සෙනෙහසේ නවාතැන

නිමල් සංදීපනීවත් වාරු කරගෙන ගෙදරින් එළියට බැස්සේ තවදුරටත් රණ්ඩු කරන එක තේරුමක් නැති නිසා. සහෝදරකම්වත් රැකෙන්න ඕනි නිසා කියලා හිතලා සංදීපනීත් නිමල්ට එකඟ වුණා. 

නිමල්ගේ කරේ තිබුණේ දෙන්නාගේ ඇඳුම් ටික දාගත්තු බෑග් දෙකයි, සංදීපනීට දරුවා ලැබෙන්න රෝහල් ගත වෙන්න උවමනා දේවල් දා ගත්තු බෑග් එකයි විතරයි. 

නත්තල කට මුලට තියාගෙන සංදීපනීවත් ඉස්සර කරගෙන ගෙදරින් එලියට බහින්න සිදු වුන එක ගැන නිමල්ගේ හිත කීරි ගැහෙනවා. ඒත්, තව වෙලා ඒ ගෙදර හිටියා නම් , තමන්ගේ අතින් සහෝදරයා මිය යනවා කියලා නිමල්ට විශ්වාසයි.

“අපි මොකක්ද කරන්නේ නිමල්?”

සංදීපනී එහෙම අහනකොට නිමල්ට දෙන්න පිළිතුරක් තිබුණේ නෑ. සන්තකව තියෙන මුදල ලක්ශ තුන හමාරයි. ලැප්ටොප් එකයි, ෆෝන් එකයි, රත්තරන් බඩු කිහිපයකුයි විතරයි සන්තකේට තියෙන්නේ. 

නිමල් සංදීපනීව රෝහල් ගත කලේ, අනිද්දා ට රෝහල් ගත වෙන්න තියෙන විස්තරේ ඉස්සර කරලා, ඊටත් පස්සේ ගෙදර වුණ කරදරෙත් කියලා. ඊට පස්සේ නිමල් බෑග් දෙකත් කරේ දාගෙන පාරට බැස්සා. මහ වැස්සක පෙරනිමිති පේන නිසා තාවකාලික ලැඟුම් හලක් පැත්තට යන්න පාරෙන් එහා පැත්තට පැන්නා.

“නිමල්…”

කවුරු හරි හුරු හඬක් ඇහුණ නිසා නිමල් ආයෙම හැරිලා බැලුවා.

“සර්….”

තමන්ට පිටිපස්සෙන් ඉන්න ආයතන ප්‍රධානියාව දැක්කම නිමල්ට දැනුණේ පුදුමාකාර සැනසිමක්. ඔහු ඉතාම මනුසත්කම් දරන කෙනෙක් බව දන්න නිසාම, නිමල් ඒ පැත්තට ඇවිදගෙන ගියා. තත්පර ගානක් ඇතුලත නිමල් විස්තරේ කිව්වා. ආයතන ප්‍රධානියා නිමල්ව වාහනේට නංවා ගත්තාට පස්සේ තමයි ඉතුරු විස්තරේ කතා කලේ 

“ඒ ගේ හැදුවේ මායි සංදීපනියි සර්.. සංදීපනී ගාර්මන්ට් එකෙන් අයින් වෙනකොට හම්බුණ ගානෙන් තමා අපි  ඔය කුස්සියයි, පෝටිකෝවයි හැදුවේ…

අය්යලාගේ ගෙදර නාය ගියාට පස්සේ යන්න එන්න තැනක් නැතුව ඉන්නකොට තමයි මං මෙහෙ ගෙන්නගත්තේ.. වැඩියක්ම දරු පැටවු දෙන්නා ගැන හිතලා…. නෑනා හැපින්න වගේ ගෑනි කියලා දැන දැනම මං කර ඇරියේ නැත්තේ ලේ කකියන කමට සර්….

නාය ගියාට පස්සේ ගෙවල් හදාන්න කියලා ලක්ශ ගානක් හම්බුණා… මහගෙදර ඉඩමෙන් අම්මලා මූට ලියලා තිබුණේ කොටසක්.. ඒක විකුණලා දැම්මා.. 

අන්තිමේදී ඌ කාපු පතට වහරන ජාතියේ වුණා… හැමදාම හවසට ඔප්පුව බෙදාගන්න කියලා රණ්ඩුව… දවසක් මගේ ඔලුවට කොටන්න මන්නයක් අරගෙන ආවා.. ඒකෙන් පස්සේ සංදීපනී දවල් වරුවට ගෙදර ඉන්නත් බයයි ..

නෑනා ඌ අවුස්සනවා… ඒකෙන් ඌ යකා වෙනවා…. හවස රණ්ඩුව පටන් ගත්තෙත් නෑනා… අද මේක දිග්ගැස්සෙන දුන්න නම් එක්කෝ දෙන්නගෙන් එකෙක් එතන ඉවරයි සර්…. සංදීපනී බඩදරු බවත් අමතක කරලා ඒකයි මං රෙදි ටික අරගෙන පාරට බැස්සේ…..”

නිමල් හිතේ වේදනාවෙන්ම කියෙව්වා. ආයතන ප්‍රධානියා කිසිම දෙයක් කියන්නේ නැතුව අහගෙන හිටියා. ගෙදර යන අතරමඟදීම කෙටි පණිවිඩයක් යවලා බිරිඳට මේ පණිවිඩය කියන්නත් ආයතන ප්‍රධානියා අමතක කලේ නැහැ. 

එදා දවසට නිමල්ගෙර් හිතේ ගින්දර නිවුණා. කාරියවසම් මහත්තයා ගේ ගෙදර කාමරේක නිමල්ට ඉඩ හැදුණා. උණුවට සුප් එකක් එක්ක රෑ වෙලා ගිහින් සංදීපනීව බලලා, පහුවෙනිදා උදේම ආයේ එන් පොරොන්දුව එක්ක තමයි නිමල් කාරියවසම් මහත්තයා ගේ ගෙදරට ආවේ. 

පහුවෙනිදා උදේ නිමල් වාට්ටුවට යනකොට සංදීපනී ඇඳේ හිටියේ නෑ. කලබලෙන් හැම තැනම හොයන්න හැරි හැරි ඉන්නකොට තමයි, හෙදියක් ඇවිල්ලා කතා කලේ.

“ඔන්න නෝනාට ඊයේ රෑම ලස්සන පුතෙක්… හෙට නත්තල් ඉස්සරහට තියලා…හරිම ශෝක් නත්තල් කුමාරයෙක් …”

නිමල්ගේ ඇස් වල කඳුළු නවත්තගත්තේම අමාරුවෙන්.ටික වෙලාවක් යනකොට සංදීපනීව වාට්ටුවට එක්කන් ආවා. පුලුන් බෝලයක් වගේ කිරිකැටියවයි , සංදීපනීවයි නිමල් හරි ආදරෙන් ඉම්බා.

“හවසට ලොකු දොස්තර මහත්තයා බලලා ටිකට් කපාවි…”

නිමල්ගේ පපුව පිච්චිලා යන්න ඒ වචන ටික ඇහුණ තත්පරේ විතරක් ප්‍රමාණවත් වුණා.  දරු පැටියාව අරගෙන යන්න ඉතුරු මහ පාර විතරක් නේද කියලා සංදීපනීටත් මතක් වුනා. ඒත් දෙන්නට දෙන්නා හරි ආදරෙන් හිනා වුණා. ජීවිතේ ඉස්සරහට යන පාර අපැහැදිලි වුනත්  එලැඹෙන නත්තල සමරන්න තමන්ගේම කියලා ගෙයක් නැති වුණත්, ජීවිතේ හය්යෙන් අල්ලගෙන ඉන්න විශ්වාසය ඒ හිනාව ඇතුලේ තිබුණා.

“ජේසු තුම ඉපදුනෙත් ගවලෙනක… ජීවිතේ මොන පාරට යාවිද නොදැන.. ඒත්, කොච්චරක් නම් ආලෝකයක් ගෙනාවද ලෝකෙට… අපේ පැටියයි, අපියි වාසනවතයි සංදීපනී … අපි කොහොම හරි මේ ප්‍රශ්න විසඳගමු..”

යන්න සූදානම් වෙලා සංදීපනීගේ නළල ඉඹලා නිමල් එහෙම කිව්වා. කාරියවසම් මහත්තයා ටයි, නෝනාටයි විස්තර කියලා,  සමුදීලා එන්න නිමල් සූදානම් වුනේ හවස තුනට විතර. ඒත් කාරියවසම් මහත්තයා නිමල්ගේ ගමනට බාධා කරා. 

“යං.. අපිත් ඒ පැත්තට යනවා…”

දෙන්නම නිමල් එක්කගෙනම රෝහලට ඇවිල්ලා, සංදීපනීවයි දරු පැටියාවයි වාහනේට නග්ගගත්තා.

“ඇනෙක්ස් එකක් හොයාගන්නකල්, අපි බැලුවේ රූම් එකක් අරන් නවතින්න කියලා සර්… මේ කාලේ යාලුවොන්ට කියලා වද දෙන්න හිත දෙන්නේත් නෑ සර්..දවස් දෙක තුනෙන් ඇනෙක්ස් එකක් හොයාගන්න පුලුවන් … මං කිහිප දෙනෙක්ටම කිව්වා…”

නිමල් වාහනේට ගොඩ වුණ ගමන් එහෙම කිව්වේ, ගමනාන්තය ගැන කාරියවසම් මහත්තයා ට අදහසක් ගන්න. 

කාරියවසම් මහත්තයා හිස සැලුවා විතරයි. පැය බාගයක් විතර හොරණ පැත්තට ගිහිල්ලා, වාහනේ අතුරු පාරකට හරවනකොට සංදීපනියි , නිමලුයි දෙන්නම එකිනෙකා දිහාව බැලුවා. 

මීටර් දෙසීයකින් විතර පස්සේ කළු පාට ගේට්ටුවක් ඉස්සරහ වාහනේ නැවතුණා. කාරියවසම් මහත්තයි , නෝනයි වාහනෙන් බැස්සේ නිමල්ලාටත් බහින්න කියාගෙනම.

දෙන්නම කාරියවසම් මහත්තයා පස්සෙන් ගේට්ටුවෙන් ඇතුලට ගියා. එතකොට ගේ ඇතුලේ ඉඳලා එලියට ආවේ කාරියවසම් මහත්තයා ගේ පුතාලා දෙන්නයි  ,ගෙදර උදව්වට ඉන්න දෙන්නයි.

” වත්ත පිටිය නම් එච්චර අස් කලේ නෑ මහත්තයා .. ගේ නම් සුපිරියටම අස් කලා…”..

දෙමළ උරුවෙන් එහෙම කියල කෙනෙක් හිනා වුණා. කාරියවසම් මහත්තයා ඔහුගේ උරහිසට තට්ටුවක් දාගෙනම නිමල් දිහාවට හැරුණා.

කාරියවසම් මහත්තයා ගේ පොඩි පුතා මොකක්ද මන්දා එකක් කාරියවසම් මහත්තයා ගේ අතට ගුලි කරා.

කාරියවසම් මහත්තයා ඒක නිමල්ගේ අතේ ගුලි කරා. යතුරක්…!!!

“සර් ??”

“නිමල්… මේ ගෙදර අපේ අක්කගේ ….. අක්කාලා රටනේ… බද්දට දීලා තිබුණේ.. ඒ අයත් රට ගියා… දැන් ඉතින් වහලා දාලා තියෙන්නේ…..”

නිමල් තමන්ගේ ආයතන ප්‍රධානියා දිහා බැලුවේ කෘතඥ පූර්වකව.  තාවකාලික ලැඟුම්හළකට ඉස් ඉස්සෙල්ලාම එක්කන් නොගිහින් මේ මාලිගාවක් වගේ ගෙදර ට දරුවා එක්කන් එන්න අවස්ථාවක් හදල දුන්නට කොච්චරක් නම් ණය ද කියලා වචනෙන් වචනේ කියාගන්න බැරි උන හැඟීම ඒ ඇස් වල තිබුණා 

“බිම් අඟලට මරාගන්න සහෝදරයෝ ඉන්න ලෝකෙක , නිමල්ලා වගේ මිනිස්සු හරි දුර්ලබයි…  තමන්ගේ දේ රැක ගන්න සහෝදරකම් මරලා දාන එක ලේසියි… ඒත් සහෝදරකම් රැකෙන්න දීලා හැමදේම අතෑරලා එලියට බහින එක ලේසි නෑ.. ඒකත් මේ කිරි දරුවා එක්ක …

නිමල් රාජකාරි කරන පිළිවෙල මම දන්නවා… නිමල්ගේ ජීවිතේ තියෙන ගතිගුණ මම අඳුනනවා… මං අක්කා එක්කත් කතා කලා… 

මේක තෑග්ගක්… නත්තල් තෑග්ගක්… “

කාරියවසම් මහත්තයා එහෙම කියාගෙන එනකොටවත් නිමල්ටවත් සංදීපනීටවත් අගක් මුලක් තේරුණේ නෑ.

“මං දන්නවා නිමල් ලා තනි හය්යෙන් නැගිටපු මිනිස්සු … ඒත් මේ වෙලාවේ අපි නිමල්ලා එක්ක අල්ලන්, නිමල්ලාට නැගිටින්න වාරුවක් වෙනවා.. ඒ වාරුවේ කලගුණ නිමල්ං සංදීපනී , මේ දරුවා … තුන් දෙනා එක්කම මේ සමාජෙට ඉතුරු කරන්න…. “

“සර්…?”

“මේක නත්තල් තෑග්ගක්… ඔප්පු වල වැඩ අපි හෙමින් සීරුවේ කරගමු.. බඩු ටිකක් ඇතුලේ තියෙනවා .. අපේ ඔය දෙන්නා එක්ක අඩුපාඩු බලල ඒගොල්ලෝන්ගේ වියදමෙන්ම ඔන්න ගෙනල්ලත් තියෙනවා … අනෙක්වා හෙමින් සීරුවේ ඉතින් බැරියැ…”

සංදීපනී ඉකි ගහනවා. සංදීපනීගේ අතේ උන්න දරුවා කාරියවසම් මහත්මිය අතට අරන් පපුවට ගුලි කරගත්තා.

නන්නාඳුනන දරුවෙක් වෙනුවෙන්  , යහපත් මිනිස්සු වෙනුවෙන් මේ කරන්න ලැබුණ දේ ගැන මුලු පවුලම වෙනුවෙන් ආඩම්බරකාර හිනාවකින් පිම්බුණා. 

නිමල් කාරියවසම් මහත්තයා ගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

“නත්තල කියන්නේ මේකට නිමල්… මේකට…”

නිමල්ට වචනයක් වත් කතා කරගන්න බැරිව තියෙද්දී කාරියවසම් මහත්තයා එහෙමත් කිව්වා.

නත්තල කියන්නේම බෙදා ගන්න එක. ජීවිතේ , ආදරේ  , වැඩිපුර තියෙන ඕනිම දෙයක්  බෙදාගන්න එක

| අපේක්ෂා ගුණරත්න |

.

More Stories

Don't Miss


Latest Articles