වියපත් බව මකා සම පැහැපත් කරන විටමින් C 

විටමින් C කියන්නෙ අපි දන්න කාලෙ ඉඳලම අපිට හුඟක් හුරු පුරුදු විටමින් වර්ග අතරින් එකක්නෙ.

දෙහි, දොඩම් වගේ පළතුරු වල විටමින් C අඩංගු වෙලා තියෙනව කියල නම් ඔබ දැනටමත් දන්නවනෙ. 

හැබැයි ඔන්න අපි අද ඔබත් එක්ක විටමින් C ගැන ඔබ දැනුවත් විය යුතුම පුදුම හිතෙන කරුණු කාරණා රාශියක් බෙදාගන්නයි මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම් ඒ මොනවද කියල දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියල අපි ආරාධනා කරනව. 

මුලින්ම අපි බලමු විටමින් C එහෙමත් නැත්නම් ඇස්කොබික් අම්ලය (ascorbic acid) මඟින් අපේ ශරීරයට ලබාදෙන ප්‍රතිලාභ මොනවද කියල.

විටමින් C වලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ

නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි 

විටමින් C කියන්නෙ ඉතාම ප්‍රභල ඇන්ටි – ඔක්සිඩන්ට් වර්ගයක්. ඒ මඟින් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර වෛරස් වැනි ආසාදන වලට එරෙහිව සටන් කරන්න පුළුවන් ස්වභාවික ප්‍රතිශක්තිය ඇති කරනවා. 

ඒ වගේම විවිධ බාහිර සං‍යෝග මඟින් සෛල වලට වන හානිය වළක්වන්නත් ඇන්ටි – ඔක්සිඩන්ට් වලට හැකියාව තියෙනවා. 

මේ ක්‍රියාවලිය නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අවම කරනවා. 

ප්‍රතිශක්තීකරණය ඇතිකරයි

රුධිරයේ ඇති සුදු රුධිරාණු නිපදවීම උත්තේජනය කර රෝග වලට එරෙහිව සටන් කිරීමටත් තුවාල සුවවීමේ සීඝ්‍රතාව වැඩි කිරීමටත් විටමින් C වලට හැකියාව තියෙනවා. 

බෝ වන රෝග වලින් ආරක්ෂාවට විටමින් C ගැනීම වෛදව්‍යවරුන් නිර්දේශ කරන්නෙ මේ නිසයි. 

හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි

පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති ආකාරයට හෘද රෝග සඳහා හේතුවෙන අධි රුධිර පීඩනය අඩු කරන්න විටමින් C වලට හොඳ හැකියාවක් තියෙනව. 

රුධිර වාහීනී තුළ පීඩනය අඩුකර රුධිර වාහිනී හරහා හෘදයට රුධිරය පොම්ප කිරීම ක්‍රමවත් කරමින් රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගන්න විටමින් C වලට පුළුවන්. 

ඒ වගේම හෘ ද රෝග ඇතිවෙන්න හේතුවෙන රුධිරයේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් (LDL) මට්ටම සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම පාලනය කරන්නත් විටමින් C උපකාරී වෙනවා. 

ආතරයිටීස් ඇතිවීමේ අවදානම අඩු කරයි

රක්තවාතය කියන්නේ ආතරයිටීස් වලින් ප්‍රධාන වර්ගයක්. 

රුධිරයේ යූරික් අම්ලය වැඩිවීම රක්තවාතය ඇතිවීමට බලපාන එක් හේතුවක් විදිහට පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා. 

ප්‍රධාන වශයෙන් ඇඟිලි වලත් ශරීරයේ විවිධ සන්ධිවලත් එක්වරම ඇතිවෙන ඉවසාගත නොහැකි දැඩි දැවිල්ල, වේදනාව සහ ඉදිමීම රක්තවාත රෝග ලක්ෂණ විදිහට අඳුනගන්න පුළුවන්. 

විටමින් C වලට රුධිරයේ යූරික් අම්ල ප්‍රතිශතය අඩුකර රක්තවාතය ඇතිවීමේ අවදානම අඩු කරනවා. 

යකඩ අවශෝෂණය වැඩි කරයි

යකඩ කියන්නෙ රතු රුධිරාණු නිෂ්පාදනය කරන්න සහ ශරීරය පුරා රුධිරය හරහා ඔක්සිජන් ගෙන යන්න උපකාරී වෙන ඉතාම වැදගත් සහ අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයක්.

විටමින් C වලට අප ගන්නා ආහාර වල ඇති යකඩ අවශෝෂණය කිරීමේ හැකියාව පවතිනවා. 

විශේෂයෙන්ම අප ගන්නා ශාක ආහාර වල අඩංගු යකඩ අවශෝෂණය කිරීම සිදුකරන නිසා නිර්මාංශ ඔබට විටමින් C ඉතාම වැදගත් කියල අපි අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. 

මතකය අඩුවීම වළක්වයි

වයසත් සමඟ ඇතිවන මතකය දුර්වල වීම ඩිමෙන්ෂියා රෝග තත්වය ලෙස හඳුන්වනවා.

වයස්ගත වීම සමඟ ස්නායු, මොළය සහ කොඳු ඇටපෙළ ආශ්‍රිතව ඇතිවෙන දුර්වලතා නිසා මේ තත්වය ඇතිවෙනවා. 

මේ දුර්වලතා ඇතිවීමේ අවදානම අඩු කරන්න විටමින් C වලට හැකියාව තියෙනවා. 

සම දීප්තිමත් කරයි

සමේ ඇති අඳුරු පැල්ලම් ඉවත්කර, සමේ රැළි වැටීම අවමකර සම එල්ලා වැටීම අවම කරන්න විටමින් C උපකාරී වෙනවා. 

හොඳයි අපි විටමින් C වලින් අපේ සිරුරට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියල දැන් දන්නවනේ. 

ඊළඟට අපි බලමු විටමින් C ස්වභාවිකව ලබාගන්න පුළුවන් ආහාර වර්ග මොනවද කියල.

විටමින් C අඩංගු ආහාර

  • දොඩම්, නාරං, දෙහි සහ ජම්බෝල වැනි පැඟිරි කුලයේ පලතුරු
  • මිරිස් වර්ග
  • ස්ට්‍රෝබෙරි සහ බ්ලූබෙරි වැනි බෙරි වර්ග
  • බ්‍රොකලි සහ පාස්ලි 
  • තක්කාලි
  • අල
  • ඉඟුරු
  • ගස්ලබු 
  • කිවි

දෛනික විටමින් C අවශ්‍යතාව කොපමණද?

විටමින් C ශරීරයේ ගබඩා කර තබා ගත නොහැකි නිසා දෛනිකව විටමින් C ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.

ඒ නිසා වැඩිහිටියෙකුගේ (වයස අවුරුදු 19 ත් 64 ත් අතර) දෛනික විටමින් C අවශ්‍යතාව වන 40 mg ඔබේ ආහාර වලින් ලබා ගන්න ඔබ සැළකිලිමත් වෙන්නම ඕන. 

ඒ වගේම දෛනිකව විටමින් C 1000 mg කට වඩා ගැනීම ශරීරයට අහිතකර බවත් ඔබ සිහිතබා ගන්නම ඕන. එය බඩේ අමාරුව, පාචනය සහ ක්ලාන්තය ඇති කරන්න හේතුවෙනව. 

ඒ නිසා 1000 mg කට වඩා විටමින් C ලබා ගැනීමෙන් වැළකීම අත්‍යාවශයි. 

විටමින් C ආහාර මඟින් හෝ සිරප් හෝ පෙති වැනි වෙනත් ක්‍රම වලින් ලබාගත හැකි වුනත් ස්වභාවිකව විටමින් C ලබා ගැනීම වඩා යහපත් බව තමයි අපි ඔබට මතක් කරන්නෙ. 

ඉතිං, විටමින් C අපේ සිරුරට කොච්චර වැදගත්ද කියල ඔබට දැන් වැටහීමක් ඇති කියල අපි විශ්වාස කරනවා.

නැවත මෙවැනිම වැදගත් ලිපියක් සමඟ ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද සමුගන්නවා. 

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles