තාත්තා කෙනෙක්ගේ ආදරය කියන්නේ ඕනම දරුවෙක්ගේ ජීවිතේට හරි වැදගත් මාතෘකාවක්නෙ. අම්මලගෙ ආදරේ වෙනුවෙන් බොහොමයක් කවි කතා චිත්‍රපට හැදුනට තාත්තා කෙනෙක් දරුවො වෙනුවෙන් කරන නිහඬ කැපකිරීම් ගැන විස්තරාත්මකව කරුණු කියවෙන්නෙ, අහන්න දකින්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්.
තාත්තා කෙනෙක්ගෙ ආදරය කියන්නෙ අපේ ජීවිතේ තියෙන පසුබිම් සංගීතය වගේ දෙයක්. මතුපිටින් බැලුවම ලොකු දෙයක් නොපෙනුනාට ඒ පසුබිම් සංගීතය නැති මොහොතක තමයි අපිට ඒකෙ අගය තේරෙන්න, අඩුව තේරෙන්න පටන් ගත්තෙ. ඒ පසුබිම් සංගීතය නැතුව ජීවිතය කොච්චර කටුකද නීරසද කියන එක තේරෙන්නෙ.
ඉතින් අපි අද කතාකරන්න යන්නෙ ඒ වගේ තාත්තා කෙනෙක්ගෙ ආදරය මුල් කරගෙන බිහිවෙච්ච සුන්දර ඒත් හැඟීම්බර චිත්‍රපටයක් ගැන.
මේ චිත්‍රපටයෙ නම Dada.
Dada චිත්‍රපටය නිකුත්වෙන්නෙ 2023 අවුරුද්දෙ දෙමළ බාශාවෙන්.
කතාව පටන් ගන්නෙ මනිකන්දන් සහ සින්දුගෙන්. මනි සහ සින්දු කියන්නෙ පෙම් යුවලක්. ඒ දෙන්නම ඉන්නෙ එයාලගෙ විශ්ව විද්‍යාලවල අවසන් වසරෙ. ඉතින් මේ තරුණ, නිදහස තියෙන ජෝඩුව අනිත් බොහොනයක් ජෝඩු වගේම තමන්ගෙ ආදරේ හදවත්වලටම සීමා කරගෙන විතරක් ඉන්නෙ නෑ. ඒ ආදරේ හදවත් වල ඉඳල ඇඟිලි තුඩුත් අවසානයේ මුලු සිරුර පුරාමත් විසිරිලා යන ශාරීරික සබඳතාවයන් දක්වාත් විහිදිල යනවා.
තරුණ හැඟීම්වල උපරිම අවස්තාවෙදි තමන් කරන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියල නොහිතපු දේවල්වල ප්‍රතිපල දැනගනිද්දි සින්දු ප්‍රෙග්නන්ට්. එයාගෙ කුසේ මනිගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවෙක් හුස්ම ගන්නවා.
ඒ වගේ මොහොතක තාමත් ඉගෙන ගන්න, විවාහ වෙන්න හිතලවත් නැති ජෝඩුවක්, හරිහමං රස්සාවක් නැති ජෝඩුවක් මොනවගෙ දෙයක් හිතනවද, කරනවද, කියනවද කියල ඒ වගේ මොහොතක් ජීවිතයට ආවෙ නැති අපිට හිතාගන්නවත් බෑ.
ඒ ප්‍රශ්නෙම බලපොරොත්තු නොවිච්ච වෙලාවක තාත්තා කෙනෙක්ගෙ වගකීම් දරන්න උන මනිට වගේම අම්ම කෙනෙක් වෙන්න හිතලවත් නොතිබුන වෙලාවක අම්මා කෙනෙක් වෙන්න වුණ සින්දුටත් දැනෙන්න ඇති.
ඒ නිසා මනි සින්දුට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න විදියක් කියනවා. ඒ තමයි “අපි ලමයා නැති කරමු” කියන එක. ඒ වගේ වෙලාවක වෙන දෙන්න විසඳුමක් නෑ වගේම තමන් තවමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න නුසුදුසු බව දැනගෙන උන්නත්, අම්මා කෙනෙක් වෙන්න උනේ අහම්බෙන් වුණත් සින්දු මනිගෙ ඒ තීරණේට කැමති වෙන්නෙ නෑ.
මේ දරුවා බලාපොරොත්තුවක් වෙලා ආව දරුවෙක් නොවුණත් අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවව කුසේ ඉද්දිම නැති කරන්න කියන දේ උත්තරයක් වෙන්නෙ නෑ.
ඉතින් මනි කියන කතාවට එකඟ නොවන සින්දුව අතාරින්න බැරි නිසාම මනි එයත් එක්ක එකතුවෙලා දෙන්නට නැවතිලා ඉන්න ගෙයක් රෙන්ට් කරනවා. මේ ප්‍රෙග්නන්සි එකත් එක්ක මේ දෙන්නගෙ ජීවිත නොහිතපු විදියට වෙනස් වෙනවා.
එක ගෙදරක ඉඳගෙන තමන්ගෙ දරුව ලැබෙනකම් බලාගෙන ඉන්න කාලෙක වුණත් මනිගෙන් තාත්තා කෙනෙක්ව බලපොරොත්තු වෙන්න, සැමියෙක් ගෙන් ලැබෙන්න ඕන සැලකිලි ලබන්න සින්දුට පුලුවන් උනේ නෑ. හැමදාම බීල බේබද්දෙක් වගේ ගෙදර එන මනිගෙන් කිසිම සැලකිල්ලක් නොලැබිච්ච ජීවිතේ ඇතුලෙ සින්දු ගෙව්වෙ අපා දුකක් කියල කිව්වොතින් හරි.
කොහොම කොහොමහරි ඔය වගේ ප්‍රශ්න දාහක් මැද්දෙ සින්දු දරුවව ලැබෙන්න ඉස්පිරිතාලෙට යනවා. දරුවා ලැබෙනව. දරුවටයි සින්දුටයි කොහොමද කියල බලන්න මනි ඉස්පිරිතාලෙට යද්දි සින්දු දරුවව ඉස්පිරිතාලෙ තියල පැනල ගිහිල්ලා.
එතනින් තමයි මෙච්චර වෙලා සින්දු ගැන අපේ හිත්වල තියෙන හැඟීම නැතිවෙලා යන්නෙ. මුල්කාලෙ සින්දුට මොන විදියට සැලකුවත්, දරුවව නැති කරන්න කිව්වත් අම්මා විසින් ඉස්පිරිතාලෙ තනි කරල ගිය දරුවව අතාරින්න මනි ලෑස්ති නෑ.
දරුවව වඩාගෙන ගෙදර එන මනි ඒ දරුවව උස්මහත් කරන්න, උගන්නන්න ලොකු වෙහෙසක් දරනව. එතනදි තමයි අපි අපේ ජීවිතේදි හරිම කලාතුරකින් දැක්ක, තාත්තගෙ ආදරය සිනමා තිරය මත දකින්න පටන් ගන්නෙ.
පුංචි ආදිත්‍ය, තාත්තා කෙනෙක් විතරක් ඉන්න ආදිත්‍ය තාත්තගෙ ආදරය අවවාද මැද්දෙ ලස්සන මනුස්සයෙක් විදියට ගොඩ නැගෙනව. කාලය ටික ටික ගිහිල්ල මනිට රස්සාවක් ලැබෙනව අලුතෙන්.
දෛවය කොච්චර අපූරුද කියල අපිට වගේම මනිටත් තේරුම් යන්නෙ ඒ අලුත් ඔෆිස් එකට ගියාම. තමන්ට වැඩ කරන්න වෙලා තියෙන්නෙ තමන්ගෙ දරුවගෙ අම්මගෙ යටතෙ කියල දැනගන්න ලැබුණම මනි දෙපාරක් හිතනව “මට මෙතන යහතින් රස්සාව කරන්න පුලුවන් වෙයිද?” කියන එක ගැන.
ඒත් කාලය ටික ටික ගෙවෙද්දි මේ ඔෆිස් එක තමන් හිතපු තරම්ම නරක නෑ කියල දැනගත්තම මනි දවසක් තමන්ගෙ දරුවව මේ ඔෆිස් එකට එක්කරගෙන එනවා.
දරුවට අම්මව හෝ අම්මට දරුවව අඳුන්වල දෙන අදහසක් මනිගෙ තුන් හිතකවත් නොතිබුණාට දෛවය ඒ තීරණයට එහෙම ලේසියෙන් ගැලවිල යන්න ඉඩ දෙන්නෙ නෑ.
මනි නොකිව්වට, ඇත්ත තමාගෙන් හංගගෙන ඉඳියට සින්දුට දැනගන්න ලැබෙනව මේ මනි එක්කරගෙන ඇඉත් තියෙන ආදිත්‍ය කියන්නෙ මීට අවුරුදු ගානජට කලින් තමන්ට මනිගෙන් ලැබෙන්න උන්න, තමන් විසින් ඉස්පිරිතාලෙ අතෑරල දාලා ආව දරුව බව.
ජීවිතේ මොනතරම් පුදුමද කියනවනම් සින්දු ඇයි ආදිත්‍යව ඉස්පිරිතාලේ දාලා ආවෙ කියන පුදුම හිතෙන කතාව මනි දැනගන්නෙ අන්න එදා.
ඉතින් ඒ පුදුම හිතෙන කතාව මොකද්ද කියල දැනගන්න ඔයාලා මේ සුන්දර ඒ වගේම සංවේදී චිත්‍රපටය බලන්නම ඕන.
ඕනතරම් අම්මා ගැන කවි කතා චිත්‍රපට හැදෙන ලෝකෙක, නිහඬ ආදරයක් දෙන, ජීවිතේ පසුබිම් සංගීතය වගේ තියෙන තාත්තගෙ ආදරේ කොච්චර ලස්සනද, හැඟීම්බරද කියන කතාව මේ චිත්‍රපටය ඔස්සේ ඔයාලට දැනගන්න ලැබෙන බව මට විශ්වාසයි.