මනුල දැන් කහවණුගොඩ මැදුරට එයි, යයි. මයිකල් කහවණුගොඩ හමු වී මදිරා ගැන සිය අදහස කතා කිරීමෙන් පසු ඔහු මදිරා හමු වෙන්නට සතියකට දිනක් දෙකක් ගෙදර ආවේ ය. ඒ නිසා මදිරා උද්‍යානයට යන ගමන් නතර විය.
ඇය දැන් සුළු වශයෙන් ඇවිදින්නී ය. ඒ වෝකරයෙහි ආධාරයෙනි. නමුත් තනිව ඇවිද යාම ගැන ඇගේ හිතේ වන ධෛර්යය හා උවමනාව ඉක්මනින් ම ඇයව ඒ කරා යොමු කරනු ඇති බව වෛද්‍ය අදහසයි. මේ තත්වයෙන් වුව ඇය විවාහ කර ගන්නට මනුල ගේ අකමැත්තක් නැත ද මදිරා කියන්නේ විවාහ උත්සවය දිනයට ඇයට රෝද පුටුවකින් ඇවිදීමට උවමනා නැති බවකි. ඇයට හෙදියක ගේ සහාය අවශ්‍ය නැති නිසා, හෙද නිලධාරිනී ලලිතා ගේ සේවය තව දුරටත් අවශ්‍ය නැති විය. මාස තුනක වැටුප් ද ගෙන කහවණුගොඩ මැදුරෙන් නික්ම යන දා ලලිතා සියපත් ට දොස් කීවා ය.
“මමයි ඔයාව මෙහෙට ගෙනාවෙ. ඒකෙන් වුණේ මගෙ රස්සාව මට නැති වුණ එක!”
ඇගේ රැකියාව දිගට ම පවත්වා ගනු වස් මදිරා සුව නොවී සිටිත යුතු ද කියා සියපත් නො අසා සිටියා ය.
“මං දැන් මෙහෙ වැඩට එන එක තේරුමක් නෑ නේද…”
සියපත් සදාතන වෙතින් එසේ විමසූයේ ලලිතා නික්ම ගිය දා ට පසු දා කන්තෝරු කාමරයේ දී ය. ඒ ඇය මුලින් ම ඔහු දුටු ස්ථානයයි. එදා සදාතන ගේ මූණේ තිබූ ආඩම්බරය ඇයට මේ දැනුත් එලෙසින් ම සිහි කොට ගත හැකි ය. ඇගේ මුහුණ දෙස ම බලා සිටි සදාතන විධායක අසුන පසුපසට තල්ලු කොට සැහැල්ලු ඉර ඉරියව්වකට පත් වූයේ ය. අතකින් නිකට අල්වා ගෙන ඇදෙස මඳ වෙලාවක් බලා සිටියේ ය.
“ඔහොම බලන්න එපා ඉතිං”
සියපත් පා ඇඟිලි තුඩු දෙස බලා ගත්තා ය. මේ වූ කලී ජීවිතයේ අමරණීය මතක මංසලකි. ඇයට ජීවිතයේ වටිනා වූ සියල්ල හමු වූයේ මෙහිදී ය. ඒ නිසා මේ රැකියාවට ඇය ආදරේ ය. නමුත් සියල්ල අතැර දා යා යුතු මොහොතක් උදා වේ. ඒ මොහොත තමන් ඉදිරියට පැමිණෙමින් ඇති බව ද ඊට මඳහසකින් මුහුණ දිය යුතු වග ද ඇයට දැනේ.
“අක්කට දැං හොඳයි. අනිත් එක බොරුවට මට පඩි ගෙව්වට ගෙදර දේවලුත් හොයල බලල වැඩිපුර කරන්නෙ එයා. ඇත්තටම දැං මං එන එකේ තේරුමක් නැති තරමයි. මං ගෙදර නතර වෙන්නද…”
“කොහොමද මං එහෙම දේකට හා කියන්නෙ…ම්…”
සදාතන ගේ කට කොනක් ගැහී ගියේ ය. ඔහු ගේ පිරිමි පපුවට නුහුරු හැඟීමක් දැනෙමින් තිබිණ. අම්මා අහිමි පිරිමි දරුවෙකු ලෙස ඔහු බැඳී සිටියේ මදිරා වෙතට පමණකි. ආගන්තුක ගෑනු ළමයෙකු ඔහු ගේ හිතට සමීප වූවා නම් ඒ සියපත් පමණකි. ඇය මේ ගෙදරට ආවේ මදිරා වෙනුවෙන් වී ද හෙමි හෙමිහිට ඕ ගෙදර හැම කෙනෙකු ගේ ම හදවත් වල යම් විශේෂ ඉඩක් හිමි කොට ගත්තා ය. විශේෂයෙන් ම සදාතන ඇය වෙතින්, කාලයක් තිස්සේ ඔහු තුළ වූ ආත්මීය හිස් තැනක් සඳහා පිරවුමක් දුටුවේ ය. ඉතා සියුම් ලෙස ඔහු කෑවා ද බීවා ද කියා ඇය සොයා බැලුවා ය. සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණත් ඒ ගැන සැලකිලිමත් වූවා ය. වතුර තිබහා වුණත් ඔහු කීවේ ඇයට ය. කෑම මේසයේ දී ඔහු කන්නට රිසි යමක් නැතිව පිඟාන පසෙකට කළහොත් “සර්ට බිත්තර ඔම්ලට් එකක් දාල දෙන්නද…තක්කාලි සම්බෝලයක් හදල ගේන්නං බත් පිඟානක්ම කන්න හිතෙන” යනාදී දෙයක් කියා වහා නැගිට මුළුතැන්ගෙයට ගොස් සිය දෑතින් ම ඔහු කන්නට රිසි සරල අහරක් තනා ගෙන ආවේ ඇයයි. සැබවින් ඒ බිත්තර ඔම්ලට් ඒ තරම් රස වූයේ කොහොමද කියා සදාතන දන්නේ නැත. තක්කාලි ලූණු අමු මිරිස් ටිකක් කපා දමා හදනා තක්කාලි සලාද ටිකක වුව දිව්‍යලෝක රසක් වූයේ ය. කන්නට බෑ කියා නැගිටින්නට ගිය ඔහු බඩ පිරෙන්නට බත් ටික කත්දී පිරුණේ සියපත් ගේ හිත ය. උදේට හිස්බඩ ගෙදරින් නික්මෙන්නට යන ඔහු ආහාර ස්වල්පයක් හෝ කුසයට දමා ගත්තේ ඇගේ පෙරැත්තයට ය. ඔහුත් නො දැන සදාතන සියපත් ට ඇබ්බැහි වී සිටියේ ය. ඇය අම්මා කෙනෙකු වාගේ ඔහු ගේ ජීවිතය පිරිමදිමින් සිටි බව පැහැදිලි ව දැනෙන්නේ ඒ සියල්ල අහිමි වෙන්නට යනවා කියා සිතෙත්දී ය.
“ආයෙමත් තනි වෙන්න තරං හයියක් දැන් මට නෑ සියපත්. අම්ම නැති වුණාට පස්සෙ හරි අමාරුවෙන් ජීවිතේ මෙතනට වෙනකල් ඇදං ආවෙ. අක්ක අම්ම කෙනෙක් වෙලා හිටිය තමයි. ඒත් හැමදාම එයාට අපි මත්තෙ ඉන්න බෑ. එයාව ඉක්මනට මනුල අයියට බාර දෙන්න තමයි තාත්තත් හිතං ඉන්නෙ. මට ඒක එච්චර දැනුන්නැත්තෙ ඔයා නිසා වෙන්න ඇති. ඔයත් නැති වෙනකොට…”
“ඉ..තිං…මං නැති වෙන්නෑනෙ”
“මං කියන්නද…එහෙනං ඔයා ඔෆිස් එකේ වැඩ පටං ගමු. කොහොමටත් ඔයාට ඒ ගැන නොලේජ් එකක් තියෙන්න ඕන. ඒත් එක්කම ඩිග්‍රි එකක් කරන්න රෙජිස්ටර් වෙමු. ඔයා ලස්සනට මල් පිපිච්ච ගහක් වගේ හැමදාටම දකින්නයි මට ඕනෙ. අපි මැරි කළත්…අපිට දරුවො ලැබිල ඔයා අම්ම කෙනෙක් වුණත්…ප්‍රොෆෙශනල් වැලිව් එකක් තියෙන්න ඕන ඔයාට. ඒ වටිනාකම නැති කරල දාන්න කවදාවත් මට ඕන නෑ”
සියපත් සදාතන ඉදිරියේ පුටුව ඇද ඒ මතට වැටණේ දෙපා අප්‍රාණිකයි වාගේ දැනුණ නිසා ය.
“මට එච්චර ආදරේ කරන්නෙ ඇයි කියල ඇත්තටම මං දන්නෑ. සමහර වෙලාවට මට ඒක දරා ගන්නත් බැරි තරං…ඔයා දන්නව මං එච්චර වටින කෙනෙක් නෙවෙයි කියල…”
“මට මං වටින්නෙ ඔයා මගෙ ළඟ ඉන්නකොටයි සියපත්”
සියපත් කහවණුගොඩ මැදුරට එන එක නතර කරන්නට සූදානම් වෙනවායි දැනගත් වෙලේ මදිරා ගැස්සී ගියා ය. එහෙම දෙයක් සිදු වෙතැයි හෝ එහෙම දවසක් උදා වෙතැයි ඇය ද නො සිතා ඉන්නට ඇත.
“ඔයා මේ ගෙදරට අයිති කෙනෙක්නෙ. කොහොමත් දිගටම මේ දේවල් බලාගෙන ඉන්න ඔයා ඉන්න ඕනනෙ”
“දැං අක්කට පුළුවන්නෙ…දැන් අක්කට සනීපයිනෙ”
ඇය හුරතලයෙන් කීවා ය. මදිරා ඇය වැළඳ ගත්තා ය.
“අක්කට මෙහෙම කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් වුණේ නංගි නිසා. ඒක කවදාවත් අමතක වෙන්නෑ අපි කාටවත්…”
“එ..හෙ..ම තමයි ඉතිං…අසනීප වෙනව…සනීප වෙනව…සනීප වුණාට පස්සෙ දිගටම හොස්පිට්ල් එකේ ඉන්නෙවත් ඩොක්ට ළඟට යන්නෙවත් නෑනෙ”
“පැහෙන්නෙපා. එහෙනං මං ගෙදර බලා ගන්නං. ඔයා ඔෆිස් එකට යන්න”
“සදාතන අයියත් කිව්ව…අක්කගෙ වෙඩින් එක දවස් වලට මං ඇවිත් නතර වෙලා හැම දේම කරනව…හරිද..”
“අනේ කෙල්ල. ඔයා එන්න ඕන ඉතිං…මගෙ මල්ලිගෙ කෙල්ලනෙ”
“එහෙනං මේ සතියෙ විතරක් මං එන්නං. ලොකු සර්ට කියන්න ඕනෙ. මට ඕගොල්ලො කරපු කිසි දෙයක් අමතක වෙන්නෙ නෑ”
එදා හැන්දෑවේ ම සදාතන සියපත් සමග ගොස් විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය සඳහා ලියාපදිංචි කටයුතු සිදු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගත්තේ ය. තමන් ගේ ජීවිතය පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් සියපත් ට දැනිණ. එය වටිනාකමක් හා බැඳුණු යමකි.
ගෙදර එන විට වියානා එහි පැමිණ සිටියා ය. ඇය දුටු සියපත් ට දැනුණේ තමන්ගේ ම කෙනෙකු දුටුවා වන් ප්‍රීතියකි. දින කිහිපයකින් කහවණුගොඩ මැදුරේ දී ඇය දැකිය නො හැකි විය. සියපත් දුරකතන ඇමතුමක් දුන් විට ඇය කීවේ ඉක්මනින් හමු වෙන බවයි.
“මං බයේ හිටියෙ”
තේ එකක් බොන ගමන් මිදුලේ බංකුව මත හිඳ සියපත් කීවා ය. වියානා ඇස් දෙක රවුම් කොට බැලුවා ය.
“ඇයි…”
“ඔයා මාත් එක්ක තරහෙන්ද කියල…”
“පිස්..සුද…බිලීව් මී විල් යූ…මට සදාතන ගැන එහෙම කිසිම ෆීලින් එකක් නෑ. නෑ නෑ නෑමයි”
“ඒ කියන්නෙ..සනාතන අයිය ගැන එහෙම එකක් තියනවද…”
“ම්…ඒක ගැන මං මේ හෙමීට හිතන ගමං සියපත්. ඇක්චුවලි…මේ දවස් දෙක තුනේම හිතුව. මං මැරේජ් එකක් ගැන හිතුවෙ…සදාතන කියන නම ඔළුවෙ තියාගෙන..සනාතන කියන එකාගෙ වොයිස් එක අහගෙනයි මූණ දිහා බලාගෙනයි කියල හිතෙද්දි…”
“අනේ…”
“ස්පෙශලි…මං ආවට පස්සෙ සනාතන එහෙම ෆීල් එකක් තියන බැල්මකින්වත් මගෙ දිහා බලල නෑ. සමහර වෙලාවට එයාට මාව වාතයක් වගේ හිතෙනවද කියලත් මට හිතිල තියනව. ඒත්…අනේ මන්දා. මං වීඩියෝ කෝල්ස් අරං කතා කළේ එයාට…ඒත් එයා කරල තියෙන්නෙ සදාතනට උදව්වක්. ඒ දෙන්න අතරෙදි මං කව්ද කියල මට තාම තෝර ගන්න බෑ. කොහොමත්…මං තාත්තිට කියල තියෙන්නෙ..සදාතනගෙයි මගෙයි මැරේජ් එකක් වෙන්නෑ කියල”
සියපත් තිගැස්සුණා ය.
“පස්සෙ මට හිතුණා සදාතනට ගර්ල් කෙනෙක් ඉන්නව කියල ඔයා ගැන තාත්තිට කියපු එක වරදක්ද කියලත්”
සියපත් අතින් මුව වසා ගත්තා ය.
“බය වෙන්නෙපා. ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ. අපේ තාත්ති ඔයාට කතා කළේ එහෙම නෑ නේද…”
ඇය නෑ කීවේ හිස දෙපසට සැලීමෙනි. සියපත් ගේ හද ගැස්ම තීව්‍ර වී තිබිණ. කුමකින් කුමක් වෙන්නට නියමිත ද කියා ඇයට සිතා ගත නො හැකි විය.
“මං අද මෙහෙ ආවෙත් ඔයාට ඒක කියන්න. දැන් දවස් කීපයක් වුණානෙ. තාත්ති ඊට පස්සෙ මට ඒ ගැන මුකුත් කිව්වෙත් නෑ. ඔයාට කතා කරයිවත්ද කියල ඒත් මට හිතුණා. එහෙම වෙලත් නෑ කියන්නෙ තාත්ති ඒක අමතක කරල. ඒ කියන්නෙ…අපේ පවුල් දෙක අතරෙ සම්බන්දයක් ඇති වෙන්න ඕන කියන අයිඩියා එක අයින් කර ගන්න ඇති. සමහර විට…එයා එදා මුලින්ම දැක්ක දවසෙත් සියපත් ගැන ආදරෙන්නෙ කතා කළේ. ඔයාගෙ හිත රිද්දන්න ඕන නෑ කියල හිතන්න ඇති. දැං ඉතිං වෙන කොහෙ හරි තියන බිස්නස් ෆැමිලි එකක කොල්ලෙක්ට මාව ප්‍රපෝස් කරයි. අම්මිටත් මාව ලංකාවෙ කොල්ලෙක්ටම බන්දල දෙන්න ඕන වුණානෙ”
වියානා සැහැල්ලුවට පත් වී සිටියා ය. මොන හේතුවක් නිසා ද මන්දා ඒ සැහැල්ලුවට පත් වෙන්නට සියපත් ට පහසු වූයේ නැත.
ඒ සන්ධ්‍යාවේ අඳුර කුර ගගා එත්දී ශාන්ත ගේ බොජුන් හල ඉදිරියේ සුඛෝපභෝගී මෝටර් රථයක් නතර වූයේ ය. ආප්ප දමමින් සිටිනා ගමන් ම ශාන්ත මඳක් පහත් වී බැලුවේ එවන් රියකින් පැමිණ කෑම ගන්නේ කවුදැයි නිශ්චිත කර ගන්නට ය. නමුත් රිය ඇතුළේ සිටින්නේ කවුදැයි පැහැදිලි වූයේ නැත. පැහැදිලි වූව ද ඔහු හඳුනන්නේ නැත. ඒ ජිතේන්ද්‍ර ජයකොඩි ය.