සියපත් සඳපිනි සූරියගොඩ දැන් දැන් කොළයක් නටුවෙන් ගිළිහෙන හඬටත් තිගැස්සෙන්නී ය. අල්පෙනෙති තුඩක් බිම වැටුණත් ගැස්සී බලන්නී ය. කිසිවෙකු උගුර පාදනවා ඇහුණත් වෙව්ලා යන්නී ය. එහැම විටෙක ම හද ගැස්ම වේගවත් වන හැටි ඇය අත්විඳී. යුවතිය පපුවට අත තබා ගෙන ටික වෙලාවක් හිඳී.
කහවණුගොඩ මැදුරේ වියානා හිඳින වෙලාවට තත්වය තවත් උග්‍ර වේ. කොයි මොහොතක හෝ සියලු රහස් දැන ගෙන ඇය තමන් වෙත කඩා පනිනු ඇතැයි නියත බියකින් ඈ හද පිරී තිබේ.
“වැරදි කළහම එහෙමයි. හැම වෙලේම බයෙන් ඉන්න ඕනෙ. හිතට කිසි නිදහසක් නෑ”
ඇය තමන් වෙත ම මුමුණා ගන්නී ය. නමුත් ඇය විසින් දැන දැන වරදක් නොකරන ලද බව හිතේ එක පැත්තක් කොඳුරා කියයි. ආදරය හිතට ආවේ ආ ගිය උන් හිටි තැන් දැන ගෙන නොවේ.
තිගැස්ම කෙතරම් වී ද ඒ අතරේ ආදරය හිතට ගලා හැලෙන්නේ ඝණඳුර අතරින් සඳ එළිය කඩා හැලෙන්නා සේ ය. සදාතන ගැන සිතත්දීත් පපුව පිරී යන තමන්ගේකම ගැන හැඟීම මහ පුදුම එකකි. විටෙක පපුව රිදවනා පීඩනයකි. තවත් විටෙක මිහිරෙන් හිත සනහනා සුවයකි. ඔහු දකින්නට ඇගේ ඇස් පතා හිඳී. ඔහු ගේ හඬ අසන්නට ඇගේ සවන් නො ඉවසිල්ලේ හිඳී. ඔහු ගේ සුසුමක් වදින්නට තුන් හිත පෙරුමන් පුරයි. ඒ සුසුමක් ඇගේ සියොළඟ තත් සුසර කරන්නේ දක්ෂ වයලීන් වාදකයෙකු සිය වයලීනය මිහිරියාවෙන් නහවන්නා පරිදි ය. සදාතන වතුර එක වුව ඉල්ලන්නේ ඇගෙනි. තේ එකක් ඉල්ලා ගෙන ම ගෙට ගොඩ වන්නේ ඇගෙනි. “සියපත් වතුර එකාක්” කියා මතු මහළේ සිට ඔහු කෑ ගසත්දී සියපත් නැගී සිටින්නේ බුද්ධ පූජාව එක තත්පරයකින් පමා වූ උවැසියක ගේ කලබලයෙනි.
“හැම එකටම සියපත්ට කෑගහන්නැතුව එයාට බැරිද වතුර එකක් අරං බොන්න”
වියානා අසලක සිටියොත් නො රිස්සුමෙන් කියයි.
“එපා සියපත් ඕව කරන්න. මේ ලංකාවෙ තමයි ඔය ඔක්කොම කෝලං. මේකෙං එළියෙනං මිනිස්සු අනිත් අය මත හැම දේටම ඩිපෙන්ඩ් වෙන්න බලං ඉන්නෑ. කොටිංම තමන්ගෙ වැඩක් වෙන කෙනෙකුට කියන්නෑ. ළමයෙක් වැටුණත් ඒ ළමයටම නැගිටින්න අරිනව මිසක් මෙහෙ අම්මල වගේ හනේ පුතේ ගාගෙන කෑගහලයි පණ කඩාගෙන දුවල ගිහිං උස්සගෙනයි ඒ ළමයව බය කරන්නෑ. වැටුණහම නැගිටින්න ඕන කියන එකයි ඒක මහ ලොකු මැජික් එකක් නෙවේ කියන එකයි එතකොට ඒ ළමය පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නව..ලංකාවෙ පේරන්ටින් වල තියන ප්‍රශ්නෙ තමයි ලොකු මිනිස්සුන්ගෙත් පර්සනැලිටි එක මොට්ට කරල තියෙන්නෙ”
වියානා කෙතරම් දීර්ඝ දේශනයක් පැවැත්වී ද ඇගේ ඉරියව් වල ද්වේශයක් කියා නාමයක් හෝ නැති බව දැනීම තරම් සහනයක් සියපත් ට තව නැති තරම ය. වියානා කියන්නේ ඇත්ත බව දැනුණ ද සියපත් ට වතුර වීදුරුවක් උස්සාගෙන සදාතන වෙත නො දුවා ඉන්නට නො හැකි ය. සමහර වෙලාවට ඔහු වතුර ඉල්ලන්නේ බොරුවට ය. සියපත් ව ඔහු වෙත ගෙන්වා ගන්නට ය. ඇය ඒ බව දනී. දවස පුරා ම ඇයත් සිටින්නේ එකී පිපාසාවේ බව ඇතැම් විට සියපත් දන්නේ නැත. එක මොහොතකට සදාතන ළඟ තනි වෙන්නට ලැබුණහොත් ඒ පිපාසාව සන්සිඳේ. වතුර වීදුරුව ගන්නා ගමන් හැකි නම් ඇය සිය තුරුලට ඇද ගැනීම ඔහු අනිවාර්යයෙන් කරයි. ඒ හිතුවක්කාරකම සිදු වෙන විදිහට සියපත් කැමති ය. ඔහු රිදෙන්නට ඇගේ කොපුලක් සිප ගත්දී දැනෙනා රැවුල් කොට පහසට ඇය පෙරේත ය. ඉතා තදින් ඔහු සිය දෑතත් සිරුරත් අතරේ ඇය තෙරපා ගත්දී, ළැම හංසයන් ඔහු ට තද වී නගනා මිහිරක කෙඳිරුම විඳ ගන්නට සුළු මොහොතකට දෙනෙත් පියවා ගන්නට ඇය රිසි ය. එතකොට හදවත ගැහෙනා හඬ ඇයට ම ඇසේ. ඒ වාගේ කලබලකාරී තත්පරයක වියානා සිහි වීම, එකී සුවබර සිහිනය ඉතා කෙටි නින්දකින් ඇහැරවයි. බිය පත් ලොකු ඇස් වලින් පිටුපස හැරී බලමින් සියපත් තමන් වෙතින් මිදෙත්දී සදාතන ගේ මුවට නැගෙනා සුපුරුදු සිනහව ලස්සන ය!
“බය ගුල්ලියෙක්නෙ”
ඔහු විහිළුවක් කරයි. සියපත් මූණ රතු කර ගෙන බිම බලා ගනී. එතකොට වඩාත් ලං ව ඇදෙස බලා ඉන්නට ඔහු ආස ය. මේ රහස් ප්‍රේමය රහසක් වාගේ තව කල් තිබෙනවා නම් සදාතන කැමති ය. ලෝකයට ම රහසින්, ලෝකයෙන් මුවහ වෙවී පෙම් කරනා සමය මිහිරැති ය. ලෝකයෙන් ම ආශිර්වාද ලැබුවත්, ඊට පස්සේ ඒ මිහිර නැත. ප්‍රේමයේ ඒ හැඩය නැත. එතකොට තියෙන්නේ වෙනම ම හැඩයකි. වෙනස් ම වර්ණයකි.
සියපත් ට දැන් තිබෙනා ලොකු ම සතුට මදිරා සුව වෙමින් හිඳීමයි. සියලු වෙද හෙදකම් හා මානසික තත්වයෙහි යහපත් බලපෑම් එක් වී ඒ ප්‍රාතිහාර්යය සිදු වෙමින් තිබේ. එක අතකට ජීවිතය කියන්නේ ම ප්‍රාතිහාර්යයකි. අප නෙතු විදා බලා නො සිටින නිසා ද අපේ උදාසීන හා අලස ගති නිසා ද අපට ප්‍රාතිහාර්ය පාන්නට නො හැකි වේ. නොහොත් ජීවිතය පානා ප්‍රාතිහාර්ය නො පෙනී යයි!
මදිරා මඳ වෙලාවක් වෝකර් එකේ ආධාරයෙන් ඇවිදින්නී ය. සියපත් ඇය ළඟින් ම ඉන්නේ යම් කිසි අතපසුවීමක් සිදු වුණොත් ඇය අල්වා ගන්නට බලා ගෙන ය. එහෙම ඇවිදින මදිරා ගේ ඇස් ටීක් බෝල වාගේ දිළිසෙයි. ඒ දීප්තිය අයිති බලාපොරොත්තු වලට ය. මිනිසුන් ගේ ඇස් දිළිසෙන්නේ ඒවා බලාපොරොත්තු වලින් පිරී ඉතිරී යන විටයි. බලාපොරොත්තු හෝ අරමුණු වලින් ජීවිතය හිස් වී යත්දී ඇස් වියළී ගන්නට ගනී. ඒවායේ දීප්තිය අඩු වී මළානික වෙන්නට ගනී. මළ මිණී වාගේ දිස් වන්නේ මිලින වූ ඇස් ඇති මිනිසුන් ය. මිලාන වූ පැතුම් ඇති මිනිසුන් ය. සියපත් මුලින් ම කහවණුගොඩ මැදුරට ආ දා, ගිලන් යහන මත වැතිර උන් මදිරා ට තිබුණේ එහෙම මිලින දෑසකි.
මුලින් ම බලාපොරොත්තු දැල්වෙන්නට ගත්තේ මනුල නිසා නොවන බව මදිරා දනී. එය හුදෙක් ජීවිතය ගැන ඇල්මෙන් දැල්වුණා වූ ජීවිතාශාවකි. ගෑනු හිතකට ප්‍රේමයෙන් ඉපිලෙන්නට විරුද්ධ ලිංගිකයෙකු ඕනෑ ම වන්නේ නැත. ඕනෑ වන්නේ මියෙන තුරු හුස්ම ගන්නා හිස් බලාපොරොත්තු වලින් තොර අපේක්ෂා සහගත තත්වයකි. ගහක අලුතෙන් මලක් පිපෙත්දීත්, දලුවක් නැගෙත්දීත්, කුරුලු කූජනයක් ඇසෙත්දීත්, සමනලයෙකු ඉගිලෙත්දීත් ජීවිතය කෙරේ පෙමින් බැඳෙන්නට පිළිවන. ගීතයක් ශ්‍රවණය කරමින් ද කැමති විදිහේ චිත්‍රපටයක දැහැන් ගත වෙමින් ද ජීවිතය විඳින්නට පිළිවන. මිනිසුන් සමග කතා කරමින්, ඔවුන් හා සිනහ වෙමින්, ඔවුන් ජීවත් වෙන්නට දරනා උත්සාහයන් ගැන විමසමින් ජීවතය ගැන නව අරුත් උපදවා ගන්නට පිළිවන. මනුල හමු වන්නේ මදිරා විසින් ඒ විදිහට කප්පාදු කරමින් තිබුණ, කලින් වල් වැදී ගිය ජීවිත මිදුලේ දී ය. ඔහු ද සිටියේ අරමුණක එල්ලෙන්නට මගක් සොයමිනි. ඔවුන්ට ඔවුන් වෙනුවෙන් කරන්නට යමක් ඇති බව දැනෙන්නට ගන්නේ ඒ හමුවීම් වලදී ය. කතා බස් වල දී ය. සොබා දහම තරම් හොඳ නිරීක්ෂකයෙකු විශ්වයෙහි වෙන නැත. සොබා දහම නිතර ම අප ගැන විපරමින් පසු වේ. අපේ අවශ්‍යතා ගැන සෝදිසියෙන් පසු වේ. අප හොයන දේ අපේ ඇස් වලට හසු කොට දෙන්නට රහසිගත සැලසුම් අඳී. ප්‍රාතිහාර්ය යනු ඒවා ය. ප්‍රාතිහාර්යය පේන්නේ ඇස් ඇර ගෙන ජීවත් වත්දී ය.
සදාතන සේ ම සනාතන ද උද්‍යානයේ දී දැන් දැන් මනුල එක්ක මඳක් කතා බස් කරයි.
“පාක් එකේ කතා කළා ඇතිනෙ. අයිය ගෙදර එන්න. තාත්ත කැමති වෙයි අයියව අඳුර ගන්න”
දවසක් සදාතන ඇරයුම් කළේ ය. නමුත් මනුල ගේ සිත්හි දෙගිඩියාවක් තිබිණ. රිය අනතුරක් සිදු වී තිබුණාට මදිරා කියන්නේ ලෝක ප්‍රකට තේ සන්නාමයකට හිමිකම් කියනා පවුලක එක ම දියණියයි. ඔහු වූ කලී වැන්දබු පුරුෂයෙකි.
“මං තාත්ත එක්ක අයිය ගැන කතා කරල ගෙදරට එන්න දවසක් කියන්නං. අක්ක සතුටෙන් නැති නිසා අපි හැමෝගෙම ජීවිත වල කිසිම සතුටක් නැතුව ගෙවිච්ච කාලයක් තිබුණ. සතුට කියන්නෙ කොච්චර වටින දෙයක් ද කියල මං හිතන්නෙ ඒ කාලෙදි අපි කවුරුත් තේරුං ගත්ත”
සදාතන මනුල ගේ උරහිස ට තට්ටුවක් දැමුවේ ය. මදිරා ගේ ඇස් සිනහ වෙමින් තිබිණ.
වියානා ජයකොඩි එදා සියපත් ගේ ගෙදර නතර වෙන්නට ගියේ සදාතන ගේ ලෝකයේ ඇය වෙනුවෙන් වෙන් වූ කුඩා හෝ ඉඩක් නොවන බව දැන ගෙන ය. ක්ෂණික රිදුමක් ඇයට නො දැනුණා ම නොවේ. නමුත් තමුන්ට ඉඩක් නැති තැනක අනවසරයෙන් හෝ බලයෙන් වදයක් වෙමින් රැඳෙන්නට ඇයට උවමනා වූයේත් නැත. නමුත් ඇය ටික කලක පටන් සිය අනාගතය ගොඩනගමින් සිටියේ සදාතන කේන්ද්‍ර කොට ය. නමුත් සැබවින් ඒ සදාතන නොව සනාතන බව ඇය දැන ගත්තේ එදා ය. එක අතකට එතැන වන්නේ නමක වෙනසක් පමණකි. නමක ද අකුරක වෙනසක් පමණකි. ඇය තැනූ සිහින මාළිගාව ගැන වගකීමක් ගන්නට සදාතන ට කොහෙත් ම නුපුළුවන. නමුත් මේ බොර දිය ඇතුළේ කිසිවක් පැහැදිලි ව දැකිය නො හැකි ය. වියානා සන්සුන් ව සිටියේ බොර දිය පෑදෙන තුරාවට ය. ඇයත් කලබල කළොත් වන්නේ තව තවත් දිය බොර වෙන එක පමණක් බව වියානා දැන සිටියා ය.
ඇය කහවණුගොඩ මැදුරට යන එන එක ගැන කිසිවෙකුට ප්‍රශ්නයක් වූයේ නැත. ඇය වෙනුවෙන් වෙන් වූ ඉඩක් කාලයක් තිස්සේ ම එහි පැවතී ඇතැයි හැම කෙනෙකු ම නිහඬ එකඟතාවයකට ආවා සේ ය. වියානා ගේ දඟකාර සිනා කතා නැති විටෙක කහවණුගොඩ මැදුරේ අමුතු පාළුවක් ඇති වෙන හැටි සියපත් බලා සිටියේ ගැස්මෙනි. තමන් නිසා මේ ගෙදරට ඇය නැති අඩුව කිසි දා නො දැනිය යුතු ය!
සුපුන් ගැන සිදුවීම සදාතන ගෙන් දැන ගත්තා ට පසු දා ශාන්ත උදයෙන් ම ඔහු ගේ ගෙදරට ගියේ ය. එතකොටත් ඔහු නිදි ය. හදිසි උවමනාවකට කියූ නිසා සුපුන් ගේ මව විසින් පුත්‍රයාව අවදි කරනු ලැබුවා ය. ඇය සිතුවේ ශාන්ත ගේ කෑම කඩයේවත් සුපුන් ට රැකියාවක් දෙන්නට යනවා කියා ය. එක දිගට කොතැනකවත් රැකියාව නො කරන, බයිසිකලයට තෙල් ගැසීම ඇතුළු ඔහු ගේ සියලු ම පෞද්ගලික අවශ්‍යතා සඳහා ද ගෙදරින් මුදල් බලාපොරොත්තු වන සුපුන් ව සැබවින් ම ගෙදරට බරක් වී තිබිණ. ඇතැම් විට ඔහු ගෙදරින් මුදල් සොරා ගත්තේ ය. ඇඟ පත නො වෙහෙසා කළ හැකි කුළී වැඩක් ඉඳ හිට කොට මිතුරන් සමග මත් වීමට මගක් සොයා ගත්තේ ය. එසේ නැති දවසට මිතුරන් ගේ පහනෙන් එළිය බලත හැකි විය.
හදිසියේ නිදි ලෝකයෙන් පියවි ලෝකයට කැඳවන ලද ඔහු ගෙයින් මිදුලට ආවේ පෙරේතයෙකු සේ ය. කොණ්ඩා රැවුල් මාස ගණනකින් කපනු නො ලැබ අපිළිවෙලට වැවී අවුල් වී තිබිණ. මූණ කටින් තවමත් මත් බව කඩා හැලෙන්නේ ය. දින ගණනාවකින් දිය නා නැති ඔහු ළඟ හඩු හඳක් ශාන්ත ට දැනිණ. සුපුන් හරියට අවදි වූයේ ශාන්ත ව දුටු ඉක්බිති ය. සැනෙන් ඔහු ට පහු ගිය දා සිදුවීම සිහි විය. පොලීසියෙන් පැන්නා වාගේ පසු නො බලා දිව යාමේ සිතිවිල්ලක් පහල වී ද දැන් එසේ කරන්නට පමා වැඩි බව ඔහු ට දැනී නො දැනී ගියේ ය.
“සුපුන්…මං මේ බොහෝම හොඳින් උඹත් එක්ක කතා කරල තාත්ත කෙනෙක් විදිහට අවවාදයක් දීල යන්න ආවෙ. අපි ගෙදර නැති අතරෙ උඹ ගෙට රිංගල කරන්න ගිය නරුම වැඩේ ගැන අපි දන්නව. පොලීසියෙ ඇන්ට්‍රියක් දානවද නැත්තං උඹට අවවාදයක් දීල ඉන්නවද කියල දහ අතේ කල්පනා කරලයි මං මේ ආවෙ. අපේ ගෙදර උන්දා වුණත් කිව්වෙම පොලීසියට කියල උඹව කුදලගෙන යන්න අරින්න ඕන කියල. සුපුන් මේක හොඳට අහ ගනින්. කෙල්ල වැඩ කරන්නෙ ලොකු තැනක. ඒ මහත්තුරුන්ගෙ එක කෝල් එකකට පුළුවන් උඹව කූඩු කරල හොඳට නෙලන්න විතරක් නෙවෙයි අඩු ගානෙ මාස හයකට උඹව මහ උළු ගෙදර යවන්න. අනික ඒක සෙල්ලං වරදක් නෙවෙයිනෙ. ගෑනු ළමයෙක්ට අතවර කරන්න ආවයි කියන එක”
යමක් කියා ගන්නට සුපුන් ගේ කට වෙව්ලුවේ ය. නමුත් එසේ කිරීමේ හැකියාවක් ඔහු ට වූයේ නැත. සති දෙකක් මැගසින් බන්ධනාගාරයේ තැප මීට පෙර ඔහුට අත්දැකීමක් තිබේ. ඒ ගංජා සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ රස දන්නා නිසා ආයේ බන්ධනාගාර ගත වීමක් ගැන හිතෙත්දීත් ඔහු ගේ දෙපා මැන්ඩලින් ගසයි.
“ගමේ එකෙක් හිරේ යවල අපිට සතුටු වෙන්න ඕන කමක් නැති නිසයි මේ ටික කියල යන්න ආවෙ. ඇයි බං උඹට ලැජ්ජ නැද්ද…ඔය කෙල්ල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම උඹට කැමති නෑ කියල කියද්දි නෝන්ඩි වෙවී ඔහොම පස්සෙං එන්නෙ…පොඩ්ඩක් හිතපංකො…දුප්පත් අපි ළඟ ඉපදුනාට ඒ දරුවගෙ පෙනුම ගැන. උඹ වගේ හෝතම්බුවෙක්ට කැමති වෙන්න ඕනද බං ඒ කෙල්ල…පොඩ්ඩක් ඔළුව කල්පනා කරල තමුන්ට ගැලපෙන ගෑනියෙක් ගනිංකො. ගෑනු ගන්න කලින් පොඩ්ඩක් නාල කරල ඔය කොණ්ඩෙ රැවුල කපාගෙන මනුස්ස පාටට ඉන්න බලහංකො”
ශාන්ත මිදුලේ ලෑලි බංකුව මතින් නැගිට ගත්තේ මේ කාරණය මත්තේ තව දුරටත් මිඩංගු කරන්නට කාලයක් ඔහු ට නැති බව මතක් වූ හින්දා ය. සුපුන් දත් මිටි කෑවේ ය. මේ තරම් දරුනු නින්දාවකට මීට පෙර කිසි දාක ලක් වී නැති බව ඔහු ට විශ්වාස ය.
“හැබැයි පුතෝ මෙහෙම හොඳින් කියන්නෙ මුල් වගේම අවසාන වතාවට. ආයෙ මෙහෙම දෙයක් වෙන්න ඇරල මං නරක මිනිහ කියන්න එපා”
ශාන්ත ඉක්මන් ගමනින් පාරේ ඈතට ඈතට යන හැටි ඔහු කඩුල්ල ළඟට වී බෙල්ල කසමින් බලා සිටියේ ය. ඊට පස්සේ සුපුන් ආප්ප කඩේටවත් ආවේ නැත. සියපත් ඈතක දුටුවත් ඔහු මග හැර ගියේ ය. නමුත් හිත යට යමක් වැඩ කරමින් තිබිණ.