මා හිස පිරිමැද 09

මම චමත්කාර පෙම් හීනයක් දකිමින් සිටියෙමි. තාත්තා ඩිමෙන්ශියාව නම් වන අසාධාරණ රෝගයට ගොදුරු වීමත් එක්ක මා ඒ සිහිනයෙන් තිගැස්සී අවදි විය. හීනයට වඩා හැබෑව කෙතරම් කටුක ද බියකරු ද අවිනිශ්චිත ද කියා හරියට ම දැනෙන්නේ එවන් වූ අවදි වීමක් තුළිනි. ජීවිතය කියා ස්ථිර වූ කිසිවක් නැත්තේ ය. ජීවිතය කියන්නේ අපේ ඒමත් යාමත් අතරේ සුළු කාලයට ය. ඇතැම් විට මෙවන් රෝගයක් නිසා යන්නටත් කලින් ම අපේ ජීවිතය අවසාන විය හැකි ය.

ඊට පස්සේ අක්කා නිතර නිතර ගෙදර ආවා ය. තාත්තා ට බෙහෙත් ගන්නට වෛද්‍යවරයා වෙත කැටිව ගියේ අප දෙදෙනා ය.

“මාත් එක්ක එක මග යන්න ඔය මනුස්සය කැමති නෑනෙ. තියන නපුරුකං වලට තමයි ඔය පල දුන්නෙ”

අම්මා අකාරුණික ලෙස කීවා ය.

“කොහොමත් තාත්ත වීඅයිපී පේශන්ට් නෙනෙක් වෙන්න ඕන නෑ. එයාට නිදහසේ හොස්පිට්ල් එකට ගිහිං…එයා කැමති විදිහට සාමාන්‍ය පේශන්ට් කෙනෙක් විදිහට ඩොක්ටර් හම්බ වෙලා බේත් ටික ගන්න තිබුණහම ඇති”

මම පුප්පාගෙන කීවෙමි. තාත්තා ගේ අසනීපයත් එක්ක මා තුළ අම්මා ගැන තිබූ නො රිස්සුම වැඩි වූ බවක් පේන්නට තිබිණි. රෝගයත් අම්මාත් අතරේ සහසම්බන්ධයක් නැති බව ඇත්ත ය. නමුත් අම්මා ගේ බල තන්හාව නිසා අපට පවුලක් වශයෙන් සතුටෙන් ඉන්නට තිබූ අවස්ථාව ගිලිහී ගියේ ය. අවසන තාත්තා ගිලන් වූයේ පවුලක් ඇතුළේ ම ගෙදරක් ඇතුළේ ම හුදෙකලා වූ මිනිසෙකු ලෙසට ය. 

දේශපාලන බලය රටට පෙන්වන්නට ගැනීමත් එක්ක ම අම්මා ගේ ඇතුළේ ද බල පරාක්‍රමය විහිදන්නට ගත්තා ය. ගෘහ මූලිකයා ඇය ලෙස ගෙදර මූලිකත්වය ද අතට ගන්නට උත්සාහ කළා ය. නිහඬ මිනිසෙකු වූවාට තාත්තා නිවට මිනිසෙකු නොවේ. ඔහු අම්මා කේන්ද්‍ර කර ගත් සියල්ලෙන් ඉවත් වූයේ ඒ නිසා ය. සිය ඇමති බිරිය ඉදිරියේ ආත්ම අභිමානය පාවා දෙන්නට කැමති නොවූ නිසා ය.

“තිසුරි හැම එකටම මට ගස්සන්නෙ පුප්පන්නෙ…හරියට මේ සිද්ද වෙන දේවල් වලට මං වැරදිකාරය වගේනෙ”

අම්මා කීවේ ඇත්ත ය. ටික කලෙක පටන් මා තුළ අම්මා කෙරේ ලියලමින් තිබුණේ මට ම අරුත් පසිඳගත නො හැකි නො රිස්සුමකි. ඇතැම් විට ඒ නොරිස්සුම පටන් ගන්නේ විදුර වරදත්ත වෙනුවෙන් වන්නට ද බැරි නැත. අම්මා යනු  වජිරපාණී වික්‍රමබාහු නම් වන ඕනෑ ම ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් හොබවන තනි පුද්ගලයෙකු නොවී, මට ඇය පෙනෙන්නට වූයේ දෙසීය ගණනක් වූ කල්ලියක් වශයෙනි. ඒ කල්ලියේ වංචා, දූෂණ, මැරකම් හා තක්කඩි දේශපාලනය විවේචනය කරනා මහජනතාවගේ පැත්තේ මාධ්‍යවේදියෙකු ලෙස විදුර වරදත්ත ට එල්ල වී ඇති භීෂණය ගැන දැන ගැනීමෙන් පසු අම්මා මට සතුරෙකු සේ පෙනෙන්නට ගත්තේ ය.

අක්කා නිතර ගෙදර පැමිණීම එක අතකින් මට සහනයක් විය. තාත්තා ගේ රෝගය ගැන හිස පුරවා ඇති පීඩනය, අම්මා සමග කතා කිරීමෙන්  නිදහස් කර ගත නො හැකි ය. සිදු වන්නේ පීඩනය තව තවත් වැඩි වෙන එක නිසාවෙන්, ඇය එක්ක කතා නොකර, අම්මා මගහැර සිටීමට මම හැකි තාක් උත්සාහ කළෙමි. අම්මා හා මා අතරේ පෙර නොවූ විකර්ෂණයක් ඉතා සියුම් රැහැනක් ලෙස ගොඩනැගෙන්නට විය. අක්කා තාත්තා ගේ තනි නො තනියට ගෙදර එන නිසා දිවා කාලයේ හිතේ සැනසිල්ලෙන් මට විශ්ව විද්‍යාලයේ දේශන වලට සහභාගී වීමට ලැබිණ.

නමුත් අක්කා නිතර ගෙදර පැමිණීමේ ඛේදවාචකයක් ද යටින් සිදු වෙමින් පැවතිණ. අම්මා දිනක් මා ද සිටිනා වෙලාවක අක්කා එක්ක කතා කළා ය.

“ඔයා හැමදාම මෙහෙම ගෙදර දුවං එන්න එපා. මොකද දැන් ඔයාගෙ ගෙදර හෂාන්ගෙ ගෙදරනෙ”

අක්කා ගේ මුහුණේ ඇඳුණ සිනහව වඩාත් සමීප වූයේ කෝපයකට ය. 

“මං ඒ ගෙදර මුරකාරයද…තට්ට තනියම මං ඒ ගේ අස්සෙ රිංගගෙන ඉන්නව. දවසක්ද දෙකක්ද…දැං අවුරුදුම කීයක් වුණාද…මොකද්ද මේ ජීවිතේ…මොකද්ද මේ කරුමෙ…මං අද ආවෙ ආයෙ එහෙ යන්නෑ කියලම හිතාගෙනයි”

මම තිගැස්සී ගිහින් අක්කා දෙස බැලුවෙමි. ඇය මට හෝ එවැන්නක් කියා තිබුණේ නැත.

“එහෙම කොහොමද…කසාද බැන්දනං ඔය දෙන්න ඉන්න ඕන එක ගෙදරක. ඔයා මෙහෙ ඉඳල හරියන්නෑ”

අක්කා කෙලින් අම්මා ගේ මූණ දෙස බැලුවා ය. ඒ ඇස් වල වෛරී ගින්දරක් දලුලෑවේ ය. 

“ඔයයි තාත්තයි හිටිය වගේද…එක ගෙදරක…තට්ටු දෙකක හරි කමක්නෑ එක ගෙදරක. එතකොට පවුලක් කියන එක සර්ව සම්පූර්ණද අම්මෙ…මිනිස්සු හිත් වලින් ලෝක දෙකක ජීවත් වුණාට කමක් නෑ වටේ මිනිස්සුන්ට පේන්න එක ගෙදරක ඉඳල එක ගේට්ටුවකින් එළියට බැහැල යන්නෝන කියලද ඔයා හිතන්නෙ..තාත්ත එහෙම මාර්ගයක් තෝර ගත්තෙ අපි නිසා. සිදුහත් කුමාරයටත් රාහුල කියන්නෙ බැඳීමක් වුණා අම්මෙ. ඒත් මට එහෙම නෑනෙ. මං කැමතියි මගෙ ජීවිතේ ගැන දැන්වත් තීරණයක් ගන්න”

“ඉසුරි ඔයාට පිස්සුද…මොනාද ඔයාගෙ හිතේ තියෙන්නෙ..ඒ හිතේ තියන දේවල් ඔයාට මේ අම්මත් එක්කනං කරන්න පුළුවන් වෙයි කියල හිතන්නෙපා”

“මං දන්නව අම්මගෙ හිතේ තියන දේවල්. ඔයාට දරුවො ගැනවත් කිසි හැඟීමක් තිබුණෙ නෑ. ඡන්ද වලට සල්ලි ඕනකමට ඔයා මාව විකිණුව”

වීදුරු මාළිගාවක් එක මොහොතක දී කුඩා අංශු වලට බිඳී පොළොව මත පතිත වූවා වන් විදාරණයක් ඒ මොහොත තුළ සිදු විය. අක්කා වේගයෙන් හුස්ම ගනිමින් සිටියා ය. වසර ගණනාවක් තිස්සේ ඈ සිය හද මඬල තුළ ආයාසයෙන් හිර කර ගෙන සිටියා වූ යමක් එසේ බැහැර විය. අම්මා ඉනික්බිති වචනයක් හෝ කතා කළේ නැත. අක්කා ගෙදර ගියේත් නැත.

කෙසේ වෙතත් හදිසියේ උදා වූ, වැඩි කාලයක් රඳවා තබා ගත නො හැකි බව දන්නා යමක් කාලයට සමානුපාතිකව ඉක්මනින් රැස් කර ගන්නා සෙයින් මමත් අක්කාත් අනිච්ඡානුගව ම යමක් කරමින් සිටියෙමු. එය නම් තාත්තා එක්ක හැකි තාක් සතුටෙන් සිටීම ය. ඔහු පහළ පිළියෙල කරනා කෑම කන්නට තවමත් කැමති වූයේ නැත.

“හපෝ ගින්දර කන්න බෑ. ඕව මිනිස්සු සාප කරන සල්ලි. මිනිස්සු සාප කරන්නෙ අපිටත් එක්ක පුතේ. කිසි වරදක් නොකරපු අහිංසක දරුවන්ටත් එක්ක”

තාත්තා සිනහ වෙවී කියයි. ඔහු සතුටෙන් තබනු වස් අක්කාත් මාත් එක්ව කෑම පිසුවෙමු.

“මට ඇති අසනීපයක් නෑ. එහෙම ලෙඩ තියෙන්නෙ මොන ලෝකෙද ළමයිනෙ…අපි කාටත් අමතකවීම් වෙනව. ලොකු දුව මෙහෙට වෙලා ඉන්න ඕන්නෑ ගෙදර යන්න”

තාත්තා කීවේ ය. ඔහු ට අසනීපයක් වන බව තාත්තා පිළිගත්තේ ම නැත. ඒ නිසා ඒ බර මුළුමනින් පටවා ගෙන ඉන්නට සිදු වූයේ අපේ හිස් මත ය. කෙසේ වෙතත් තාත්තා ට බොහෝ දේ අමතක වී යන්නට පෙර, ඉතිරි වී ඇති මේ කෙටි කාලයේ ඔහුව සතුටෙන් තබන්නටත්, ඔහු නිසා සතුටෙන් ඉන්නටත් හැකි සෑම දෙය ම අපි කළෙමු.

මේ කලබලකාරී දවස් අතරේ විදුර වරදත්ත සුසුමක් වෙලා මගේ හදවත තුළ රැඳී සිටියේ ය. තාත්තා ගේ අසනීපය සුව කළ නො හැකි බව දැන ගැනීමෙන් පස්සේ ඇති වූ මහ බරත් එක්ක, නිතර නිතර ඔහු ට ඉමෝජි හෝ ස්ටිකර යවන්නට මට තිබූ සැහැල්ලුව බිඳී ගියේ ය. නමුත් වෙහෙසකර දවසක් අවසානයේ ඇඳට වැටෙත්දී මම එහෙම කළෙමි. සතියකට වරක්වත් දුරකතන ඇමතුමක් ගතිමි. මගෙන් ඇමතුමක් කල් ගියහොත් විදුර ‘තාත්තට කොහොමද’ කියා අසා ගෙන හදිසි ඇමතුමක් ගත්තේ ය. ඔහුත් එක්ක කතා කළාට පස්සේ පැය කිහිපයක් හෝ දිනක් දෙකක් පමණ හිරු මඬලට නිරාවරණය වූ ශිශිරයක් වාගේ මගේ හිත හිම දිය ව ගොස් ප්‍රාණවත් විය. 

“ඔයා ස්ටඩීස් නිග්ලෙක්ට් කරගන්න එපා. සමහර විට එක පාරට දෙයක් නිසා දැනෙන ශොක් එක කාලෙත් එක්ක හෙමිහිට තුනී වෙලා යනව”

කතා බහක් අතරේ ඔහු මගේ හිත හැදුවේ ය. විදුර කියන්නේ හඬන්නට සූදානම් මුහුණක් මත ඇසිල්ලකින් සිනහවක් උපදන්නට හැකි මිනිසෙකු බව මේ වෙත්දී මම අවබෝධ කර ගෙන සිටියෙමි. ඔය අතරේ දවසක විශ්ව විද්‍යාලයේ දේශන නිම වී එන ගමන් මම ජනරාව කාර්යාලයට ගොඩ වුණෙමි. 

“සූරි ගොඩක් දවසකින්”

පිළිගැනීමේ නිලධාරිනිය කීවා ය. විශ්ව විද්‍යාලයේ වැඩ වැඩි වුණායි කියමින් මම විදුර ගේ කියුබිකල් එක වෙත ගියෙමි. මා දොර හරිත්දී ඔහු සිටියේ මේසය වෙත පහත් වී යමක් ලියමිනි. මේසය ඉදිරියේ මා හිට ගත් විටත් ලියමින් සිටි වාක්‍යය අවසාන කොට මිස ඔහු හිස එසවූයේ නැත. හිස එසවූ නිමේශයේ මා දකිත්දී ඒ මුහුණ මත පිපුණ සිනහව මට කිසි දා අමතක නොවන්නකි. පපුවේ සියුම් හිර වීමක් මට දැනිණ. මා දැකීමෙන් ඔහු කොයි තරම් සතුටු වූවා ද යන්න ඒ සිනහව නිහඬ ව කෑ ගසා කීවේ ය. ඒ හිස මගේ පපුවේ රුවා සිප ගැනීමේ මායාකාරී ආශාවකින් යුතුව මම ඔහු දෙස බලා ගෙන ම සිටියෙමි.

“තිසුරි ඉඳගන්න”

ඉතාමත් මෘදු ස්වරයකින් ඔහු ඇරයුම් කළේ ය. මගේ හද ගැස්ම උච්ච වී තිබිණ. ඒ තරම් දින ගණනක් ඔහු නොදැක කොහොම හිටියාද කියා මට සිහි වන්නට ගත්තේ ඒ වෙලාවේ ය.

“එහෙනං ඔයා ආව නේද..”

අත් දෙක නවා මේසයට තබා ඊට නැඹුරු වී ඔහු මගේ මූණට එබුණේ ය. මා දැකීම ගැන නො සන්සුන් කම්පනයක් ඔහු තුළ ද රළ නගමින් තිබුණා දැයි නො දනිමි.

“තෑන්ක් යූ මගෙ හිත හැදුවට. සිද්ද වෙන්න නියමිත ඕනම දේකට දැං මං හිත හදාගෙන ඉන්නෙ. ඇත්තටම…හදාගෙන කියන්න බෑ. හිත හයිය කරගෙන කියතෑකි. කොහොමහරි මට පුළුවන්”

ඔහු ඇස් වලින් මා සිප ගත්තා සේ මට දැනිණ. ඒ හැඟීම හරි සීතල ය. සුවඳ ය. මේ අපූරු මිනිසා ඉදිරියේ ජීවිතයේ ළතැවුල් හා පිරිපත අමතක වී යන්නට තරම් ඔහු සතු වන මායා බලය කුමක් දැයි මට වැටහුණේ නැත.

ඉන් දින කිහිපයකට පස්සේ උදේ කාලයක මා ඔහු ට ඇමතුමක් ගත්තේ හිතට දැනුණා වූ අමුත්තක් නිසා ය. ඒ අමුත්ත කුමක් දැයි නො දැනී ද විදුර ට කතා කරන්නට මා පෙළැඹවී ය.

“සනීප නෑ තිසූ”

කෙඳිරිලි හඬකින් ඔහු කීවේ ය. තිසුරි නො කියා ඔහු මට මුලින් ම තිසූ යන කෙටි නමින් ඇමතීමේ ප්‍රහර්ශය විඳින්නට, ඒ අසනීප තත්වය ගැන ආරංචිය නිසා මට හැකි වූයේ නැත.

“ඒ ඇයි…මොකද වුණේ…”

“උණ අනේ”

අනේ..ඉතිං අමාරුද…”

“ටිකක්”

ඔහු සිනහ වෙන්නට උත්සාහයක් ගත්තේ ය.

“බෙහෙත් ගත්තද…”

“බැරි වුණා”

“ඉතිං බැරි වුණා කියල හරියනවද…කෑවද..”

“ම්හු. කන්න බෑ”

“ගෙදරද ඉන්නෙ…”

“බෝඩිමේ”

“අනේ ඉතිං ගෙදර යන්නෙපැයි සනීප නැත්තං. තනියම කොහොමද මැනේජ් කරගන්නෙ..මං කෑම එකකුත් අරං එන්නද…ගෙදර උයපුව…අක්කයි මායි ඉව්වෙ…”

ඔහු එකවර පිළිතුරක් දුන්නේ නැත. මා ඇසුවේ නෑසිය යුතු ප්‍රශ්නයක් බව මට ද සිහි වූයේ පසුව ය.  මා වගේ පිටස්තරයෙකු සිය බෝඩිමට කැඳවීම යනු ඔහු ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. ඒ යෝජනාව ඉල්ලා අස් කර ගන්නට මා කට අරිත්දී ම විදුර “හා” කීවේ ය.

“එන්න කියලද ඔය කිව්වෙ…”

මම විශ්මයෙන් ඇසීමි.

“හ්ම්”

මට දැනුණ හැඟීම් කෙසේ මම වචන බවට පෙරළම් ද? අදහා ගත නොහී ටික වෙලාවක් පාෂාණිභූත වී උන් මම බුද්ධ පූජාව සූදානම් කරනා උවැසියක ගේ භක්ත්‍යාදරයෙන් යුතුව කෑම එකක් බෙදා අසුරා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles