිනා ගත්තා ය. ඕනෑ ම අභියෝගයක් සරල ලෙස භාර ගන්නා ධෛර්යමත් බවක් ඇයට වේ. මදිරා ගේ මානසිකත්වය යහපත් අතට ගෙන ඒම දක්ෂ හා පළපුරුදු මනෝ චිකිත්සකවරියක සේ කළ ඇය, ඇයව දෙපයින් නැගිටුවීම කියනා අභියෝගය ද ඇය මත පටවා ගනිමින් ඒ කෙරේ වෙහෙස වේ. සියපත් ආවාට පස්සේ ගෙදර හැම තැනක ම සතුටු අහුරු විසි කරයි. ඇය ඉන්නා තැන සතුටෙන් ද සිනහවෙන් ද පිරී යයි. මේ ගෙදරට එහෙම තැනැත්තියක ඕනෑ බව ඉතා තදින් සනාතන ට දැනිණ. ඔහු ඒ ගැන සිතුවේ ය. සදාතන ට යෝජනා වී ඇති වියානා බටහිර රටක හැදුණු ගෑනු ළමයෙකි. ඇය වාගේ කෙනෙකු ගෙන් මෙවැනි තත්වයක් බලාපොරොත්තු විය යුතු නැත. ඇය පවුලේ අය කෙරේ සියපත් වාගේ හැඟීමක් හෝ බැඳීමක් ඇති කර ගනිතැයි සිතිය හැකි ද නැත. සදාතන සමග විවාහ වීමෙන් පස්සේ ඇය කහවණුගොඩ පවුල තුළ තබා ලංකාවේවත් සිටී යයි හිතන්නට ද කාරණා නැත්තේ ය. එනයින් සිය පවුල වෙනුවෙන්, විශේෂයෙන් ම මදිරා වෙනුවෙන් පවුල තුළ සියපත් රඳවා ගැනීමේ සුව පහසුව තදින් සනාතන ගේ හිතට ඒත්තු යමින් තිබිණ. සදාතන ට වියානා යෝජනා වී ඇති නිසා, සියපත් පවුල තුළ රඳවා ගැනීමේ යුතුකම ඉටු කළ යුත්තේ තමන් විසිනැයි සනාතන අවධාරණය කර ගත්තේ ය. ඒ සියල්ල සිදු වූයේ ඒ පදනම මත ය.

එය පවුල වෙනුවෙන් ගත් පරාර්ථකාමී තීරණයක් යයි මෙතෙක් සිතා උන්න ද, එය කෙතරම් ආත්මාර්ථකාමී තීරණයක් දැයි දැන් සනාතන ට වැටහේ. නමුත් සදාතන සියපත් ගැන ප්‍රේමයකින් පසු වෙනවා යයි සැකයක් මිස තවමත් ඒ ගැන ප්‍රමාණවත් සාක්ෂි නැත්තේ ය. අනිත් අතට සියපත් ‘මං කැමති කෙනෙක් ඉන්නවා’ යයි කීවේ සදාතන ගැන ද? නැත්නම් වෙනත් කෙනෙකු ගැන ද? මේ සියල්ල තවමත් නො විසඳුණු ගැටළු ය. හෙමිහිට තමන් විසින් ම ඒ ගැටළු විසඳා ගන්නට සනාතන සිතා ගත්තේ ය. තමන් ගෙන් සදාතන ට නො සිතා හෝ වරදක් සිදු වූයේ වී නම් ඒ වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට ද ඔහු හිතට ගත්තේ ය.

සතියකට දිනක් දෙකක් උද්‍යානයට යන තරුණියන් දෙදෙනාට දැන් එහි දී මිතුරෙකු හමු වේ. ඒ එදා කැස්ස වෙලාවේ මදිරා ට වතුර බෝතලය දුන් තරුණයා මනුල ය. එදා වතුර බෝතලය දීමෙන් පස්සේ ඔවුන් හමු වූ ප්‍රථම වතාවේ තිදෙනා ගේ ම මුහුණු සිනහවකින් විකසිත විය. ඒ ඇසුර ඇරඹෙන්නේ එසේ ය. ඊට පෙර සතිය පුරා ම මදිරා උද්‍යානයට ආවේ නැත. මනුල සුපුරුදු කොංක්‍රීට් බංකුවෙහි හිඳ ගෙන රිදී පැහැයට සරැලි නගනා දියවන්නා දිය කඳ දෙස බලා ගෙන සිටියේ ය. වරින් වර ඔහු ගේ ඇස්, යුවතියන් පැමිණේ දැයි විමසිලිමත් නොවූවා ම නොවේ.  නමුත් ජීවිතය කියන්නේ යාම් සහ ඒම් පමණක් බවත්, අප කවුරුත් ඒ ගමනේ අතර මග හමු වන මගීන් පමණක් බවත් ඔහු දැන සිටියේ ය. සංසාර ගමනේ එසේ එක්ව ආ ගිය මිනිසුන් අහම්බෙන් යළි හමු වූ විට මොකක්දෝ හුරුවක් විසින් හැඳින ගනු ලබයි.

“මං හිතුව ආයෙ පාක් එක පැත්තට එන්නෑ කියල”

මනුල අහිංසක සිනහවකින් යුතු ව කීවේ ය. 

“පහු ගිය ටිකේ අපි ගෙදරට වෙලා ඩ්‍රාමාසුයි ෆිල්ම්සුයි බල බල හිටිය. නේ සියපත්..”

මදිරා ඒ නිහැඬියාව බින්දේ සියපත් කතා කරාවියි නො පෙනුණ බැවිනි. එදා සනාතන යක්ෂාවේශ වූ අයුරු සිහි වීම නිසා සැබවින් ම සියපත් ට කතා කරන්නට ඕන වුණේ නැත.

“හොයල බලන්න කන්ටැක්ට් නම්බර් එකක්වත් නෑනෙ ඉතිං..”

“ඒ තරමට අපිව මතක් වෙලා එහෙනං..නේ සියපත්…”

“මේ වගේ පාක් එකකට එන යන මිනිස්සු අතරෙ මතක හිටින අය මුණගැහෙන්නෙනං අඩුවෙන් තමයි”

ඔවුන් අතරේ කතා බහ ඇරඹුණේ එසේ ය. මනුල යනු කොරෝනා වසංගතය විසින් බිලි ගත් ගැබිණියක ගේ සැමියෙකු බව දැන ගත්දී තරුණියන් දෙදෙනා ට ම දැනුණේ කම්පනයකි. ඒ ඔවුන් ගේ ප්‍රථම දරු අපේක්ෂාව වූයේ ය. ඔවුන් දෙදෙනා විවාහ වී වසරක් සපිරී තිබුණේ හෝ නැත. බිරිඳ හා දරුවා ව හොරු ගෙන ගියා සේ අහිමි වීම නිසා ඇති වූ කම්පනය දරා ගනිමින් තවමත් මනුල ඔවුන් නැති හුදෙකලාවේ අතරමං වෙමින් හිඳී.

“අපි කවුරුත් මැරෙනව තමයි. ඒත් ඒක තාමත් මට ශොක් එකක් වගේ. ඒක හරි අසාධාරණ මරණයක්”

ඒ වෙලාවේත් තරුණ ඇස් වල ශෝකී තෙතමනයක් දිළිසුණේ ය. මිනිසුන් ට මොන තරම් දේවල් අහිමි විය හැකි ද යන පැනය ඔවුන් ඉදිරියේ ඉතිරි ව තිබිණි. මදිරා ඇගේ රිය අනතුර ගැන කීවා ය. මනුල බබා වෙනුවෙන් ඔවුන් රැස් කළ සිහින ගැන කීවේ ය. ඔහු ඒ රෝස පාට බිළිඳු ආම්පන්න සියල්ල, අඩු ආදායම්ලාභී පවුලක ගැබිණි මවකට තිළිණ කොට තිබිණ.

“ජීවිතේ කියන දේට මොන තේරුමක් දෙන්නද කොහොම පැහැදිලි කරන්නද කියල වෙලාවකට හිතා ගන්න බෑ. අපි හිතනව අපිට තමයි මේ ලෝකෙ ලොකුම අහිමි වීම අසාධාරණය වෙලා තියෙන්නෙ කියල. හැබැයි ඒ තව එහෙම කෙනෙක් මුණ ගැහෙනකල් විතරයි”

එදා ඒ විදිහට ඇරඹුණ කතා බහ, ඔවුන් හොඳට ම දන්නා කියන අය තරමට සුහද බවක් ඇති කරන්නට සමත් වූයේ ය. පරිගණක අංශයේ නිදහස් රැකියාවක් කළ මනුල, සිය රාජකාරි අවසාන වීමෙන් පස්සේ මෙතැනට වී හුදෙකලාවේ නිමග්නව ඉන්නට පුරුදු වී සිටියේ ය.

එදා සිදුවීමෙන් පස්සේ සදාතන ඒ තරුණයා අරබයා ප්‍රශ්න කිරීම් කරන්නට ආවේ නැත. විශේෂයෙන් ම මදිරා යනු කිසිවෙකු සමග අනවශ්‍ය ඇසුරකට නො යනා කෙනෙකු බව දැන සිටීම නිසා ද, එදා ඒ ගැන සියපත් ගෙන් අසා ගත් තරම ප්‍රමාණවත් නිසා ද ඔහු ගේ රාජකාරිය වන තරුණියන් දෙදෙනාට ප්‍රවාහණය සැපයීම පමණක් සිදු කළේ ය. සනාතන ට නම් ඒ තරුණයා ගැන විශේෂ අවධානයක්  වූයේ ද නැත.

සනාතන විසින් සියපත් ට විවාහ යෝජනාවක් කිරීමේ සිදුවීමෙන් පස්සේ සදාතන හැසිරුණේ අතිශය ප්‍රවේසම්ව ය. සිය හදිසි අසනීපය ගැන සනාතන හෝ මදිරා සැක සිතුවාද යන බිය ඊට හේතුවයි. එදා උදේ කෑම මේසයේදී සනාතන ගේ හැසිරීම සදාතන ගේ සැකයට හේතු විය. ඊළඟ දින දෙක තුන තුළ සියපත් ට මූණ දෙන්නට බැරි කමක්  ඔහු ට දැනිණ. සියපත් ඉදිරියේ මහත් වැරදිකාර හැඟීමකින් ඔහු පෙළුණේ ය. ඒ කිසිදු හැඟීමක් සනාතන වාගේ පහසුවෙන් එළි පිට පෙන්විය නො හැකි වීම ඔහු ට තිබූ ලොකු ම අවාසියයි. 

ආයේ සියපත් සමග තනි වීමේ අවස්ථාවක් ඔහු ට උදා වූයේ ඒ සිදුවීම වී දින හතරකට පස්සේ ය. එදා මදිරා ට සිංහල වෙදකම් කරනා වෙද මැදුරට යන්න තිබුණේ හැන්දෑවේ ය. සදාතන රියදුරු ජගත් ට කල් ඇතිව ම වෙනත් රාජකාරියක් පැවරුවේ ය.

“සියපත් මිස්ව බස්සන්න යන්න තියනවනෙ සර්”

කියා ජගත් කී විට කවදාවත් නැතිව සදාතන ඔහු ට සැර දැම්මේ ය.

“ජගත් මං කියන දේ කරන්න. සියපත්ට එක දවසක් බස් එකේ යන්න බැරි කමක් නෑනෙ”

වෙද ගෙදර සිට පැමිණෙන අතරේ සදාතන හොරගල් ඇහිලූයේ සියපත් ව ගෙදර ළඟට ගෙන යන බව කියා ගන්නට වචන සොයා ගත නො හැකිව ය. විශේෂයෙන් ම අක්කා සිටින්නේ තමන් ගැන සැකයෙන් ද යන සිතිවිල්ල මත ඔහු ට ඒ යෝජනාව කළ නො හැකි සෙයක් දැනිණ. කහවණුගොඩ මැදුර ළඟට එන තුරුත් සදාතන හිත තද කර ගෙන සිටියේ ය.

“සියපත්ට ලේට් නේ…කෝ මේ ජගත්…”

රෝද පුටුවේ හිඳ ගත් වහා එසේ කීවේ මදිරා ය. 

“ජගත්ව අද අර්ජන්ට් වෙන වැඩකට යවන්න වුණා අක්ක”

“අනේ මල්ලි ලේට් වෙලානෙ මේ ළමයට. අපරාදෙ…එහෙනං අපිට එයාව ඩ්‍රොප් කරං එන්න තිබුණ”

“ඒකට කමක් නෑ අක්කෙ. මට රත්තණපිටියෙන් බස් එකට නගින්න පුළුවන්”

“මල්ලා ඔයාට බැරිද සියපත්ව ඩ්‍රොප් කරන්න…කළුවර වැටීගෙන එනවනෙ”

“නෑ නෑ අක්කෙ ඕන නෑ…මේ වැහි කළුව…මට පුළුවන්”

“මං ඩ්‍රොප් කරන්නං”

මදිරා ගේ පාලිකාව ට ඇය බාරදීමෙන් පසු සදාතන යළි රියට නැගුණේ ය. සියපත් අතීරණාත්මකව බලා සිටියදී රියට නැගෙනා ලෙස ඇසින් ඉඟි කළේ මදිරා ම ය. සියපත් ඉක්මං තීරණයක් ගෙන ගොස් ඉදිරි අසුනෙහි ගොඩ වූවා ය. සදාතන ට ඉඩක් නො තියා ඉක්මනින් ආසන පටිය ද තද කර ගත්තා ය. ඊළඟට බෑග් එක තුරුලු කොට ගෙන කවුළුවෙන් ඉවත බලා ගත්තා ය. හිත ඇතුළේ පුංචි කෝන්තරයක් කැරකෙමින් තිබිණ. සදාතන හිතා මතා ම ඇය නො සලකා හැරි බවක් පසු ගිය දින කිහිපයේ ඇයට දැනුණේ ය. 

“ඉතිං මට මොකෝ. මං එයාට අච්චාරු ගිහින් දුන්නෙ එයා ගැන අදහසකින් නෙවේ. පවු නිසා…වෛරස් උණ හැදිල කන්න බැරුව ඉන්නව කියපු නිසා”

ඇය නො රිස්සුම් ව එසේ සිතුවා ය. සනාතන ගෙනා යෝජනාව ගැන ඔහු දැනුවත් ව සිටීම ගැන ද සියපත් ට ඔහු ත් එක්ක ගැටළුවක් වූයේ ය.

සදාතන කිහිප විටක් හිස හරවා ඇදෙස බැලුවේ ය. නමුත් සියපත් මුළුමනින් ම රියෙන් පිටතට දෑස් යොමු කර ගෙන සිටී. ඇයව මගහැර සිටින්නට ලොකු හේතුවක් ඔහු ට ද තිබිණි. ඇය කැමති කෙනෙක් ඉන්නවා කී බවක් සනාතන කීවේ ය. නො ගැලවුණ කටුවක් විලස ඇනෙමින් ද වද දෙමින් ද සදාතන ගේ හිතේ එය තිබිණ.

“කැමති කෙනෙක් ඉන්නවලු නේ…”

ඊට වඩා කියන්නට හොඳ දෙයක් ගලපා ගත නො හැකි ව අන්තිමට සදාතන එසේ කියා ගත්තේ ය. සියපත් හැරී බැලුවේ විදුලියක් වාගේ ය. ඒ බැල්මට සදාතන ට යන්තම් හිනා ගියේ ය. කියන්නට දේවල් පෝලිමක් මුවට ආව ද සියපත් වචනයක් හෝ නො කියා නැවත ද ඉවත බලා ගත්තා ය.

“ඒ අර…පාක් එකේ ඉන්න කෙනා වෙන්න බැරිද කියලත් මට හිතෙනව. සමහර විට වෙන කෙනෙක් වෙන්නත් ඇති”

“වෙන කෙනෙක්”

යලිත් වේගයෙන් හැරුණු සියපත් හී තල වාගේ ඒ වචන දෙක විද්දා ය. සදාතන ට නැවත ද සිනහ ගියේ ය.

“සනාතන සර් එහෙම දෙයක් කිව්වනං සර්ට තිබුණනෙ එහෙම දේකට අනුබල නොදී ඉන්න. ඇයි එහෙම දෙයක් වෙන්න ඇරියෙ”

“සනාතන අයිය”

“කවුරු හරි”

සනාතන ගැන ඒ විහිළුව නො කර ඉන්නට තිබුණා යි සදාතන ට සිතුණේ ඒ වෙලාවේ සියපත් ගේ ඇස් වල වූ වේදනාව දුටුවාට පස්සේ ය. විහිළුවකට වඩා බරක් ඇති යමක් ඔහු ගේ හදවත මත පැටවී ගෙන තිබිණි. ඒ බර දැන් දවස් ගණනක් තිස්සේ හද දරා සිටින්නකි. එයින් නිදහස් වන්නට සදාතන ට ඕන වී තිබිණ. ඇතැම් විට ඔහු ජගත් ට වෙන වැඩක් පැවරුවේ ම ඒ සඳහා අවස්ථාවක් උදා කර ගැනීමේ අරමුණක් යටි හිතේ දරා ගෙන විය හැක.

“මං කොහොමද සනාතනව වලක්වන්නෙ..ඒක එයාගෙ කැමැත්තනං…මට කොහෙද අයිතියක් තියෙන්නෙ කෙනෙක්ගෙ ෆීලිංස් කන්ට්‍රෝල් කරන්න…අනිත් එක…කවුද දන්නෙ ඔයා වුණත්…”

ඉතිරි ටික කියම්දෝ නො කියම්දෝ කියනා තැන සදාතන මඳ වෙලාවක් ගත්තේ ය. සියපත් සිය තියුණු බැල්මෙන් ඔහු විනිවිද බලා සිටියා ය.

“මං වුණත්…මොකද්ද සර්…”

“ඔයා වුණත්…ඒ යෝජනාවට කැමතිද කියල..”

සියපත් යම් හඬක් නැගෙන සේ සිනහවක් නගමින් ම යළිදු වීදුරු කවුළුවෙන් ඉවත බැලුවා ය. සිනහ වෙන්නට නොව ඒ වෙලාවේ ඇයට ඕනෑ වූයේ හඬන්නට ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles