පතිදම්වැල් 48

 “ඊලඟ කෝට් ඩේ එක තියෙන්නෙ තව සති තුනකින් වගේ. එදාට ෆයිනල් ඩිසිශන් එක ගන්න පුලුවන් වෙයි කියල මගේ ලෝයර් කිව්වා”

ඒ වචන අවසානයේ අනුපගේ මුවින් නික්මුන සුසුමේ රැඳී තිබුනේ සැනසුමක්ද, වේදනාවක්ද කියා තේරුම් ගන්නට අපහසු තැනම උශාලි උන්නේ අනුපගේ මුහුණ දෙසම බලාගෙනය.

දියවන්නාව අසල තැනක වාහනය නවතා දියවන්නාව දෙසම බලාගෙන වාහනය ඇතුලේම උන් උශාලිගේ උකුල මත තිබුනේ ෆැබ් එකෙන් මිල දී ශෝට් ඊට්ස් පිරුණු බෑගයකි. එයින් එකක් ගෙන අනුපට කවමින් උන් උශාලිගේ සිත තුල මෙතෙක් තිබුණ නිවිසැනසිල්ල මදකට බිඳ වැටුණ බවක් දැනුනේ ඒ වදන් සමගය.

හදිසියේ හෝ මේ දික්කසාදය නොලැබුනහොත් තමා විසින් කුමක් කල යුතුද යන්න ගැන කිසිත් අදහසක් සිත තුල නොතිබුන බව පවා උශාලිට මතක් වූයේ ඒ මොහොතේය.

“දුලන්‍යාව අපිට ලැබේවි නේද?”

උශාලිගේ හඬට ආරෝපණය වී තිබුණ වේදනාව, බිය හඳුනාගත්තාක් මෙන් මෙතෙක් වේලේ ඉදිරියට හරවාගෙන උන් සිරුර ඇයගේ පැත්තට හරවා කතා කරන්නට අනුප සිතුවේය. උශාලි ආදරයට ආගන්තුක බව තමා හොඳින් දන්නා කරුණකි. ඇයට තම පළමු ආදරයම මෙතරම්ම බරසාර ප්‍රශ්න මහ ගොඩක් සමග උහුලන්නට වීම ගැන සිත තුල කොපමණ වේදනාවක් අන්තර්ගත වී ඇද්ද යන්න වචනයෙන් කියා නිම කරන්නට අපහසුය.

උශාලි වනාහී ජීවිතයෙන් නැති කරගන්නට අපහසු අයෙකි. ඇය විසින් මේ කාලය පුරාවට ගෙන ආ සැනසීම වනාහී ජීවිත කාලයක් තුල කෙනෙකු විසින් පෙරුම් පුරා ලබාගත යුතු අන්දමේ සැනසීමකි. ඉතින් මේ සියලුම දරාගැනීම්, කැපකිරීම් කරන්නේ ඒ සැනසුම ජීවිත කාලය පුරාවටම තම හිත ඇතුලේම රඳවා තබා ගන්නටයි.

එහෙත් තමා විසින් එවන් දෙයක් බලාපොරොත්තු වීම කෙතරම් සාදාරණද යන පැනය ඒ සැනසුම සොයන, ඉල්ලන සිතුවිලි අස්සෙන් හෙමෙන් සැරේ හිස ඔසවයි.

“ඔව් ඒ ගැන බයවෙන් එපා. මම හිතන්නේ ෂෝබිතා ඉන්නෙ මොකඛරිම ලොකු ප්‍රශ්නෙක. එයා දැන් ගොඩක් රිග්‍රෙට් කරනව එයා මේ කරපු දේ ගැන”

“ඇයි එහෙම කිව්වෙ? එයා කතාකරාද ඔයාට?”

“නෑ, ඒත් එයා අපේ ලෝයර්ට කියල තිබුනා එයා මුලින්ම දුලන්‍යාව ඉල්ලන්න හිතාගෙන හිටපු එක ගැන පවා එයා සෑහෙන වොරි වෙනව කියල”

“ඇයි ඒ? එයා ආයෙ මැරි කරන නිසාද?”

“ඒ ප්‍රශ්නෙම තමයි ඇත්තටම මට තියෙන්නෙ. ෂෝබිතා යාලුවෙලා ඉන්න ඒ මනුස්සය කවදාවත් ෂෝබිතාව මැරි කරාවිද කියන ප්‍රශ්නෙ මට තිබුනා. ඒත් මම ඒ මනුස්සය ගැන දන්නවට වඩා ෂෝබිතා ඒ මනුස්සය ගැන දන්නවනෙ කියල හිතල තමයි මම අන්තිමේ හැමදේම අමතකකරල ෂෝබිතාට ඩිවෝස් එක දෙන්න පවා තීරණය කරේ. 

ඒත්…”

ඒ ඒත් යන වදනට පසුව ආ නිහඬතාවය කෙතරම් සිත බියපත් කරාද යන්න ගැන හරියාකාරව විස්තරාත්මකව කිව හැකි බවක් උශාලි දැන උන්නේ නැත.

“ඇයි ඒත් කියල නතර වුනේ?”

අනුපගේ මුවින් පිටවන ගැඹුරු හුස්ම ඇවිත් සිත සසල කරයි. ඒ වූ කලී දරාගන්නට අපහසු හැඟිමකි. සිත බියෙන් සලිත කරවන්නකි. ඒ හුස්ම සුලඟක් මෙන් විත් සිත ආවරණය කරගෙන තිබූ සැනසීමේ තුරු පත් ඉවටහට විසිකරන්නාක් සේ දැනෙන මොහොතක වුව ඒ ප්‍රශ්නය නොඅසා හිඳීමේ හැකියාවක් උශාලිට තිබුනේ නැත.

“මට හිතාගන්න බෑ ෂෝබිතා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියල”

“ඇයි?”

“නෑ මට නිකන් මොකක් හරි නරක් දෙයක් වෙයි කියල හරි බයක් දැනෙනව. මම දන්නෙ නෑ එහෙම හිතෙන්නෙ ඇයි කියල”

“ඒ සමහරවිට මේ ටිකක් කරදර කාලයක් හන්ද වෙන්නැති. මේ ඔක්කොම ඉවර උනාම ඔයා ගෙදර අය එක්ක පොඩි නිවාඩුවකට කොහෙ හරි යන්න, හිත සැනසෙන්නත් එක්ක”

ඒ මොහොතේ සිත ඇතුලේ වූ බියපත් හැඟුම් පලවාහරින්නට මෙන් ඒ වදන් මුවගින් පිට කරද සිත තිබුනේ කොපමණ බියපත් කරද යන්න හරියාකාරව දැන උන්නේ උශාලිම පමණකි.

“හිත සනසගන්න කොහෙවත් යන්න ඕන නෑ මැණික් ඔයාව දැක්කම මගෙ හිත සැනසෙනව”  කියමින් උශාලිගේ උකුල මත වූ කෑම පාර්සල් මදකට ඉවත් කර අනුප ඒ උකුල මත හිස තබා ගත්තේය. 

“තරහද උකුලෙන් ඔලුව තිබ්බට?”

ඔහු අසන්නේ ඔහු වෙත නැඹුරු වී තිබෙන තම දෑස් දෙසට ඒ විසල් ගැඹූරු නෙතු විහිදුවමිනි.

“නෑ” කියන්නට හිස සෙලවූ උශාලි සෙමෙන් තම දිගු අතැගිලි අනුපගේ සුමුදු හිස කෙස් අස්සෙන් මෙහෙයවන්නට විය. ඒ සිත මහා ගැඹුරු කල්පනාවක කිමිදෙන්නට පටන් ගනිද්දීය.

තමා සිහිනයෙන් හෝ ආදරය කරන්නට අරඹද්දීත් අනුප හිඳ තිබෙන්නේ මහා ප්‍රශ්න රැසක පැටලී බව සිත නොදත් කරුණක් නොවේ. ඒ ප්‍රශ්න එකින් එක විසඳාගෙන ගොස් මේ ආදරය අරඹමු යැයි සිතුවිල්ලක උන්නද අවාරයක වට වැස්සක් සේ ඒ ආදරය වදන් කරන්නට ආ මොහොත පමා කරගන්න අනුපටවත් තමාටවත් උවමනාවක් නොවූ බව සැබෑවකි. එහෙත් මේ ආදරයත්, ඒ සබඳතාවයත් පටන් ගන්නට වන්නේ බොහෝ බාධක රැසක් මැද බව දැන් දැන් තේරෙමින් පවතී. ඒ ප්‍රශ්නවල අවසානය කෙදිනක හෝ තමාට මේ සියලුම නිමේෂයන් අතීතයේ විඳි සුවඳක් මෙන් සිතා දුක්වන්නට හේතු මවන්නක් විය හැකිද යන්න බිය දැන් සෙමෙන් සිත ආක්‍රමණය කරමින් හිඳින බව තේරේ.

“මම දෙයක් කියන්න හිටියෙ ඔයාට” අනුප නැවත දෑස් හැර බලද්දීත් උශාලි උන්නේ ඒ ගැඹුරු කල්පනාව අස්සේ ගිලීය.

එහෙත් අනුපගේ වදන් ඔස්සේ යලිත් පියවි ලොවට එන්නට පාර සොයාගන්නට අපහසු නොවේ. 

“කියන්න”

“අම්මල තාම ඔයාට බනිනවද මම ගැන කියල?”

“එහෙම ලොකුවට දෙයක් කියන්නෙ නෑ, ඒත් ගෙදරින් එලියට යද්දි ඉතින් අමුතුවට බලනව. අද වුනත් එන්න ලැබුනෙ ලෙක්චර්ස් කියල ආව හන්ද. ඒත් අම්මල දැනගත්තොත් කියල බයයි ඉතින්”

මේ සියලුම වේදනාවන් උශාලි විසින් නොවිඳිය යුතු වේදනාවන් බව අනුප නොදන්නවා නොවේ. උකුල මත හිස තබාගෙන උන් ඉරියව්වෙන් මිදී යලි අසුනේ වාඩි වී අනුප උශාලි වෙත හැරුනේය.

“මම නිසා නේද ඔයා මේ හැම කරදරයක්ම විඳින්නෙ කියන එක මට හරි දරාගන්න අමාරුයි”

ඒ හඬ ගැඹුරු හඬකට පරිවර්තනය වෙන්නේ ජීවිතේ හැඟීම්බරම නිමේශයන් වල බව උශාලි දැන් හොඳින් හඳුනයි. අනුප මෙවෙලේ ඉන්නේත් ඒ තරම්ම හැඟීම්බරවය. දරාගන්නට අපහසු කාරණාව තමා දුක් විඳිනවා යැයි සිතා ඔහු හැඟීම්බර වීමයි. ආදරය වනාහි එකිනෙකා වෙනුවෙන් සංවේදී වීම බව උශාලිත් අනුපත් දෙදෙනාම තේරුම් ගනිමින් උන්නේ ජීවිතයේ පලමු වරටය. උශාලි මෙයට පෙර ආදරයක පැටලී නොවුන්නා සේම අනුප විසින් මහ මෙරක් තරම් ආදරය දුන්නද ෂෝබිතා උන්නේ ඒ ආදරය පෙරලා අනුප වෙත දෙන සිතකින් නොවේ.

ඉතින් මේ ආදරයේ පළමු වසත් සමයයි.

“මට මේ කිසිම දෙයක් දුකක් කරදරයක් කියල හිතෙන්නෙ නෑ. අම්මල බැන්නම මට දුක හිතුනට මට ඔයාවයි ඔයාගෙ ආදරෙයි විශ්වාසයි. මම දන්නෙ නෑ ඇයි මට එහෙම හිතෙන්නෙ කියල. ඒත් මට ඔයාව මුලු හිතින්ම පිලිගන්න විශ්වාස කරන්න පුලුවන් බව මට දැනෙනවා. මට තියෙන එකම ලොකුම බය මට ඔයාව නැතිවෙයි කියල. මට හරි බයයි එහෙම දෙයක් උනොත් මම ජීවිතේ ඉතිරි කාලෙ ගෙවන්නෙ කොහොමද කියල. 

ඔයාව දැකල, හිතෙන් ආදරේ කර කර උන්නු කාලෙක විතරක් උනානම් මට ඔයා මොන තත්ත්වයක ඉඳියත් ඒක පිලිගන්න පුලුවන්. ඒත් ඒත් මෙච්චර ලංවෙලා ඉඳල හදිසියේ වෙන් වෙන්න උනොත් මම කොහොමද ඒක දරාගන්නෙ කියන ප්‍රශ්නෙ මට තියෙනවා. 

මට හරි බයයි මට තනිවෙන්න වෙයි කියල. මට වෙන කෙනෙක්ට ආයෙ කවදාවත් ආදරේ කරන්න බෑ අයියෙ. මම ඔයාට ආදරේ කරේ මේ ජීවිතේ මං ආදරේ කරන පලවෙනිය වගේම අන්තිමයත් ඔයා කියල හිතාගෙන”

උශාලිගෙ ඇස් වලින් කඳුලු වැගිරෙද්දි, කටහඬ ඇඬුම්බර වී ඉකිගැසෙද්දිත් අනුප උන්නේ කිව යුත්තේ කුමක්දැයි සිතා ගන්නට අපහසුවෙනි. කිසිදිනක මෙවන් අහිංසක කෙල්ලක තමා වෙනුවෙන් සිත පිලිසිඳ ගත ආදරය නිසාවෙන් හඬා වැලපෙනු ඇතැයි තමා බලාපොරොත්තු නොවූ බව අනුපට ස්තිරය. 

මේ ඇගේ දෑසින් කඳුලු ලෙස ගිලිහෙන්නේ ඇගේ සිත තුල පිරී තිබෙන ආදරයේ දියවරය. එහෙත් කෙතරම් ඇස් වලින් ගලා ගියද ඒ ආදරය නොසිඳෙන බව සිත දනී.

“අඬන්න එපා රත්තරන් ප්ලීස්. මම හින්ද මගෙ ආදරේ හන්දා ඔයාට අඬන්න වෙනවනම් මට ඒක දරාගන්න බෑ

අනික මම මේ පොරොන්දුවක් දෙන්නේ. කිසිම දවසක මම ඔයාව අමතක කරන්නෙ නෑ. ඔයාව අතාරින්නෙත් නැ. ඇත්තටම ගෑණියෙක්ට මිනිහෙක්ට කොච්චර ආදරේ කරන්න පුලුවන්ද කියල වගේම දරුවෙක්ට අම්මෙක්ගෙ ආදරේ මොනතරම් වටිනවද කියන එක පවා මට තේරුනේ ඔයාව හම්බුනාට පස්සෙ. ඔයා තරම් කිසිම කෙනෙක් මට ආදරේ කරලවත් මං ගැන හොයල බලලවත් නෑ. අනික ඔයා තරම් ෂෝබිතා දුලන්‍යාට ආදරේ කරලත් නෑ කොටින්ම ඒ තමන්ගෙ දරුව වුනත්. ඉතින් එහෙම ඔයාව මම අමතක කරාවි කියල ඔයා හිතනවද?”

ඒ පිලිතුරක් නැති පැනයකි. ජීවිතය පිලිතුරක් නැති ප්‍රශ්න වලින් පාට කරන ලද කැන්වසයක් වැනිය. ඒ වූ කලී ඈතින් හිඳ බැලුවද ලංව බැලුවද ජීවිතයේ සැනසුම නැති කරන්නට හේතුවක් වන නොඑසේනම් ජීවිතය ගැන යලි යලිත් සිතාබලන්නට හේතුවන සිතුවමක් වන නමුදු ජීවිතය නැමති කලාගාරයෙන් ඒ සිතුවම කෙදිනකවත් මුලිනුපුටා දමනට හැකියාවක් නොවන බව සත්‍යයයි.

ජීවිතය සුන්දර වී ඇත්තේත්, වඩා අර්තවත් වී ඇත්තේත්, වර්ණවත් වී ඇත්තේත් ඒ ප්‍රශ්න නැමති කැන්වසයන් ජීවිත කලාගාරයේ එල්ලී තිබෙන නිසාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles