පතිදම්වැල් 35

බලාපොරොත්තු වලට පිපෙන්නට විශේෂ හේතු අවශ්‍ය නැත. අවාරයක වැටන වැසි පොදකින් වුව සිහිලසත්, සෙනෙහසත් ලබා පිපෙන්නට බලාපොරොත්තු වලට හැකිය.

අනෙක් අතට ආදරය අප වටා එතෙන උණුසුම්, සුවපහසු බ්ලැන්කට්ටුවක් වැනිය. අපි ආදරය කරන අය දකින විට අපේ ඇස්වල දීප්තිය ඔස්සේ ඒ ආදරණීය හැඟීම් විද්‍යාමාන වේ.

මේ මොහොතේ උශාලිගේ නෙතු යුග වලින් ද විහිදෙමින් තිබුනේ සිත තුල වූ ඒකපාර්ශ්වීය ආදරයේ උණුසුමයි. ඒ බැල්ම අනුප විඳ දරාගන්නේ සිනහවකිනි.

“තාම ගියේ නැද්ද?”

“වැස්ස නිසා ද කොහෙද පික් මී එකක්වත් එන්නෙ නෑ. ඌබත් නෑ”

“හිතපු නැති වැස්සක්නේ කඩං වැටුණේ එක පාර”

ඉන්පසු ඇති වූ නිහඬතාවය බිඳුනේ අහසින් වැටී බිම සිපගන්නා වැස්සේ නාදයෙන් පමණි. එකී නාදයේද කුමක්දෝ රිද්මයානුකූල බවක් ඇත. ගීතාන්විත බවක් ඇත.

“ගෙදරද යන්නේ?”

ඔව් කියන්නද කියා සිතමින් හිඳිද්දී සිත විසින් දෙන ලද පණිවිඩයකට අනුව හිස ඉහල පහලහැරවුණි.

ඔහු අතේ වූ කුඩය දිග හැරුණේත් ඔහු පළමු පඩියට කකුල තබා උශාලි දෙස බලා හිනැහුනේත් එක මොහොතකය. ඒ මොහොත තමන් වෙනුවෙන්ම වෙන් වූ මොහොතකි. වැසි බිඳු පවා නතර වී, සුලං පහර නැවතී මුලු ලෝකයම මද වේලාවකට අයිස්මය හැඟීමකින් ගල් වී හිඳිද්දී තමා පමණක් හුස්ම ගන්නා බව උශාලිට දැනුනි.

ඒ තරම්ම මනස්කාන්ත සුන්දරත්වයක් ප්‍රේමණීය බවක් ඔහුගේ දෑසේත් ඉරියව්වේත් විය. ඒ දෙසම බලා හුන් තප්පර ගණනක ගල් වීමකින් පසුව තමා නැගූ සිනහවේ තිබුනේ ඒ බැල්ම සමග පෙරී ආ ආරාධනාවට පිලිතුරකි. තෙමෙනවාට බයෙන් හෑන්ඩ් බැගය පපුවට තුරුලු කරගෙන ගවුම මදක් ඔසවා උශාලි කුඩය යටට ආවේ ඒ ප්‍රේමණීය හැඟුම් වර්ශාවේ නැහැවෙමිනි.

ආදරයේ වැස්සක් වැටෙන විට, එය පොද වැස්සක් මෙන් මෘදු විය හැකිය. වැස්ස වගේම ආදරයටත් සීමා මායිම් නැත.  වැහි බිංදු එකට එකතු වී පොකුණු සහ දිය පහරවල් ඇති කරන්නාක් මෙන්, ආදරය මිනිසුන්ව සමීප කරයි, හැඟීම් බෙදාගත් සෞදර්‍යාත්මක වපසරියක ඔවුන්ගේ හදවත් සහ හැඟීම් එකතු කරයි. ප්‍රේමයේ වැස්ස හැඟීම් ගංගාවක් බවට පත් වේ, මුදු මොළොක් බව සහ අවබෝධය ප්‍රවාහයක් වන අතර එය ආත්මයන් අතර හිඩැස් පුරවයි.වැස්ස නතර වූ විට, නැවුම් වැස්සකින් පසු පොළොවෙන් එන සුවඳ මෙන් ආදරය පිළිබඳ මතකයන් අලුත් වෙමින් සුවඳ දෙමින් ජීවිතය පුරා විහිදී යයි. එය හදවතේ නොමැකෙන සලකුණක් තබයි. 

 අනුපගේ කුඩය යටින් ඔහුගේ වාහනය වෙත උශාලි ඇවිද ආවේ යන්ත්‍රානුසාරයෙන් මෙනි. ඔහුගේ සිනහවේත් බැල්මේත් තිබු ආරාධනය “මම ඔයාව ගෙදරට ගිහින් දාන්නම්” යැයි බව වචනයක්වත් නොඅසා තමන් තේරුම් ගත්තේ කෙසේදැයි උශාලිට දැනුමක් තිබුනේ නැත. හැඟීම් සහ මේ තප්පර එකට එකතු වී දෑස් ඉදිරියේ මවන්නේ පුදුමතරම් සුන්දර චිත්‍රයකි. එහෙත් ඒ චිත්‍රය තමාට සදහටම හද නිවසේ එල්ලා තබන්නට හැකිවේද යන්න ගැන සිතන මොහොතක් නොවුණි එය. රෝහල් පඩිපෙල මත සිට වාහනය අසලට කුඩයෙන් විත ඔහු විසින් හැර දුන් රියෙහි ඉදිරිපස අසුනේ අසුන් ගෙන ඔහු විසින් කුඩය පිටුපස අසුනෙන් තබා විත් රියදුරු අසුනට ගොඩවෙද්දීත් උශාලි උන්නේ එලියේ වැටෙන වැස්ස මත නෙතු රඳවාගෙන ඒ මාධූර්‍යාත්මක සිතුවිල්ලේ ගිලීය.

මේ තමා සිහිනයෙන් වත් නොදුටු සුන්දර සිදුවීම් ය. කිසිදිනක වෙතැයි සිතාවත් තිබුනේ නැති අන්දමේ සුන්දර නිමේෂයන්‍ ය.

සිතට ඉමහත් සතුටක් ගෙනෙන කුඩා දෙයක් වුවත් මිනිසුන්ට ඉමහත් දෙයකි. ඒ සතුට අවසානයේ මහා අහිමිවීමක හෝ වේදනාවක සේයාවක් තිබෙන්නට හැකි බව නොදැන මෙන් මිනිසුන් ඒ සතුටේ එල්ලී හිඳිති.උශාලි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ එල්ලී උන්නෙ එවන් හැඟීමකය.

“අවුලක් නෑ නේද ඉස්සරහින් නැග්ගුවට?”

ඔහුගේ හඬ කණට දකුණු පසින් ඇසේ. ඒ හඬ සමග එන උණුසුම් වායු ධාරාව සමග එපස කම්මුල් රත් වී රතු පැහැ ගැන් වේ.

එහෙත් සිත උණුසුම් වී ඉමිහිරි සිතුවිලි දෝරෙ ගලායයි. එහෙත් ඒවා වචන බවට පත් නොවේ.

වචනවලෛන් හසුරුවා ගත නොහැකි හැඟීම් සිනහවකින් හසුරුවාගන්නට හැකි බව දන්නවාක් මෙන් නිරායාසයෙන්ම දෙතොල් මත ඇඳෙන්නේ මනහර සිනහවකි.

“වැස්ස නිසා මම ඉක්මනට ඒ පැත්තෙන් නැග්ගුවෙ”

ඒ ඇත්තක්ද කියා නොදනී. එහෙත් ඒ යම් හැඟීමක් සඟවන්නට තනන රසබර රහසක්, බොරුවක් යැයි සිතන්නට සිත කැමතිය. ඔහු තමාව ඉදිරිපස අසුනින් නංවා ගත්තේ තමා සමග කතා බහ කරනට හැඟීමක් ඔහුගේ සිතේ ඇති නිසා යැයි සිතන්නට කැමතිය. ඒ හැඟීම සිත උණුසුම් කරවයි. වැහි දියවර නිසාවෙනුත්, වාහනය ඇතුලේ ඇති සිසිලස නිසාවෙනුත් සීතල වී ඇති ගත සුවපත් කරන්නට ඒ උණුසුමට හැක.

නිහඬතාවයක් වුවද සිත උන්නේ දොඩමලු වෙමිනි.

“මොන ඉයර් එකේ ද පාස් අවුට් උනේ”

ඒ දුර ඇදෙන්නට නියමිත කතා බහකි. ඒවාට පිලිතුරු දෙන්නට අපහසුද නැත. එහෙත් වාහනය හසුරුවමින් ඉඳ හිට තමා දෙස බලන ඔහු දෙස බලමින් පිලිතුරු දෙන විට මුහුණ මත ඇඳෙන්නට වෙර දරන සිනහව සඟවා ගෙන ඒවාට පිලිතුරක් දීම මදක් අපහසුය.

“ඒ කියන්නේ මට වඩා අවුරුදු අටක් විතර බාලයිනේ”

“සර්ට වයස තිස් දෙකක්ද?”

ඔහු තමාට වඩා බොහෝ වයසය. එහෙත් ඒ බව නොපෙනෙන තරම් පෙනුම කඩවසම්‍ය. හැසිරීම කෙලිලොල් ය. සුන්දරය. එවන් හැඟීම් සිත කිතිකවන්නේ ඇයිදැයි උශාලි නොදනී.

“අපි එදා කතා කරගත්ත විදියට හැබැයි නෙවෙයි නේද දැන් කතා කරන්නේ?”

ඒ කතාව කුමක්දැයි සැබෑවටම නොපැහැදිලි නිසාවෙන් “ඒ කිව්වේ?” කියන වදන් උශාලිගේ මුවින් ගිලිහුනේ කුතුහලයේ වෙස් මුහුණ පැළඳගන්නා අතරමය.

“ඇයි එදා අරුන් දෙන්නගෙ වෙඩින් එකෙදි අපි කතා උනේ ටීච සර් කියල ඉස්කෝලෙක වගේ කතා කරන්නෙ නෑ කියල. කෝ ඒ උනාට අපි දෙන්නම තාම කතා කරන්නෙ ඒ වගේනේ.”

එසේ පවසන ඔහුගේ සිනහව කෙලවරක ඇඳී තිබෙන්නේ දඟකාර පිරිමිකමකි. එහෙත් ඒ මින්පෙර මෙතරම්ම සමීපව කිසිවකුගේ මුහුණින් දැක තිබෙන අන්දමේ පිරිමිකමක් හෝ දඟකාර කමක් නොවේ.

පෙම්වතියව විශ්මයට පත් කරවන්නට සිතා ඇයට රහසේම ඇයව බලන්නට ආ තරුණ පෙම්වතෙකුගේ මුහුණ පවා ඇඳී තිබෙන්නේ මෙයාකාරම දඟකාර පිරිමිකමක් විය හැකියැයි සිතුනේ අහම්බයෙනි. එහෙත් තමාත් ඔහුත් අතර ප්‍රේමයක් නැත. තම සිත තුල අප්‍රකාශිත ඒකපාර්ශ්වීය ආදරයක අංකුර පැලවෙමින් තිබුනද ඒ වූ කලී ඔහු නොදන්නා ඉසව්වකි. ඉතින් එසේනම් ඒ මුව මත ඇඳී සිනහවේ තේරුම වෙන දෙයක් විය හැකිද?

“ආහ් ඒක මිසක්”

“මම ඇත්තටමයි ඒක කිව්වෙ. එදා මම ඇත්තටම පොඩි ශොට් එකක් දාලා තිබුනේ. ඒ නිසා මගෙ අතින් වැරදි දෙයක් කියවුනානම් සොරි. ඒත් මම ඇත්තටම කැමතියි නම කියල අපිට කතා කරන්න පුලුවන්නම් ඔයාගේ අකමැත්තක් නැත්තම්”

“මගේ අකමැත්තක් නෑ” යයි කියන්නට එපසට තල්ලු කර යවන මද සිනහවක් වුවත් ප්‍රමාණවත්‍ ය.

“ඇත්තටම අද ආවට ගොඩක් තැන්ක්‍යු. දුලා අසනීපෙන් ඉන්න නිසා ලොකු වෙනසක් නොපෙන්නුවට එයාගෙ හිතටත් සතුටක් වෙයි ඔයා ආව එක”

“ඒක පොඩි දෙයක්නේ. ඒකට තැන්ක්‍යු කියන්න ඕන නෑ”

“කෙනෙක්ට ඒක පොඩි දෙයක් කියල හිතෙන්න පුලුවන්. ඒත් අම්මා කෙනෙක් නැතුව තනිවෙලා ඉන්න දරුවෙක්ට ඒක ලොකු දෙයක් කියල මම හිතනව. එදා ප්‍රින්සිපල් මැඩම් කතා කරල මට අර විස්තරේ කිව්ව එකෙන් පස්සෙත් කල්පනා කරද්දි මම හිතුවෙ ඔයාලා දරුවො ගැන එච්චරම කන්සර්න් නිසානේ ඒ ගැන දැක්කෙ කියල. වෙන කෙනෙක්ට නම් මිස් වෙන්න පුලුවන්. මම දන්නෙ නැ ඒකට මම කොහොමද තෑන්ක් කරන්නෙ කියල”

“ඒ ගැන ලොකුවට හිතන්න එපා. අපි හැම බබෙක් ගැනම ඒ විදියට හිතනව. මොකද පොඩි කාලේ දරුවන්ගෙ ඔලුවට යන සමහර දේවල් එයාලා ලොකු වෙද්දිත් එයාලව අතැරල යන්නෙ නෑනෙ. ඒනිසා ඉතින් පොඩි කාලේ හොඳම විදියට අපි කෙයා කරන්න ඕන. දුලන්‍යාත් මේ ප්‍රශ්න වලින් පස්සෙ ආයෙ බැක් ටු නෝමල් වේවි”

ඉන්පසුව ඇති වූ නිහඬතාවයට හේතුව උශාලිට සිතාගන්නට නොහැක. එහෙත් ඔහු උන්නේ සිත අස්සෙන් තමා විසින් කියු දේට පිලිතුරක් දෙන්නට වචන සොයමින් බව කැළබිලි සහගත මුහුණින් තේරුම් ගත හැක.

“ඒ ප්‍රශ්නෙ එහෙම විසඳෙයි කියල මට හිතාගන්න බෑ උශාලි”

 ඒ හඬේ වූයේ මෙතෙක් ඔහුගේ මුහුණ මත වූ දඟකාර පිරිමිකම පලවා හරින විසල් වේදනාවක්, කම්පාවක සෙවණැළිය. ඔහුගේ සුන්දර මුහුණ මත ඒ වේදනාවේ සෙවණැලිවලින් අඳිමින් තිබුනේ සුන්දර රටාවක් නොවේ.

“ඇයි එහෙම කිව්වේ?”

“මම ඔයාට ෆ්‍රී ටයිම් එකක කතා කරාට කමක් නැද්ද? අයෑම් සොරි මම එහෙම කිව්ව එක වරදක් නම්. ඒත් අපෙ ගෙදර අය ඇරුණම මේ ප්‍රශ්නෙ ගැන දන්නෙ ඔයායි ප්‍රින්සිපල් විතරයි. මට ඇත්තටම හරි ලැජ්ජයි වෙන කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්නවත්”

“අනේ ඒකට කමක් නෑ, කතාකරන්න, කොහොමත් මොන්ටිසෝරි ඉවරවෙලා ගියාට පස්සෙ මට කරන්න දෙයක් ලොකුවට නෑ. අනික දුලන්‍යා වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් නම් මම ඒක ගොඩක් සන්තෝසෙන් කරනවා. ඒත් නවයට වගේ නම් ගන්න එපා. ඒ වෙලාවට මට කෝල් කරනවා…”

“බෝයි ෆ්‍රෙන්ඩ් ද?” අමුතු සිනහවක පැටලී තමා දෙසට එන්නේ අනුපගේ සිත අස්සේ තිබෙන ඉරිසියාවදැයි කියාත් සිතේ. ඒත් ඉරිසියා සිතෙන්නට තරම් දෙයක් තමුන් දෙදෙනා අතර නොවේ.

“අනේ නෑ තාත්තා කෝල් කරන්නෙ. රටනෙ ඉන්නෙ”

“තාත්තලා දූලට ආදරෙයි නේද?”

“හැම තාත්තා කෙනෙක්ම දූලට ආදරෙයි නේද? දුලන්‍යාට ආදරෙයි වගේම”

“කවුද?”

“ඔ..ඔ..ඔයා”

මේ මොහොත නිහඬව වැලඳ ගැනීම තුළ, අනාගතයට අපව සම්බන්ධ කරන පාලමක් අපට හමු වේ. අද අපි කරන තේරීම් හෙටට යන මාවත තැනීමට අප භාවිතා කරන ගඩොල් වැනිය. සාරවත් පසෙහි බීජ රෝපණය කරනවා සේම, අප දැන් ගන්නා ක්‍රියාමාර්ග අපගේ අනාගතයේ අස්වැන්න බවට පත්වේ.

අනාගතය ඇරඹෙන්නේ මේ මොහොතේය.

මේ මොහොතේ ගන්නා තීරණ අනාගතය කෙම්බිමක් කරනවාද කතරක් කරනවාද යන්න තීරණය කරයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles