පිනි සේල – 11

කලබල මධ්‍යම රාත්‍රියක් උදා විය. ඊෂාගේ අයියා ගෙදර ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියක ය. වැඩි කලබලයක් නැතිව ඊෂාගේ තාත්තා සමඟ ගෙදර ආ ඔහු පිළිගන්නට ඊෂා පහත මාලයට දිව ගියේ දරා ගත නොහැකි තරම් ප්‍රීතියකින් ඔද වැඩී ය.

වැඩිමහල් සහෝදරයෙකු හිඳීම මොනතරම් සතුටක් දැයි මට හදිසියේ සිතෙන්නට ගත් අතර අයියෙකු සිටියා නම් ජීවිතය මොනතරම් පහසු වේදැයි සිතමින් මම පහළ මාලයෙන් ඇසෙන ප්‍රීතිමත් සිනාවන්ට කන් දුන්නෙමි. ෆේස්බුක් ෆොටෝ කිහිපයකින් දැක ඇති ඊෂාගේ අයියා සැබෑවට දැක ගැනීමට උවමනාවක් ද හදවතේ නොතිබුණා ම නොවේ. එහෙත් ඒ ඊෂාගේ අයියා මිස මගේ අයියා නොවේ. ඊෂාගේ නිවස මට මගේ තැන වී ඇති බව ඇත්තකි. නයනා ආන්ටි, ඊෂාගේ අම්මා මට ඊෂා තරමට ම ආදරය දෙන බව ද ඇත්තකි. ඉතා කාර්යබහුල ව්‍යාපාරිකයෙකු වූ ඊෂාගේ තාත්තා කෑම මේසයේ දී හමු වී ” මේ ටර්ම් එකේ කොලේජ් පේමන්ට්ස් ප්‍රශ්නයක් කර ගන්න එහෙම එපා දරුවෝ. ඊෂාගේ පේමන්ට්ස් එක්කම මං ඒවත් පේ කළා..” කියමින් මගේ දෑසට කඳුළු පුරවා තවම දින දෙකක් වත් ගෙවී නැත. එහෙත් මේ ඊෂාගේ අයියා ය. ගැහැනු ළමයින්ගේ ආදරය සෙල්ලමකට ගත් හිතුවක්කාරයා ය. ඔහු මේ නිවස තුළ මා නැගණියක සේ සැලකීමට කිසිම ඉඩක් නැති බව මට විශ්වාස ය.

පසුවදා උදෑසන ම දේශන තිබූ නිසා අපට උදෑසන ම ගෙදරින් පිට වන්නට සිදු විය. ඉතින් මා ඔහු දුටුවේ ම නැත. එහෙත් හවස් යාමයේ ඊෂාත් මමත් ටැක්සියෙන් බැස ගෙඋයනට ඇතුළු වෙද්දී ම නපුරු පෙනුමැති තරුණයෙකු හැඟීමක් නැති දෑසකින් අප දෙස බලා සිටිනවා මා දුටුවේ නෙත් කොනිණි.

“ආනේ මෙයාව අඳුන්වලා දෙන්න බැරි උනානේ..” ඊෂාගේ මගේ අතින් ඇදගෙන ඔහු දෙසට ගියා ය. මම හැඟීම් විරහිතව බලා සිටියෙමි. මලිඳුගේ අනතුරු හැඟවීම් වාක්‍ය දෙසවන් හි දෝංකාර දෙන සෙයකි.

“ඒයි, අඳුනා ගන්නවා මේ මගේ හොඳම යාලුවා.. “

ඊෂාට වාක්‍යය අවසන් කරන්නට ඉඩ ලැබුණේ නැත.

“පිනිදි ප්‍රාර්ථනා..”

ඔහු මගේ මුළු නමම කීවේ මඳ සිනාවකිනි.

“තමුසෙල දෙන්නා ලෙක්චර්ස් යනවට වඩා අතන මෙතන රස්තියාදු ගහ ගහ දාන ෆොටෝ මං දකිනවනෙ. ඉතිං මං මේ ළමයව දන්නවා. අඳුන්වලා දෙන්න ඕනයැ…”

“ඊෂාගේ අයියා” බව තහවුරු කරමින් ඔහු කියා සිටියේ ය.

” මේ නංගි තමුසෙට නම් කීයටවත් ගැලපෙන යාලුවෙක් නෙවෙයි…”

අනතුරුව ඔහු ඊෂාව අතකින් ඇද ඔහු අසල වාඩි කරගන්නා ගමන් කීවේ ය. මම ඔහේ බලා සිටියේ ලැජ්ජාවකින් ද මටම පැහැදිලි නැත.

“යස වැඩක්නෙ.. ඇයි ඒ..”

ඊෂා මුහුණ පුම්බා ගත්තා ය.

“පිනිදි හරි තැන්පත් ළමයෙක්නෙ. තමුසෙට තරම් දාංගලයක් කිසි කෙනෙක්ට නෑ. ඉතින් මෙලෝ ගැලපීමක් නැති යාලුවෝ දෙන්නෙක්..”

ඊෂා හඬ නඟා හිනැහෙන්නට ගත්තා ය.

“මල විකාර.. මෙයා ඉන්නෙත් මෙහෙනෙ. අයියා බලනවකො මෙයා තැන්පත් ළමයෙක්ද කියලා.. තේරෙයි ඔයාටම..”

ඔහු මා මෙහේ ඉන්නවාට අකමැති වන බව සහතික ය. ඉතින් මම බෝඩිමක් සොයා ගන්නට තීරණය කළෙමි.

” මෙහෙම ළමයෙක් ආස්සරේ කරන එක තමුසෙටත් හොඳා තමා. මට මේ මෝඩි දවසක් කෝල් එකකදී කිව්වා නංගිට කරදරේකුත් උනා කියලා මේ ළඟදි. ඩිග්‍රි එක කර ගත්තාම කිසි අවුලක් නෑ.. “

මම කිසිත් නොකියා සිනාවක් ඇඳ ගතිමි. ඔහු මා සිතා සිටි අන්දමේ හෝ මලිඳු මැවූ අන්දමේ රස්තියාදු කාරයෙකු නොවේ. ඊෂාගේ තාත්තා සතු පෞරුෂය ද අම්මා සතු කාරුණික බව ද ඇති ඔහු ඊෂා මෙන් සුහද තරුණයෙකි. සමහරවිට ඔහු මට ද නැගණියකට මෙන් සලකන්නට බැරිකමක් නැත.

“මෙයා එහෙ ඉඳන් කෝල් කරාම නංගිලගෙ ෆාම් එක පෙන්නුවා වීඩියෝ කෝල් එකක් අරන්. හරි ලස්සනයිනෙ..”

ඔහු කියයි.මම අසා හිඳිමි.

“ඔයාට නගින්න කඳුත් තියනවා.. අපි ට්‍රිප් එකක් යංකෝ..”

ඊෂා ඉතා සුරතල් නැගණියක ලෙස වෙස් මාරු කරගත්තා ය.

“යං ඉතිං.. අපි තුන් දෙනා යං.. “

අයියා කියන පමාවට එකඟ වූවේ ය.

“තව දෙන්නෙක් ඉන්නවා….” ඊෂා කියන්නේ මා සමඟ හිනැහෙමිනි. ඒ දිනුක හා හිමල්ක බව මම දනිමි.

“තමුසෙලාගෙ කොල්ලො දෙන්නද.. හනිමුන් නෙවේ යං කීවේ. ට්‍රිප් එකක්..”

ඔහු ලොකු අයියා චරිතය රඟ දක්වන්නට ගත්තේ ය. මට මේ අයියා නංගි කතාබහ සිනා උපදවන්නට සමත් ය.එය මගේත් නංගීගෙත් අක්කා නංගී බැඳීමට සහමුලින්ම වෙනස් ය.

“පිනිදිට කොල්ලෙක් නෑ හලෝ.. එක්ක යං කීවේ නම් දිනුකයි හිමල්කයි.. “

අයියා ඊෂා දෙස තියුණු ඇසකින් බලා සිටියේ ය. අනතුරුව සිනාවක් නඟා ගත්තේ ය.

“පිනිදිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.. හා ඒක හරි. හිමල්ක ගැනත් තමුසෙ මට කියනවනෙ. එතකොට ඒකත් හරි. දිනුකට කෙල්ලක් ඉන්නවද කියනවා මට…”

ඊෂා ඒවාට හසුවන නැගණියක් නොවේ. ඇය නැගී සිටියේ තවත් රැඳී සිටීම නුවණට හුරු නැති බව වටහා ගෙන ය.

“ආපු ගමන් අනුන්ගේ මඟුල් හොයන් නැතුව තමන්ට මඟුලක් හොයා ගන්නවකො.. ආං අම්මි ප්‍රපෝසල් බල බලත් හිටියා…”

ඒ කතාවට ඔහු කෝප වීමට ඉඩ ඇති බව සිතිණි.නමුත් ඔහු කෝප වූයේ ද නැත. සිනාසෙමින් නැගණිය දෙස බලා හිඳින ඒ සහෝදර දෑස දෙස බලද්දී මට නැවත සහෝදරයෙකුගේ උවමනාව තදින් ම දැනිණ. තාත්තාගේ අඩුව පුරවන්නට එවැන්නෙකු සිටියා නම් තනිකම වඩා තදින් දැනෙන තැනකදී මලිඳුගේ උදව් අයැදීම හෝ ඔහු බලාපොරොත්තු වීම මා’තින් වන්නේ නැත. මිශ්‍ර පාසලක උගත්ත ද වැඩිපුර මිතුරන් ඇති කර ගන්නට නොදන්නාකම නිසා මට මිතුරන් තබා මිතුරියන් වත් එතරම් නැත.

“මං තමුසෙව නංගිකමින් හැලුවා නංගි. මං මීට පස්සෙ නංගිට වගේ සලකන්නේ පිනීට.. ඒ ළමයා තැනකට අරන් ගිහින් කැත නැතුව නංගි කියලා පෙන්නන්න පුලුවන්. තමුසෙ කට ඇරියම ලැජ්ජාවේ බෑනේ…”

ඔහුව ගෙඋයනේ හැරදා ගෙතුළට යමින් සිටි අප අමතා අයියා කෑගැසී ය.

ඒ වචන ඇසෙන්නේ සැබෑවට ද නැතිනම් මා විහිලුවකට ගෙනදැයි මට පැහැදිලි වූයේ නැත. එහෙත් ඊෂා සිනාවකින් මදෙස බැලුවා ය. අනතුරුව මගේ අතකින් අල්ලා ගත්තා ය.

“මං හිතුවා ඕක වෙයි කියලා.. මොකීව සෙල්ලමකට ගත්තත් අපේ අයියා මට වගේම ඔයාටත් සලකයි හිතුණා.හරි ඉතින්.. ඒකත් වුණා.. අර බූරු මලිඳු මොනවම හරි අමන ක්‍රියාවක් කළොත් ඕකගෙ දත් හලන්න දැන් උඹට අයියෙක් ඉන්නවනේ..දැන් මට අයියා එක්ක එකතු වෙලාම අර ලෝකෙ කොහෙහරි ඉන්න උඹේ අයිතිකාරයා හොයාගෙන මලිඳුවට පාඩමක් ඉගැන්නුවැකි…”

“පරිස්සම් වන්නැයි” මලිඳු බල කළ තරුණයා මා සහෝදර තනතුරට පත් කර ඇත. බැඳීමක් තෝරා ගන්නට ඔහුට පවා වැඩි වෙලාවක් ගියේ නැත. එහෙත් මලිඳු තවමත් මා පෙළමින් හිඳියි.

ඒ බැඳීමට නමක් ලැබෙන්නේ කවදාද?

ඊළඟ කොටස සෙනසුරාදා ට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles