පරණ යකඩ හට්ටි මුට්ටි – 02

මහා කුණු වැහි දවසක බට්ට බාගේ හැට පහේ  වත්තේ එරිච්ච දවසේ ඒක ගොඩගන්න කට්ටිය වට උනා.
ආක්ටික් අමීන්ගෙ පැකට් දහය තෙමෙයි කියලා විලුඹක් එරෙන මඩ ගොඩේ මඩ කරියෙක් වගේ
දඟල දඟල බට්ටගේ බක්කියෙ ටින්  බෙලෙක්ක අස්සේ හංගලා තිබිච්ච පාර්සලය මම ඩ්‍රයිවින් සීට් එක යටට දාගත්තා. වත්තේ කොල්ලො කට්ටිය එකතුවෙලා පණ දාගෙන තල්ලු කරලා බට්ටා බාගේ ගොඩට ගත්තා. දනිස්ස ගාවටම මඩ පිරිලා හින්දා බාටා දෙකත්  ඇගිලි දෙකට අරගෙන සදා ලගෙ ගේ පැත්තට ගියේ කකුල් හෝදගන්න  හිතාගෙන උනාට සඳමාලි ලගෙ පුංචි ටකරං ගේ මැද්දෙන් මහා වතුර පාරක් ගලාගෙන යනවා දැක්කා.පොද වැස්සේ සඳමාලියි අම්මයි කසිප්පු බූලි ටික නඩේසන් ලගෙ  ගෙදරට අදිනවා මම දැක්කා. ගේ මැද්දේ ගල් බැලන්ස් මන්චි බෝර්ඩ් එකේ විල්බා දපලා උන්නා . බෝඩ් එක යටින් මහා වතුර පාරක් ගලාගෙන යනවා.

සිහින ගගේ පීනා පීනා …
විල්බා වෙරි මරගාතේ දොඩවනවා මට ඇහුණා.

තදට වහින හැම දවසකම ඔහොම තමයි අනේ.. ඕකේ ඇති අරුමයක් නෑ..සදා  එහෙම කියලා ඒ වෙලාවේ හිනා උනා.

මඩ හෝදගෙන බට්ට බාගේ ආපහු පාරට අරගත්තේ මේ කුණු වැස්සෙ මොන ටිං බෙලෙක්ක   එකතු කිරිල්ලක් ද කියලා හිතුන  හින්දා.
ඉගුරුකඩේ හන්දිය හරියේදී පොලිසිය වාහනයට අත දැම්මා අද වගේ මතකයි.ඊට පස්සේ මොනවද නොවුණේ…

සර්… පොලිසිය නවත්තන්න කියනවා. මොකද කරන්නෙ නවත්තමු නේද..
දහනායක එකපාරටම සද්දෙන් කියපු හින්දා මාව ගැස්සිලා ආපහු මේ ලෝකෙට ආවා…

නවත්තන්න කියනවා නම් නවත්තනව අයිසේ…

අනික් හැමෝම තමන්ගේ ආරක්ෂාවට පොලිස්කාරයෝ වට කරගෙන යනකොට අපේ සර් විතරක් නිකන් යනවනේ.ඒකනෙ මේ පාර දෙපැත්තෙ හිටගෙන ඉන්න කොස්සෝ අත දාන්නෙ..

දහනායක තනියම කුටු කුටු ගගා සිග්නල් ලයිට් දාලා පාර අයිනට වාහනය ගත්තා.

සර් ඔහොම ඉන්න .. මං ඔය කොස්සන්ට හොඳ දෙකක් කියලා එන්නං.. කියපු දහනායක දඩිබිඩි ගාලා වාහනයෙන් බහින්න හැදුවා .

දහනායක පොඩ්ඩක් ඉන්නවා.
ඔක්කොටම ඉස්සෙල්ල කෙහෙවලු පටලගන්න යන්නේ තමුසෙල ගෑනු වගේ නේ..

දහනායක වාහනය ටිකක් ඉස්සරහට කරල නවත්තපු හින්දා
පැති කණ්ණාඩියෙන් මට පෙනුනා ටෝර්ච් එකත්  ගහගෙන පොලිස් ලොක්කා වාහනය පැත්තට එනවා.

ශිකේ.. මහ අන්තිම සවුත්තු දවසක්… මේ සාජන් වීරබුව බුවා නේද .. අප්පා… මට මොකද්ද වෙලා ගියා. අසරණ සරණ හා යළි නඟාසිටුවීමේ අමාත්‍යාංශය බාරගත්තු ඇමැති හැටියට දැන් මම ඉන්න තත්ත්වයත් එක්ක සාජන් වීරඹුව ට මාව හම්බ වෙනවා කියලා කියන්නේ මගේ අලගිය මුලගිය සේරම ආපහු ඒ මිනිහට මතක් වෙනවා කියන එකයි. එදා ඉඟුරුකඩේ හන්දියේ දී මාව අමීන් අයියගේ පාර්සලයත් එක්ක අල්ල ගත්තෙත් වීරඹුව කාරයම තමයි. එතකොට නං ඌ කොස්සෙක්..මගේ කේස් එකෙන් පස්සෙ ඌට සාජන් ප්‍රමෝෂන් එකක් හම්බ උනානෙ.

ආ… මේ අපේ සදිස අතපත්තු ඇමතිතුමා නේ.. ඉතින් ඉතින් කොහොමද..
අප්පා එදා දැක්කට  පස්සේ  මේ දැක්කම වෙන්න ඇති..

සාජන් කාරයා තමන්ට හොඳට මුල මතක බව ඔළුව අතගාලා ටොක්කක් අනින ගමන්ම මට කිව්වා.

ආ..සාජන් මහත්තයා ..ඉතින් ඉතින්… අම්මේ…අම්මා අප්පා දැක්කා වගේ කියලා කියන ගමන් මම වාහනයෙන් බැස්සේ ඕනවට වඩා ලොකු කම පෙන්නන්න ගිහිල්ලා නිකං බොරුවට චාටර් වෙන්න බැහැ කියලා හිතිච්ච හින්දා.

මොකද අප්පා මේ..අමාත්‍යංශයක් භාර ගත්ත පාර්ලිමේන්තු ඇමති කෙනෙක් යන විදිහද මේ..කෝ දෙයියනේ ගාර්ඩ් එක..ඔය විදිහට එනකොට අපිට අඳුනා ගන්න බෑනෙ.නැත්තං කීයටවත් අපි අත  දාලා නවත්තන්නෙ නෑ නේ..

මට තනියම හිනා ගියා.
ටිං බෙලෙක්ක පටෝ ගෙන ආපු මාව අල්ලන්න දෙපාරක් හිතපු නැති සාර්ජන් ඇමතිලාට අතදාන්න දෙපාරක් හිතනවා. ආක්ටික් අමීන්ගෙ අවුරුදු තුනේ දානෙට මමත් ගියා. ඊට පස්සෙ සේදර් ලස්සනට බිස්නස් එක කරගෙන තාමත් ඉන්නෙ මං හින්දා.  එදා බට්ටා උසාවියට ගත්තට පස්සේ රාජසන්තක වුණා. මිරාල් අයියා හද්ද අනාත උනා. මාව අවුරුදු තුනකට හිරේ ගියාට පස්සේ බලන්න කියලා එක බලු බල්ලෙක් නැතුව ගියා.

ඉතින් ඉතින් ඇමතිතුමා..ගමනට බාධා වුනානම් තරහ අවසර..ගිහිල්ලා එන්න එහෙනං..

සාජන් මහත්තයා ලා රෑට මුකුත් කාලද..

ගෙදරින් බත් ගේනවා..තව වෙලා තියෙනවා නේ.. පස්සේ කනවා..

මෙන්න මේක තියාගන්න.තේ බොන්න..
මම එහෙම කියලා රුපියල් දාහක් මිට මොල වනකොට වීරඹුව කාරයා දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා. මීට අවුරුදු කීපෙකට විතර කලින් ඔය දත් සැට් එකෙන්ම මට දත්මිටි කාපු හැටි අද වගේ මතකයි.

මොකටද සාජන් මහත්තයා බොරුවට පොලීසිය
වට කරගෙන යන්නේ. ඕවා බොරු සෝබන වැඩ.මොකද ඒ ගොල්ලො හිටියයි කියලා  කාට හරි මට වෙඩි තියන්න ඕනේ නං වෙඩි නොතියා ඉන්නවද  නෑනේ.

අනේ මං දන්නෑ අපේ ඇමැතිතුමා සෑහෙන්න වෙනස් වෙලා..
මට හිතෙන්නේ සමාජ අත්දැකීම් වලින්ම වගේ..
ලබන පාර වෙන පක්ෂ කින් ඡන්දෙ ඉල්ලයි ද මන්දා..
කියලා සාජන් කාරයා හැක හැක හැක ගෑවා.

චහ්…එහෙම කියපු සාජන් කාරයා හිනා වෙච්ච පල් එක..

ලොකු වැස්සකුත් එන්නයි යන්නෙ.. ඔබතුමා එහෙනම් යන්න..

දහනායක තනියම කුටු කුටු ගගා බැන බැන වාහනයට නගිනවා මම දැක්කා.එදා ඉඳලම ඉතිං දහනායක ට පොලිස් කාරයෝ පේන්න බෑ.

අවුරුදු තුනකට මාව හිරේට ගියාට පස්සේ මාව බලන්න බලු බට්ටෙක් නැතුව ගියා. ආක්ටික් අමීන් අයියා ටික දවසක් මාව බලන්න ආවට මිනිහට මගදී කවුරු හරි වෙඩි තියලා චැප්ටර් එක ක්ලෝස් කරලා තිබුණා.මං හිතන්නේ ඒක සේදර් ගෙ වැඩක්.මම නොදන්නවාද ඕකගෙ තරම.කොයිතරම් දිවෙන් දිව ගාගෙන හිටියත් ඌත් දන්නවා මම කවුද කියන්න. ඒ හින්දා තාමත් ඌ මට අතක් ඉස්සුවෙ නෑ..
සේදර් කාරයගෙ බඩු සේරම කිරි සයුර කිරිපෙට්ටි වල  අසුරලා කිරි සයුර කිරිපිටි පෙට්ටිත් එක්ක ට්‍රාන්ස්පෝර්ට් කරන ක්‍රමය අල්ලලා දුන්නෙත් මම තමයි. ඒ හින්ද තමයි තාමත්  ඌ මට වැඳගෙන ඉන්නේ.උන්ගේ  හිතේ කස්ටම් එකේ එවුන්ට බඩගිනි දැනෙන්නේ නෑ කියලා..හහ්.. මෝඩ සේදර් … කස්ටම් එකේ ඉන්නෙත් අපි වගේම  කන බොන එවුන්  තමයි කියලා සේදර්  කාරයාට තේරුම් කරලා දුන්නෙත් මම තමයි. දැන් ඔය යස අගේට දෙයියනේ කියලා ව්‍යාපාරය කරගෙන යන්නේ..ඡන්දෙකට ඕනේ කරන වියහියදම් සේරම සේදර්  කාරයා මට කරලා දෙන බව සහතික ඇත්ත.
ඔය අපේ වෙත්තමුනි ඇමැතිත් නිතරම කියන්නේ ඒකනේ
උපයෝගීතාවයේ සහයෝගීතාවය කියලා ..

සර්, මෙලනි මැඩම්ලාගේ ගෙදරට හරවනවා ද..

දහනායක එහෙම මගෙන් අහනකොට මං ඔය කල්පනා කර කර ඉන්න කල්පනා වල් ඔක්කොම අතරමග කැඩිලා බිඳිලා යනවා.
වාහනයේ ඩිජිටල් ස්ක්‍රීන්  එකේ ඒ වෙන කොට වෙලාව රෑ නමය පෙන්නුවා .

දැන් බෑ දහනායක.. හෙට උදේ එන ගමන් යමු..මම දහනායක ට එහෙම කියලා මෙලනිට වට්සැප් පණිවිඩයක් ඇරියා.

මම ගෙදර යනවා.හෙට උදේම එන්නම්.. ඔයාට කතා කරන්න පුළුවන් නම් කෝල් එකක් ගන්න..

කියලා .

මම පණිවිඩය දීලා තත්ත්පර දෙක තුනෙන් මෙලනි මට කෝල් එකක් ගත්තා.

මම මග බලාගෙන හිටියා ඔයා එයි කියලා.

මහන්සි මෙලා. දැන් ගිහිල්ලා නාලා නිදා ගන්නවා.හෙට උදේම එන්නං. හෙට කොහොමත් පාර්ලිමේන්තු දවස.

මොනවා හරි උදේට  හදලා තියන්න ද..

එපා මෙලා.. කකා ඉන්න වෙලාවක් නැතුව යයි.දැන් ඔයා නිදාගන්න.

හරි පරිස්සමෙන් ගෙදර යන්න.

මෙලා හොඳටම දන්නවා මම දහනායක ඉස්සරහ පෞද්ගලික කතා කතා කරන්න කැමති නැහැ කියලා. ඒ හින්දා මෙලනි  මට ආදරෙයි කියලා වට්ස්ඇප් පණිවිඩයක් එව්වා. ටිකක් වෙලා ඒ දිහා බලාගෙන ඉඳලා හාර්ට් එකක ඉමෝජියක් මමත් ඇරියා.

හ්ම්… ආදරය … මගේ මුළු ජීවිතේම කණපිට හරවපු  ආදරය.. අපායක හිර වෙන්න ගිය මාව පුදුම විදිහට බේරගත්තු ආදරය.. අම්මෙක් අප්පෙක් ජීවිතේට දැකලා නැති මුඩුක්කු මනුස්සයෙක් වෙච්ච මාව ඔහේ තල්ලු වෙවී  උඩට එනකොට අරමුණක් නැති ජීවිතයට ආපහු මම ජීවත් වෙනවා කියලා මට පෙන්නපු ආදරය…

ගෙදර ඇවිල්ලා නාගෙන නිදා ගත්තට සැරින් සැරේට මට සඳමාලිගේ මුණ මැවි මැවී පෙනෙන්න පටන් ගත්තා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles