“මේක සීරියස් කේස් එකක් අනුප. ඔයා දන්නවනෙ අපි මොනතරම් ස්ටේට් කරන්න හැදුවත් ෂෝබිතා වෙන අෆෙයාර් එකක් නිසාගෙදරින් ගියා කියල දරුවෙක්ගෙ ස්පෙශලි දුවෙක්ගෙ භාරකාරීත්වය අම්මා කෙනෙක්ට ලැබෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
අනිත් එක ඔයාට වුණත් දරුවව ලැබෙන්නෙ ෂෝබිතා එපා කිව්වොත් විතරයි දරුවව. එහෙම එකේ ඔයාට මීට වඩා කෙයාර්ෆුල් වෙන්න තිබුනා. ඔයා මොන තරම් කිව්වත් මැරේජ් එක ඇතුලෙ නෙවෙයි මේ අෆෙයා එක පටන් ගත්තෙ කියල ඒක පිලිගන්නෙ ඔයයි මමයි විතරක් වෙන්න පුලුවන්. ජජ් ඒක පිලිගන්නෙ නෑනෙ.
බට් දැන් කරන්න දෙයක් නෑ. අපි බලමු මොකද කරන්න පුලුවන් කියල. මම කෝකටත් ආයෙ ලෝයර් ගුණරත්න මාර්ගෙන් ෂෝබිතාව කන්වින්ස් කරගන්න බලන්නම්”
තමා වෙනුවෙන් නඩුවට කතා කරන නීතිඥ මහතා විසින් කතා කර කියන්නට යෙදුනේ හිත ගිනිබත් කරවන පණිවිඩයකි. උශාලිත් තමාත් අතර තිබෙන සබඳතාවය ලොවටම රහසක් යැයි සිතා හුන්නද ෂෝබිතා විසින් එය දැනගෙන තිබෙන්නේ දෛවයේ සරදමකට මෙනි. ඒ ඔස්සේ ඇය විසින් තම නීතිඥ තැන වෙත දන්වා තිබෙන පරිදි දුලන්‍යාව ඇයගේ භාරකාරත්වයට ලැබිය යුතුය. මක්නිසාද යත් තමා වෙන යුවතියක් සරණ පාවා ගන්නට සිටින නිසාවෙන් සහ දුලන්‍යාට කුඩම්මෙකු ලග නිසි සැලකිලි ලැබීම උගහට නිසාවෙනි.
මේ තමා කිසිසේත් බලාපොරොත්තු නොවුනද තමා විසින්ද මෙහි යම් වරදක් කර තිබෙන නිසාවෙන් ෂෝබිතා හා කතා කලයුතුය යන සිතුවිල්ල සිතට ආවේ නිරායාසයෙනි.
ඇය තමා කියන්නට යන කාරණාව අසන්නට හෝ කැමතිවේද යන සැකය සිත අස්සේ තිබුණද ෂෝබිතා අමතන්නට අනුප දෙවරක් සිතුවේ නැත.
“හෙලෝ”
“අහ් මොකද එකපාර කතාකරන්න හිතුවෙ?”
එතරම්ම සමච්චලයෙන් ඇය තමාව අමතනන්නේ මේ වන විටත් නීතිඥ මහතාගේ පාර්ශ්වයෙන් ඇය විසින් ගන්නට යෙදුණ කාරණාව ගැන තමාව දැනුවත් කර තිබෙන බව දන්නා නිසා විය යුතුය. එහෙත් මේ ඇය කෙරේ කෝප ගෙන විසඳාලිය හැකි ගැටලුවක් නොවේ.ඉතින් සිත අස්වසාලිය යුතු බව නොරහසකි.
“ෂෝබිතා මට ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕන”
අනුපගේ වදන්වල තැවරී තිබුණ යටහත් පහත් බවෂෝබිතාට සතුටකි. සෙටියේ වාඩිවී එක් පයක් සෙටිය මත තබාගෙබ දකුණතින් ඒ පයේ දම් පැහැ කියුටෙක්ස් ගල්වමින් හුන් ෂෝබිතා දුරකතනය ලවුඩ්ස්පීකර් දැමුවේ කරමින් හුන් කාර්‍යය මග නොනවතා කතාබහ කිරීමේ බලාපොරොත්තුවෙනි.
හොඳින් පෙඩිකියෝර් කර තබාගන්න නියපොතු වල සුන්දරත්වය වෙනදා මෙන් මුලු හදවතින්ම විඳගන්නට බැරි බවක් ෂෝබිතාට දැනේ. අනුපගේ මුදල් වලින් ජීවත් වූ කාලයේ සති දෙකකට පමණ වර්ක් ස්පා සිලෝන් වෙත ගොස් පෙඩිකියෝර් මැනිකියෝර් කර දෑතද දෙපයද සුන්දරව නඩත්තු කරද දමිත් කිසිදිනක තමාට මුදල් ලබාදීමක් සිදු කලේ නැත.මෙතෙක් කලක් ජීවත් වූයේ තැන්පතුවල වූ මුදල් භාවිතා කරමිනි. එහෙත් තවදුරටත් එහි ඇති මුදල් තමාට සුවපහසු ජීවිතයක් ගෙවීමට ප්‍රමාණවත් නොවන බව දැනෙද්දි ෂෝබිතා උන්නේ කුමක් කල යුතු ද යන්න ගැන කිසිත් අදහසක් නැතුවය.
“මොනවද කතා කරන්න තියෙන්නෙ? අපි දෙන්නට මුකුත් කතා කරන්න නෑ කියල ඔයාම නේද මට කෝල් නොකර ඉඳියෙ? දැන් කතාකරන්න යන්නෙ දුලන්‍යා ගැන නම් සොරි අනුප මම ඒ ඩිසිශන් එක චේන්ජ් කරන්නෙ නෑ”
“මගෙත් එක්ක තියෙන තරහ මගෙ දරුව පිටින් යවන්න එපා ෂෝබිතා”
“මගෙ දරුවා? ඔයාගෙ දරුව විතරක් නෙවෙයි ඒ මගෙත් දරුවා. මේ මාස කීපෙට ඔයාට ඒකත් අමතක වුණාද?”
ෂෝබිතා තවමත් කතා කරන්නේ සමච්චල් සහගත හඬකිනි.ඇතැම් විට ඒ තමන් විසින් ගන්නා ලද තීරණයෙන් තමාට වාසිදායක තත්ත්වයක් අත්වෙන්නට තිබෙන බව ගැන ඇති විශ්වාසය නිසාවෙන් විය හැක.
එහෙත් ඒ වෙන්නට ඉඩ දිය හැක්කක්ද? මේ සා ප්‍රශ්න කන්දරාවක් මැද්දේත් නිසලව නැගී සිටින්නට අත්වැල් දෙන ලද්දේ දුලන්‍යාගේ කිරි සිනාවන්‍ය. ඇයව අහිමි කරගෙන විඳිය හැකි ජීවිතයක් තමාට තිබේද?
“ඒත් ඔයාමයි දුලන්‍යාව දාලා ගෙදරින් ආවේ ෂෝබිතා.ඔයාටම තමයි දුලන්‍යාව එපා උනේ. ඔයාම තමයි එයාව අමතක කරල දාලා ආවේ”
ඒ අමිහිරි ඇත්තකි. සිතට අපුල රසයක් ගෙන එන්නකි. එහෙත් නොකියාබැරි කතාවකි.
අනුප උන්නේ සඳලුතලයේ එහෙටත් මෙහෙටත් ඇවිදිමිනි. වමතින් කණ මත දුරකතනය රඳවාගෙන දකුණතින් කෙස් ඇදගනිමිනි.ඒ සිත ඇතුලේ වූ කලබලය එලියට පෙන්වන්නකි.
“ඔඑ ඒත් මට දැන් දුලන්‍යාව ඕන”
“ඇයි ඔයා හදිසියෙම දුලන්‍යාව ඉල්ලන්නේ? අනික අනික ඔයා හිතනවද දමිත් කැමති වෙයි කියල මගෙයි ඔයාගෙයි දරුවව එයා ළඟ හදාගන්න?”
ඒ මුව මදකට ගොලු කරවන්නකි.දමිත් මාසයකින් පමණ මෙහි නොපැමිණිය බවත්,තමාගේ ඇමතුම් හෝ කෙටි පණිවිඩ කිසිවකට පිළිතුරක් හෝ නොදෙන බවත් දන්නේ තමා පමණකි. දුලන්‍යාව ඉල්ලන්නේ අනුප ඔහුගේ අලුත් පෙම්වතිය සමග ගෙවන්නට යන සුන්දර ජීවිතය ගැන ඉරිසියාවෙනුත් ඒ සතුට කඩාකල්ලප කර කුරිරු සතුටක් විඳීමේ බලාපොරොත්තුවෙනුත් බව දන්නේ තමා පමණකි. ඒ අනුප විසින් දැනගත යුතු කාරණා නොවේ. මෙතෙක් වේලා සෙටිය මත තබාගෙන හුන් පය බිම තබා ගැල්වු නිය ආලේපනයදෙස බලමින් ෂෝබිතා දිගටම කතා කරන්නට විය.
“ඒක ඔයා ඇයි ප්‍රශ්නයක් කරගන්නේ? ඒක ප්‍රශ්නයක් වෙනවනම් වෙන්න ඕන මටනේ. අනික මම දමිත්ව දන්නේ ඔයාව මම දැනගන්නත් කලින්. දමිත් දුලන්‍යාව පිලිගන්නවද කියන එකට වඩා ඔයා හිතල බලන්න ඕන ඔයාගෙ ඔය අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් දුලන්‍යාට මොන විදියට සලකාවිද කියල”
ෂෝබිතා මේ කියන්නට තනන්නේ සුපුරුදු කුඩම්මා පිලිබඳ කතාවක් බව සිතාගන්නට අනුපට අපහසුවක් නැත.එහෙත් දුලන්‍යාට උශාලි ෂොබිතාටත් වඩා ආදරය කරන බව පවසා මේ තීරණාත්මක මොහොත තවත් වියවුලක පටලවන්නට තරම් තමා මෝඩ නොවිය යුතු බවට මනසින් රතු එළි දල්වා පෙන්වද්දී අනුප එයට සවන්දෙන්නට විය.
“ඔයා කියන ඕනම දෙයකට ඔයා ඉල්ලන ඕනම දෙයකට මම එකඟ වෙන්නම්. ප්ලීස් දුලන්‍යාව විතරක් ඉල්ලන්න එපා ෂෝබිතා”
ඉන්පසුව ඇති වූ නිහඬතාවය තුල අ නුපත් ෂොබිතාත් මුවින් කිසිවක් නොකීවද සිත තුලින් බොහෝ දේ පවසන්නට විය.
සඳ තිබුණේ අහසේ කොහේදැයි නොදන්නා තැනක සැඟවිය. ඒ නිසාවෙන් අවට පරිසරයම වසාගෙන තිබුනේ අන්දකාරයකි. එහෙත් තවමත් එතරම්ම රෑ බෝවී නැති බව කියන්නට මෙන් නිවස ඉදිරිපස අතුරුපාර ඔස්සේ වාහන ගමන් කරන හඬ අනුපට ඇසේ. සිත උඩ පිරී තිබෙන ප්‍රශ්න කන්දරාව මදකට හෝ බිම තබන්නට හැකිනම් කොපමණ අපූරුද? එය කල හැක්කක් නොවේ.
“ඔයා මාව දාලා ගියේ ඇයි කියල මම ඔයාගෙන් අහන්නෙ නෑ ෂෝබිතා. මනුස්සයෙක් කැමතියි තමන් ආදරය කරන තමන්ට ආදරය කරන කෙනෙක් ලඟ නතරවෙන්න. ඔයාගෙ ඉල්ලීමටමයි මම ඩිවෝස් එක උනත් දෙන්න කැමති උනේ. ඔයා දමිත්ව තෝරගත්ත වගේම මටත් අයිතියක් නැද්ද ෂෝබිතා මම ආදරය කරන මට ආදරය කරන කෙනෙක් ලඟ නතරවෙන්න? මට ඔයා ගැන තරහක් තියාගන්න උවමනාවක් නෑ. ඒත් ඒත් ප්ලීස් ෂෝබිතා මගෙන් පලිගන්න හිතාගෙන දුලන්‍යාව ඉල්ලන්න එපා. එහෙම කරල ඔයා රිද්දන්න හදන්නෙ මට නෙවෙයි දුලන්‍යාට. මට වඩා හොඳට ඔයා දන්නවා ඔයා මේ ගෙදර ඉන්න කාලෙත් දුලන්‍යා ගැන කෙයාර් කරේ නෑ කියල. ඔයා හොඳටම දන්නවා ඔයා මේ වෙලාවෙ දුලන්‍යාව ඉල්ලන්නෙ මගෙන් පලිගන්න කියල හිතාගෙන බව.
ඩිවෝස් උනාකියල අපි දෙන්න තරහ කාරයො වගේ ඉන්න ඕන නෑ ෂෝබිතා. ඔයාටඕන වෙලාවක පුලුවන් මෙහෙ ඇවිත් දුලන්‍යාව බලන්න.
අනික ඔයා හොඳටම දන්නවා මම දුලන්‍යාට කොච්චර ආදරේද කියල. එහෙම එකේ ඔයා හිතනවද කවදාවත් මගෙ අතින් දුලන්‍යාට රිදෙන, එයාට හර්ට් වෙන නරක දෙයක් වෙයි කියල?ඔයා හිතනවද මෙච්චර දේවල් උනාට පස්සෙත් මම දුලන්‍යා ගැන නොහිත වෙන මනුස්සයෙක්ව ජීවිතේට ලං කර ගනීවි කියල?”
ඒ වදන් මොහොතකට නවතාලමින් මෙතෙක් වේලා කණ මත රඳවාගෙන උන් දුරකතනය අතට ගෙන එහි මුහුණත බලන්නට වූයේ තවත් ඇමතුම එන බවට දුරකතනය කල නාදය නිසාවෙනි.
ඒ ඇමතුම උශාලිගෙනි.සුපුරුදු පරිදි රාත්‍රියට ගන්නා ඇමතුම පමා වූ නිසාවෙන් ඇය තමාව අමතන බව අනුපට රහසක් නොවේ.එහෙත් මේ ඇයට කතා කරන්නට සුදුසු වේලාවක් නොවේ. එයට පෙර විසඳාගන්නට බැරෑරුම් ප්‍රශ්නයක් මෙහි උද්ගත වී ඇත.
“මම දුලන්‍යාව ඉල්ලන්නේ නෑ ඔයා එක දේකට කැමති නම්”
උශාලිව අමතක කරවන්නට මෙන් ෂෝබිතාගේ වදන් එපසින් නැගේ. මෙතෙක් වේලා සමච්චල් සහගත බවක් රැඳී තිබුණ ඒ හඬට කුමක් හෝ බරැති බවක් එක් වී තිබෙන බවක් අනුපට දැනේ.
ෂෝබිතා විසින් කියන්නට යන්නේ කුමක්දැයි නොදන්න නමුත් අනුප උන්නේ ඇය විසින් පනවන්නට යන ඒ කොන්දේසිය පිලිබඳ බොහෝ බලාපොරොත්තු තබාගෙනය.
“වයි කාන්ට් වී ගෙට් බැක් ටුගෙදර්?”
ෂෝබිතා ඒ වදන් පැවසුවේත්, හැකි වූ මොහොතක තමා අමතන්න යැයි කියමින් උශාලිගෙන් පණිවිඩය ආවේත් එකම මොහොතක මෙනි.
අනුප උන්නේ දුලන්‍යාගේ නිදන කාමරයේ දුලන්‍යා දොර අසලට වී මන්දාලෝකය මැද සුව නින්දකට තුරුලු වී හිඳින සිඟිත්තිය දෙස බලාගෙනය.
ඉතින් රාත්‍රිය බොහෝ දිගය.