ජීවිතයේ අවිනිශ්චිතතාවය තුළ චමත්කාරය සහ අභියෝගාත්මක බව යන හැඟීම් ද්විත්වයම ගැබ් වී ඇත. එය අපට වර්ධනය වීමට, අපව පුදුමයට පත් කිරීමට, අපගේම කතාවල කතුවරුන් බවට පත් වීමට අපට ඉඩකඩ සලසා දෙයි. අප නොදන්නා දේ වැලඳ ගැනීමට ඉගෙන ගත යුතුය, මන්ද අපගේ ශක්තිය, අපගේ නිර්මාණශීලිත්වය සහ අපගේ සැබෑ හැකියාවන් අප සොයා ගන්නේ අවිනිශ්චිතතාවයේ මෙම අවස්ථාවන්හිදීය.
උශාලිත් අනුපත් උන්නේ එවන් අවිනිශ්චිත හැඟීම් කන්දරාවක් තුරුලු කරගෙනය.තමන් අතර සිදුවෙන්නේ කුමනාකාරයේ දෙයක්ද, මේ කුමනාකාරයේ බැඳීමක්ද යන්න ගැන නොදැන වුව ඔවුන් උන්නේ සතුටකිනි. සති අන්තයේ උශාලිට දේශන අවසන් වූ පසු හමුවෙමින්, කතා බහ කරමින්, තේ කෝප්පයක රස විඳ ගනිමින් ඔවුන් බෙදා හදාගත්තේ මිතුදමක් පමණක්ම යැයි කියන්නට නොහැක. එකිනෙකා දකිද්දී, එකිනෙකා හා කතා බහ කරද්දී ඔවුන්ගේ දෑස්වල මතු වන දීප්තිය මිතුදමට එහා ගිය යමක් පවසන්නක් විය.
දුලන්‍යා ගැනත්, එකිනෙකා ගැනත කතා බස් කරමින් හුන් කාලයක අනුප ෂෝබිතාට දික්කසාදය දීමට සිත සදා ගත්තේ බොහෝ වර සිතාත් එකිනෙකා හා කතා බහ කල පසුත් ය.
“ඔයා කිව්ව කතාව හරි”
ඒ පිලිසඳර ඇරඹුනේ කොල්ට්ස් ක්‍රිකට් කල්බ් එකෙදීය. අනුපට එහි සාමාජිකත්වය තිබුන නිසාවෙනුත් හඳුනන කිසිවෙක් එන්නට ඇති ඉඩකඩ ඉතාම අවම නිසාවෙනුත් කොල්ට්ස් හිදී හමු වීම සිතට පහසුවක් විය. නාවල විවෘත විශ්ව විද්‍යාලයේ දේශන අවසන්ව උශාලිව රැගෙන අනුප තම රියෙහි නැගි කෙලින්ම ආවේ කොල්ට්ස් වෙතය.
“මොන කතාවද?”
සීත කල පැශන් මොහිටෝල් වීදුරුව තොල ගාන අතරම හැන්දකින් කඩල කොත්තුවෙන් බිඳක් ගනිමින් එසේ ඇසුවේ මෙතෙක් වේලා කෑම පිඟාන මත රැඳවී තිබුණ නෙත ොහුදෙසට හරවමිනි. හැන්දේ රැඳවී තිබුණ බිත්තර මිශ්‍ර කඩල කොත්තු වලින් එන්නේ පුදුමාකාර රසයකි. එහි දැවිල්ල පරදන පිණිස දිව තෙමාගත් පැශන් මොහිතෝ උගුර එහි රසය තවත් උද්දීපනය කරයි.
එයටත් වඩා මේ මොහොත රසවත් ය. මේ යාලුකමක් යැයි කියන්නට නොහැකි, එහෙත් ආදරයයි කියන්නට නොහැකි අපූරු හැඟීමකි.
“ජීවිතේට සමහර දේවල් ලැබෙන්නෙ අපිට අත් ඇරීම පුරුදු කරන්න කියල කිව්ව කතාව”
“ඇයි එකපාර එහෙම කිව්වේ?”
“මම මෙච්චර දවසක් ෂෝබිතාට ඩිවෝස් එක දෙන්න හිත හිත ඉඳපු එක හිත ඇතුලෙ කොච්චර ලොකු ගින්නක් පත්තු කරලද කියල මට තේරුනේ එයාට ඩිවෝස් එක දෙනව කියල එක තීරණේකට ආවට පස්සෙ.
මම කොච්චර ෂෝබිතාට ඩිවෝස් එක නොදී ඉඳියත් එයා ආපහු එන්නෙ නෑ. අනික ආවත් මට ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් කමක් නෑ එයා දරුවව ආදරෙන් බලාගනිවී කියල. දුකක් නැතුව නෙවෙයි. මම ගැන නෙවෙයි මට දුක දුලන්‍යා ගැන. දරුවෙක්ට තමන්ව මේ ලොකෙට බිහිකරපු අම්මාව ගොඩක් වටිනව. විශේෂයෙන්ම ගෑණු ලමයෙක්ට. ෂෝබිතා දුලන්‍යාට එහෙමකට ලොකු ආදරයක් නොපෙන්නුවට එයා පෙන්නපු පොඩි ආදරේ හරි දුලන්‍යාට ගොඩක් වටිනවා. එයා තාම ඉන්නෙ අම්ම ඒවි කියන බලාපොරොත්තුව එක්ක.ඒත් එන්නෙ නැති කවදාවත් ඉශ්ට වෙන්නෙ නැති බලාපොරොත්තුවක් ලඟ පොඩි ළමයෙක්ව නවත්තල තියෙන එකෙන් වෙන්නෙ ඒ ළමය ටික ටික ලොකු වෙද්දිත් ඒ හැඟීම එයත් එක්කම ඉන්නව කියන එක.
ෂෝබිතා ආදරේ නොකරට මට පුලුවන් දරුවව බලාගන්න. මම ඒ නිසාමයි හිතුවෙ ෂෝබිතාට ඩිවෝස් එක දෙනව කියල. අනිත් අතට ෂෝබිතා උත්සහ කරන්නෙ යන්න නම් මම කොච්චර එයාව ළඟ තියාගන්න ට්‍රයි කරත් වැඩක් නෑනෙ”
“ඔයා ඔය ගන්න යන තිරණේ බලපාන්නෙ ඔයාට විතරක් නෙවිනෙ. දුලන්‍යාට වගේම පවුලෙ අනිත් අයටත් බලපානව. ඉතින් ඒ හැමෝම එක්ක කතා කරල තීරණයක් ගත්තනම් නේද හොඳ?”
පැශන් මොහිතෝ උගුරින් උගුර දාහය නිවාලන්නට මෙන් උගුරින් පහලට ඇදුනද සිත තුල වන කණස්සල්ලේ අඩුවක් නැත. ඔහු කියන දෙය ඇත්තකි ගැහැණු දරුවකුට අම්මා කෙනෙකු නැතුව උස් මහත් වීම කෙතරම් නම් අපහසුද? තාත්තා කෙනෙකු සමග දුවෙකුට බෙදා හදා ගන්නට හැකි දේ සීමිතය. අනෙක් අතට කුඩා අවදියේම ලැබිය යුතු ආදරය නොලැබෙන තැන උස් මහත් වී දරුවන් පිටස්තරයින්ගෙන් එකී ආදරය සොයන්නට මොනතරම් සුලබව දකින්නට ලැබෙනවාද? ගැටලුව නම් ආදරය නොලැබෙන දරුවන් උස් මහත් වෙද්දී ආදරය මුවාවෙන් තම අවශ්‍යතා ඉටු කරගන්නට උත්සහ කරන පාපතරයින්ට හසු වීමයි.
එහෙත් දුලන්‍යාගේ පියා ඈට ඉමහත් ආදරයක් පිරිනමයි. ඉතින් එවන් ව්‍යසනයකින් තොරව යහපත් ජීවිතයක් ගෙවන්නට ඔහු ඇයට උදව් කරනු ඇත.
“මම හෙට ෂෝබිතාට ඒ ගැන කියන්න ඉන්නෙ. මගෙ යාලුවෙක්ගෙ හස්බන්ඩ් කෙනෙක් ඉන්නව ලෝයර් කෙනෙක්. එයාට මම අද හවසට කතා කරනවා. මම අපෙ අම්මල එක්ක වගේම ෂෝබිතාගෙ අම්මල එක්කත් කතා කරා. අම්මල නම් කියනව එයාල තව පාරක් කතා කරල බලන්නම් කියල ඒත් කතා කරන්නවත් ෆෝන් එකට ආන්ස්වර් නොකරන ගෑණියෙක් එක්ක කසාදෙ දිග්ගස්සන්න කතා කරල වැඩක් තියෙනවද?”
ඔහුගේ වචන වල තිබෙන්නේ ඉමහත් කලකිරීමකි. එහෙත් වෙනදා තරම්ම ඔහුගේ නෙතු දුර්වර්ණව නැත. ඒවා පෙර නොවූ විරූ මෙන් දීප්තියකින් දැල්වේ. ඒ ආලෝක දහරාව සිත කිතිකවන්නක් වුවද “අනූප ෂෝබිතාව ඩිවෝස් කරන්න හිතුවෙ මාව හම්බ උනාට පස්සෙද?” යන කුකුස සිතට ගෙන එන්නේ බියකි. බරකි. එය මේ හමුවීමේ සතුට, ආහ්ලාදය තුරන් කරන පසුතැවීමකට බර සිතුවිල්ලකි. එහෙත් එකී ප්‍රශ්නය ඔහුගෙන් අසන්නට නොහැක. මක් නිසාද යත් එකී පැනය අස්සේ මෙතෙක් දිනක් නොපවසා හිත අස්සේ සඟවාගෙන සුරැකි ඒකපාර්ශ්වීය ආදරයක සුවඳ තැන්පත් වී තිබේ. ඉතින් ඒ රහස ඔහුට පවසන්නට හෝ අඟවන්නට නොහැක.
“අනෙක් අතට ඔයා හිතනවද ෂෝබිතාව ආය එක්කන් එන්න පුලුවන් උනත් එයා ආයෙ ඒ මිනිහ එක්ක යන එකක් නෑ කියල හිතන්න පුලුවන් කියලා
ඒ බයත් එක්ක තමයි මට හැම මොහොතෙම ඉන්න වෙන්නෙ. අනික තාම එහෙම පවුලෙ අයවත් මේ ඉන්සිඩන්ට් එක ගැන දන්නෙ නෑ. එහෙම දෙයක් මිනිස්සු දැනගන්න එක ඔක්කොටම වඩා ලැජ්ජාවක්”
“ඒත් අම්මල කියන කතාවෙ ඇත්තක් නැත්තෙ නෑ නේද? සමහරවිට කලබල වෙලා තිරණයක් ගත්තට එයාට උවමනාද දන්නෙ නෑ ආයෙ එන්න”
“ඔයා එයාව දන්නෙ නැති නිසා ඔහොම කියන්නේ” කියමින් අනුප නගන සමච්චල් සහගත සිනහව ඔහුගේ මුහුණ විරූපී කරවයි. සිත ඉල්ලන්නේ ඔහුගේ සිහින් මන්දස්මිතයක් මැවුණ දීප්තිමත් දෑසක් සහිත මුහුණ දකින්නයි. ඉතින් මේ කතාබහ මදක් නවතා වෙනත් පාරක යන්නට සුදුසු මොහොතකි.
“එහෙනම් අපි දන්න දෙයක් ගැන කතාකරමු”
හැන්දට ගත් කඩල කොත්තු බිඳක් දෙතොල අතර තබමින් උශාලි කෙලිලොල් සිනා නංවමින් බලා හිඳ්දි අනුපටද ඒ සිනහව මග හැරගන්නට අපහසුය. සැඳෑ හිරු එළිය ඔහුගේ මුහුණේ දකුණු පස යාන්තමින් සිපගනිමින් මවන්නේ චිත්‍රයක් බඳු අපූර්වත්වයකි. ඒ දෙස ඕනතරම් වෙලාවක් බලා සිටින්නට හැකි වුවද ඔහුගේ දැස දෙස එක එල්ලේ බලා හිඳිනට බැරි කිතියකින් දෑස බිමට බරවේ. එහෙත් ඔහු එක එල්ලේම තමා දෙස බලා හිඳින බව නෙත් කොණින් පෙනේ.
“කඩල කොත්තු එක රහද?”
“රහයි මම කාලා නෑ මීට කලින්”
“රාජා අයිය කියල එක්කෙනෙක් තමයි මෙතන කැන්ටින් එක ඉස්සර කලේ. පස්සෙ තමයි බැරකුඩා එකෙන් ගත්තේ. තව තියනවා චීස් ඔම්ලට් එකක්. ඉන්න මම ඒකකුත් ඕඩර් කරන්නම්”
“අනේ එපා, මේ වැඩිත් එක්ක”
“ඇයි බයද ගෙදර ගිහින් රෑට කන්න බැරිඋනාම අම්මා අහවි කියල?”
පිලිතුරක් නැති තැන මුව මත ඇඳෙන්නෙ සිනහවකි. ඉතින් ඒ සිනහව ඒ කතාබහ නිම වී නිවස බලා එනතුරුම උශාලිගේ මුවින් ගිලිහුනේ නැත.
එක් මොහොතක, සිනහවකට ඔටුන්නක ඔබ්බවා ඇති මැණිකක් මෙන් මුහුණ අලංකාර කළ හැකි නමුත්, ඊළඟ මොහොතේ, එය මිරිඟුවක් මෙන් වියැකී යා හැකිය. එය නිමේෂයන්හි අනිත්‍ය බව මතක් කර දීමකි.
සිනහවක් ඇති වන්නට බොහෝ හේතු කාරණාද කාලයද අවශ්‍ය නමුත් සිනහවක් මුවින් වියැකී යන්නට එක් තප්පරයක් පමණක් ප්‍රමාණවත් බව උශාලි අත්වින්දේ අනුප විසින් මුහුණ මත පළඳවන ලද සිනහව සමග ගෙට ගොඩ වෙද්දී සාලයේ වාඩි වී හුන් අයියා විසින් නගන ලද පැනය සමගිනි.
වෙනදා විහිලු තහලු කරන අයියාගේ හඬේ වූයේ මෙතෙක් දිනක් උශාලි විසින් අත්විඳ නොමැති ප්‍රාණවත් එමෙන්ම දැඩි බවකි. ඒ හඬ සිත බියට පත් කරවන සුලුය.
“නංගි අද කොහෙද ගියේ?”
ඒ පැනය ඇසුවද අයියා විසින් එවකටත් එයට පිළිතුර දැන හිඳින බවක් ඔහුගේ හඬ තුළ විය. සිත බියෙන් තිගැස්සුණේ ඒ සිතුවිල්ලටය.