“නිකන්ම ඉතින් ගෙදරට ආවම ඔහොම තමයි. වටිනාකමක් කියල දේවල් දන්න උදවිය නෙවෙයිනෙ”
කසුන්ගෙ අම්මගෙ කෑගැහිල්ල දරාගන්න බැරිම තැනයි මධූ ඇස්වල කඳුලු පුරවගෙන ගිහිල්ලා ඇඳේ හාන්සිඋනේ. හැමදාම ඉතින් මෙහෙම දෙයක් උනාම වෙච්ච දේවල්වල විස්තරයි කඳුලුයි ඔක්කොම ඒවයි රහ බැලුවෙ කොට්ටෙ බව මධූට අමතක නෑ.
උදේ පාන්දරම මෙහෙම කෑගහන්න හේතුව උනේ තමන් අතින් වීදුරුවක් බිඳිච්ච එක. ඒකත් හිතල කරපු දෙයක් නෙවෙයි. ඒත් ඉතින් ඒක දන්නෙ තමන් විතරනෙ.
මොන දේ උනත් අම්මා තමන්ට කෑගහන්න තියාගත්තෙ කසුන් නැතිවෙලාවලට විතරයි. කසුන් ඉන්න වෙලාවට කවදාවත් කසුන්ට අම්ම ගැන කියල කසුන්ගෙ හිත බිඳවන්න උත්සහ කලේ නෑ.
“මොනව උනත් ඒ කසුන්ගෙ අම්ම. මම එහෙම හිත බිඳවන එක වැරදි නේද?” කියන කාරණාවටත් වඩා මධූ එහෙම කලේ හිත අස්සෙ කොහෙද කෙලවරක ඉඳගෙන “කසුන් ඕක දැනගත්තයින් පස්සෙ අම්මගෙ පැත්ත ගත්තොත් උඹට මොකද වෙන්නෙ?” කියල මොකද්ද නොදන්න කටහඬක් අහන්න ගත්ත නිසා.
ඒත් ඉතින් මේව හැමදාම දරාගෙන ඉන්න ඇහැක් ඒවද?
අම්මයි තාත්තයි නැති තමන්ට මේ ලෝකෙ තමන්ගෙ කියල ඉන්නෙ අක්කා විතරයි. ඒත් එහෙමයි කියල ඔක්කොම දමල ගහල ආයෙ ගෙදර යන්නද?
ඕන් ඒ හන්දම තමයි ඉතින් මධූත් හිතුවෙ කසාද ජීවිතේ තියෙන්නෙම ගෑණුන්ට ඉවසන්නය කියල.
අදත් කසුන් උදේම ඔෆිස් එකට ගියා හදිසි වැඩකට. නිවාඩු දවසක් කියල නෑ ඉතින් එන්න කිව්වම යන්න වෙන තැනක තමා කසුන් වැඩකලේ.
ඒ ගිය ටිකට තමා මේ සන්තෑසිය උනේ.
වීදුරු අම්මා තේ බීලා තියල ගිහින් තිබ්බෙ සින්ක් එකේ ගැට්ටෙ. අනිත් පිඟන් කෝප්ප හෝදල නවන්න අත හරවද්දි තමා කෝප්පෙ බිම වැටිල බිඳුනෙ. එහෙම මේ වටින එහෙකුත් නෙවි. අවුරුදු ගාණක්ම තේ බීල කහට බැඳිච්ච කෝප්පෙ තමන්ගෙ පුතාගෙ ගෑණිට වඩා අම්මට වටිනවද කියල අහන්න හිතුනත් ඉන්පස්සෙ මේ මනුස්සයගෙ මූණ බලන්නෙ කොහොමද කියල හිතලමයි මධූ කටවහන් උන්නෙ.
“මගෙ කෝප්පෙම බිඳිච්ච එකනෙ වැඩේ කියන්නෙ. හිතේ තියන තරහව තමයි ලමයො බඩු මුට්ටුවලින් උනත් ගෙවල දාන්නෙ. අනේ මන් දන්නෙ නෑ ඉතින් ඔහොම තව කොච්චර කල් අපි එකට ජීවත් වෙන්නද කියල.
තමන්ගෙ නැන්දම්මගෙන් ඔයාකාර පලිගන්න ඇහැක්ද මං අහන්නෙ ගෑණියෙක්ට? අනික ඉතින් මේව මේ මහ මිනිස්සු දැනගන්න ඕන කාරණා. තමන් කිසි දෙයක් අරන් ආවෙත් නැති එකේ ගෙදර තියෙන දේවල් කඩා බිඳ දැම්මම හරියනවද?”
එක්කො අම්මා බැන්න නම් හිත හදාගන්න තිබ්බ. ගෙදර එහෙට මෙහෙට ඇවිදින ගමන්, හතර පෝයට සිල් අරගෙන අනිත් මිනිස්සුන්ට බන කියන හීන් හඬින්ම මෙයාකාර ඇණුම් පද කියද්දි දරාගන්න මොනතරම් නම් අමාරුද?
මධු ඔන්න ඕව කල්පනා කර කර තමයි ඇඳේ හාන්සිවෙලා උන්නේ.
මධූට මේව ඇහෙනවද නෑහෙනවද ගාණක් නෑ. කසුන්ලගෙ අම්ම උන්නෙ දිගටම අර මන්තරේම මතුර මතුර. තමන්ට එද්දි එහෙමකට දෙයක් ගේන්න බැරි වෙච්ච එක හැබෑව. අම්මයි තාත්තයි තමන් කසාද බඳිද්දිත් උන්නෙ ලෙඩ ඇඳේ. රස්සාවෙ පිහිටෙන් තමයි මගුල් ගේ අරගෙන, ෆිනෑන්ස් කරල වාහනෙකුත් ගන්න ඇහැක් වුනේ.
ඒත් ඉතින් ඒ හැමදේටම වඩා අම්මට පේන්නෙ අර එද්දි නොගෙනාව එකම තමයි.
“කාටද අම්මෙ මේ බනින්නේ?”
ඒ හඬ ඇහුනම තමයි මෙච්චර වෙලා කොට්ටෙ අස්සෙ මූණ හංගගෙන උන්න මධූ ගැස්සිල වගේ ඇහැරුනේ.
ඔෆිස් එකට ගිය කසුන්ට මෙච්චර ඉක්මනට එන්න හේතුවක් නෑ කියල දැනෙද්දි කම්මුල් රතු කරගෙන ගිය කඳුලු පාරවල බාතෲම් එකේ සින්ක් එකෙන් හෝදගත්ත මධූ කසුන් ඉස්සරහට ගියේ හදිසි වෙලාවක පැලඳගන්න හංගල තිබ්බ හිනාවකුත් දෙතොල් උඩ තවරන්.
“මෙච්චර ඉක්මනට ආවෙ කොහොමද?”
කියල මධූ හිනාවෙල ඇහුවට රතු වෙච්ච ඇස් වලිනුයි අම්මගෙ මුණු මුණුවෙන් අහුලගත්ත වචන වලිනුයි කතාවෙ දෙකොන ගැටගහන්න කසුන්ට අමාරු උනේ නෑ.
“මම පර්ස් එක දාල ගිහින්. ඒක ගන්න ආවෙ. ඔයාට කෝල් කරාට ආන්ස්වර් කරේ නෑ”
“අනේ මම පොඩ්ඩක් හාන්සි වෙලා හිටියෙ කෝල් එක එනව ඇහුනෙ නෑ”
ඒත් කසුන්ගෙ ඇස්වල තිබිච්ච කුතුහලේ නැතිවෙලා ගිහින් නෑ කියල මධූට තේරුම්ගන්න අමාරු උනේ නෑ.
“දැන් ඒක වැඩක් නෑ? අම්ම කාටද බැන බැන උන්නෙ? ඇයි මේ ඔයා අඬල?”
හරියටම නිලේ අල්ලල කට්ට ගහපු කසුන් ඉස්සර නැන්දම්මයි ලේලියි දෙන්නම උන්නෙ නිරුත්තර වෙලා.
“නෑ පුතේ මං මේ කිව්වේ?”
“ඔව් මොකද්ද අම්ම කිව්වේ?”
තටම තටම කතා කරන නැන්දම්මා ගැන දුකක් හිතුනත් කසුන්ගෙ ඇස්වල තිබ්බ තරහව දැක්කම බිම බලාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ මධූට.
“මේ ලමය අතින් මගෙ කෝප්පෙ බිඳුනා. මං ඉතින් කිව්වා…”
“එද්දි දෑවැද්දක් අරන් ආවෙ නැති හන්දා ගෙදර තියෙන ඒව බිඳල දැම්මම හරිද කියල?”
“මම එහෙම මේ හිත රිද්දන්න කිව්ව නෙවෙයි. අර නිකමට…”
“අම්මට ඇත්තටම මතක නැද්ද අම්මෙ අපේ අක්කට දේවමිත්ත අයියගෙන් ඩිවෝස් වෙන්න උනෙත් ඔය දෑවැදි කතාවක් හන්ද බව. අන්තිමේ ලංකාවෙත් ඉන්නෙ නැතුව පිටරටක ගිහින් තනියෙන් ජීවත් වෙන්න උනේ ඒකෙන් වෙච්ච මානසික බලපෑම හන්ද බව.
අක්කගෙ නැන්දම්ම අක්කට එක එක ඒව කියද්දි අම්ම මොනතරම් දුක් උනාද? එහෙම එකේ අම්ම මධූට නිකන් අතීතෙ අමතක කරල දාලා වගේ කතාකරන්න එපා අම්මේ. අක්ක වගේම මධූ කියන්නෙත් තව කෙනෙක්ගෙ දරුවෙක්. අම්ම ඒක අමතක කරන්න එපා”
එහෙම කියල කසුන් පර්ස් එක අරගෙන ආපහු ඔෆිස් ගියා. මධූ කුස්සියට ගියේ දවල්ට උයන්න හිතාගෙන. බිඳිච්ච වීදුරු කටු ටික තාම ඩස්ට්බින් එක උඩ.
ඒ ටික අස් කරන්න හිතාන ගියාට අම්ම කුස්සියට ආවෙ නොහිතපු විදියට.
“මං ඒව අස් කරන්නම් පුතේ, මෙතනින් වගේම හිතෙනුත්”