“මට හිතාගන්න බැරුව හිටියෙ මොකක්ද අරගන්නේ කියල”
උශාලි සිනාසෙමින් තමන්ගේ දෑස දෙස බැලුවේ ඒ වචන වල එල්ලීය.
“ඇයි? කලින් උපන්දින වලට කවුද පාටි එක එහෙම රෙඩි කරේ?”
“ඉස්සර ඉතින් ෂෝබිතා තමයි ඔක්කොම රෙඩි කරේ. එයාගේ යාලුවො එහෙමත් ගොඩක් ඉස්සර ආවා”
“ලොකු බර්ත් ඩේ පාටීස් ගන්නවද ගෙදර?”
“ලොකු කියන්නෙ ඔය එක එක තිම්ස් වලට එහෙම තමයි මුල් කාලේ ඔක්කොම වගේ පාටීස් ගත්තෙ”
ඒ වෙලාවේ අනුපත් උශාලිත් උන්නේ නුගේගොඩ කිඩීස් කෝනර් එකෙන් දුලන්‍යාගේ උපන්දිනයට අඳින්නට ඇඳුමක් තෝරමිනි. රෝස පාට කහ පාට සුන්දර හුරුබුහුටි ඇඳුම් ලෝකයක් තුළ සිරවී ඉද්දී උශාලිට දැනුනේ තමන් යලිත් කුඩා කාලයට ගියා වැනි හැඟිමකි.
“දැන් අපි ඇඳුමක් ගන්නේ දුලාට විතරද?”
කෙලවර රාක්කයක එල්ලා ඇති බාබි රෝස පැහැ ගවුමක් අතේ තබාගෙන එය තමා වෙත පෙන්වමින් සිනාසෙන උශාලි දෙස අනුප බැලුවේ කුතුහලය ගැබ්වුණ හැඟීම් සහිත දෑසකිනි.
“ඇයි එහෙම ඇහුවෙ?”
“ඉතින් බබා ගෙ පාටිය වුණාට ඔයාටත් ලස්සන ඇඳුමක් ගන්න ඕන නේද? එන අය බලයි නැත්තම්”
ඒ වචන වලට හිමින් සැරේ හිස ඔසවා සිනාසෙන අනුපගේ දිගැති බෙල්ල වටා අත යවා සිප ගන්නට සිතෙන හැඟීම් ගොන්න උශාලි වලකවාගත්තේ අපහසුවෙනි.
“අපිව බලන්න ඉතින් කවුරුවත් එන්නෙ නෑනෙ. අනික ඉතින් ලස්සනට අඳින්නෙ කාට පේන්නද? ගෙදර අය විතරනෙ එන්නෙ”
“ඔයා හිතෙන් දුක් විඳිනවා වැඩියි”
“ඇයි?”
“මං දන්නව ඔයා වයිෆ්ගෙ ප්‍රශ්නෙ හන්ද ගොඩක් අවුලෙන් ඉන්නෙ කියල. ඒත් ඔයා දැන් ඒකට තීරණයක් අරගෙන ඉවරනෙ. ඩිවෝස් වෙනව කියල තිරණේ ගත්තෙ හොඳට හිතල බලල කියල තමයි මම හිතන්නෙ. ඉතින් එහෙම එකේ ඔයා තව දුරටත් හිතෙන් ඔය ගැන වේදනා විඳින්න එපා. ඔයාට දුක්වෙන්න සාධාරණ හේතුවක් තියෙන බව මම දන්නවා.
ඒත් සමහර වෙලාවටා ඔය වගේ ප්‍රශ්නයකට අපි හිතල බලල තීරණයක් දුන්නයින් පස්සෙ අපි කරන්න ඕන දේ තමයි මුලින්ම ඒ ප්‍රශ්නෙ හිතෙන් පොඩ්ඩක් හරි අකක් කරගන්න එල. මොකද නැත්තම් ප්‍රශ්නෙට මොන විසඳුම දුන්නත් වැඩක් නෑනෙ. ඔයා ඒ ප්‍රශෙන් තියෙද්දි වගේම නැති කාලෙත් දුක් විඳින එකනම් කරල තියෙන්නෙ.
ඔයා දැන් දුලා ගැන වගේම ඔයා ගැනත් හිතන්න. සම්පූර්න සන්තෝසෙන් ඉන්න අමාරු ඇති. ඒත් පොඩ්ඩක් හරි සන්තෝසෙන් ඉන්න බලන්න”
උශාලිගේ වදන් ඔස්සේ තැවරී එන කරුණු ඒ විදියටම පිළිපදින්නට හැකි වුණානම් මොනතරම් අපූරුද යන්න සිතේ. එය හැඟීමකින් පවා සිතට සැනසුමක් ගෙන එන වදන් පෙළකි. එහෙත් තමා මේ මොහොතේ ගිලී හිඳිනා ප්‍රශ්නය එසේ පහසුවෙන් හිතෙන්වත් ජීවිතයෙන්වත් ඉවත් කර දමනට හැකියාවක් නැති දෙයක් බව උශාලිට තේරුම් කර දෙන්නට අපහසුය.
“මේ ගවුමද අපි ගන්නේ?”
තමා දෙස එක එල්ලේ බලා හිඳින උශාලිට සිනා සී ඇය අත වූ බාබි රෝස පැහැ ගවුම අනුප අතට ගත්තේය. එය සැබවින්ම සුන්දර ගවුමකි. උඩු කය සුදු පාට ලේස් වැස්මකින්ද, පහල කොටස රෝස පැහැ තට්ටු සායකින්ද සකසා තිබූ ඒ ගවුමටම අමුණා එවා තිබෙන කොණ්ඩ පටියක්ද වේ.
මුදල් ගෙවා ගවුමද රැගෙන රියට නැගි පසු අනුප බලපොරොත්තු වූයේ දිවා ආහරය සඳහා කොහේ හෝ යන්නටයි.
“කොහෙද අපි යන්නේ?”
ඒ තමාගෙන් ඇසූ පැනයක්ද? නොඑසේනම් අනුප විසින් තමාටම කියාගත්තක්ද යැයි නොදන්නා බැවින් සිනාසී ඔහු දෙස බලා හිඳිනවාට වඩා කරන්නට දෙයක් උශාලිට තිබුනේ නැත. තමන් හමුවන වෙනත් දිනයක මෙන්ම මෙදා ද මද වැස්සක් වැටේ. ඒ වැසි බිඳු හෙමින් සැරේ විත් වාහනයේ වින්ඩ්ස්කීනයට වැටෙද්දී ඒ තරම්ම වේගයකින් සිත ගැහෙන බව ද දැනේ. මේ ප්‍රේමය බව උශාලි නොදන්නවා නොවේ. අප්‍රකාශිත ආදර කතා යැයි කියන්නෙ මෙවන් හැඟීම්වලට විය හැක. ආදරය ගැන වචනයක්වත් එකිනෙකා හා නොපවසා බෙදා හදා ගන්න මේ හැඟීම් කන්දරාව දකින මිනිසුන් වැරද්දක් ලෙස දකින්නට හැකි වුවද ඒ ගැන වගක්වත් උශාලිටවත් අනුපටවත් තිබුනේ නැත. සමාජයේ කීම් මත ජීවත් වීම බොහෝ විට තම සතුටට බාධා පමුණුවන බව අත්දැකීම්වලින් උගත් මිනිසෙකු සහ ගැහැණියක ලෙස නිහඬව මේ හැඟීම් විඳදරාගන්නට උශාලිත් අනුපත් නිහඬ එකඟතාවයකට පැමිණ තිබුණා වැනිය.
“ම්ම්ම්”
“කොහේ හරි යන්”
“මම කොහේ එක්කගෙන් ගියත් යන්න එනවද?” ඔහු අසන්නේ තම සිත කිතිකවන්නට සමත්වන ඒ සුන්දර සිනහව මුව මත රඳවාගෙනය. “ඔය වගේ හිනාවෙන්න එපා, මට ලැජ්ජයි” කියා කියන්නට තරම් සමීපතාවයක් දෙදෙනා අතර වුවද එසේ පවසා ඒ සුන්දර සිනහව දැකීම නැති කරගන්නටද අදහසක් සිතේ නැඨ්හ. විත විලිබර කරනට සමත් සිනහවක් වුවද එහි වන ඒ කිතිකවන සුලු හැඟීමට සිත ලොල් වඩයි. ඒ වූ කලී වචනයෙන් කියා නිම කරනට හැකි අන්දමේ හැඟුම් දහරාවක් නොවේ.
“බයක් නෑ ඉතින් මට එහෙම යන එක. මං දන්නවනෙ ඔයා එහෙම මාව වැරදි තැනකට අරගෙන යන්නෙ නැති බව”
ඒ වචන පමණක්ම නොවේ. ඒ වචන වල තැවරී තිබෙන්නෙ තමන් ගැන අපමණ විශ්වාසයක් බව අනුප නොදන්නවා නොවේ. ඒ විශ්වාසය සදාකල් රකින්නට සිත පොරොන්දු වී හමාර වුවද මේ ඒ බව වචනයෙන් කියන්නට සුදුසු වේලාව නොවන බව අනුප නොදන්නවා නොවේ. ෂෝබිතා සමග නිමකරනට තිබෙන බැඳීම් සියල්ල අවසන් වූ පසු උශාලිට තම හැඟීම් පවසන්නට බලා හිඳීම පමාවට කරුණක් බව නොහැඟේ. පමා වී අහිමි වන්නට දෙයක් නොවන බව අනුපට ස්තිරය. එහෙත් ඉක්මන් වී ගන්නා එක් තීරණයක්, එක් වදනක් මේ සුන්දර බැඳීම සහ ඒ බැඳීම මැණිකක් මෙන් රකිනා විශ්වාසය බිඳ හෙලනට හේතුවක් විය හැකි බව පමණක් අනුපට පැහැදිලිය.
“අපි කොහෙන්ද කන්නෙ කියල මං මේ කල්පනා කරේ”
“අනේ ගොඩක් මිල තැනකට යන්න එපා අනුප. ඔයා හැම වීකෙන්ඩ් එකේම කන්න බොන්න සෑහෙන වියදම් කරානෙ. අද මම පේ කරන්නද?”
“අනේ මේ. පිස්සු නැතිව ඉන්න අනේ. ගෑණිගෙන් කන්න බොන්න මම මේ හම්බ කරන්නෙ නැති මිනිහෙක්ද?”
දෙතොල මතට සිනාවක් ආවේ ඇත්තටම සතුටටය. “ගෑණිගෙන්” කියන්නේ මිනිස්සු ගෞරවාන්විත ඇමතුමකට භාවිතා කරන්නට යොදා නොගන්නා වදනක් වුවද ඒ වචනයේ අස්සේ සැංගි තිබුනේ තමන්ගේ කමකි. අයිතිවාසිකමකි. ලෝබකමකි. ඒ වනාහී සිත පුරා දහසක් මල් පුබුදුවාලන්නට හේතු කාරණාවක් වන තමන්ගේ කමකි, ලෝභ කමකි, අයිතිවාසිකමකි.
ගෑණියෙක්ගෙන් යන වදන භාවිතා කරන්නට පුලුවන්කම තිබෙද්දිත් නිරායාසයෙන් මෙන් ඔහුගේ මුවින් නිකුත් වූ ගෑණි යන වදන ඔස්සේ තමා හැමදාමත් දකින හින කන්දරාව අලුත් වර්න රැසකින් වර්ණ ගන්වන්නට පුලුවන්. ඉතින් මේ හෙමින් හෙමින් එළඹෙන්නෙ ජීවිතයට සතුට ගෙන එන දවස් පමණක් බව පැහැදිලිය.
“කොඳ කැකුළු තරුද සතපා..
රැයෙහි කොපුල් රහසින් සිඹ
හිරු දිලෙනා.. මද්දහනේ
මගේ සඳ ඇවිත්
මගේ සඳ ඇවිත්”
වාහනයේ රේඩියෝවෙන් හිමින් සැරේ ගැයෙන්නෙ වික්ටර් රත්නායක මහතාගේ සුන්දර ගීයක පද පේලිය. ඒ සිත සනහන වචනය. හිත් දෙකක් එකට යාවී අනෙකා තම ජීවිතයට බට සඳක් බව සිතමින් හුන් මොහොතක ඒ ගීයේ මිහිරියාව වෙන කවදාටත් වඩා හොඳින් දැනෙන්නට විය.
වාහනය විත් හෙමින් සැරේ නැවතුනේ ග්‍රෝව් අවන්හලේය. ඒ ඉතින් සුපුරුදු හමුවීම් තොටුපලය. එතන ඉන්නා සේවකයන් පවා මේ කුරුලු ජෝඩුව ගැන නොදන්නවා නොවේ. මැන්ගෝ ට්‍රි අවන්හල අසල තුරු සෙවණ යට සුපුරුදු අසුන මෙදා වෙන කුරුලු ජෝඩුවකට සෙවණ සලසමින් හුන් නිසාවෙන් උඩු මහලට යන්නට අනුප තීරණය කලේ නිස්කාන්සුව විඳගන්නට සිතාය. සිත කලබලයෙන් පිරි ඇති දිනයක නිස්කාන්සුවක් ලැබෙන්නෙ මෙවන් මොහොතකින් පමණකි.
අනුප කෑම ඇණවුම් කර එනතුරු ගෙවන කාලය අතරතුරේ උඩුමහලට ඉහලින් විහිදුණ බෝගන්විලා ආරුක්කුව යට නිස්කාන්සුවේ වාඩි වී උශාලි බලා උන්නෙ කලබලකාරී මහ මාර්ගය දෙසය. දහවල් අව්ව සැර නොදැනෙනා මෙන් කලබලයෙන් එහා මෙහා යන මිනිසුන් ය. අත් අල්ලා එහෙ මෙහ යන තරුණ ජෝඩුය. නුගේගොඩ කැන්ඩි වෙළඳ ප්‍රදර්ශනාගාරයට එන යන මිනිසුන් ය. එතරම්ම කලබලකාරී නුගේගොඩ නගරය මැද්දේ මෙතරම්ම නිස්කාන්සුවක් විඳින්නට හැකිද යන පැනය සිත තුලට ගෙන එන තරමට මේ අවන්හල නිහඬය. හෙමින් සැරේ විඩා නිවන්නට මෙන් හමා යන සිහිල් සුලඟ සිත තුල ඇති නිස්කාංසුවට කිසිසේත්ම බාධා පමුණුවන්නේ නැත.
කෙල්ලෙක්ට මේ මහපාරක මෙතරම් ඇස් කණ් අයා එක එල්ලේ දකින්නට තිබෙන්නේ මොනවාද කියා අනුපට සිතාගන්නට නොහැක. එහෙත් ඇය ඉන්නේ කුමක්දො විශාල කල්පනාවක එබීය. ඒ කල්පනා සාගරයේ එක දිය බිඳක් හෝ වන්නට තමාට ඉඩකඩ තිබේද යන්න පිලිතුරු අසා දැනගන්නට සිතෙන අන්දමේ පැනයකි.
එහෙත් එකී කල්පනාව බිඳ දමනට වඩා නිසොල්මනේ මොනවදෝ කල්පනා කරමින් එක එල්ලේ පාර දෙසම බලා හිඳින ඇය දෙසම බලන්නට සිත කියයි. ඇය රසඳුනකි. නෙතට පමණක් නොවේ සිතටත්.බෝගන්විලා මල් යාය යට ලා රෝස් අපැහැ කුර්තා බ්ලවුසයක් සහ සුදු පැහැ ලිනන් කලිසමක් හැඳ, රිදි පැහැ එල්ලෙන කරාබු යුවලක් පැළඳ උන් ඇයගෙන් ඉස්මතු වී පෙනෙන්නේ සිත මෙතෙක් නොදැකි අන්දමේ ලස්සනකි. ඇය බෝගන්විලා මලක් තරමටම ලස්සනද එහෙත් නැතිනම් බෝගන්විලා මලකටත් වඩා ලස්සනද යන්න ප්‍රශ්නයකි.
කොහොම බැලුවත් ඇය ලස්සනය. සිත සනසවන තරම් ලස්සනය.
“මොනවද කල්පනා කරන්නේ?”
ගැස්සුණේ ඒ කල්පනා ගංගාව කලතන්නට මෙන් හදිසියේ ආ වදන් වලටය.
තමාට එහාපසින් හිඳ තමා දෙස සිනාසෙමින් බලා හිඳින අනුප ආවේ කොයි මොහොතේ දැයි උශාලිට නිනව්වක් නැත.
“මම දැක්කෙවත් නෑ ඔයා එනවා”
“දකින්නෙ කොහෙද? ඔයා පාර දිහාම බලාගෙන කල්පනා කර කරනෙ හිටියෙ. ඇඉල්ලත් මං ටිකක් වෙලා කල්පනා කරා මං ආව බබ දැනගනීවිද කියල. බැරිම තැන කතා කරේ”
ඒ වචන වල තැවරී ඇති පිරිමි කම සිත කුල්මත් කරවන්නකි.එවන් සුන්දර පිරිමියෙකු දමා යන්නට තරම් ෂෝබිතා වෙනත් පිරිමියෙකු ළඟ දැක්කේ මොනවාද කියා උශාලිට සිතාගන්නටවත් නොහැක.
“දෙයක් අහන්නද?”