ආදරයට කල හැකි දේ

අවන්ත ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙන හැටි ශානිකා දැක්කේ ගේ අතුගාමින් ඉන්නකොට. නිවාඩු දවසේ ගෙදරට වෙලා අවන්ත විවේක සුවයෙන් ඉන්න වෙලාවල් වලට ශානිකා ඇත්තටම ආස කලා. හය මස් ගැබිණියක් උන ශානිකා නෝක්කාඩු කීමකින් තොරව ගෙදර වැඩ හැම එකක්ම කලේ හරිම කැමැත්තෙන්.

” බලන්නකෝ ශානිකා මේ කමෙන්ට්ස් ? මිනිස්සුන්ගේ මානසිකත්වය මාරයි නේද ? “

ජනප්‍රිය තරුණ නලුවෙකුගේ දෙවන බිරියට ෆේස්බුක් එක පුරා වැටෙන කමෙන්ට්ස් කියෙව්වාම ශානිකාටත් හිනා ගියා

” ඒ කපල් එක කොච්චර ලස්සනද බලන්න අවන්ත. මිනිස්සු කියන ඒවා එයාලා සත පහකට වත් ගනන් ගන්නෙ නෑ නේ. “

ශානිකා අවන්තගෙ උරහිසට ඔලුව තියාගත්තා

” ඒ ළමයත් ප්‍රෙග්නට් .මිනිස්සු ඒ ගැනවත් හිතන්නෙ නැති හැටි “

” හැමෝම කියන්නේ ඔය නලුවගේ කසාදෙ කැඩුනේ ඔය ගෑනු ළමයා නිසා කියලනේ “

අවන්ත හෙමින් සීරුවෙ කිව්වේ අතීතයේ සිදුවූ යමක් සිහි කරමින්

ශානිකා කියන්නේ අවන්තගේ දෙවන බිරිඳ. පලමු විවාහයෙන් අනේකවිධ දුක් වින්ද , රැවටීම් වලට ලක් වෙලා පරාජය බාර අරන් හිටපු අවන්තගේ ජීවිතයට වසන්තය ආවේ ශානිකා හම්බුනාට පස්සේ. දික්කසාද නඩුවේ අවසන් වාර කිහිපය ගෙවෙනකොට ශානිකා අවන්තගේ හොඳම මිතුරියක්. දික්කසාදය කියන වචනයට පවා බයෙන් හිටපු අවන්තගේ සිතුවිලි පවා ශක්තිමත් කරන්න වෙහෙසුනේ ශානිකායි. දිගු කාලීනව පැවති පවුල් ආරවුල් සහ අවන්තගේ බිරිඳගේ ක්ෂණික කෝපය , සැක කිරීම් නිසයි දික්කසාදයක් දක්වා යන්න අවන්ත තීරණය කරලා තිබුණේ.නමුත් බහුතරයක් දෙනා කිසිවක් නොදැන ශානිකාට චෝදනා එල්ල කලේ හිතක් පපුවක් නැති විදියට.

” උඹ නිසා තමයි අවන්තගේ කසාදේ කැඩිලා තියෙන්නේ “

දවසක් කාර්යාලයේ කෑම පැයේදී අනෝජා කිව්වේ හැමදේම ඇහින් දැක්කා වගේ.

” ඔෆිස් එකේම දැන් උඹ චාටර් වෙලා ඉවරයි . හැමෝම කතාවෙන්නෙ උඹ කසාද බැඳපු මිනිහෙකුගේ කරේ එල්ලුණා කියලා “

කාර්යාලයේ තැන්තැන්වල තමන් ගැන කතාබහ කෙරෙනවා කියලා ශානිකා නොදැන හිටියා නෙමෙයි. තමන්ගේ ජීවිතයේ තීරණ ගැනීමේ අයිතිය සතු වෙන්නේ තමන්ටම පමණක් නිසා ශානිකා කවදාවත් තමන්ගේ තීරණය ගැන පසුතැවුනේ නැහැ

” මනුස්සයෙකුගේ ඇගේ ගහලා නෑනේ බං ඒ මනුස්සය දික්කසාද වෙලා ද නැද්ද කියලා ? දික්කසාද උන ජීවිතේ වැරදුණු මනුස්සයෙකුට උනත් ජීවිතේ හදාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ”

ශානිකා ගේ හොඳම මිතුරිය උන යොහානි කිව්වෙ එහෙම. කවදාවත් පටු ආකල්ප නොදැරූ හොඳම මිතුරිය ශානිකාට හිටපු එකම හයිය වුණා .

” උඹ අවන්තට කිව්වේ නැහැනේ දික්කසාද වෙන්න කියලා . යාලුවෝ වෙලා හිටපු උඹලා දෙන්නා ක්ලෝස් උනේ දික්කසාද නඩුවෙන් ටිකක් ගියාටත් පස්සේ නේ. ඉතින් කොහොමද උන් කියන්නේ කසාදේ කැඩුනෙ උඹ නිසා කියලා ? විකාර “

කඩාගෙන වැටුණු අවන්තගේ ජීවිතයට එළියක් වීමේ සතුට ශානිකා විඳිමින් හිටියා. ඇය ගැන හොඳින්ම දැන සිටි අය පවා නොයෙකුත් කතන්දර කියද්දි ශානිකා බොහොම ඉවසීමෙන් ඒ සියල්ල දරා ගත්තා

” දික්කසාද උන කෙනෙක් කසාද බැන්දා කියලා ඔයා කවදහරි පසුතැවෙයිද ශානිකා ? “

අවන්හලේ වීදුරු කවුළුවෙන් පෙනෙන ඉමක් කොනක් නැති මුහුද දිහා හිස් බැල්මකින් බලාගෙන දවසක් හවස් වරුවේ අවන්ත ශානිකාගෙන් එහෙම ඇහුවා

” දික්කසාදය කියන්නෙ මනුස්සයෙකුට ආයෙ කසාද නොබඳින්න හේතුවක් නෙමෙයි අවන්ත.ජීවිතේ හදාගන්න අවස්ථාවක් “

ශානිකා ගේ සිතුවිලි වලට අවන්ත ආදරය කළා. ජීවිතේට අඳුරු මතක එකතු කරපු පලවෙනි බිරිඳවුන නේත්‍රාට මේ ගතිගුණ තිබුණා නම් මොන තරම් හොඳද කියලමයි අවන්තට හිතුනෙ.

” ශානිකා අද ෆේස්බුක් ගියේ නැද්ද ? “

දවසක් උදේ පාන්දරම අනෝජා කාර්යාලයට ඇතුළු වුණේ එහෙම අහගෙන

” නෑ අනෝජා. උදේ මට වෙලාවක් තිබුනේ නෑ . ඇයි ? “

” ඔයා ඉවරයි ඔන්න “

ඉතාම කලබලකාරී මුහුණක් මවා ගෙන කතා කරන අනෝජාව දැක්කහම කුමක් හෝ සිද්ධ වෙලා තියෙනවා කියලා ශානිකාට ඉවෙන් වගේ දැනුනා. ඇය වහාම ජංගම දුරකථනය අරගෙන ෆේස්බුක් ඇප් එක විවෘත කළා .

ශානිකා කලින් දවසක පල කරපු ඇගේ ලස්සන ඡායාරූපයකට කිහිපදෙනකු විසින් අසැබි වදන් සහිතව ” අනුන්ගේ මිනිසෙකු සොරා ගත්තා යැයි ” සඳහන් කර තිබුණා .ඒ හැම ගිණුමක් ම ව්‍යාජ ගිණුම් බව හඳුනාගන්න ශානිකාට එතරම් වෙලාවක් ගියේ නැහැ.

” ඔයාගේ ෆේස්බුක් එකේ මෙහෙම කමෙන්ට්ස් වැටෙන එක මේ ඔෆිස් එකටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් “

අනෝජා ආයෙමත් හඬ අවදි කලා

” ෆේස්බුක් එක කියන්නෙ මගේ පෞද්ගලික දෙයක් නේ අනෝජා. ඒක ඔයාලට උනත් බලන්න බැරි නම් අයින් වුණාට කමක් නැහැ. අනෙක මේ කමෙන්ට් කරලා තියෙන එක profile එකක්වත් real ඒවා නෙමෙයි “

ශානිකා කිව්වෙ තරමක් තදින් .කවුරු උනත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලික ජීවිතේට අත පොවනවට ශානිකා කැමති වුණේ නැහැ.

” ඔයා අවන්තගේ කරේ එල්ලෙන්න හදන්නේ සල්ලි නිසා වෙන්න ඇති නේද? තමුනුත් උසාවි යන්න ලෑස්ති වෙලා හිටියොත් හොඳයි “

එක දවසක නාදුනන අංකයකින් ආව ඇමතුමකින් එහෙම කියවෙද්දී ඒ කතා කරන්නේ නේත්‍රා කියලා අඳුර ගන්න ශානිකාට අපහසු වුණේ නැහැ

” නේත්‍රා ඔයාගෙ number එක හොයාගත්ත කියන්නේ ඔයාට ඉස්සරහට ලේසි වෙන එකක් නැහැ ශානිකා . එයා පන්න පන්න පළිගන්න ජාතියෙ කෙනෙක් “

ශානිකාට විඳින්නට සිදුවී ඇති අපහාස කිරීම් සහ චෝදනා නිසා වැඩිපුරම කම්පාවට පත්වුණේ අවන්ත.

” මට තිබුණෙ මේ ප්‍රශ්න වලට ඔයාව ගාව ගන්නේ නැතිව ඉන්න .හැමදේම ඉවර උනාට පස්සේ ඔයා ලඟට එන්නයි මට තිබුනෙ “

ජීවිතයට මුහුණ දෙන්න සිදුවූ අත්දැකීම් වලින් හෙම්බත් වෙලා හිටපු අවන්ත තවමත් ඒ ගින්දරෙන් පීඩා විඳිනවා කියලා ශානිකාට හිතුනා

” නේත්‍රා මේ ප්‍රශ්න වලට මාව ගාව ගන්න හදන්නේ ඔයාව තවදුරටත් වැරදිකාරයෙක් කරන්න ඕන නිසා. ඔය දේවල් වලට මට මූණ දෙන්න පුළුවන් අවන්ත. මිනිස්සුන්ගෙ බැඳීම් ගැන තේරුම් ගන්න බැරි අය කරන දේවල් අපි ගණන් ගන්න හොඳ නැහැ “

ශානිකාගේ වචන අවන්තගෙ හදවත පතුලටම කිඳා බැස්සා . ජීවිතය ගැන ආදරයෙන් තේරුම් කළ හැකි ගැහැනියක් පිරිමියෙකුට මොනතරම් වටිනවද කියල අවන්තට ආයෙ ආයෙත් හිතුනා .

බොහෝ දේ දිහා ඉවසීමෙන් බලපු ශානිකා , අවන්තගේ දික්කසාද නඩුව අවසන් වීමෙන් පසුව සුවපත් වීම සඳහා තවත් බොහො කාලයක්ම අවන්තට ඉඩ දුන්නා.ඒ විතරක් නෙවෙයි , සැර පරුෂ වදන් වලට කළ නොහැකි බොහෝ දේ ආදරයට කළ හැකි බව ශානිකා බොහොම ලේසියෙන් අවන්තට වටහා ගන්නට ඉඩ සැලසුවා

More Stories

Don't Miss


Latest Articles