සියක් සියපත් 31

සියපත් ගේ ඇස් යුග කඳුළු පොකුණු යුග්මයක් වී පැවතිණ. ඇය හැඬුවා ය. හීල්ලුවා ය. පංකජී නො දැක්කා, නො ඇසුණා සේ සිටියා ය. මුරණ්ඩු කමට මුවෙහි අගුලු දමා ගෙන සිටියා ය. නැගණිය වැතිර සිටිනා යහන ළඟ බිම වැටී සියපත් පොළොවේ පස් නොකෑවා විතර ය.

“ඔයා හොඳට ම දන්නව ඌ මොන තරං තිරිසනෙක්ද කියල. මහ කාලයක් ගියාද ඌ මේ ගෙට රිංගල මට කරදර කරන්න හදල…මං ඔයාගෙ අක්ක නංගි. ඔයාට ඒ ගැන කිසි ගාණක් නැද්ද…එහෙම තිරිසනෙක්ට ආදරේ කරන්න තියා…ඌගෙ හුස්මක් වදින්නවත් හිතුවෙ කොහොමද ඔයා…ඊටත් වඩා සුපුන් කියන්නෙ මිනිහෙක්ද…මොකෙද්ද ඌ…මිනිස්සුන්ට ගරහනව නෙවෙයි. ඒත් ඔයා දවසක කසාද බඳින්න ඕන එහෙම මිනිහෙක් නෙවෙයි. වැදගත් විදිහට ඔයා ජීවත් වෙන සමාජෙ ඉස්සරහට අරං යන්න පුළුවන් මිනිහෙක්. හරි බැන්දෙ නෑ කියමු. ඒ වුණත්…මෙහෙම එකෙක් එක්ක යාළු වෙලා ඉඳල හරි මොකටද…දවසක ඔයාට පසු තැවෙන්න වෙයි මෙහෙම එකෙක් එක්ක යාළු වෙලා හිටිය එක ගැනත්. මං දන්නව මීට කලින් ඔයා කොල්ලෙක් එක්ක යාළු වෙලා නෑ. සුපුන් ඔයාව රවට්ටල. ඌ හදන්නෙ අපේ අහිංසක පවුලෙන් පලි ගන්න. ඉස්සරහට හොඳ පිරිමි ජීවිතේ ඉස්සරහට එයි නංගි. කොල්ලෙක් එක්ක යාළු වෙන්න එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකද ඔයා ලස්සන නැති කෙල්ලෙක්ද…ඉගෙන ගෙන කැම්පස් ගියාම පිරිමි ඕන තරං කකුල් දෙක ළඟට ගෙන්න ගන්න පුළුවන්. මං මේ ගැන අම්මටයි තාත්තටයි කියන්නැතුව ඉන්නං. ඔයා මට පොරොන්දු වෙන්න…ඔය සම්බන්දෙ මෙතනිංම නවත්තනවයි කියල පොරොන්දු වෙන්න”

සියපත් පංකජී ගේ දෙපා අතින් පිරිමැද්දා ය. පංකජී කකුල ඇද ගත්තා ය. ඇය පෙන්වූයේ සියපත් මේ වෙලාවේ ඇයට මොන තරම් වදයක් වී ඇතිවාද කියා ය. 

“පොරොන්දු වෙන්න නංගි. මගෙ සුදු නංගි…මීට පස්සෙ ඒ මිනිහත් එක්ක සම්බන්දයක් තියා ගන්නෙ නෑ නේද…”

පංකජී යක්ෂාවේශයෙන් වාගේ නැගිට ඇඳ මත හිඳ ගත්තා ය. තමන් දෙස ආදරයෙන් ම බැලූ, සහෝදරකම් දෝරෙ ගැලූ ඒ ඇස් වල මේ තරම් ක්‍රෝධයක් කොයින් දැයි සියපත් ට සිතා ගත හැකි වූයේ නැත.

“මේ අක්කෙ. ඔයා මහ ලොකු සැලරි එකක් ගත්තයි කියල මේ ගෙදර හැම කෙනෙක්ගෙම ජීවිතේ පාලනය කරන්න ඔයාට අයිතියක් තියනව කියල හිතන්නෙපා හරිද…මේක මාර වැඩක්නෙ. මට කියලත් පුද්ගලික ජීවිතයක් තියනවනෙ. ඇයි මේ හැම කෙහෙල්මලටම ඇඟිලි ගහන්නෙ…ඔයා සුපුන්ට අකමැතිනං නිකා ඉන්න. ඒ කොල්ල බලෙන් ඔයාගෙ ඇඟේ එල්ලෙන්න එන්නෑනෙ දැං. ඒ වගේම මං සුපුන්ට කැමතිනං ඔයාට අයිතියක් නෑ මගෙ තීරණ වලට අත දාන්න”

සියපත් ගේ මුව විවර වූ ගමන් පියා ගත නොහී මඳ වෙලාවක් එසේ ම තිබිණ. ඊළඟට ඇය අත් දෙකෙන් ම මුව වසා ගෙන හැඬුවා ය. කෑ ගසමින් හැඬුවා ය. බිම පෙරළී හැඬුවා ය.

“විකාර”

කියමින් පංකජී ඇඳෙන් නැගිට මිදුලට ගියා ය. බෝ වෙලාවක් ඉකි බිඳීමෙන් පස්සේ සියපත් මග යන්නට පණ නැති ගානට බිත්ති දිගේ වාරු වෙවී ඉස්සරහාට ගියා ය. පංකජී මිදුලේ ලෑලි බංකුව මත හිඳ ගෙන මූණ පුප්පා ගෙන සිටියා ය. දොරකඩ උළුවස්ස මත සිට ගෙන සියපත් දොස් කියන්නට වූවා ය.

“තමුසෙ දන්නැද්ද අපිට කන්න අඳින්න දීල ඉස්කෝලෙ යවල මේ තත්වෙට අරං එන්න අම්මයි තාත්තයි වින්ද දුක. ඒ මිනිස්සු ලිප් බොකු වල දුං කාල මැරිල යන්න ඕන නෑ කියලයි හැම තිස්සෙම මං හිතුවෙ. මට වැහිච්ච විශ්ව විද්‍යාලෙ දොර කොහොම හරි තමුසෙ ඇර ගනී කියලයි මං පපුව පුම්බගෙන බලං හිටියෙ. තමුසෙ දන්නව කීයක් හරි හම්බ කරන්න ගත්ත දවසෙ ඉඳලම මං කිව්වෙ අඩුපාඩුවක් නැතුව තමුසෙට උගන්නනව කියල. මේ ඉගෙන ගත්ත හැටිද ගොං වැස්සියෙ…සුපුන් වගේ මිනිහෙක් එක්ක රස්තියාදු ගහන්න හිතෙන තරමටම තමුසෙ බූරුවෙක්ද…”

එවර සියපත් ගේ වචන අතරට වාවා ගත නො හැකි කෝපයක් ආරූඩ වූයේ ය. පංකජී ගස්සා ගෙන ගෙට යන්නට ගියා ය. සියපත් ඇගේ අතකින් අල්වා නතර කරන්නට තැත් කළ ද ඇය අත ගසා දමා යන්නට ගියා ය. එවර සියපත් පිස්සියක සේ බොජුන් හල දක්වා ම දිව යන්නට වූවා ය. අතර මග දිගට ම ඇගේ ඇසින් වට කඳුළු ඉහිරිණි. ගමේ පාරවල් දිග හඬමින් දිව යාම මොන වාගේ අයහපත් බලපෑමක් සිදු කරාවිද කියා මේ වෙලාවේ ඇයට සිතන්නට ඕන වුණේ ම නැත. දන්නා හඳුනන කෙනෙකු ඇදෙස හොඳින් බලා, ‘ඇයි ළමයො කරදරයක්ද’ කියා ඇසූහ. ඒ කිසිවෙකුට පිළිතුරු දෙන්නට සියපත් නතර වූයේ නැත.

කිසා ගෝතමිය වගේ හඬා ගෙන කඩයට ඇතුළු වූ දියණිය දැක මව් පිය දෙදෙනා ම ක්ෂණික ව ගල් ගැසුනහ.

“අනේ තාත්තෙ…අපි විනාස වුණා තාත්තෙ”

කොණ්ඩය අවුල් වූ, ගෙදරට අඳිනා ඇඳුමක් පිටින් කඩයට දිව ආ, හැඬීමෙන් හෙම්බත්ව සිටින සියපත් ගේ මිලාන වූ මූණ දැක ශාන්ත ට සේ ම සුජීවා ට ද සිහි වූයේ එක ම එක දෙයකි. ඒ සුපුන් විසින් ඇයට කරදරයක් කරන්නට ඇති බවයි. ශාන්ත තදින් අත මිට මොලවා ගත්තේ ය. සුපුන් වාගේ විෂකුරු සත්වයෙකු විශ්වාස කිරීම ගැන තමන්ට ම ශාප කොට ගත්තේ ය.

“අනේ රත්තරනේ මොකද්ද මගෙ පුතේ වුණේ…අර සුපුන් කියන තිරිසනා මුකුත් කරදරයක් කරන්න ආවද ආයෙ…”

සියපත් වහා හිස දෙපසට සැළුවේ අම්මලා ගේ වැරදි අවබෝධය පහ කරනු වස් ය. ඉහළට ඇද අල්ලා ගෙන උන් හුස්ම ශාන්ත පහළ හෙලූයේ ඉනික්බිති ය. සුජීවා සැනසීමෙන් පපුව අල්වා ගත්තා ය.

“ඒත්…ඌ අපෙං පළි අරං තාත්තෙ. මාපිලෙක් වගේ පන්න පන්න පළි ගන්නයි දැං ඌ හදන්නෙ”

“මොකද්ද පුතේ වෙලා තියෙන්නෙ…තේරෙන්න කියන්නකො”

ශාන්ත නො සන්සුන් වූයේ ය.

“තාත්තෙ සුපුන් නංගි එක්ක යාළු වෙලා”

සියපත් ඒ අන්තිම වාක්‍යය කීවේ අවසන් හුස්ම හෙළන්නා සේ තමන් ගේ ම අත් දෙකෙන් උගුර හා පපුව බදා ගෙන ය. මුළු සර්වාංගය ම දැවෙන්නා සේ ඇයට දැනිණ. සිය සහෝදරිය වෙනුවෙන් ඇය උහුලා ගෙන සිටියේ, කුසයේ තියා ගෙන දුක් විඳ බිහි කළ දරුවෙකු ගැන අම්මා කෙනෙකුට දැනෙන ආකාරයේ අසීමිත වේදනාවකි. අක්කලා කියන්නේ එහෙම ප්‍රාණීන් කොට්ඨාශයක් බව සියපත් දැන සිටියේ නැත. අක්කලා ට සිය සහෝදර සහෝදරියන් වෙනුවෙන් කළ නො හැකි දෙයක් නැති බව මේ වන තුරු ඇය දැන සිටියේ නැත.

“මං ඕකව ම ර න ව තාත්තෙ. තාත්ත මේවට මැදිහත් වෙන්න එපා. අර ගොං වැස්සි කියන දේ අහන්නැත්තං…දෙයියම්ප මං ඕකව…”

“පුතේ…පුතේ…මේ අහන්න…පොඩ්ඩක් ඉවසල සන්සුන් වෙන්න පුතේ. අපි දන්නව උඹ අපේ පවුලට දුවෙක් නෙවේ අම්ම කෙනෙක්. එත් කලබල වෙලා බෑ පුතේ. මං මේ දේවල් බලා ගන්නං. පුතා මේ කිසි දේකට මැදිහත් වෙන්න එපා. උඹල දෙන්න මට මගෙ ඇස් දෙක දරුවනේ”

සියපත් ශාන්ත ව වැළඳ හැඬුවා ය. ඔවුන් ට හිතේ සැනසීමෙන් කඩේ වැඩ ටික බලා ගන්නට වුව හැකි නොවිණ. කඩේ ගෝලයාට බාර දී ශාන්ත හා සුජීවා සියපත් ද කැටිව ගෙදර ආහ. එතකොටත් පංකජී ඇඳෙහි වැතිර සිටියා ය.

“ළමයට ගහන්න බණින්න එහෙම යන්න එපා. ඔයා දන්නවනෙ සියපත් වගේ නෙවෙයි පංකජී. මුරණ්ඩුයි. කිව්වොත් කිව්වමයි. ඔය වයසෙ හැටියට හදිස්සි තීරණයක් ගත්තොත් අපි ජීවත් වෙලා වැඩක් නෑ. ඒක නිසා යාප්පුවෙන් කියල බලමු”

එන ගමන් සුජීවා ශාන්ත ට කීවා ය.

“යාප්පුවෙන් නෙවෙයි…මට ඕකිව…”

ඔහු දත් මිටි කෑවේ ය.

“ඕකි ඔච්චරට බබෙක්ද…පහු ගිය ටිකේ වෙච්ච දේවල් දැක්ක නේද…හැම දේම දැනගෙනනෙ හිටියෙ. අක්ක එනකල් කඩේට වෙලා ඉන්න කියල අපි හවසට ඒකිව කඩෙත් නතර කර ගත්තනෙ සුපුන් නිසා”

“හරි හරි. ඒ ඔක්කොම හරි. අපි හොඳින් කියල ළමයව බේර ගමු. අපේ ළමයෙක් නාස්ති වෙන්න විදිහක් නෑ ශාන්ත”

සුජීවා ගවුම් සායෙන් මූණ ද නාසය ද පිස දා ගත්තා ය.

“පොඩි පුතා…නැගිටල එන්න. මොකද්ද මේ අක්ක කියන්නෙ…ඔයා සුපුන්ගෙ බයික් එකේ ගියා කියල…සිද්ද වෙන්නෙ මොකද්ද කියල මට ඇත්ත දැනගන්න ඕනෙ. කෝ මෙහෙට එන්න”

පංකජී නෑසුනා සේ දඩබ්බර ව ඇඳ බදා ගෙන සිටියා ය. ඇය දනි පනි ගා ගස්සා ගෙන නැගිට ගත්තේ ‘තාත්ත කතා කරනව නේද’ කියා තරමක් තදින් සුජීවා මතක් කළ විට ය. කාගේවත් මූණ බලන්නේ නැතිව ඉස්සරහාට ආ යුවතී උළුවස්සට පිට දී ඉවත බලා ගෙන ම සිට ගත්තා ය.

“පොඩි පුතේ. සුපුන් කියන්නෙ මහ අමනයෙක්. ඌ මෙහෙම පලිගයි කියල මන්නං හිතුවෙම නෑ. සුපුන් ඔයාව රවට්ටල පුතේ”

ශාන්ත කතා කළේ පුදුම ඉවසීමකිනි. දූවරුන් ගේ පියෙකු වන පිරිමියෙකුට දිනෙක ඒ වාගේ ඉවසීමකින් හැසිරෙන්නට වන බව ඔහු ද අත්විඳින්නේ ප්‍රථම වතාවට ය. අප්‍රමාණ දුක් විඳ, කැපකිරීම් කොට පියෙකු විසින් මලක් වාගේ ඇති දැඩි කරනා දියණියක, කොහේවත් සිටිනා ගොඩුබෙල්ලෙකු ඇවිත් කා දමනවා කියන්නේ ඉවසා ගත හැක්කක් නොවේ. ශාන්ත ට කෙල්ලන් දෙදෙනා කුමාරිකාවන් දෙදෙනෙකි. දවසක ඔවුන් රැජිනියන් වාගේ ජීවත් විය යුතු යයි ඔහු සිතන්නේ කුළී වැඩක් හෝ නැතිව අමාරුවෙන් බඩ වියත සරි කර ගත් අතීතයේ සිට ම ය. එතකොට හිඟන්නෙකු වාගේ දිනෙක ඔහු මිය ගියත් කම් නැත. නමුත් මේ සිදු වෙන දේවල් එක්ක තාත්තා කෙනෙකු වශයෙන් හදවත් රෝගයක් වැළඳෙන්නට වුව බැරි නැතැයි ඔහු ට සිතේ.

“එදා ඕකා ගැන පොලීසියෙ පැමිණිලි නොකරපු වැරැද්ද. අපිට ඔය ගංජා කාරයො හදන්න යන්න ඕන නෑ. පොඩී වහාම මේක නතර කරන්න ඕනෙ. මීට පස්සෙ සුපුනගෙ බයිසිකලේට නගිනව තියා ඌගෙ මූණ බලන්නවත් බෑ. සුජීවා. මෙයා ඉස්කෝලෙ ඇරිල ගෙදර එන වෙලාවට මීට පස්සෙ ඔයා ගෙදර එන්න. මං කොහොම හරි කඩේ වැඩ ටික බලා ගන්නං”

“අක්ක කොහොම හරි අපි කවුරුත් ඔළුව උස්සගන්න ඕන කියල හිතනව. ඒකට මෙයා…දැම්ම මගුල් විසේ ඔළුවට ගැහුව. දෙයියනේ කියල මහන්සි වෙලා කීයක් හරි හොයා ගන්න පුළුවන් කාලෙ…අපිට සැනසිල්ලෙ ඒක කර ගන්න දෙන්නෙ නැති හැටි. මට ඇත්ත කියනව. කොහෙද ඌ උඹව එක්කං ගියේ…ආ…කොහේද ඌත් එක්ක රෝන්දෙ ගැහුවෙ…කතා කරනව”

සුජීවා පංකජී ගේ ඔළුවට ඇන්නා ය..ඇයට තියෙන්නේ පොල්ලක් කඩා ගෙන කෝටු මස් වෙන තුරු පහර දෙන්නට තරම් කේන්තියකි. නමුත් දැන් ළමයින් සිටින්නේ එසේ කළ නො හැකි තරමට උස් මහත් වී ය.

“මොන කරදරයක් ද…”

පංකජී රවා බැලුවා ය.

“මේ…එකට එක කියා ගෙන එන්නනං එපා. තාත්ත වගේ නෙවෙයි මං…මගෙ යකා ඇවිස්සුවොත් උඹට ඉස්කෝලෙ යන්න දෙන්නෙත් නෑ. මෙච්චර කල් ඉස්කෝලෙ ගියා කියල ඉගෙන ගෙන ඇති මගුලකුත් නෑනෙ. ඇත්ත කියනව. අරූ කොහෙටද තමුංව අරං ගියේ…”

“අනේ මේ අම්මෙ..මං මෝඩයෙක් නෙවේනෙ. මං දන්නව මං කරන්න ඕනෙ මොනාද කියල”

“මෙයින් මනතට ඌත් එක්ක කිසිම ගනු දෙනුවක් තියා ගන්න බෑ”

“හැබැයි පොඩි පුතේ මේ තාත්තගෙ ඉවසීම පරීක්ෂා කරන්නනං හදන්නෙපා. මං ඔය කා ල කණ්ණියව ම ර ල හිරේ යනව දැනගනිං. මට ඒක කරන්න බැරි නෑ”

“මොන වදයක්ද මේ…මට පාඩුවෙ ඉන්න නොදී වද දෙන්න ගත්තොත් මං මගෙ ජීවිතේ නැති කර ගන්න එක නැති කර ගන්නවමයි”

පංකජී ගස්සා ගෙන ඇතුළට ගියා ය..අම්මාත් තාත්තාත් දියණියත් උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ. ඒ ඇස් හයෙහි ම වූයේ භීතිය මුසු වේදනාවකි. ඒ භ්‍රාණ්තිය ඔවුන් ගේ මුව අගුලු දමන්නට සමත් විය. පංකජී කියන්නේ නරක ළමයෙකු නොවේ. නමුත් ඕ පොඩි කාලේ සිට ම හිතුවක්කාර වූ කෙල්ලකි. ඕනේ කියූ දෙයක් කෙසේ හෝ ලබා ගත් කෙල්ලකි. එහෙම වෙලාවට තමන් ගැන නො සිතා නංගී ට සියල්ල ලබා දුන් අතීතය ගැන සියපත් තමන් ට ම දොස් කියා ගත්තා ය. දැන් ඇය සුපුන් ව ඕනේ ම යයි කියයි. ඔවුන් බාධා කළොත් දිවි තොර කර ගන්නා බවට තර්ජනය කරයි. ඉතින් ඔවුන් කුමක් නම් කරන්න ද? 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles