පතිදම්වැල් 46

එදා වැස්සේ මල් වැස්සක්ම බව එතැන් සිට ගෙවුණ හැමදාකම උශාලිට අලුතෙන් මතක් කරන්නට දෙයක් විය. ඒ වැස්ස තෙමී දියබත් කරේ තමන්ගේ ගත පමණක් නොවේ. හිත අස්සට ඇද හැලුණ ආදර වැස්ස හිතත්, හැඟීමුත් තෙමා දියබත් කර දැමූ එකකි.

එහෙත් සිතට ඒ ගැන අමනාපයක් නැත.

“අපේ අම්මා ඔයාට හරි කැමතියි”

එදා රෑ අමතා අනුප එසේ කියද්දී සිතට ආවේ පුදුමාකර සතුටකි සැනසීමකි. තමන් ආදරය කරන මිනිසාගේ මව් දෙමව්පියන් තමාට කැමති යැයි කීම ඕනම කෙල්ලකට අරුමැසි හැඟීම් ගෙන එන්නක් විය හැක. 

“ඇයි අම්මා මොකද කිව්වෙ?”

ඒ ඉතින් තවත් විස්තර දැනගන්නට ඇති ආසාවයි. ඒ මොහොත සිතෙන් මවාගත හැක්කෙ ඔහු විසින් කියන්නට යෙදෙන වදන් ඔස්සේ පමණක් නිසාවෙන් එ සෑම වදනක්ම හරියාකාරව අහන්නට උවමනාය.

“ඔයාව කොහොමත් අපෙ අම්මගෙ හිතට අල්ලල තිබුනෙ මුලින්ම එදා දුලාලගෙ අවුරුදු උත්සවේ දවසෙ කතාකරාම. ගෙදර ඇවිල්ලත් කිව්ව ඔයා හරි හොඳයි කියල. අදත් කිව්ව. හරි සිරියාවන්තයි කියල”

“ඔයාට ඉතින් මොකද හිතුනේ?” කියන ප්‍රශ්නය අනුපගෙන් අසන්න යැයි සිත කීවද ලැජ්ජාව ඒ සිතුවිල්ල වසාගනී. එහෙත් ඒ බව හැඳිනමෙන් අනුප කතාකරන්නට විය.

“මට නම් ඉතින් සන්තෝස හිතුනා එහෙම කියද්දි”

“ඇයි ඒ?”

“ඉතින් දන්න අඳුනන ළමයෙක් ගැන එහෙම කියද්දි ඉතින් සන්තෝසයිනෙ”

“දන්න අඳුනන ළමයෙක් විතරද?”

උශාලි ඒ අසන්නේ දුකෙන්ය. කටහඬ ඇල්මැරීය. සිත අස්සෙන් එලියට එන්නට තනන සිනහව තොල් අග අපහසුවෙන් මෙන් රඳවාගෙන අනුප බැල්කනියේ ඇති ඇඳි පුටුව මත අසුන් ගත්තේය. දුලන්‍යා ඉන්නේ සුවබර නින්දකය. එහෙත් කාමරයේ සිත කතා බස් කිරීමට වඩා සිහිල් සුලඟ හමන, සඳ එලිය වැටී ඇති මෙතැන නිස්කලංකය. පහල වත්තේ ඇට්ටේරියා මල් පිපී ඒ සුවඳ විත් නවතින්නේ හිත ඇතුලේය. ඒ සුවඳ මේ හැඟීම තරම් සොඳුරුය. මේ මොහොත තරම් මනහරය. උශාලි තරම් සැනසුම්‍ ය.

“හොර කෙල්ල” එසේ කියා මද සිනාවක් උස්ව නැගූ අනුප සමග ආදරණීය අමනාපයක උන් උශාලිටද සිනාවක් ගියේය. එහෙත් මේ ආදරණීය අමනාපය දිගින් දිගටම ගෙන යාමට සිතට අවැසිය.

“ඔයා දන්නව නේද මට ඔයා කොච්චර වටිනවද කියල? ම්ම්” ඒ ගැඹුරු, කෙඳිරුම් හඬ සවන් අද්දරින් ඇසෙන්නාක් මෙන් රෝම කුප ඉල්පී හිරිගඩු පිපෙන හැඟුමකි.

“ඔයා මම ගැන නරකක් හිතනවද දන්නෙ නෑ. ඩිවෝස් එක ගන්න කලින් මම මෙහෙම ඔයා එක්ක කතා කරපු එක මාව ඔයාගෙ හිත ඇතුලෙ නරක මනුස්සයෙක්, විශ්වාස කරන්න බැරි මනුස්සයෙක් කරලද දන්නෙ නෑ. එහෙම දෙයක් තියෙනම් හැමදේටම කලින් අපි ඒ ගැන කතාකරමු. මට ඕන නෑ මැණිකේ ආයෙ මේ ජීවිතේ ඇතුලෙ කවුරුවත් දුක් විඳිනව දකින්න.

මම හන්දා ඔයාවත්, ඔයා හන්ද මමවත්, අපි හන්ද දුලාවත් දුක් විඳින්න ඕන නැ. එහෙම දුක් විඳින්න වෙයි කියල හිත අස්සෙ කොතනකම හරි තැනක සැකයක් තියෙනම් අපි මේ කතාව දිග්ගස්සනෙ නැතුව ඉමු”

ඒ දරාගන්නට අමාරු වචන සවන් පත් මත වැටුනේ ගිනි අඟුරු මෙනි. මුලු ගතම දවා හලුවකරවන වේදනාවක් සිත අස්සේ ඇතිවෙද්දී, ඇස් වලින් වට කඳුලක් කොට්ටය අස්සේ හැඟී යද්දීත් විශ්වාසයෙන් යුතුව කියන්නට කතාවක් උශාලිට විය.

“එහෙම වෙන්නෙ නෑ අනුප. මට කවදාවත් ඔයාව සැක නෑ. අවිශ්වාස නෑ. මේ කතාව මම ඔයාට කවදාවත් කියන්න හිතාගෙන ඉඳපු කතාවක් නෙවෙයි.ඒත් මං හිතනව ඒක කියන්න හොඳම වෙලාව දැන් කියල. ඔයා සමහරවිට මම ඒක කිව්වට පස්සෙ මම බොරු කියනව එහෙම නැත්තම් මම පිස්සු කියවනව කියල හිතාවිද දන්නෙ නෑ

ඒත් ඒ මොනව උනත් මම ඔයාට මේක කියනව. මම අද හවසමයි ඒක කියනව කියල හිතුවෙ

මම ඔයාට ආදරේ කරේ ඔයා දුලාව එක්කන් යන්න මුලින්ම මොන්ටිසෝරි එකට ආව දවසෙ දැකල නෙවෙයි.”

මේ කතාව තම දන්නවාට වඩා බොහෝ ඈතක හිඳ ඇදී එන්නක් බව සෙමෙන් සිතට තේරුම් ගියද ඒ කතාවේ ආරම්භය කවදා කොතනක සිදු වූවක්දැයි තමා නොදනී.

“මම ඔයාව මුලින්ම හීනෙන් දැක්ක දවසෙ මම හිතුවෙ ඔයා ඉන්නෙ හීනවල විතරයි කියල. මම කවදාවත් හිතුවෙ නෑ මේ ඇත්ත ලෝකෙ ඔයා කියල මනුස්සයෙක් ඉන්න බව. මම හැමදාම වගේ දැක්කෙ එකම හීනෙ. අපි දෙන්න කවුරුත් නැති පලාතක ඔරුවක පා වෙවී යනව. ඔයා හිනාවෙල මගෙ දිහා බලන් ඉන්නව. මං හිතෙන් හීනෙන් දකින ඒ මනුස්සයට මොන තරම් ආදරේ කරත් ඇත්ත ලෝකෙදි එයාව දකින්න ලැබේවි කියල මං කවදාවත්ම බලාපොරොත්තු උනේ නෑ.

මම ඔයාව දැක්කෙ ඔයා මොන්ටිසෝරි එකට එන්න කලින්. එද මම වාහනේ මොන්ටිසෝරි එකට යද්දි ඔයා ඔයාගේ වෙහිකල් එක එකපාරටම මං ගියපු ටුක් එක ඉස්සරහට දැම්ම කලර් ලයිට් වැටිල රතු පාට වෙලා තියෙද්දිත්. 

ටුක් එකේ මනුස්සය බනිද්දි මම නිකමට ඔලුව වාහනෙන් එලියට දාල බැලුවෙ. ඔයාව දැක්කම මට හිතාගන්න බැරි උනා අනුප. මම හිතුවෙ මම එවෙලෙත් හීනයක් දකිනව කියල. ඊටපස්සෙ ඔයා දුලාගෙ තාත්තා විදියට මොන්ටිසෝරි එකට ආවම, ඔයා කසාද බැඳපු මනුස්සයෙක් කියල දැනගත්තම ඔයා දන්නෙ නෑ මට කොච්චර දුක හිතුනද මම මෙච්චර කල් දැකල තියෙන්නෙ ඇත්තටම හීනයක් කියල හිතල”

නහය සීරුම් සද්දයක් එහා පසින් ඇසෙන්නෙ උශාලිගේ හිත හඬාවැටෙන නිසා බව තේරුම් ගන්නට අපහසු නැත. එහෙත් තමා ඉන්නේද කම්පා වීය. මේ කිසිදා අසන්නට බලාපොරොත්තු වූ කතාවක් නොවේ. තමා විවාහ කරගත් ගැහැණියවත් තමාට ආදරය නොකරුව කාලයක මේ කොළඹම තැනක පුංචි කෙල්ලක, සිහිනයෙන් දුටු තමාට ආදරය කිරීම ඇත්තක් දැයි සිතන්නටවත් බැරි තරම් අනපේක්ෂිතය. දෛවෝපගතයය.

වෙන දිනක වුනානම් ඒ සතුටු වෙන්නට කරුණක් පමණක් වුවත් මෙවෙලේ ඒ ඉසියුම් සතුට පරදවමින් සීතල දුකක් දැනේ.

“මේ කිසිම ප්‍රශ්නයක් නොවිච්ච කාලෙක අපි හම්බුනේ නැත්තෙ ඇයි කියල අහනව ඇරෙන්න මට වෙන කියන්න දෙයක් නෑ මැණික්. මම දන්නෙ නෑ ඇත්තටම ඔයාව මගෙ ඉස්සරහට අරගෙන එන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියල”

“ඒ උනාට ඒක එහෙම උන එක හොඳයි”

“ඇයි”

“මම දුලාට හරි ආදරෙයි අනුප. මට එයා මගේ කියල විතරමයි හිතෙන්නෙ. මට ඕන ඔයාව විතරක් නෙවෙයි. මට එයාවත් ඕන. ඒ නිසා මේ තමයි අපි හම්බුණ හොඳම විදිය”

ඒ ඉතින් සැනසෙන්නට හේතුවකි. තමාව පිලිගන්නට බොහෝ අය හිඳින්නට හැකි වුවත් දුලාව එසේ පිලිගන්නට කැමති කෙනෙක් මෙලොව හිඳීද යන ගැටලුව සිත පෙලන්නට පටන් ගත්තේ බොහෝ දිනකට පෙර සිටය. තමාව කුසෙන් වැදූ අම්මාගේවත් ආදරය නොලද අහිංසක දරුවෙකුට ආදරය කරන්නට, මවක් වන්නට උශාලිටම හැරෙන්නට වෙන කිසිවෙකුටත් නොහැකි බව ඒ මොහොතේ අනුප වඩාත් තදින් විශ්වාස කරන්නට විය. ඒ හැඟීම හිතට ගෙන එන සැනසුම් සුවඳ ඇට්ටේරියා මල් සුවඳ පරදවමින් හිත පිනවයි. තමාට පිරිමියෙකු ලෙස ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්නට හැකියාව තිබුනද දුලන්‍යා වන් තවම ලොවට නිරාවරණය නොවූ දරුවෙකු ඒ ජීවිතයේ ප්‍රශ්න කෙසේ වැලඳගනු ඇතිද යන කුකුස ෂෝබිතා නිවසින් ගිය දිනයේ සිට සිත පෙලන්නක් විය. එහෙත් මේ ඒ වේදනාබර කුකුසට තිත තියන්නට කාලයයි. උශාලි ඇවිත් ඉන්නේ තමාට වම් පසින් පමණක් සිටගන්නට නොවේ, දුලන්‍යාගේ ජීවිත කාලය පුරාවටම ඇයව ආදරයෙන් රැකබලා ගන්නටයි.

ඒ හැඟීම විශ්වාසයේ මුදු සුවඳ තැවරුණකි.

“දුලා නිදාගන්නේ ඔයා ළඟ ද?”

“නෑ”

“එහෙනම් අම්මල ළඟද?”

“නැ එයාට වෙනම පොඩි කාමරයක් තියෙනව අපෙ කාමරේටම අල්ලල.”

“එයා තනියෙන්ද නිදාගන්නේ?”

“ඔව්”

“එච්චර පොඩි දරුවෙක්, අනේ පව් අනේ”

“ඔයා එහෙම කියද්දි මටත් එහෙම හිතෙනව. ඒ උනාට ෂෝබිතා ආස උනේ නෑ එයාව අපේ ඇඳේ නිදිකරගන්න. එයා කිව්වෙ ළමයි ලොකු වෙද්දි ඒව පර්සනලිටි එකට ප්‍රශ්න වෙනව කියල”

“ඒ කතාව ඇත්තක් නැත්තෙ නෑ ඒ උනාට ඉතින් එයා තාම චුටිනෙ. ඒකයි මං එහෙම කිව්වේ”

ඉන්පසුව ඇති වූ නිහඬතාවය මුව ගොලුවීම නිසාවෙන් වුවද සිත තිබුනේ දොඩමලුවය. මේ ගෙවෙන්නේ සංසාරගත ප්‍රේමයක ඇරඹුමයි. ඉතින් බෙදා හදාගන්නට බොහෝ දේද, එකිනෙකාගේ අඳුනාගන්නට බොහෝ දේද ඇත. එහෙත් කෝල බව සිතට දොඩමලු වෙන්නට ඉඩ හැර මුව ගොලු කරවන්නකි.

“දෙයක් අහන්නද?”

“හා” සෙමෙන් සීරුවේ පිළිතුරු එවන්නිය එහා පස හිඳ මුමුණයි.

“මට ඇත්තටම ආදරෙයිද?’

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles