හිතෙන් කිසිදා මැකී නොගිය පළමු ආදරයක කතාන්දරය – On Your Wedding Day

අපි හැමෝටම ජීවිතේට ලැබුණ පලවෙනි ආදරයක් තියෙනවනේ. ජීවිතේ අපි දැන් සෙට්ල් වෙලා ඉන්නෙ අපි සිය වෙනියට ආදරය කරපු කෙනා එක්ක උනත් අපිට ඒ පලවෙනි ආදරේ කවදාවත් අමතක කරන්න බෑ.

ඔයාලා දන්නවද ජීවිතේදි අපිට හමුවන ආදර කතා වර්ග තුනක් තියෙනව.

එකක් තමයි ජීවිතේ ඉතාම තරුණ කාලෙක අපිට හමුවෙන අපේ පලවෙනි ආදරේ. මේ පලවෙනි ආදරේ කියන්නෙ ජීවිතේ ට මහ ලොකු දේවල් තේරුම් කරල නොදුන්නට පලවෙනි ආදරේ ජීවිතේ පවතින තුරා අපිට මතක හිටිනවා.

ඒත් ඒ පලවෙනි ආදරේ නැතිවෙලා යන්නෙත් කිසිම පැහැදිලි බරපතල හේතුවක් නැතුව.

ඉන්පස්සෙ අපේ ජීවිතේට එනව ජීවිතේ ගැන ගැඹුරටම කියල දෙන, මිනිස්සු ගැන කියල දෙන දරුණුතම ආදර කතාව. ඒ ආදර කතාව පවතින තුරාත් අවසන් වෙන තුරාත් අපි ඉන්නෙ විඳවීමක. කොටින්ම ඒ ආදරය අවසන් වෙලා අවුරුදු ගානකට පස්සෙ එයාව මතක් වෙද්දිත් අපේ හිතට් අර විඳවීමේ තිබුන කටුක රසය දැනෙන තරම් ඒ ආදරේ අපිට ජීවිතය ගැන පාඩම් කියල දීල තියෙනව.

අවසානයට තමයි අපිට අර නිවෙන ආදරය හමුවෙන්නෙ. දෙවන ආදරයෙන් ලබපු වේදනාව, විඳවීම නිවාලන්න එන මල් වැස්සක් එහෙම නැත්තම් මද පවනක් වගේ තමයි මේ ආදරය එන්නෙ. එයා තමයි අපි අර සංසාරෙ පුරාවටම හෙව්ව කෙනා කියල අපිට ඒ ආදරේ හමූ වුනාම දැනෙන්න ගන්නව.

ඉතින් මේ ආදර කතාව ඇතුලෙ අපි හිතුව අද ඔයාලා එක්ක බෙදාගන්නව කියල ජීවිතේට බලපෑමක් ඇතිකරපු, ජීවිතේ කිසිම දවසක අපිට අමතක කරන්න බැරි තරම් හිතට කාවැදුන පලමුවන ආදරය ගැන අපූරු කතාවක් කියන කොරියන් චිත්‍රපටයක් ගැන කතා කරන්න.

මේ චිත්‍රපටයෙ නම On your wedding day

ඔයාලා සමහරවිට මේ චිත්‍රපටය බලල ඇති. ඒත් බලපු නැති අයව මේක බලන්න පොළඹවන්නත් එක්ක අපි කතාව ඉවරවෙන විදිය හෙම නොකිය ඉමු නේද?

2018 අවුරුද්දෙ දෙවන භාගයෙදි නිකුත් වෙච්ච මේ On your wedding day කියන චිත්‍රපටය ඒ අවුරුද්දෙ වැඩිම පිරිසක් නරඹපු ආදර චිත්‍රපටය කියල කියන්නත් ඇහැකි. Park bo young කියන ප්‍රසිද්ධ, ජනතා ආදරය දිනාගත්ත නිලියක් මේකෙ රඟපෑව එක ඒකට හේතුවක් උනත් චිත්‍රපටය ජනප්‍රිය වෙන්න බලපාපු එකම හේතුව ඇයම නෙවෙයි.

මේ චිත්‍රපටය අපිට මතක් කරනව අපේ අතීතය. අපි අතීතෙ හැරදාලා ආව අපේ පලවෙනි ආදර කතාවෙ විස්තර, ඒ නිමේශයන් හැම පලවෙනි ආදර කතාවකටම පොදුයි කියල දැනෙන විදියට කරපු මේ චිත්‍රපටය හිත් අස්සට අරගෙන එනව හරි ලස්සන, හැඟීම්බර, සියුම් වේදනාවක් එක්කහු වෙච්ච වින්ටේජ් හැඟීමක්.

ඒ හැඟීමම වෙන්නැති වයස් භේදයක් නැතුව හැමෝම අතරෙ මේ චිත්‍රපටය උන්මාදයක් බවට පත් කරන්න. ඒත්  On your weeding day චිත්‍රපටයෙ පෙන්නන ආදර කතාව අවුරුදු දහයක් පුරා දුවපු ආදර කතාවක්. අවුරුදු දහයක් කියන්නෙ මොනතරම් ලොකු කාලයක්ද? ඒ තරම් දුර පැවතිච්ච ආදර කතාවකට එහෙම අවසානයක් ලැබෙන්න පුලුවන්ද? ඒ ප්‍රශ්නෙ මේ චිත්‍රපටය බලන අතරෙ වගේම අවසාන උනයින් පසුවත් අපිට දැනෙනව.

අපි අපේ පලවෙනි ආදරය අමතක කරේ ඇත්තටම අමතක කරන්න ඕන හේතුවකටද කියන පැනයත් මේ චිත්‍රපටය අපෙ හිතට අරගෙන එනව.

Hwan Seung-hee (Park Bo-young) සහ Hwang Woo-yeon (Kim Young-kwang) මුණ ගැහෙන්නෙ ඉස්කෝලෙදි. එතන ඉඳල ඒ දෙන්න තමන්ගෙ වැඩිහිටි ජීවිතේ වෙනකම්ම ගවේශනය කරන ආකාරය මේ චිත්‍රපටයෙන් අපිට පෙන්නල දෙනවා.

Woo-yeon කිසිසේත්ම ඉගෙනීමට මුල් තැන දුන්න කෙනෙක් නෙවෙයි. එයා හරි මැරය වගේ තමයි ඉස්කෝලෙදි කාලෙ ගෙවන්නෙ, ඉගෙනීමට කිසිම උනන්දුවක් දක්වන්නෙ නැතුව. මේ විදියෙ පිරිමි ලමයි එක්ක සම්බන්ධක ඇති කරගත්ත ගෑණු ලමයි ඕන තරම් අපි අතරෙ ඉන්නව.

මතක ඇතිනෙ ඒ වයසෙදි අපිත් මේ වගේ හාදයන්ව දැක්කෙ සිහින කුමාරයො විදියටනෙ.

හැබැයි මේ කොල්ලා වෙනස් වෙනවා එයාගෙ ඉස්කෝලෙට අලුතෙන් ආව Seung-hee හමුවුනයින් පස්සෙ.

කොල්ල කියනව තමන් වෙනස් වෙනව කියල මේ කෙල්ල හන්ද. ඒ හේතුව නිසාම දෙන්න ලංවෙනව. ආදරයෙන් බැඳෙනව.

මේ ලිපිය ලියද්දි මට මතක් වෙනව අද කොච්චර අයට අවවාද දුන්නත් “ඔය බැන්දට පස්සෙ එයාව හදාගන්න පුලුවන් කතානම් බොරු” කියල අපිත් අපේ තරුණ කාලෙ ඒ වගේ සෙල්ලක්කාර කොල්ලන්ව හදන්න අධිශ්ටාන කරන් උන්නු වීර කාන්තාවො නේද කියල.

ඒත් පොඩි පොඩි සිද්දි කීපයක් හන්දා දුර යන්න තිබ්බ පාසල් ප්‍රේමය හදිසියෙම නවතිනව. කෙල්ල විශ්ව විද්‍යාලයට යනව. කොල්ල දකිනව කෙල්ලගෙ පින්තූරෙ තියෙන විශ්ව විද්‍යාල පත්‍රිකාවක්. ඒක තමයි කොල්ලට හේතුවක් වෙන්නෙ කෙල්ල වෙනුවෙන් විශ්ව විද්‍යාලෙ යන්න.

මේ දෙන්න නැවත හමුවෙන්නෙ විශ්ව විද්‍යාලයෙදි අනපේක්ෂිතව. ඒත් දෙන්නගෙ හිත්වල දෙන්න වෙනුවෙන් පිරිච්ච ආදරේ වෙනසක් අඩුවක් වෙලා නෑ. ඒත් තමන් ආදරේ කියල තේරුම් අරගෙන තියෙන්නෙ ඇත්තටම ආදරේද කියන යතාර්තවාදී ප්‍රශ්නෙ Hwan Seung-hee (Park Bo-young) සහ Hwang Woo-yeon (Kim Young-kwang) කියන දෙන්නටත් එනව. පොඩ්ඩ පොඩ්ඩ වයසට යද්දි තමන් තරුණ කාලෙ බැඳිච්ච ආදරේමද තමන්ට අදටත් හෙටටත් එහෙම නැත්තම් අනාගතයට ඕන කියල ගැටලුව මේ දෙන්නගෙම හිත්වල බැඳෙනව.

මේ චිත්‍රපටය පුරා දිග හැරෙන පුංචි නිමේශයන්, පුංචි හිත් අමනාපකම් පවා අපිට මතක් කරනව අපේ පලවෙනි ආදරේ. අපි බොලඳයි කියල හිතපු ආදරේ. ඒත් හිතෙන් කවදාවත් මැකිල ගියේ නැති ආදරේ.

ඉතින් Woo-yeon මේ විවාහ උත්සවයට යාවිද?

එයාට ඒ උත්සවයට ගිහින් දුකක් නැති හිතකින් තමන්ගෙ පරණ පෙම්වතී වෙන කෙනෙක්ව බඳිනව බලන්න පුලුවන් වෙයිද?

මේ හැමදේටම උත්තර හොයාගන්න ඔයා මේ චිත්‍රපටය බලන්නම ඕන.

මේක හරියට අපිට අපේ අතීත ආදර කතාව පෙන්නන රීල් එකක් වගේ. වෙන රටක වෙන ජාතියක මිනිස්සු රඟපෑවත් අපේ ජීවිතේට සම්බන්ධ, අපේ පලමු ආදරයට සම්බන්ධ නිමේශයන් ගොඩක් මේ චිත්‍රපටය අපිට ආයෙ ආයෙ මතක් කරල දෙනවා.

Woo-yeon එයාගේ යාළුවොත් එක්ක මාළු අල්ලලා Seung-hee ගේ චිත්‍රය දිහා බලපු අන්තිම දර්ශනය, මඟුල් ගෙදර යනවාද නැද්ද කියලා කල්පනා කරමින් කාමරයට වෙලා නිහඬව ඉඳගෙන හිටපු වාර කීපය හරිම ලස්සනයි, හිත සනසයි, ඒ වගේම අපිට අපි විසින් හිත අස්සෙ කෙලවරක හංගල තිබුන පලමු ආදරේ මිහිරියාව ආයෙ වර්තමානයට අරගෙන එනවා.

ඉතින් ඒ ජීවිතයෙන් මැකී ගියත් හිතෙන් නොමැකී ගිය පලවෙනි ආදර කතාවේ මතකයන් අලුත් කරගන්න On your wedding day චිත්‍රපටය බලන්න කියල ආදරයෙන් ඉල්ලනවා!

Related Articles

Don't Miss


Latest Articles