සයුර ට මුහුණ ලෑ, විවර වූ කවුළු පියන් පත් අතරින් කරදිය සුළඟ හමා ගෙන ආවේ ය. කඳුළු වලට තියෙන්නේත් එසුවඳ ම යයි වියානා ට සිතිණ. නමුත් මේ මොහොතේ ඇගේ ඇස් වල කඳුළක් වූවා නොවේ. ඒ සුවඳ හමමින් තිබුණේ හිත ඇතුළේ ය.
වියානා සිටියේ දියමන්ති ජයකොඩි හිඳ උන් වේවැල් පුටුව අසල බිම හිඳ ගෙන ඇගේ උකුලේ හිස තියා ගෙන ය. දියමන්ති මුදු ලෙස, ඈ හදා වඩා ගත් දියණිය ගේ හිස පිරිමදිමින් සිටියා ය. කුස හිස් වී ද ඇගේ මුළු ආත්මයේ ම කිරි සුවඳ ඉහිරුවන්නට ද දරු සෙනෙහස උතුරුවන්නට ද වියානා සමත් වූවා ය. අම්මා කෙනෙකු වෙන්නට නව මසක් දරුවෙකු කුසින් දරා ගෙන සිටිය යුතු ම නැති බව දියමන්ති දැනටමත් ලෝකයට ඔප්පු කොට පෙන්වා තිබේ. ඇගේ මුවග ඉසිහින් මඳහසකි. ඒ කාලයක් තිස්සේ ඇය පුරුදු පුහුණු කරගන්වා ලද උපේක්ශාවේ මඳහස ය. ආත්ම විශ්වාසයේ මඳහස ය. සුළි කුණාටු දහසක් ඇතුළාන්තයේ හමමින් තිබුණා වී ද ඒ මඳහසින් දෙතොල් සරසා ගෙන ඉන්නට ඇය ට හැකි ය.
“තාත්ති ඇවිත් ඊයෙ වෙච්ච දේවල් කිව්වහම…මට හිතුණ ඔයාට ආයෙ මේ අම්මි බලන්න ඕන වෙන එකක් නෑ කියල”
ඇගේ ස්වරය අධ්‍යාත්මය පෝෂණය කළ බැතිමතියක ගේ සෙයින් නිවුණේ විය. දුකක, වෛරයක හෝ ඊර්ෂ්‍යාවක අංශු මාත්‍රික සලකුණක් හෝ එහි දැකිය හැකි වූයේ නැත.
“අනේ අම්..මි…”
වියානා, ඇය දෝතින් ම වැළඳ ගෙන සිටි අම්මා ගේ පාදයෙහි ග්‍රහණය තවත් දැඩි කළා ය.
“ඒ මොහොත හරියට ෆිල්ම් එකක ඉන්සිඩන්ට් එකක් වගේ. ඒත්…මං ඒ මොහොතට හරි ආසයි. අම්මි අවුරුදු ගාණක් තිස්සෙ ටික ටික මට කියල දීපු මිනිස්කම්…මුළු විශ්වයම පාලනය කරන එක ම එක බලවේගයක් ගැන කියපු දේවල්…ඒ හැම දේම ඒ එක මොහොත ඇතුළෙ ඇස් දෙකෙන් දැක ගන්න මට පුළුවන් වුණා. මේ දැනුත් මගෙ ඇඟ සීතල වෙනව අම්මි. ඔයා වගේ අම්මිල…සියපත්ගෙ එහෙ ඉන්න තාත්ත වගේ තාත්තල…එයාලගෙ පපු ඇතුළෙ පිරිල තියෙන ආදරේ ගැන මිනිස්සු කවදාවත් දැකල නැත්තෙ ඇයි…එහෙම අම්මල තාත්තල ගැන එක සින්දුවක්වත්…එක කවියක්වත් ලියවිල නැත්තෙ ඇයි…ළමයින්ට වෙනස්කං කරන කුඩම්මල බාප්පල ගැන ලියපු මිනිස්සුන්ට…මේ විදිහටත් අම්මල තාත්තල ආදරේ කරන්න පුළුවන් කියල පේන්නැතුව ගියෙ ඇයි…මං වගේම සියපතුත් හරිම වාසනාවන්තයි. ඔයා වගේ අම්ම කෙනෙකුයි සියපත්ගෙ තාත්ත වගේ තාත්ත කෙනෙකුයි අපිට ලැබුණ නිසා. ඒක නිසා අර ෆෙයරි ටේල්ස් වල ඉන්න ස්ටෙප් මදර්ස්ල ළඟ හැදුණ ළමයින්ට වගේ ඉරණමක් අපි වෙනුවෙන් ලියවුන්නෑ”
“ඔයා ඔන්න ඔහොම ලොකුවට හිතන ළමයෙක් විදිහට ඔයාගෙ ජීවිතේ බාර ගන්නව දකින්න විතරයි මට ඕන වුණේ. ඔයා මගෙ අතට එද්දි දරුවෙක් නැති නිසා අපේ ජීවිත පාළු වෙලා ගිහින් තිබුණෙ. ඒත් ඔයා ආවට පස්සෙ මුළු ලෝකෙම එළිය වුණා. ඒ කාලෙ සිද්ද වෙච්ච දේවල් ගැන තාත්ති එක්ක වුණත් කවදාවත් මං ගහ බැණගෙන නෑ. මං ඔයා එක්ක ජීවිතේ දවස් ගත කර ගෙන ගියේ ඕනම දෙයක් ඕනම මොහොතක වෙන්න පුළුවන් කියල දැනගෙන. ඒ වගේම ඔයා මාව අත්ඇරල යන මොහොතක වුණත් කලකිරෙන්නෙ නැති ආදර මතකයක් හිතේ ඉතුරු කර ගන්නව කියන විශ්වාසෙන්. ඒ නිදහස් සනීපෙ අද මට දැනෙනව වියානා. මට මුකුත් නැති වුණා කියල මං හිතන්නෑ. අපි කවුරුත් මේ ලෝකෙට එන්නෙ මොකක් හරි දෙයක් කරල යන්න. ඒ කරන දේ අපේ හිත් සතුටු කරන දෙයක් වෙන්නයි ඕනෙ”
“ලව් යූ අම්මි”
“ලව් යූ ටූ මැණික”
වියානා ව මීගමුවේ වෙරලාසන්න හෝටලය වෙත ගෙනැවිත් බැස්වීමෙන් පසු සදාතන සියපත් ව කහවණුගොඩ මැදුර වෙත කැටිව ගියේ ය. පෙර දා උදා වූ හිරු ම අද දිනයටත් උදා වී තිබුණ ද එක රැයකින් ජීවිත වල ඉරණම වෙනස් වන්නට පුළුවන. සියපත් තුළ මඳ දෙගිඩියාවක් වූයේ ය.
“ඔයා ඒ වෙලාවෙ ඇවිත් මගෙ අතින් අල්ලගන්නකොට දැනුණ හැඟීම…දෙයියනේ මොනා සිද්ද වුණත් ඔයා එහෙම අතින් අල්ලන් ඉන්නවනං මට ෆේස් කරන්න පුළුවන් කියන ශක්තිය දැනෙන්නැති. ඒ වෙලාවෙ මං ගිලිල හිටියෙ වචන වලින් විස්තර කරන්න බැරි දුකක මහ ගැඹුරු තැනක. එතන හිටියෙ මගෙ තාත්ත විතරයි. දෙයියනේ මං කොහොමද අයියෙ එයාගෙ ඒ ආදරේ දරා ගන්නෙ…කොහේ හරි අගුපිලක වැටිල ජීවිතේ වැරදිලා යන්න හිටිය පොඩි ගෑනු ළමයෙක් තමන්ගෙ කර ගෙන…සියපත් සඳපිනි සූරියගොඩ කියල ලස්සන නමකුත් දීල ඒ අසරණ කෙල්ලට මේ ලෝකෙ අයිති තැනක් තියනව කියල බය නැතුව කියන්න පුළුවන් වෙච්ච පිරිමියෙක්ට ජීවිතේ පුරාම තාත්ත කියල කියන්න පුළුවන් වුණ එක…ඒ ආදරේම…ඒ ගෞරවේ ම මට ඒ වෙලාවෙ ඔයා ගැනත් දැනුණ. සිද්ද වෙච්ච කිසිම දෙයක් නොදැන එතන්ට ඇවිත් මගෙ අතින් අල්ලගෙන මාව බාරගන්නව කියල කියපු ඔයා…මට මගෙ තාත්ත වගේමයි දැනුණෙ. ලෝකෙ ඉස්සරහ තනි වෙලා අසරණ වෙන්න ගිය ගෑනු ළමයෙක්ව තැන් දෙකකදි අතින් අල්ලගෙන ඒ නින්දාව තමන් පිටට දා ගන්න ලෑස්ති වුණ පිරිමි දෙන්නෙක් මගෙ ජීවිතේ දෙපැත්තෙන් ඉන්නව කියල හිතන එක….”
සදාතන සියපත් ගේ අත ගෙන සිය කකුලක් මතින් තබා ගත්තේ ය.
“ගෑනු ළමයි ආදරේ තිබුණත් අඬනවනෙ අප්ප”
ඒ කතාවට නම් සියපත් ට කඳුළු අතරින් ම සිනහවක් නැඟිණි.
“ඔයාට තාත්තල දෙන්නෙක් ඉන්නව. වියානාට අම්මල දෙන්නෙක් ඉන්නව. ඉතින් කොච්චර හොඳද…මට අම්ම කෙනෙක් නැති දුක මං ඕනතරං තනියම බෙයා කරල තියනව. පස්සෙ කාලෙක මට හිතිල තියෙනව තාත්ත අෆෙයා එකක් තියනව කියන ආන්ටි…තාත්තව මැරි කරල අපේ ගෙදර හිටියනං හොඳ නැද්ද කියලත්..ඒත් කවදාවත් ඒ වගේ දෙයක් ගැන ඕපන්ලි කතා කරන්න මට පුළුවන් වෙලා නෑ. මිනිස්සුන්ට ආදරේ ඕනනං ඒ ආදරේ ලැබෙන්න ඕන සියපත්. ලබාගන්න ඕනෙ. මට තේරෙන්නෙ එච්චරයි”
කහවණුගොඩ මැදුර සියපත් කෙරේ කිසිදු වෙනසක් හැඟවූයේ නැත. නමුත් සියපත් මදිරා සමගින් සිය උත්පත්ති කතාව ගැන යුතුකමක් සේ කියන්නට ගියා ය. ඒ වෙලාවේ මදිරා ඒ කතාව නවතාලූයේ දැනටමත් ඇය සදාතන වෙතින් ඒ ගැන දැන සිටි නිසා ය.
“සියපත්. මං ඔයාට හරිම ආදරෙයි කියල ඔයා දන්නව. ඔයා ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ දුව වුණත්..පොඩි බිස්නස්මන් කෙනෙක්ගෙ දුව වුණත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. ඔයා මගෙ මල්ලිව සතුටෙන් තියන ගෑනු ළමය වෙන එක විතරයි මට වැදගත්. මොකද…අතීතෙ සිද්ද වෙච්ච කිසි දෙයක් ඔයාගෙ වරදකින් වුණා නෙවෙයි. ඔයාට පාලනය කරන්න පුළුවන් කමක් තිබුණ ඒවත් නෙවෙයි. හැබැයි ඒ සිද්දිය අහල මං හරියට පුදුම වුණා. ඒත් ඉරණම එහෙම තමයි. ඔයයි වියානායි දෙන්නම හොඳ ම හොඳ ගෑනු ළමයි කියල මං දන්නව. අපිට ආදරෙන් සතුටෙන් ඉන්න ඒ ඇති සියපත්”
සිදු වෙන ඕනෑ ම දෙයක හොඳ ම දකින්නට හැකි නම්, සිදු වෙන ඕනෑ ම දෙයක් මැදිහත් සිතින් පිළි ගත හැකි නම් ජීවිතය දරා ගැනීම අපහසු නැති බව කුඩා කල පටන් ම සියපත් දැන සිටියා ය. ඇය වූ කලී කඳුළු අතරින් සිනහ වුණ ගෑනු ළමයෙකි. ඉරණම දරුණු ම පරික්ෂණ සිදු කරත්දීත් කෙසේ හෝ ඉන් සමත් වී ජීවිතය තරණය කරන්නට යත්න දැරූ ගෑනු ළමයෙකි. ඒ හින්දා මේ එළඹ සිටින්නේ ක්ෂේම භූමියකට සේ ඇයට හැඟේ. කාන්තාර වලටත් වැහි වහින කාල උදා වේ. මල් පිපෙන කාල උදා වේ. ඇය සිය ජීවිත කාන්තාරයේ මල් පිපෙන තුරා අහසට ශාප කරමින් සිටි තැනැත්තියක නොවේ. ඒ නිසා දන්නේ නැතිව ම වැහි වහින්නට පටන් ගෙන තිබේ!
එදා කෑම මේසයේ දී ද සනාතන වැඩි කතා බහක් කළේ නැත. ටික දවසක සිට ඔහු කතා කිරීම අඩු කොට කල්පනා කිරීම වැඩි කොට ඇති බවක් සදාතන ට දැනී තිබේ. විවිධාකාරයන්ගෙන් ඒ ගැන අනුමාන කරන්නට උත්සාහ කළ ද නිසි හෝඩුවාවක් ඔහු ට ලැබුණේ නැත. කෙළින් ම ඒ ගැන විමසී ද සනාතන කළේ “පිස්සුද මුකුත් අවුලක් නෑ” කියා මගහැර යාමයි. නමුත් සිය නිවුන් සහෝදරයාගේ හිත ඔහු ට කරදර කරමින් ඇති බව සදාතන ට දැනිණි.
“ඔයාගෙ අයියට මොකද වෙලා තියෙන්නෙ කියල හොයල බැලුවෙ නැද්ද…පොඩ්ඩක් බලන්න එපැයි”
කෑම මේසයේදී සදාතන කෙළින් ම සියපත් ට යෝජනා කළේ ය. සනාතන ඔහු ට රවා බැලුවේ ය.
“පිස්සුද ඕයි..මට මුකුත් වෙලා නෑ”
ඔහු නො සැලකිලිමත් ලෙස කීවේ ය. නමුත් සැබවින් තමන් තුළ අව පීඩන කලාපයක් ඇති ව පවත්නා බව ඔහු ට නො දැනුණා නොවේ. එය මහත් නිස්සාරවත් බවකි. එදා ඔහු හා වියානා අතරේ නො සිදු විය යුතුව තිබූවක් වී යයි හිත නිතර ම පසුතැවිලි වේ. වියානා එහි බරක් නො දරනා තරමට සනාතන ට දැනෙන්නා වූ පීඩනය වැඩි ය. ඇය ඉන් පසුව ද ඉතා මිත්‍රශීලී බවකින් ඔහු හා කටයුතු කළා වී ද සුවපහසු කලාපයක් සනාතන වෙනුවෙන් තනා දෙන්නට සමත් නොවූවා ය. ඒ රාත්‍රියේ සිදුවීමෙන් පස්සේ වියානා කහවණුගොඩ මැදුරේ රෑ නතර වීමක් සිදු වූයේ ද නැත. ඇතැම් විට ඇය හිතා මතා ම එහෙම කරන්නට ඇත.
ඒ සන්ධ්‍යාවේ ජිතේන්ද්‍ර ජයකොඩි මයිකල් කහවණුගොඩ හමු වූයේ ය. මධු විතකින් මුව තෙත් කොට ගත්තා ට පස්සේ ඔවුන් ට කතා කරන්නට දේවල් පේළි ගැසී ආයේ ය. ඔවුන් දෙදෙනා ගේ ම හදවත් වල ගැඹුරේ, කාලය විසින් කබොළු තැනූ තුවාල තිබිණි. ඔවුන් කතා කළේ ඒ තුවාල ගැන අවබෝධයකින්, ඒවා දරුණුවට නො පෑරෙන සේ පරෙස්සමට ය.
“මොනා වුණත් සදාතන ජෙනුයින් ඉලන්දාරිය. ඒකා මගෙ කෙල්ලො දෙන්නගෙන් කවුරු බැන්දත් මට කමක් නෑ. තාත්ත කෙනෙක් විදිහට මයිකල් දන්නව අපේ හිත් වල දුවල ගැන තියන බය…නැද්ද…”
“නැතුව නැතුව…අවුරුදු දෙක තුනක් මදිරා එක් තැන් වෙලා ඉද්දි මං නොමැරී මැරුණා ජිතේ”
“තරුණ කාලෙ මගෙ අතින් වැරදි වෙලා තියනව මයිකල්. මං ඒක පිළිගන්නව. ඒක නිසා තමයි මං මගෙ දුව ගැන වද වුණේ. මං වගේ පිරිමියෙක් නිසා කවදහරි මගෙ දුවට වරදක් වෙන්න දෙන්න බෑ කියන කියන හිතිවිල්ල…පපුවෙ පතුලටම කිඳා බැහැලයි තියෙන්නෙ මයිකල්. මං හිතන්නෙ අතීතෙ අමතක නැති හැම තාත්ත කෙනෙක්ගෙම පපුවෙ ඒ බය තියනව. අපි වැරදි කළෙත් කවුරු හරි තාත්ත අම්ම දෙන්නෙක් පරිස්සමට හදපු කෙල්ලන්ට…”
ජිතේන්ද්‍ර ගේ ඇස් කෙවෙනි වලට ඉසිහින් කඳුළු බින්දුවක් රොක් වූයේ ය. ඔහු එය සිය මහපට ඇඟිල්ලෙන් ගොරෝසුවට ගබ් සා කොට දැමුවේ ය.
“ගෑනු පව් මයිකල්. පිරිමි අපි නිසා උං දරා ගත්ත දරා ගන්න දේවල්…අපේ දුවලට එහෙම වුණොත් කියල හිතෙන තැනදි තමයි පාරා වළල්ලක් වගේ අතීතෙ අපේ ඔළුවෙ වදින්නෙ…”
“අපි හැමෝම හැඟීම් දැනීම් තියෙන මිනිස්සු. මායා නැති වුණාට පස්සෙ මං ආයෙ බඳින්නැතුව හිටියෙ ළමයින්ට අසාධාරණයක් වෙයි කියල. ඒත් ඒක නිසා පැත්තක හිටපු ගෑනියෙක්ට අසාධාරණයක් වෙන්නැති. ඒ ගෑනිට මොන දේවල් තිබුණත් කවදාවත් මගෙ වයිෆ් විදිහට ලෝකෙ ඉස්සරහට එන්න පුළුවන් වුණෙ නෑ. මේක මහ අසාධාරණ ලෝකයක් ජිතේ”
“දියමන්ති වුණත් හැම දේම දරා ගෙන වෙන ගෑනියෙක්ගෙ බඩෙං ඉපදිච්ච මගෙ කෙල්ලෙක්ව හැදුව…කිසිම වෙනස්කමක් නොකර. මං දන්නෑ මට දියමන්ති වෙනුවෙන් කවදාවත් එහෙම කරන්න පුළුවන් වෙයිද කියල. ඒ අතින් ශාන්ත…සියපත් කවදාවත් වැරදිලාවත් මට තාත්තෙ කියලනං කියන්නෑ කියල මං දන්නව. ඒත්…මං එයා වෙනුවෙන් මගෙ යුතුකම ඉෂ්ට කරනව. මගෙ බිස්නස් ඔක්කොම කෙල්ලො දෙන්නගෙ නමට සමානව බෙදල ලියල දීල දියමන්ති එක්ක මං ආයෙ යනව. අපිට ජීවත් වෙන්න මං ළඟ තියන සල්ලි ඇති”
“ජිතේ…උඹ සියපත්ට බිස්නස් එකෙන් බාගයක් ලියන නොලියන එක උඹේ වැඩක්. හැබැයි උඹ එහෙම නොකළයි කියල මං සියපත්ව මගෙ ලේලි කරගන්නැතුව ඉන්නෑ. මට ආඩම්බරයි ඊයෙ මගෙ කොල්ල කෙළින් කතා කරපු එක ගැන..ඒකා එහෙම කරපු එක ගැනයි මට පුදුම. සනාතන එහෙම කළානං පුදුම නෑ. මූ…අහිංසකය බං. හැබැයි සදාතන කෙල්ලට කැමති වෙලා තියෙන්නෙ ශාන්ත කියන දුප්පත් ආප්ප කඩයක් කරන මිනිහගෙ දුව හැටියට මිසක් උඹගෙ ඩවුරි එක බලාගෙන නෙවෙයි”
ඒ කතා බහ එන්න එන්න ම මී විතෙන් පෙඟී ගිය ද ඒ පිට වූ සෑම සියලු වදනක ම වූයේ පිරිසිඳු අවංකත්වයකි. ඒ දොඩමළුව ඔවුන් දෙදෙනා ගේ ම හිත් සැහැල්ලු කරන්නට සමත් විය.
කඩේ වසා ගෙදර විත් ශාන්ත රෑ කෑම කෑවේ මුළුතැන්ගෙයි පඩිය උඩ හිඳ ගෙන ය. සියපත් තාත්තා ට යාබද ව හිඳ ගෙන රෑ අහස දෙස බලා සිටියා ය. ශාන්ත කවදත් ඇයට වීරයෙකි. දැන් වීරත්වයේ සුවඳ දැනෙනවා වැඩි ය.
“පුතේ”
ඔහු බත් පිඬක් අනන ගමන් කතා කළේ ය.
“ම්..”
“වියානා දුව මෙහෙ ඇවිත් ඉන්නව වගේ..පුතත් දවසක් එහෙ ගිහින් ඉඳල එන්න. ඒගොල්ලො ආස වෙයිනෙ..නේද…”
සියපත් දෑත ම ශාන්ත ගේ බෙල්ල වටා යවා ඔහු ව බදා ගත්තා ය.
“ඔයා කොහොමද තාත්තෙ ඔහොම වෙන්නෙ..”
උළුවස්සට හේත්තු වී උන් සුජීවා ගේ හිතේ වූයේ ද සියපත් විමසූ පැනය ම ය. එදා හලාවත කොළඹ දුම්රියෙන් බැස පිටකොටුවේ දී කතා බහ කළ වෙලාවේ පටන් ඇගේ ජීවිතයේ තිබූ එක ම පැනය ඒ ය. රිදුම් දෙන උගුර, සුජීවා අතකින් අල්වා ගත්තා ය.