පතිදම්වැල් 28

ඇතැම් ගැටලු ජීවිතයට එන්නේ නොහිතන වෙලාවකය. ෂෝබිතා නිවසට කතා කර අම්මාටත් තාත්තාටත් තර්ජනය කර තිබුනේ ඔවුන් විසින් දික්කසාදය නොදෙන ලෙසට තමන්ට බලපෑම් කරන බව පවසමිනි.

කිසිදිනක ෂෝබිතාගේ සංකර දිවි පෙවෙතේ කිසිම තැනකට ඇඟිලි නොගැසූ අම්මාත් තාත්තාත් උන්නේ ෂෝබිතා විස්න් දුරකතනය ඔස්සේ කියන්නට යෙදුණ වදන් වලින් කම්පිත වීය.

“මට හිතාගන්න බැරි උනා පුතේ කොහොමද එහෙම දේවල් කිව්වෙ කියලවත්” කියමින් වැඩ ඇරී නිවසට ආ අනුප සමග ආරියලතා දොඩමලු වූයේ තේකක් ද රැගෙන එමිනි.

නිවසේ විවෘත ආලින්දයේ වාඩි වී අනුප උන්නේ විශාල කල්පනාවකට බර වීය. මද නල ගත පිස හැමුවද ඒ සිහිලට හදවතේ ගිනිදැල් නිවාලන්නට හැකියාවක් තිබුනේ නැත.

පුතු මෙසේ වේදනාබරිත දෑසින් කල්පනා ලොවක ගිලී හිඳින අන්දම බලා ඉන්නට බැරුවා මෙන් ආරියලතා උන්නේ ගෙවත්තේ කොල පැහැ තුරු ලතා රසඳන දෙස බලාගෙනය. එහෙත් ඒ හරිත පැහැ රසඳුන තරම් ජීවිතය සොඳුරු නොවන බව ආරියලතා මහත්මිය දනී.

ෂෝබිතා කතා කලේ ආරියලතා දහවලට කන්නට කැම සකසමින් හිඳිද්දිය. දුලන්‍යා ගෙදර එන්නේම බඩගිනියි කියා ගෙන නිසාවෙන් හැකි යමක් පිස තබන්නට ආරියලතා මහත්මිය කඩිනමින් වෙහෙසෙයි. එවන් මොහොතක එන දුරකතන ඇමතුම් සිතට වදයක් මෙන්ම කරමින් හිඳින කාර්‍යයන් පාඩු වීමට හේතුවක් වුවද ඒ දුරකතන ඇමතුම මගහැර ගන්නට නොසිතුනේ මන්ද කියා තේරුමක් නැත.

“අනුපට කියන්න වහාම හොඳහිතින් ඩිවෝස් එක දාන්න කියල. නැත්තම් මම ඩිවෝස් එක දැම්මොත් මිනිහට පොලිසි ගානෙ යන්න වෙයි කියල කියන්න ඩොමෙස්ටික් වයලන්ස් වලට කියලා”

ෂෝබිතා දුරකතනය ඔස්සේ බුරා හැලෙන්නට වීම ගැන ආරියලතා මහත්මියට මුලින් දැනුනේ තිගැස්මකි. ඒ තිගැස්ම කෝපයක බවට පත්වන්නට මද වේලාවක්වත් නොගියද තම දරුවාත් දරුවාගේ දරුවාත් වෙනුවෙන් ඉවසීමේ සලු පොටින් ඒ කෝපය වසාලන්නට ඇයට නොහැකි වූයේ නැත.

“අනේ මන්දන්නෙ නෑ ළමයො ඔය ළමය මේ මොනව කියනවද කියල? හරියට නිකන් අපිට කෑගහන්නෙ අපි මේ ඔය ලමයට වරදක් කලා වගේ නේ?”

“වරදක් කලා තමයි, හිතාගෙන ඉන්නෙ මම දන්නෙ නෑ කියල ඩිවෝස් එක දෙන්නෙ නෑ කියල අනුපව උසිගන්නන්නෙ තමුන් විත්තිය”

“අනේ මම කාවවත්ව උසි ගැන්නුවෙ නෑ ළමයො. ඔය ළමයින්ගෙ කසාදෙ ඇතුලෙ වෙන කිසිම දේකට මමවත් තාත්තවත් කවදාවත් ඇඟිලි ගහල නැති බව ඔය ළමය හොඳාකාරවම දන්නව නේ. එහෙම එකේ දෙයක් කියන්න කරන්න කලින් දෙතුන් පාරක් හිතන්න”

“මන් හොඳට හිතල තමයි මේ කතා කරන්නෙ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. අනුපට දික්කසාදෙ දෙන්න බෑ කිව්වට හොඳින් හරි නරකින් හරි ඒක කරන විදිය මම නොදන්නව නෙවි.

ඒ නිසා ප්‍රශ්න වවාගන්නෙ නැතුව මේක ඉක්මනට විසඳගන්න කියලා. අනික් එක මට කිසිම උවමනාවක් නෑ ආයෙ එන්න. ඒ නිසා දික්කසාදෙ දෙන්නෙ නැතුව උඩ පැන පැන හිටිය කියල අනුපට මේ ලැබෙන දෙයක් නැති බවත් මතක් කරල දෙන්න”

කෝපයෙන්ම එසේ පවසා තමා යමක් පවසන්නට පෙර දුරකතනය මහ හඬින් තැබූ ෂෝබිතා ගැන ආරියලතා මහත්මිය උන්නෙ කලබල වීය.

 අනෙක් අතට අනුප ගැන බයක්ද සිත තුලින් නැගී එන බව ඇයට දැනේ.  ෂෝබිතාගේ වදන් තුල කෝපයක්, තර්ජනයකට වඩා තිබුනේ පුදුමාකාර අන්දමේ ආත්ම විශ්වාසයකි. ඒ වනාහී ඇය දැනට එකතු වී හිඳින දමිත් සිංහවර්ණගේ බලය විසින් ඇයගේ සිත ඇතුලේ තවරා තිබෙන ආත්ම විශ්වාසයක් බව ආරියලතා නොදන්නවා නොවේ.

දමිත් සිංහවර්ණ යනු අමුතුම ආකාරයේ සතෙක් බව දේශපාලනය ගැන තමාට වඩා දැනුම ඇති සැමියා විසින් කියන්නට යෙදුනේ පෙර දිනකය. ඒ පුතු විසින් ෂෝබිතා නිවසින් ගොස් වාසය කරන්නේ දමිත් සිංහවර්ණ සමග බව පැවසූ දිනයේය.

තම පුතු එසේ මැර බලය සහ මුදල් බලය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම කෑදර අරමුණු ඉටු කරගන්නට යන්නෙකු නොවේ. ඉතින් එවන් අයෙකුට විපත්තියක් කිරීමේ හැකියාවක් දමිත් සිංහවර්ණට නැත්තේ නැත.

අනෙක් අතට ෂෝබිතා වන් විවාහක දරුවකු සිටින කාන්තාවක් රන් කුසලානයක් ඔසවාගෙන යනවා මෙන් ආඩම්බරයෙන් ගෙන ගිය මිනිසාට ඇයගේ වදන් වලට හිස නමා ඇයගේ සැමියාට කරදරයක් විපතක් කිරීමේ නොහැකියාව නැති බව ද ආරියලතා නොදන්නවා නොවේ.

“පුතා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?”

ආරියලතා එසේ ඇසුවේ කල්පනා ලෝකයෙන් මිදෙමිනි. තමා ඒ කල්පනා ලෝකයේ ගිලී හිඳිද්දි තේක ඇල්වෙන්නට තබා අනුප ද උන්නෙ මහ විසාල කල්පනා ලෝකයක අතරමං වී බව ආරියලතා දුටුවාය.

“ම්ම්ම්”

“ෂෝබිතාව ආපහු එක්කගෙන එන්න පුලුවන් වෙයි කියලනම් මම හිතන්නෙ නෑ පුතේ”

මෙතෙක් දිනක් ධනාත්මක දේම පවසන්නට යෙදුණ අම්මා එසේ පැවසුවේ එතරම්ම සිත කලකිරෙන යමක් ෂෝබිතා විසින් කියන්නට යෙදුණ නිසා බව තේරුම්ගන්නට අනුප අපොහොසත් වූයේ නැත. එහෙත් හිස හරවා බලද්දී සාලයේ සෙටිය අද්දර බිම වාඩි වී කොෆි ටේබල් එක මත තබාගෙන චිත්‍රයක් පාට කරන දුලන්‍යා දකිද්දී “අනේ ෂෝබිතා දරුව වෙනුවෙන්වත් ආපහු එන්න ඔයාට බැරිද” කියා ඇයගේ පා ළඟ වැඳ වැටෙන්නට වුවත් අනුපට හැකිය.

ෂෝබිතා තමාට ආලය නොකිරීම අමතක කරලන්නට හැකි වුවත් තම කුසින් බිහි කල, තම කිරෙන් පෝෂණය කල දරුවාට මෙසේ කල හැකිද යන පැනය තවමත් විසඳා ගන්නට අනුපට හැකියාවක් ලැබුනේ නැත.

“මට දරාගන්න බැරි මේ දරුවට අපි මොකද්ද කරන්නෙ කියලා. කිසිම දෙයක් නොතේරෙන මේ දරුවව දාලා ෂෝබිතා මෙහෙම යන්න හිත හදාගත්තෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනිත් අතට මට ඒ දෙමව්පියො ගැනත් තියෙන්නෙ පුදුමාකාර කේන්තියක්. ඒ මිනිස්සුන්ගෙ වැරදි නිසා නේ අපිට අන්තිමේ මෙහෙම කරදර වලට මූණ දෙන්න උනේ”

“අපිට එහෙම ඒ මිනිස්සුන්ට වරදක් කියන්න බෑනෙ නෝනා. මං නම් හිතන්නෙ නෑ ඒ මිනිස්සු කවදාවත් හිතන්න ඇති කියල තමන්ගෙ දරුවා මේ විදියෙ දෙයක් කරාවි කියල”

මෙතෙක් වේලා කාමරයට වී සැඳෑ නින්දකට වැටී හුන් තාත්තා එදෙසට ඇවිත් බවවත් නොදුටුව අනුප තාත්තාගේ කට හඬින් තිගැස්සූණාය.

“මහත්තය එහෙම කිව්වට මට නම් හොඳටම විශ්වාසයි ඒ මිනිස්සුන්ට මේ ගාණක්වත් නැති බව මේ දරුවො දෙන්න කරදරේ වැටිච්ච එක ගැන. ඔක්කොටම එහා මේ පොඩි දරුව. දෙයියනේ තමන්ගෙ කුසෙන් වදාපු දරුව දාලා යන්න තරම් අර මිනිහව ලොකු උනේ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ”

“එක අඩියක් වැරදියට තිබ්බම ඉස්සරහ ගමනම කඩං වැටෙන කතාව නෝන අහල ඇතිනෙ. සමහර විට ෂෝබිතා උනත් මේ කසාදෙට කැමති වෙන්න ඇත්තෙ ඔය මනුස්සය ආය එන එකක් නැතෙයි කියල හිතල. ඒ උනාට ඉතින් මොකක් හරි කරුමෙකට ඒක එහෙම සිද්ද උනේ නෑ.

හැබැයි මම නම් හිතන්නෙ නෑ ගුණසේකර දෙමහල්ලො මෙ හිතා මතා අපිවයි පුතාවයි කරදරේක දැම්ම කියල. අපිට අපෙ දරුවව වටිනව වගේ ඒ දෙමහල්ලන්ට එයාලගෙ දරුවත් වටිනව නෙ. එ නිසාමනේ ඔය ඇමතිගෙ කාරණාවට විරුද්ද වෙලා පුතාගේ කාරණාවට කැමති වෙන්න ඇත්තෙ”

“කාගෙ උවමනාවකට සිද්ද උනත් අන්තිමේ දුක් විඳින්න උනෙ මගෙ දරුවට වෙච්ච එකයි මට හිතට අමාරු” කියමින් ආරියලතා කතා බහෙන් නැගිට ගියේ ඇල් වී ගිය තේ කෝප්ප දෙක අඬු දෙකෙන් එකාතකින් එල්ලාගෙන අනෙක් උරහිස පාත් කර ගවුම් කරින් කඳුලු පිසදාගනිමිනි.

අම්මාගෙන් ඇති වූ අඩුපාඩුව මකන්නට මෙන් එහාපසින් තාත්තා අසුන් ගත්තද කිව යුත්තේ කුමක්ද කල යුත්තේ කුමක්ද කුමන මාතෘකාවක් ඔස්සේ කතා බහ කල යුතුද යන්න ගැන කිසිත් අදහසක් අනුපට නොවුවේය.

එහෙත් නිහඬබව බිඳින්නට් මෙන් තාත්තා වදන් අමුණන්නට විය. මේ වනාහී කල්පනා කරමින්ම හිඳින්නට කාලයක් නොවේ. මේ මතුපිටින් බැලුවද ඇතුලාන්තයෙන්ම සිතා බැලුවද පිලිතුරක් සොයා ගන්නට අපහසු පැනයකි.

“පුතා ඇත්තටම දැන් මොකද කරන්න හිතන් ඉන්නේ?”

අම්මා ඇසූ පැනයක් නොඇසුනා සේ හිඳින්නට හැකි වුවද තාත්තා යමක් කියන්නේත් අසන්නේත් හොඳින් සිතා බලා බව අනුප දනී. තාත්තා අසන මේ ප්‍රශ්නය ඇතුලේත් තාත්තා විසින්ම දෙන්නට නියමිත පිළිතුරක් ඇති බවද අනුපට හැඟුණි.

“මොකද්ද කරන්න ඕන කියල මට හිතාගන්න බැරුව ඉන්නෙ තාත්තේ”

අනුප විසින් කියනට යෙදුණ ඒ වදන් අසමින් කුලරත්න මහතා තම කම්පිත දෑස කෙමෙන් කෙමෙන් සැඳෑ අන්දකාරය විසින් වසා ගන්නා ආකාශය වෙත රඳවා තබා උන්නේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles