“ඉතිං…”
මා නිමග්න ව උන් සිතිවිලි හීනය තිගස්වමින් විදුර වරදත්ත මගේ ඇස් විනිවිද බලා කතා කළේ ය. තද කොට ගෙන උන් මගේ දෙතොල් පෙති ලිහී සිනහවක් පිපී ගෙන එනු මට දැනිණ.
“මං මහ වදයක් වුණා නේ…”
“හ්ම්”
ඔහු තවත් පැත්තට, මගේ දෙසට හැරෙමින් මේසය මත වැලමිට තියා නිකටේ අත තබා ගත්තේ ය.
“සොරි ඉතිං. ආයෙ කරදර කරන්නෑ නෑ නෑ නෑමයි. මට මේ ඇති. මුළු ජීවිතේටම…”
ඒ අන්තිම ටික කියත්දී මගේ ඇස් බිමට හැරිණි. හඬ තානය ද තරමක් වෙනස් වූයේ ය. විදුර ගෙන් හාවක් හ්ම්වක් නැත. මඳ වෙලාවකට පස්සේ මම නෙතු පියන් ඔසවා බැලුවෙමි. ඔහු තව දුරටත් පෙර බැල්මෙන් ම මදෙස බලාගෙන සිටියේ ය. මා සීතල වී යනවා මට දැනිණ. සිරුර ඇතුළේ සමනල චලන කෝටි ගණනක් එක වර සංවේදනය වූයේ ය.
ඒ ඇස් මහා විල් යුග්මයක මතුපිට වාගේ නිසල ය. මතුපිට නිසල වූවාට ඒවායේ ගැඹුරේ නිදන්ගත වූ කතන්දර වල හෙවනැලි එහෙ මෙහෙ වෙනවා මට දැනිණ.
“මං මැරෙන්න බය නෑ තිසුරි. කොහොමත් කවදහරි මැරෙන එකනෙ. ඒත් තාමත් මට නියමිත වෙච්ච වැඩ ඉවර නෑ. ඔයා දන්නවද…අපේ ගෙදරට එක එක මිනිස්සු කෝල් කරල අම්මට කියනව පුතා ගෙදර එන්න ඉන්නෙ පෙට්ටියෙන්… ලෑස්ති වෙලා ඉන්න..සුදු සාරියක් අරං තියාගන්න වගේ කතන්දර…”
ඔහු ඒ කීවේ හඬ ඉතා පහත් කරමින් මට පමණක් ඇසෙන සේ, අහල පහලක කිසිවෙකු වේ දැයි වට පිට ද බලමිනි. මට මේ මිනිසා බදා වැළඳ හඬන්නට තරම් හැඟීමක් දැනිණ. ඔහු ගැනත් ඒ අම්මා ගැනත් විසල් ස්නේහයක් හද පුරවා වාං දමන්නට ගති. ඔවුන් දුක් විඳින්නේ ඔවුන් වෙනුවෙන් නොවේ. මරණයත් එක්ක ඔට්ටුතාං කරන්නේ මොනවා හෝ කර ගෙන ජීවත් වෙන්නට බැරි කමකට නොවේ. අප වෙනුවෙනි.
“ඒ මනුස්සය පණ පිටින් මැරි මැරි විඳවන තරම…මට ඒක වචන වලින් කියන්න තේරෙන්නෙ නැති තරං. ඇත්තටම ගහක් ගලක් වගේ හිටපු අම්ම එක පාරටම ලෙඩ වුණේ මේ දේවල් නිසා. අම්ම වෙනුවෙං හරි මං තව ටිකක් ජීවත් වෙන්න ඕනෙ. මට මොකක් හරි වුණොත් ඒ මනුස්සයගෙත් පපුව පැලිල මැරෙයි. ඒකයි මං ටිකක් පරිස්සං වෙන්න බලන්නෙ. ඔයා දන්නවද තිසුරි…රෑ වුණහම අපේ ගෙදර ලෑන්ඩ් ලයින් එක රිං වුණාට අම්මවත් නංගිලවත් ආන්සර් කරන්නෑ. ඒ මිනිස්සු බයයි මං ගැන මොන නරක කතාවක් අහන්න වෙයිද කියල. මොන තර්ජනයක් කරයිද කියල. මං ගෙදර මගඇරල බෝඩ් වෙලා ඉන්නෙත් ඒකයි. ඒ මිනිස්සුන්ට ගින්දර නැතුව නිදා ගන්න ටිකවත් නිදාගන්න ඕන නිසා”
ඒ ඇස් වල ගැඹුරේ මා දුටු නිදන්ගත කතාවක් කැළඹී තිබිණ. මගේ බඩත් පපුවත් අතරේ ගින්දරක් වගේ යමක් හිර වී ගත්තේ ය. මට කතා කර ගත හැකි වූයේ නැත. කතා කරන්නට ඕන වුණේ ද නැත. නමුත් මගේ ආත්මය කතා කරමින් තිබෙන්නට ඇත. ඔහු ඒ කියවා ගන්නට ද ඇතැයි සිතමි.
පීසා එක මේසය මතට එන්නට තව හුඟක් පමා වෙනවා නම් හොඳ ය. එතකොට මට ඔහුත් එක්ක මේ ආත්මීය දොඩමළුවේ කරක් ගසන්නට හැකි යයි මම සිතුවෙමි.
“ඔයා තරහ වෙන්න එපා. ඔයාගෙ ඉන්විටේශන් එක වුණත් හිතා මතාම මං මගඇරියෙ ඔයා ගැනත් හිතල. මං දිහාට ඇස් කීයක් එල්ල වෙල තියනවද කියල මංවත් දන්නෑ. සැරයක් මං කසින් කෙනෙක්ගෙ ගෙදරට නිතර නිතර ගියා. ඒ ගෙදර අයටත් ත්‍රෙට් කරල තිබුණ මාව ගෙන්නගන්න එක ගැන. එහෙම තත්වයක් තියෙද්දි…”
“මං බය නෑ”
මා හිතන්නටත් පෙර මට එහෙම කියවී තිබිණ. විදුර වරදත්ත ලස්සනට සිනහ වූයේ ය. එතකොට ඔහු ගේ රැවුල් කොට වලින් ගහන එක කම්මුලක් වළ ගැසිණි. ඇස් සිහින් රේඛා ලෙස වැහී ගියේ ය. රැවුල් කොට අතරේ ද කොණ්ඩ ගස් අතරේ ද තැන් තැන් වල වන සුදු කෙස්, ඔහු ගේ පෞරුෂයට එක් කරන්නේ කදිම පිරිමි පෙනුමකි.
“ඔයා හරි චණ්ඩියෙක්නෙ”
ඔහු එහෙම කියනවා ඇසිණ. මේසය මත වූ බීම බෝතලය ගෙන මම ඉන් උගුරු කීපයක් බී ගෙන බී ගෙන ගියෙමි.
“තිසූගෙ ක්‍රශ් එක වයසක ජර්නලිස්ට් කෙනෙක්”
මට මගේ පාසල් මිතුරියන් ගේ විහිළුව සිහි විය. විදුර වරදත්ත එක්ක බලත්දී ඔවුන් ගේ විසි හැවිරිදි පෙම්වතුන් වනාහි නටවන්නට ගෙන යන රිලවුන් සේ ය. විදුර ට තිබෙන්නේ ඒ තරම් අයස්කාන්ත පෞරුෂයකි. මා ද නො දැන මගේ මුහුණට සිනහවක් එන්නට ඇත.
“මොකද තනියම හිනාවෙන්නෙ..”
ඔහු ජින්ජර් බියර උගුරක් තොල ගාමින් විමසී ය.
“ම්හු…මට ඉස්කෝලෙ යාළුවො මතක් වුණා. මේ දේවල් මෙච්චර නරකයි නපුරුයි කියල නොදැන හිටියනං මං මෙහෙම ඉඳං ෆොටෝ එකක් අරං එයාලට යවයි. ඒත් දැන්නං…එහෙම පින්තූරයක් ගැන හිතන්නෙවත් නෑ”
ඡායාරූප නැතිවාට ගලේ කෙටූ සිතුවමක් සේ ඔහු මහදේ රැඳී හිඳින බව මම නො කියා සිටියෙමි.
පින්තූර වලට පෙනී නොසිටින්නට හැකි තාක් වග බලා ගන්නා බව ද පුවත්පත් ලිපි සමග කිසි දා ඡායාරූපයක් පළ නොකළ බව ද ෆේස්බුක් ගිනුමෙහි එක ඡායාරූපයක් හෝ අඩංගු නැති බව ද, මුහුණු පොත කොහෙත්ම නඩත්තු නොකරන බව ද මේ සියලු හේතු නිසා හා ඔහු ගේ නම නිසා මිනිසුන් සිතා ගෙන ඉන්නේ විදුර වරදත්ත යනු වියපත් මිනිසෙකු ය කියා ද ඔහු කීවේ අප පීසා කන අතරේ ය. පීසා කියන්නේ මා ඒ තරම් කැමැත්තකින් උන් කෑමක් නොවේ. නමුත් ඒ පීසා එක මට සදෙව් ලොවක ආහාරයක් බඳු ප්‍රණීත රසයක් දැනවී ය. ඉක්මනින් පීසා ඉවර වෙතැයි බියෙන් මා කෑවේ ඉතා හෙමිහිට ය. මේ, විදුර වරදත්ත ට මේ තරම් සමීප ව මට ඉන්නට ලැබෙන ප්‍රථම හා අවසාන දිනය විය හැක. යළි කිසි දාක ඔහු අනතුරේ හෙළන මේ වාගේ මෝඩ බොළඳ වැඩ නො කරන්නට ඒ වෙත්දීත් මම තදින් සිතා ගෙන සිටියෙමි. ඉතින් මේ මොහොත ඉතා දිගු වෙනවා නම් මම ඉත සිතින් කැමති ද වීමි. ඒ, මගේ ජීවිතයට මේ වගේ දවස් උදා වන්නේ එකක් පමණක් විය හැකි යයි සිතූ බැවිනි.
අප පීසා හලෙන් නික්මෙන්නට අසුන් වලින් නැගිට ගත්දී මා තරම් තෘප්තිමත් වූ එකද ගැහැනියක හෝ ලොව නොවූවා යයි සිතමි. ඒ සන්තෘප්තිය වචන කරන්නට මා නො දන්නා එකකි. ඔහු අත පිස දමා ගුලි කොට මේසය මත දමා තිබූ කඩදාසි අත් පිස්නාව මම අත මිට මොළවා ගතිමි. සැබවින් මගේ අත මිට මෙළවී තිබුණේ මෙතුවක් දිවියෙහි මට ලැබී තිබූ වටිනා ම උපන් දින තෑග්ග ය.
“තිසුරි”
කියා ඔහු මගේ නම කීවේ ය. මම හැරී බැලුවෙමි. ඒ ඇස්, රළ නගනා හැඟුම් සයුරක් බඳු විය. ඒ රළ පහරට හසු වී වෙන දෙයක් වුණාවේයි මට සිතුණාට සැක නැත.
“නෑ. මුකුත් නෑ”
කියමින් ඔහු පෙරට අඩියක් තැබුවේ ය. නමුත් ඒ වෙලාවේ මා වැළඳ ගෙන මගේ උපන් දිනය වෙනුවෙන් සුබ පතන්නට ඔහු ට ඕනෑ වූ බවත්, එසේ නොකළ යුතු යයි හිතට ක්ෂණික වාරණයක් පනවා ගත් බවත් පසු කලෙක මට විදුර ගෙන් ම දැන ගත හැකි විය.
ගෙදර ගිහින්, ඔහු අත පිස දැමූ කඩදාසි අත්පිස්නාව මම මගේ ලියන මේසයේ ලාච්චුවේ තැන්පත් කළෙමි. අද තව වෙන තුරා එය එතැන තිබේ. එය දකින වාරයක් පාසා, ඒ රළ නැගූ ඇස් හැඟුම් මගේ ළය මඬල හාරා ගෙන ආත්මය පත්ලට කිඳා බසී.
ඒ දවස මගේ මතක ඉතිහාසයේ මා ආදරේ ම දින කිහිපය අතරින් එකකි. අප පවුලක් වශයෙන් එකට එකතු වී අවසාන භෝජන සංග්‍රහය පැවැත්වූ දිනය ලෙස ද එය මගේ මතකයේ අමරණීය ය.
යොදා ගෙන තිබූ පරිදි අප හමු වන්නට නියමිත වූයේ බොල්ගොඩ දී වී ද අක්කා හැන්දෑවේ අපේ ගෙදර ආවා ය.
“කෝ හෂාන් අයිය. මං හිතුව ඔය දෙන්න එහෙට එයි කියල”
අක්කා මගේ කාමරයට පැමිණි විට මම විමසීමි.
“එයා නැතුවට මොකද…මමනෙ මේ පවුලෙ කෙනා. අපි ගිහිං ඔයාගෙ බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කරමු”
අක්කා එහෙම කීවේ සිනහ වෙමින් වී ද ඇගේ ඇස් පත්ලේ වේදනාවක් කිමිදී තිබිණි. මම ඇගේ අතකින් අල්වා කතා කළෙමි.
“ඇයි අක්කෙ…මොකද වුණේ..ඇයි හෂාන් අයිය එන්න බෑ කිව්වද..”
“එයාට ඉතිං කොයි වෙලෙත් වැඩනෙ නංගි. අනේ..එයා නැතුවට මොකෝ…මං ඉන්නවනෙ…”
“ඇයි අක්කෙ…ප්‍රශ්නයක්ද…මොකද වෙන්නෙ කියන්නකො”
කුඩා කල පටන් මා හා අක්කා හැදුණේ වැඩුණේ එකට ම ය. මා ඇයටත් ඇය මටත් අතිශය ආදරය කළෙමු. ඇය හෂාන් සමගින් විවාහ වී ගෙදරින් නික්ම ගිය දා මා හඬා හෙම්බත් වූයේ අක්කා නැතිව මා ඉදිරියට කොහොම ඉන්නද කියා නො දැන ය. අක්කා ගියාට පස්සේ මා තව තවත් තාත්තා ට ලං වන්නට ඇත.
“මුකුත් විශේෂ දෙයක් නෑ නංගි. ඇත්තටම ඉතිං හරිම සාමාන්‍ය විදිහට තමයි දේවල් වෙන්නෙ. හෂාන්ට මං ගැන වද වෙන්නවත් මං වෙනුවෙන් කැප වෙන්නවත් ඕන නෑ. එක අතකට මං එයාට දොස් කියන්නෑ. එයා මාව මේ ආදරේකට බැන්දා නෙවේනෙ. අම්මට ඒගොල්ලොන්ගෙ සල්ලි ඕනෙ වුණා. ඒගොල්ලොන්ට අම්මගෙ දේශපාලන හයිය ඕන වුණා. එච්චරයි මං ඒ අතරෙ එහාට මෙහාට වුණ ඉත්තෙක් විතරයි”
මා වැඩිපුර ඒ වෙලාවේ ඒ ගැන කතා නොකළේ අක්කා කතා කිරීමේ සූදානමක් නො පෙන්වූ නිසා ය.
“මේක අපේ දෙයක්නෙ. ඔයාට ඕනෙ මේ වෙලාවෙ අක්ක ඔයා ළඟ ඉන්නනෙ”
ඇගේ හිත කඳුළු සයුරක පිහිනමින් ඇති බව මා මුලින් ම වටහා ගත්තේ එදා ය.
තාත්තා අම්මා සමග සම්බන්ධතා නවත්වා සෑහෙන කාලයක් ගෙවී ගොස් තිබේ. උනුන් වචන කිහිපයක් කතා කළා නම් හෝ ඒ අත්‍යවශ්‍ය දේකට පමණි. එක ම ගමන ගිය ද දෙදෙනා ගියේ රථ දෙකක ය. තාත්තා ඔහු ගේ රියෙහි ය. අම්මා නිල රථ වල ආරක්ෂකයන් පිරිවරාගෙන ය.
“මේගොල්ලො මේ තරං ආරක්ෂා වෙන්නෙ කාගෙන්ද පුතා…අපිනෙ රටවැසියො විදිහට මේගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න වෙලා තියෙන්නෙ. මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලිනෙ මේ”
අම්මලාගේ රථ පෙරහැරවල් හා ආරක්ෂක අංශය ගැන තාත්තා දැක්වූයේ එබඳු අදහසකි. මට ද එය පෙනුණේ විකාරයක් සේ ය. යමක් කමක් තේරෙන්නට ගත්තා ට පස්සේ අම්මා ගේ නිල රථ වල ගමන් යාම මම තරයේ ප්‍රතික්ෂේප කළෙමි. මට කුඩා මෝටර් රථයක් ගෙන දුන්නේ තාත්තා කාලයක් තිස්සේ හෙමි හෙමිහිට එකතු කර ගත් මුදලිනි.
“මට දැං සල්ලි එකතු කරං ඉඳල මොකටද…යනකොට පෙට්ටියට දාන්නයැ”
කියා එදා ඔහු කීවා මතක ය.
බොල්ගොඩ ගමන අප ගියේ තාත්තා එක්ක ඔහු ගේ රියෙහි ය. අම්මා නිල රථ වල ගියා ය. ඒ ගමන පිටත් වීමට පෙර තාත්තා සිය මෝටර් රථයේ යතුර නැතිව හැම තැන ම හෙව්වේ ය. අවසන එය ඔහු ගේ කලිසම් සාක්කුවේ ම තිබී හමු විය.
“ඔහොම තමයි වයසට යනකොට…මේ තිබ්බ දේ මේ මතක නෑ”
මගේ පපුවේ ගින්දරක් ඇවිළිණ. පසුව සෑහෙන කලක් මට ඒ ගින්දරෙන් දැවෙන්නට සිදු විය. ඒ ගැන කියන්නට පෙර මේ උපන් දින සැමරුම් රාත්‍රිය ගැන කියා නිම කළ යුතුව තිබේ.
අප මෝටර් රථයට නැග ගත් ගමන් මම විදුර ගේ පෞද්ගලික ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් වට්සැප් කළෙමි.
“අපි ගෙදර කට්ටිය එළියට යනව ලන්ච් ගන්න…මගෙ බර්ත් ඩේ එක නිසා”
හරි සලකුණු දෙක එසැනෙන් නිල් පාට විය. පිළිතුරක් වෙනුවෙන් මම තත්පර වෙවී සිටියෙමි. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. කෑම ගන්නා ගමන් අම්මා අමුතු කතාවක් කීවා ය.
“තිසුරිට රටේ මිනිස්සු ගැන පුදුම හැඟීමක් තියනවනෙ. පාටි ඕන්නෑ කියල රටේ මිනිස්සු ගැන කතා කරනකොට මට පුදුමත් හිතුන. කොහොමත් තිසුරි ලෝ නෙ කරන්නෙ. මං කියන්නද…අපි මුලින්ම ප්‍රාදේශීය සබාවට චන්දෙ ඉල්ලමු තිසුරි. ඔයා වගේ උගත් තරුණ ළමයි දේශපාලනේට ඕනනෙ. මේක ඔයාගෙ ට්වෙන්ටි ෆස්ට් බර්ත්ඩේ එකට අම්ම දෙන තෑග්ගක්”
මම ගල් ගිල්ලා වාගේ අම්මා ගේ මූණ දෙස ම බලා ගෙන සිටියෙමි. මගේ ඇස් වල ගින්දර තිබෙන්නට ඇත. අම්මා ගේ හිතේ වූයේ කපටි අදහසක් බව ඇගේ මූණෙන් ම පෙනිණ.
“පිස්සුද…”
මම තරමක් තදින් විචාලෙමි.
“බලන්නකො..ඔයාට නිදහසේ මෙහෙම තැනකට ඇවිත් කන්නවත් පුළුවන් ද…බොඩිගාඩ්ල ටිකක් වටේට. මොන ජීවිතද ඕව. පව් ඕගොල්ලො. අනේ මටනං එහෙම පව් ගෙවන්න ඕන නෑ. මං ලෝයර් කෙනෙක් වුන දාක ඕගොල්ලොංගෙං අසාධාරණයක් වෙච්ච එක මිනිහෙක්ට හරි යුක්තිය ඉටු කරන එකයි මගෙ බලාපොරොත්තුව”
“මොනවද මේ සතුටෙන් මේ ළමයගෙ උපන් දිනේට කෑම ටිකක් කන්න ඇවිත් කියෝන කතා ආ…මේකටද අපි මෙතනට ආවෙ..”
තාත්තා නො රිස්සුම් වූයේ ය. ඔහු ඇවිස්සේ යයි බියෙන් අම්මා නිහඬ වන්නට ඇත. මුත් මා බලාපොරොත්තු නොවූ ලෙස අක්කා කට ඇරියා ය.
“නංගිට පාඩුවෙ ඉගෙන ගන්න දෙන්න අම්ම. ඔයාට මං මදිවුණාද…මගෙ ජීවිතෙත් එක්ක කරපු සෙල්ලම ඇති නේද…දෙයියංගෙ නාමෙට නංගිව අත්අරින්න”
අක්කා කතා කළේ වෙව්ලමිනි. මොන එකකට මේ කෑමට ආවා දැයි පසුතැවීමක් මට ඇති විය.
“හරි හරි ළමයි අපි කමු” කියා තාත්තා අප සන්සුන් කරවීමේ උත්සාහයක් ගත්තේ ය. කෑම කන ගමන් “අපි කනව” යනුවෙන් මම විදුර ට වට්සැප් පණිවිඩයක් යොමු කළෙමි. ඔහු එය දුටුවේ ය. මගේ මුවග සිනහවක් ඇඳෙන්නට ඇත. අක්කා ඇස් වලින් ඉඟි කරමින් ඒ ගැන විමසිලිමත් වූවා ය. මම ඉඟියෙන් ම කිසිවක් නැති බව හැඟවීමි.
“කොල්ලෙක් ඉන්නව නේද…”
ඇය මගේ කනට කොට විමසුවා ය. ඒ කෑම මේසය බවත් අමතක වී මට සිනා ගියේ ය. අක්කා ගේ ඇස් වල හොරයක් අල්වා ගත් බවට තරවටුවක් විය.