ත්‍රීරෝද රිය ගමන් කරමින් තිබියදී විදුර සිය නැගණියට, තව විනාඩි කිහිපයකින් ඔහු ගෙදර එන බවට පණිවිඩයක් තැබුවේ ය. ඒ අනුව ඔහු නතර කරන්නයි කී කළු පාට පිවිසුම් දොරටුව ඉදිරියේ රිය නතර වෙත්දී ම යුවතියක එයට මත්තෙන් ඉස්සී බැලුවා ය. විදුර දුටු ගමන් ඇය සිනහ වී ගෙන ගේට්ටුව විවර කළා ය. ඒ ඔහු ගේ බාල නැගණියයි. අයියා සමගින් ගෑනු ළමයෙකු දුටු නිසා ද මන්දා ඇගේ ඇස් වල සිනහවේ කැළතුණ කුකුසක් ද විය.
“මොකද අමුතු විදිහකට බලන්නෙ..ආ…”
විදුර ඇගේ හිස් මුදුණේ කොණ්ඩය අවුල් කළේ ය.
“එන්න තිසූ”
ඔහු මගේ බඳ පිටුපසින් අත තබා මා ගෙතුළට කළේ ය. ඔහු ගේ පවුල තුළදී ඔහු මා අත් නො හැර සිටින බවට විශ්නාසනීය බවක් ඒ මොහොතේ මට දැනිණ. නංගී ගෙදොර වසා දැමුවා ය. විදුර ඉන්නා වෙලාවට ඔවුන් දොර වසාගෙන හෙමිහිට කතා කරන බව මා දැන ගත්තේ එදා වැඩිදුර කතා බහේදී ය.
අම්මාත් අක්කාත් ඔහු එනවා යන පණිවිඩය නිසා විදුර පිළිගන්නට ඉස්සරහාට පැමිණියහ. ඔහු ට මුවහ වී සිටි මා දුටු ගමන් ඔවුන් ගේ ද මුවවල් වැසී මුහුණු මතට ප්‍රශ්නාර්ථයක් ආවා කියා සිතමි.
“ඔන්න අම්ම හැමදාම අහන ප්‍රශ්නෙට මං උත්තරේ අරං ආව. ඔයාගෙ ලේලි. තිසූ මේ තමයි මගෙ අම්ම. මේ අක්ක. මේ පොඩි නංගි. ලොකු නංගි නැද්ද අම්මෙ…”
“ලොකු නංගි ළමයි අරං පන්ති ගියා. අක්කත් මේ දැන් ටිකකට කලින් ආවෙ. අනේ එහෙනං මං මැරෙන්න කලින් මගෙ ඒ ආසාව ඉෂ්ට කරගන්න ලැබුණ. හරි අපූරු කෙලි පොඩ්ඩක්නෙ පුතේ”
අම්මා ඉතාමත් ම ආදරණීය හා උණුහුම් ළෙංගතුකමකින් මගේ දෙකොපුල් සිප ගත්තා ය. අක්කා හා නංගී ද මා සිප වැළඳ ඔවුන් ගේ පවුල වෙත ආදරයෙන් පිළිගත්හ. ඒ වෙලාවේ මට එය මහත් ම සැනසීමක් වූයේ ය.
සැබවින් එය මහත් ළෙංගතු බැඳීමක් ඇති පවුලකි. අම්මා වයසටත් වැඩියෙන් වියපත් වී සිටින්නේ විදුර ගැන හිතේ අමාරුව නිසා යයි අක්කා කීවා ය. දැන් ඇයට නිතර ම අසනීප ය. ඇවිදින්නේ ද තරමක් අසීරුවෙනි. ඔවුන් මාව කුස්සියට ම කැටිව ගියහ. දවල් ට පිස ඉතිරි වූ කෑම රත් කොට, විදුර එනවා කියන ආරංචියට අම්මා අමුතුවෙන් තක්කාලි සලාදයක් සාදා බිත්තර බදින්නට සූදානම් වී සිටියා ය. අප නුවර ගොස් අඩු තරමින් කෑම කන්නට හෝ රැඳුනේ නැතිව ඊළඟ බසයට නැග ගතිමු. විදුර අම්මා ළඟට ගොස් රහසින් කීවේ මටත් එක්ක කෑම බෙදන්නට කියා විය යුතු ය.
“මෙතන්ටම ඇවිත් මැසේජ් එකක් දාන්නැතුව ටිකක් කලින් කියන්න තිබුණනෙ. එහෙනං අපි කෑම ටිකක් ලෑස්ති කරල තියනවනෙ. ඔයාගෙ වැඩ ඔහොමමයි මල්ලි. ඉස්සල්ලම ගෙදරට ආපු දවසෙ මේ ළමයට හරියට කෑමක්වත් ලෑස්ති කරන්න නැති වුණානෙ”
අක්කා විදුරට දොස් කීවා ය.
“මට අමතක වුණා අප්ප”
“අනේ කමක් නෑ අක්කෙ. මට කියල එහෙම විශේෂ දෙයක් ඕන නෑ”
“ආයෙ නංගිව එක්කං එන දවසට අපිට කලිං කියනව හරිද…දැනට මෙහෙම කමුකො එහෙනං”
අක්කාත් නංගීත් අම්මාත් උනන්දුවෙන් කෑම මේසය සූදානම් කළහ. විදුර හා මා මේසයේ එක ළඟ අසුන් ගතිමු. අම්මා මගේ පිඟානට මුලින් ම බත් බෙදුවා ය.
“වෙනදට අම්ම මාව වට කරගෙන බත් කවන්නෙ. අද මං ඉන්නව කියල ගානක්වත් නෑ”
විදුර ගේ කතාවට කවුරුත් සිනහ වූහ. සැබවින් ඔවුන් සියලු දෙනා ම සිටියේ සතුටෙනි. ඒ සතුට ඔවුන් ගේ සියුම් හැසිරීමක පවා පෙනෙන්නට තිබිණ. අවස්ථාවේ හැටියට හැකි උපරිමයෙන් ඔවුන් මට සැලකුවේ රජ කුමරියකට සේ ය. මට කන්නට බැරි තරම් බත් කන්නටත් සිදු විය. නමුත් ඒ සතුට අස්සේ ම ඔවුන් ගේ හිත් වල බියක් හෝ ගැස්මක් ද නො තිබුණා කිව නො හැකි ය. හැකි හැම අවස්ථාවක ම ඔවුන් කතා කළේ රහසිගත ස්වරයකිනි. ගේ ඇතුළේ කතා කරන දේවල් පිටතට නෑසෙන්නට ඔවුන් වග බලා ගත්තා කියා සිතමි. කෑම කාමරයේ බිත්තියේ ගසා තිබුණ සීසීටීවී කැමරා දර්ශන සහිත කුඩා රූපවාහිනී තිරය මතට නිරන්තර ඔවුන් ගේ ඇස් යොමු වේ. විදුර ගෙතුළ සිටිනා වෙලාවට සියලු දෙනාම පසු වන්නේ ඒ තරම් අවධානයෙන් බව මට සිතා ගත හැකි විය. එය පුදුම ඛේදවාචකයකි. උයා ගත් බත් ටික හිතේ සැනසීමෙන් කන්නට නැති වෙන්නට තරම් වරදක් ඒ අම්මා අතින් රටට ලෝකයට සිදු වී නැත. අවිහිංසක ඒ ගැහැනිය කළ එක ම වරද අසාධාරණය නො ඉවසන, ඍජු පිටකොන්දක් ඇති උගත් පුතෙකු බිහි කිරීම පමණ ය.
“දැන්නං මට කොයි වෙලේ ඇස් දෙක පියවුණත් කමක් නෑ. මගෙ පුතාව බලාගන්න කෙනෙක් ඉන්නවනෙ කියන සැනසීම දැන් මගෙ පපුවෙ තියනවනෙ. මේ දුවගෙ දෙමව්පියො එක්ක කතා බස් කරල…අපි මේ කටයුතු ඉවර කරල දැම්මනං හොඳයි නේද පුතේ…”
මා විදුර දෙස බැලුවේ දෙගිඩියාවෙනි. මගේ අම්මා වජිරපාණී වික්‍රමබාහු යයි දැනගැනීම ඔවුන් ගේ මේ අහිංසක සතුට එක නිමේශයෙන් විනාශ කරනා හේතුවක් විය හැක. ඒ නිසා ම දැන්ම ඒ ගැන නොකියන්නයි ඉල්ලා සිටින බැල්මක් මම විදුර වෙත පෑවෙමි.
“හරි අම්මෙ හෙමිහිට ඒව කරමු. දැනට ඔයාට මෙයාව දකින්න ලැබුණ එක ඇතිනෙ”
ඒ සාමාන්‍ය මධ්‍යම පාන්තික නිවහන, පවුලක් වශයෙන් ඔවුන් ගේ මතක ඒකරාශී වූ ස්ථානයක් බව පේන්නට තිබිණ. විදුර මට මිය ගිය පියා ගේ ඡායාරූප පෙන්වී ය. කළු සුදු මංගල ඡායාරූපයේ අම්මා පියකරු මනාලියක ව සිටියා ය. විදුර ගේ බාල වියේ සේයා රූ රැසක් ඇල්බම් වල සුරක්ෂිත ව තිබිණ. ඒ සපුතන්ත්‍රී පවුල කාලයක් තිස්සේ දුටු සිහින ය. බලාපොරොත්තු ය. ඒ සිහින හා බලාපොරොත්තු කුඩු පට්ටම් කොට දමා ඔවුන් ගේ ජීවිත විනාශ මුඛයට ඇද දැමීමේ අයිතියක් කිසිදු දේශපාලනයකට ඇත්තේ නැත. දේශපාලකයාට නිවැරැද්දේ හැසිරිය නො හැකි නම් විවේචන හා වංචා දූෂණ හෙළිදරව් කිරීම් ඉවසා වැදෑරීමේ හැකියාව තිබිය යුතු වේ.
“ඔයාවත් එයාට කියන්න…දැං ඔය ඇති රට හදන්න ගියා කියල”
විදුරගේ අක්කාත් නංගීත් මා තනි කොට ගෙන රහස් ස්වරයකින් කීහ.
“මේ රට හදන්න බෑ කියල අපිට වඩා හොඳට ඒගොල්ලො දන්නවනෙ. යුතුකමක් විදිහට හරි ආසාවට හරි මෙච්චර කාලයක් ලිව්වනෙ. දැන් ඉතින් දෙයියනේ කියල දරු පවුලක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්නනෙ තියෙන්නෙ”
“ඔව්. අපි කියන දේවල් ගණං ගත්තෙ නැති වුණාට ඔයා බල කරල කිව්වොත් අහයි. ඔයා දැං අපි කාටත් වඩා එයාට ළඟයිනෙ”
“අම්මට වුණත් තව වැඩි කාලයක් මේ විදිහට ගින්දර කන්න බෑ නංගි. ඒ මනුස්සය මෙහෙම දුර්වල වුණේ මල්ලි ගැන කල්පනා කරලමයි. හරියට කන්නෑ. බෙහෙත් බොන්න මතක නෑ. රෑට නිදියන්නෑ..”
“මං කියන්නං අක්කෙ”
මම මිමිණුවෙමි. නමුත් විදුර ගේ මූණ බලාගෙන කිසි දාක මට එවැන්නක් පැවසිය නො හැකි බව මම දැන සිටියෙමි. ඔහු ගේ ජීවන විලාසිතාව වූ කලී ලිවීම ය. ඔහු ගේ ප්‍රේමය වනාහි අසාධාරණයට එරෙහි ව ලිවීම ය. ඔහු ගේ ප්‍රාණය තිබෙන්නේ හුස්ම රැඳෙනා තුරු ලිවීමෙහි ය. ඉතින් මා කොහොම ඒ පෑන පසෙකින් තබන්නැයි කියන්නෙම් ද? මා ඔහු ට ප්‍රේම කරන්නට ගත්තේ ඒ අකුරු අතරේ දුටු අභීත හා යුක්ති ගරුක මිනිසා හින්දා ය. එහෙව් ඔහු ට නො ලියන්නැයි කොහොම නම් මම කියම් ද?
අප ඔවුන් ගේ ගෙදරට යාම සේ ම ඉන් පිට වී ඒම ද සිදු වූයේ ඉතා රහසිගත සැලසුමක කොටසක් සේ ය. ඒ හැම තත්පරයක ම සන්ත්‍රාසය මුසු ගැස්මක් රැඳී තිබිණ. නපුරක් සිදු වීමට පෙර ඉක්මන් වීමේ කඩිනමක් විය. අපට කැබ් රථය ඇනවුම් කොට දුන්නේ නංගී ගේ දුරකතනයෙනි. ප්‍රවේසම කියන දේ ඔවුන් ගේ ලේ වලට ම මුහු වී ඇති බවක් මට දැනිණ. ආයේ හමු වෙන ආදරණීය බලාපොරොත්තුවක් අපේ සමු ගැනීමේ විය. ඔවුන් හැම දෙනා ගැන ම මට දැනුණේ වේදනාවකි. එක අතකට දැන් මා ද අයත් වන්නේ එම කුළකයට ම ය. රට වෙනුවෙන් අභීත ව පෙරමුණ ගත් හැබෑ විරුවන් ගේ මව්වරු, බිරින්දෑවරු, සොයුරියන්, පෙම්වතියන් අයත් වන, දුක් පීඩා දරා ගන්නා ගැහැනුන් ගේ කුළකයට ය.
මග දී වෙනත් කැබ් රථයකින් ගෙදර යන්නට මම හිතා හිටියෙමි. නමුත් විදුර ඊට ඉඩ දුන්නේ නැත.
“මං ගේ ළඟින් ඔයාව දාල යන්නං”
ඔහු ට විරුද්ධ වීමේ ලෝභ කමක් ද තවත් මොහොතක් හෝ ඔහු ළඟ රැඳීමේ ලෝභ කමක් ද මට විය. වෙන්ව ජීවත් වෙනවාට වඩා එක්ව මිය යන එක පහසු බව මේ වෙත්දී මගේ ද යටි හිත මොර ගා කියමින් තිබිණ. වෙන්ව යාමට පෙර අවසාන විනාඩි කිහිපයේ මම තදින් විදුර ගේ අත අල්වා ගෙන සිටියෙමි. ඔහු වරින් වර සුසුම් හෙළුවේ ය. මා බැස ගන්නට මොහොතකට පෙර විදුර මගේ කොපුලක් තදින් සිප ගත්තේ ය. ඒ රැවුල් කොට ඇනීමෙන් ඇති වූ සංවේදනය, එවෙලේ පමණක් නොව මේ දැනුත් මගේ මුව මඳහසක් නගන්නට සමත් වේ.
මා යන විට තාත්තා නිදා සිටියේ ය. ඔහු දැන් දවල් කාලයෙන් වැඩි කොටසක් නිදයි. රාත්‍රියේ දී ‘නින්ද යන්නෑ’ කියමින් පැමිණිලි කරයි. අක්කාත් මාත් නිදන්නේ කාමර වල දොරවල් විවර කොට තබා ය. ඒ තාත්තා අවදියෙන් පිටතට යන්නට උත්සාහ කළහොත් ඇසෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.
“අදනං කොල්ලත් එක්ක රවුමක් ගියා නේ…”
අක්කා මා හැඳින ගත්තේ කෙසේ ද කියන්නට මා දන්නේ නැත. දෙතොලතර ඇඳුණු සිනහව, ඇගේ පැනයට ලැබුණ වාචික නොවන එකඟතාවක් වන්නට ඇත.
“කරන දෙයක් පරිස්සමෙන් හරිද…”
“මීටත් වඩා ඒක කරන්නෙ කොහොමද අක්කෙ…මට දැන් මේ පරිස්සම ඇති වෙලා. ඕන දෙයක් වෙද්දෙන් කියල විදුරගෙ බෝඩිමට ගිහින් නතර වෙන්න හිතෙනෝ වෙලාවකට”
ඇත්ත ම ඇත්ත නම් එයයි. බොහෝ නිසසල දිය මතුපිටට යටින් කැළඹිලි සහගත සුළි කුණාටු පැවතිය හැකි ය!
“නංගි. හැඟීම් වලට ඉඩ දීල ජීවිත කීපයක් අනතුරේ දාගන්න හදන්නෙපා. ඔක්කෝටම ඉස්සෙල්ල ඒ කොල්ලගෙ ජීවිතේ ගැන හිතන්න ඕනෙ. තේරුණාද…”
මම මාත් එක්ක ම තරහ වී මට ම රවා ගතිමි. හැකි උපරිමයෙන් ඉවසා දරා සිටිය ද පීඩනය උහුලා ගත නොහී වැව් බැම්මක් වුව පුපුරා යා හැකි අවස්ථාවක් උදා විය හැකි ය. මම එහෙම විදාරණයකට සූදානම් වෙමින් සිටියෙමි.