මා හිස පිරිමැද 12

අක්කා දින ගණනාවක් තිස්සේ අපේ ගෙදර ම නතර වී සිටියා ය. ඇය කිසිදු තැවුළකින් තොර ව සතුටෙන් සිටිනා බව ද පෙනිණ. නමුත් අම්මා සිටියේ මේ ගැන සුව පහසුවකින් නොවේ. ඒ ගැන කතා කරන්නට ගොස් අක්කා ගෙන් දරුනු චෝදනාවක් ලැබුවාට පස්සේ තවත් කතා කිරීම ගැන පසුබෑමක් ඇය තුළ ඇති වෙන්නට ඇත. නමුත් අම්මා වටින් ගොඩින් ඒ ගැන ඉඟි කළා ය.

“අම්ම දැන් ඉන්නෙ මාව ඇදං ගිහින් හෂාන්ලගෙ ගෙදර දාල එන්න පුළුවන්නං එහෙම කරන තත්වෙක”

අක්කා අමුතු විදිහේ සිනහවකින් මා සමග කීවා ය. මම ඇය වටහා ගැනීමේ ඕනෑකමකින් යුතුව ඇදෙස බලා සිටින්නට වීමි.

“ඇත්තටම ඔයා ආයෙ එහෙ යන්නැද්ද…”

“මට යන්න ඕන නෑ නංගි”

“හෂාන් අයිය ආවොත් එක්කං යන්න…”

“බලමුකො එයා එයිද කියල. මටත් ආසයි බලන්න එයා එයිද කියල…එයාට එච්චරට මාව ඕනද කියල”

අක්කා ගේ තොල් කොනක වූයේ සමච්චලයට නලියනා සිනහවකි. 

“එයා ආවොත් අකමැත්තෙන් වුණත් මට යන්න වෙයි”

අකමැත්තෙන් වුණත් යන්නට ඔහු එනවා නම් වැනි පැතුමක් ඇගේ ඇස් වල වේ දැයි සොයා ගන්නට මම ඒවායේ කිමිදුණෙමි. නමුත් අක්කා සිටියේ හැඟීම් වලින් වියළී ගොසිනි. ඇගේ ඇස් දීප්තියෙන් තොර ය. බැල්ම සුදුමැළි ය. හදවත හිස් ය!

ගෙවී ගිය කිසිදු දවසක හෂාන් ආවේ නැත. 

“දැං…මොකද්ද ඔය දෙන්නගෙ මේ ජීවිතේ තේරුම…මෙච්චර තරුණ වයසකදි තමන්ගෙ මහත්තයගෙන් වෙන් වෙලා දෙමව්පියො ළඟට ඇවිත් ඉන්නනං…ගෑනු ළමයෙක් කසාද බඳින්නෙ මොකටද…”

අප තිදෙනා උඩු මහලේ කුඩා මේසය අසල හිඳ කෑම කන අතරේ දිනක් තාත්තා මේ ගැන ප්‍රශ්න කළේ ය. ඔහු ට තවමත් ඒ වගේ කාරණා අමතක වෙන තරමට ඩිමෙන්ශියාව උත්සන්න වී තිබුණේ නැත. 

“ඒ කසාදෙ තිබුණය නැතිය කියල මට කිසි වෙනසක් නෑ තාත්තෙ. හෂාන් හිටියයි නැතයි කියල ඇත්තටම මට කිසි වෙනසක් නෑ. මං මෙහේ හිටියත් එහේ හිටියත් මේක තමයි තත්වෙ. එයාට මං ගැන හොයන්න බලන්න වෙලාවක් නෑ. මං හිතන්නෙ වෙලාවක් නෙවෙයි උවමනාවක් නැතුව ඇති. එයාට මං එහෙ හිටියත් එකයි නැතත් එකයි. අඩු ගානෙ මං එන්නෙ නැත්තෙ මොකද කියල බලන්නවත් කෝල් එකක්වත් දුන්නද…ඒගොල්ලොන්ට මාව ඕනෙ අම්මගෙ දේශපාලන බලයෙන් ඒගොල්ලංගෙ නීති විරෝධී බිස්නස් කරගන්නයි…නීතියෙං රිංගල යන්නයි විතරයි. ඒ වෙනුවෙන් සල්ලි ගෙවල ගත්ත කෙනෙක් විතරයි මං. එතන වෙන හැඟීමක් නෑ තාත්තෙ”

අක්කා දිගට ම කතා කරගෙන ගියේ මඳ සිනහවකින් යුතුව ය. තමන් ඒ තරම් දරුණු ඛේදවාචකයක ගිලෙමින් සිටියදී සිනහ වී ඉන්නට යමෙකුට හැකිය කියන්නේ ඒ ගිලී යාම ගැන ඇයට වේදනාවක් නැතිය කියනා එක ය. අක්කා පව් කියා මට සිතිණ. කවුරුන්වත් වෙනුවෙන් කවුරුන් හෝ අල්වා ඇති කරවන බැඳීමක් කියන්නේ බිඳීමක ඇරඹුමකි.

“ඒක හරි වැඩක්නෙ. හරි මොන පදනම මත හරි ඒ කසාදෙ වුණා කියමුකො. දැං ඉතිං දෙන්නත් එක්ක ඒක පවත්තගෙන යන්න එපැයි”

“ඔව් ඉතිං. මෙහෙම තමයි තාත්තෙ පවත්තගෙන යන්න වෙන්නෙ. මං කැමතියි මෙහෙම”

මම තිගැස්සී ගිහින් අක්කා දෙස බැලුවෙමි. ඇය අදහස් කරන්නේ කුමක් දැයි මට වැටහුණේ නැත.

“මේ කසාදෙ නිල වශයෙන් තියෙනතාක් අපේ අම්මටවත් හෂාන්ලටවත් කිසිම පාඩුවක් නෑ. එයාලගෙ කොන්දේසි ඒ විදිහටම සිද්ද වෙනව. ඉතිං ඒව කර ගත්තදෙන්. මට මෙහෙම මගෙ අය ළඟට වෙලා හිතේ සැනසිල්ලෙන් නිදහසේ ඉන්න තිබුණාම ඇති. ඔන්න මං ඩිවෝස් වෙන්න ඕන කිව්වොත් ඒගොල්ලො කලබල වෙයි. එහෙම නැත්තං මේ සාමය දිගටම තියා ගන්න පුළුවන්”

“ජීවිතේ කියන්නෙ එහෙම දේකට නෙවෙයිනෙ ලොකු පුතා. එහෙ බලල මෙහෙ බලනකොට අපේ තරුණ කාලෙ ගෙවිල ඉවරයි. අපරාදෙ ඒ කාලෙ කියල ආපස්සට හැරිල බලල කියන්න වෙන එක අපරාදයක්”

තාත්තාගේ සාමාන්‍ය මතකයට කිසිදු හානියක් සිදු වී නැතැයි ඒ වෙලාවේ මම සැනසුනෙමි. ඔහු ට ඒ වෙත්දීත් මතක නැති වෙමින් තිබුණේ එදිනෙදා කටයුතු අතරේ සුළු සුළු දේවල් ය. ආසන්න මතකය ය. අනිත් අතට තාත්තා ට ප්‍රතිකාර කළේ ඒ සම්බන්ධ හොඳ ම වෛද්‍යවරයෙකි. ඩිමෙන්ශියාව නරක අතට හැරෙනා එක පමා කරවනු වස් සිය උපරිමය කරනා බවට ඔහු අපට පොරොන්දුවක් ද දුන්නේ ය. මම බලාපොරොත්තු සහගත ව සිටියෙමි. තාත්තා ට ඒ තරම් බරපතල අමතක වීමේ තත්වයක් ඇති නොවෙතැයි සුභවාදී ව සිතන්නට හැම විට ම  උත්සාහ කළෙමි. නමුත් තත්පරයෙන් තත්පරය ගෙවී යන්නේ එහෙම දවසක් කරා බව යටි හිත හොඳට ම දැන සිටියේ ය.

“තාත්තට ගොඩක් දේවල් අමතක වෙලා යන්න කලින්…මට ආසයි ඔයාව එයාට මුනගස්සන්න තිබුණනං…සමහර විට තව කාලෙ ගෙවෙද්දි…එහෙම අඳුන්නල දුන්නත් තාත්තට ඒ ගැන හැඟීමක් අදහසක් නැති වෙලා යන්න පුළුවන්. ඒත් මං දන්නව ඒක ඔයාගෙ පැත්තෙන් රිස්ක් එකක් කියල”

ටික දවසක් තිස්සේ හිතට වද දෙමින් තිබි ඒ දේ, විදුර එක්ක දුරකතන සංවාදයක උන් රාත්‍රියක මම කීවෙමි. මේ කාලයේ දී මගේ දවසේ ප්‍රීතිමත් ම කාලය රාත්‍රියයි. රාත්‍රී හෝරාව ගැන කිසිදු නිනව්වක් අපට තිබුණේ නැත. ඇතැම් විට අළුයම වන තෙක් අපට කතා කරන්නට දේවල් තිබිණි. කතා කරන්නට දේවල් නො තිබුණ ද දුරකතන සම්බන්ධය බිඳ දමන්නට හිතුණේ ම නැත. හුස්මක හඬ ඇහුණ ද ඔහු මා ළඟ ම ඉන්නා හැඟීමක් මට දැනේ. අප ඉතා තදින් අපව වැළඳ ගෙන ඉන්නා බවට හැඟීමක් දැනේ. මරණයෙන්වත් වෙන් වී යන්නට බැරි අප්‍රමාණ වූ බැඳීමක් දැනේ. අපි තනි තනිව දිගු ගමනක් ඇවිද විත් සිටිමු. ඔහු සිය දිවියෙන් හරි අඩකට ආසන්න කාලයක් තනි දිවියක නීරස හුදෙකලාව භුක්ති විඳ තිබේ. මගේ වයසේ මගේ හැම මිතුරියකට ම පෙම්වත්හු සිටියහ. දැනට විශ්ව විද්‍යාලයේ වුව එසේ නොවනා කෙනෙකු සෙවීම නොමළ ගෙයකින් අබ සොයනවා වාගේ දෙයකි. එහෙම බලත්දී, කෙතරම් අවස්ථා තිබිණි ද මම යම් දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු ඉතිරි කර ගෙන ඒ හුදෙකලා මාවතේ බිම බලා ගෙන ඇවිද ආවෙමි. ඔහු ට සම්මුඛ වන තුරු, මා සොයමින් හිටියේ ඔහු ව යයි මම නො දැන ද සිටියෙමි.

“කවදාවත් ගෑනියෙක්ව ජීවිතේට ලං කර ගන්නෑ කියල හිතං හිටිය හිතිවිල්ල ඔයාගෙං ඉමෝජි එකක්වත් නැතුව පැය දෙක තුනක් ගෙවා ගන්න බැරි වෙනකොට බිඳිල ගිහිං කියල මට තේරුණා. ඒ වුණාට තවත් ටිකක් අල්ලං ඉන්නයි බැලුවෙ. ඒ ට්‍රයි එක මට කියල දුන්න පාඩමක් තියනව තිසූ. මෙතනිං එහාට තනියම යන්න බෑ කියන එක…”

විදුර ද එහෙම කීවේ ය. අපට අප දැනුණේ මහා දිගු ගමනක ගිම් නිවනා නවාතැන්පොළක් වාගේ ය. මුළු ලෝකය ම නිදි ගන්නා රාත්‍රියේ දී අපේ චිත්ත තරංග හා දුරකතන තරංග එක රේඛාවක් ඔස්සේ එකට සම්බන්ධ වී තිබිණ. අපේ තුවාල, රිදුම් හා කැක්කුම් අපට පිරිමැද ගන්නට සිදු වූයේ ඒ වෙලාවට ය. ලෝකය අවදියෙන් හිඳ ඇස් විදා බලා සිටියදී ප්‍රවේසම් වෙන්නට අපි එකඟතාවයකට ඇවිත් සිටියෙමු. මා වැඩිපුර ජනරාව කන්තෝරුවට ගියේ නැත. එහි ස්ථාවර දුරකතනය ඔස්සේ විදුර ට කතා කළේ නැත. එක මොහොතකට ඔහු දැක ගැනීමේ ආශාව බලවත් වන මොහොතවල් උදා නොවුණා නොවේ. නමුත් වීඩියෝ ඇමතුමකට එහා දුරට, ඔහු ගේ බෝඩිමට හෝ නො යන්නට මම මා පාලනය කර ගතිමි.

“ඉතිං මං තාත්තව හම්බ වෙන්න එන්නං”

තාත්තා ට ඔහු මුණගැස්වීමේ ආශාව ගැන කී වේලේ විදුර එක හෙළා කීවේ ය.

“ඒත් මට බයයි…ඔයා ගැන…”

“එහෙමම පරිස්සං වෙන්නත් බෑ තිසූ ඉතිං. අනික ඒක නිතර නිතර සිද්ද වෙන මුණගැහීමක් නෙවෙයිනෙ. අපි එක වතාවකට කොහෙදි හරි මුණගැහිල කතා කළා කියල මං හිතන්නෑ ලොකුවට අවුලක් වෙයි කියල”

බලාපොරොත්තු සහගත ප්‍රීතිමත් බවකින් මම මේ අවස්ථාව දෝතින් පිළිගෙන හදවතින් වැළඳ ගතිමි. මේ ගැන මුලින් ම කතා කරන්නට මා තීරණය කළේ අක්කා එක්ක ය. ඇය මට විශ්වාසවන්ත ය. අනිත් අතට ප්‍රේමය විෂයේ මේ වෙත්දී අක්කා මෝරා වැඩී සිටියා ය. ඒ නිසා සියලු රහස් ඇය විසින් රැක ගනිතැයි මම උදක් ම විශ්වාස කළෙමි.

“මේක දැනගත්තොත් ඒ කොල්ලව ඉතුරු කරයිද මේගොල්ලො…අනේ පරිස්සමෙන් නංගි”

අක්කා හිසේ අත ගසා ගත්තා ය. සමහර දේවල් කොයි තරම් අවදානම් කියා දැන සිටිය ද අපට ඒවා කරන්නට ම සිතේ. මානව ඉතිහාසය පුරා ම මිනිසුන් අවදානම් වලට අභියෝග කළ බවට කතන්දර ඉතිරි වී තිබෙන්නේ එනිසා ය. විදුර වරදත්ත හා තිසුරි බණ්ඩාරනායක යන දෙදෙනා වෙන් වෙන්ව ගත් කල තිබෙනවාට වඩා දැවැන්ත අවදානමක් ඔවුන් දෙදෙනා එක් ඒකකයක් ලෙස ගනිත්දී අප ඉදිරියට පෙරළී ගෙන එයි. නමුත් දැන් වෙනම ගමන් ගත්තා ඇති ය. අප එක් ඒකකයක් වීමේ දී හට ගන්නා ශක්තිය, ඇතැම් විට අවදානමට අභියෝග කරන්නට තරම් ප්‍රමාණවත් වනු ඇත. එසේ නැත ද ප්‍රේමයෙන් එකට එක් වී ප්‍රේමයෙන් හුස්ම ගෙන ප්‍රේමයෙන් මියෙන එක වෙන් වෙන් ව ජීවත් වෙනවාට වඩා පහසු විය හැකි ය.

ඒ දවස උදා වූයේ තාත්තා ගේ ඊළඟ සායන වාරයේ දී ය. මේ ගැන පැවසූ විට,

“එහෙනං මගෙ චූටි කෙල්ලත් ලොකු කෙල්ලෙක් වුණා නේ”

කියමින් තාත්තා මා තුරුලු කර ගත්තේ ය.

“ඒක හරි. ඔයාගෙ ජීවිතේ ගැන ඔයයි තීරණය කරන්න ඕනෙ. අක්ක වගේ අම්මට ඕන හැටියට නටල ඔයාගෙ ලස්සන ජීවිතේ නාස්ති කර ගන්න එපා. ඔයා කැමති කෙනාව මට ඉක්මනට මුණගස්සන්න හිතපු එක මට සතුටක් පොඩි පුතා. කවුද දන්නෙ ඉස්සරහට මොනා වෙන්න තියනවද කියල”

තාත්තා ගේ ඇස් වල ආගන්තුක වේදනාවක් තිබී මට හමු විය. ඇතැම් විට මේ වෙත්දී සිය රෝගී තත්වය ගැන ඔහු කිසියම් සොයා බැලීමක් හෝ කියවා ගැනීමක් කරමින් සිටින්නට ඇත.

අපට විදුර හමු වන්නේ වෛද්‍ය සායනයෙන් පසු කතිකා කර ගත් පරිදි ප්‍රකට කෝපි හලකදී ය. අප එහි යන විටත් ඔහු ඇවිත් සිටියේ ය. අළු හා සුදු කොටු වැටුන කමිසයක් ද කළු ඩෙනිම් කලිසමක් ද හැඳ, පුරුදු පරිදි කමිස අත් වැලමිට ළඟට නවා උන් විදුර, ජනරාව කන්තෝරුවේදී හෝ එදා ඔහු ගේ බෝඩිමේදී මා දුටුවාවත් වඩා කඩවසම්ව මට පෙනිණ. ඒ සිනහව මනබන්ධනීය වූයේ ය.

“මේකා හැන්ඩියෙක්නෙ. මං හිතං හිටියෙ අපේ අම්ම තරං විතරවත් වයස පොරක් කියල”

අක්කා මගේ කනට කොට කීවා ය. මම අතින් මුව වසා ගෙන සිනහව තද කර ගතිමි. තාත්තා විදුර ව වැළඳ ගෙන අප වෙනුවෙන් පිළිගත් වෙලාවේ මට හැඬෙන්නට තරම් හැඟීමක් ආවේ ය. ගෑනු ළමයෙකුට සිය ජීවිතයේ වීරයන් සිටිත හැක්කේ උපරිම දෙදෙනෙකි. ඉන් කෙනෙකු අනිවාර්යයෙන් ම සිය පියා වේ. අනිත් කෙනා ඇගේ පෙම්වතා හෝ සහකරු වෙන එක තරම් වාසනාවක් ඇයට වෙන තිබිය නො හැකි ය. මගේ අත් දෙක ඔවුන් දෙදෙනා ගේ බඳ වටා යවමින් ඔවුන් එක වර වැළඳ ගන්නට මට උවමනා වී ද මේ වාගේ ප්‍රසිද්ධ ස්ථානයක විදුර වෙත දැල්වුණ උකුසු ඇස් තිබිය හැකි බව මම දැන සිටියෙමි. 

“පොඩි පුතාගෙ තෝරගැනීම ගැන මට හරි ආඩම්බරයි. පුතා මගෙ දරුවව ඇස් දෙක වගේ බලාගන්න විතරයි මට ඕනෙ. මට පුළුවං කාලෙ…පුළුවං හැටියට මං ඒක කළා. ඉස්සරහට මාත් ලෙඩ වෙලා මොන තත්වයක් ඇති වෙයිද කියන්න බෑ. තිසූ වගේ එඩිතර ගෑනු ළමයෙකුට ඕනෙ පුතා වගේ කෙනෙක්ගෙ රැකවල තමයි. මෙන්න මේ ලොකු දරුවගෙ ප්‍රශ්නෙත් විසඳුනානං…ඊට පස්සෙ මට මොනා වුණත් එකයි”

තේ බොන අතරේ දී තාත්තා දිගට ම දොඩමළු වූයේ ය. ඔහු හැඟීම්බරව සිටියා යි මම සිතමි. විදුර ගේ ඇස් පිරිමි පාටින් බබළමින් තිබිණ. විවර වූ කමිසයේ උඩ බොත්තම නිසා යන්තම් නිරාවරණය වූ ළැම පෙදෙස පවා අසීමිත පිරිමි පෞරුෂයක් ගැන කතාවක් නිහඬව කීවේ ය. සත්තකින් මම ඔහු ට වසඟ වූ පොඩි දැරියක සේ වීමි. 

එදා මා ඔහු ගෙන් සමු ගෙන ආවේ හිත බෑ කියා කෑ ගසත්දී ය. ආයේ කවදා අපට සජීවී ව අප දැකිය හැකි වෙත්දැයි නිනව්වක් වූයේ නැත.

“අද ඔයා හරි ලස්සනයි. මට අරං යන්න හිතෙනව ඉන්න තැනකට”

වෙන් වී යන්නට පෙර ඔහු මට පමණක් ඇසෙන සේ ලං වී කීවේ ය. 

“මටත් යන්න දෙන්න බෑ කියල හිතෙන තරං. අක්කත් කිව්ව ඔයා මාර හැන්ඩ්සම් කොල්ලෙක් කියල”

මා එසේ කීවේ රියෙහි නැඟුණු පසු කෙටි පණිවිඩයක් තබමිනි. ඔහු ‘ආදරෙයි’ කියා එව්වේ ය.

“අද මට හරි සතුටුයි”

රිය පදවන අතරේ මා මිමිණුවේ ඇස් වල කඳුළු අතරිනි. අක්කා මගේ හිස් මුදුන පිරිමැද්දා ය.

“ඔයා වෙනුවෙන් අපිත් සතුටෙන් නංගි”

“ඔව්. හැබැයි පරිස්සං වෙන්න ඕනෙ දෙන්නම”

තාත්තා ඒ වෙලාවේත් මගේ ප්‍රවේසම ගැන හිතුවේ ය. ඔහු ට ඉදිරියේ දී අපේ ප්‍රවේසම ගැන බැලිය නො හැකි වනු ඇතැයි සිහි වෙත්දී සතුටු කඳුළු වලට දුක් කඳුළු මුහු වී අවසාන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles