“ඔයාගේ තීරණේ තාම වෙනසක් නැද්ද ප්රභාත්?”
ප්රභාත් තමාට කතා නොකරන තැන තමා ප්රභාත්ට කතා කර යුතුය යාන තීරණයට කැළුමිණී ආවේ කරන්නට දෙයක් නැතිම තැනය. කතා නොකර ප්රශ්න විසඳාගන්නට නොහැකි බව පැවසුවේ ප්රභාත්මය. එහෙත් එහෙව් ඔහුව අද මෙවන් මොහොතක නිහඬව හිඳීම දරාගන්නට කෙතරම් නම් අපහසුද?
“වෙච්ච දේවල් අමතක කරල වෙන තීරණයක් ගන්න මම මැරිල ඉපදුනේ නෑනෙ කැළුමිණී. මට ආයෙම ඔයා එක්ක ඉන්න බෑ. ඔයා හොඳටම දන්නවනෙ බොරු කරන මිනිස්සු එක්ක ඉන්න මම ආසම නෑ කියල. මගෙ පවුලෙ කෙනෙක් වුනත් එච්චරයි.
අනික ඔයා ඔයාගෙ බොරුවෙන් රැවැට්ටුවෙ මාව විතරක් නෙවෙඉ. මගෙ පවුලෙ අයවත් රවට්ටල. කෙල්ලෙක්ට පුලුවන්ද කැළුමිණී එහෙම බොරු කරල මිනිහෙක්ව කසාද බැඳගන්න? අයෑම් සොරි”
“ප්ලීස් ප්රභාත් එහෙම කතා කරන්න එපා. ඔයා හොඳටම දන්නවනෙ මම පහුගිය අවුරුදු හතරක කාලෙ ඇතුලෙ කවදාවත් ඔයාට බොරුවක් කරල නැති බව. එහෙම එකේ…”
“කවුද දන්නෙ? කවුද දන්නෙ ඔයා ඒ අවුරුදු හතරෙත් මගෙන් මොනව මොනව හංගලද කියල. මම කොහොමද ඔයා කියන දෙයක් විශ්වාස කරන්නෙ. එහෙම අවිශ්වාසෙන් අපිට මැරේජ් එකක් ගෙනියන්න බැරි බව ඔයා හොඳටම දන්නවනෙ.
අනික මට ඇත්තටම දැන් හැරෙන්න පුලුවන් කමක් නැ. එකක් මට ඔයාව ඇත්තටම අප්පිරියයි. අනික මට අමීෂාව අමතක කරන්නත් බෑ. එයා මොන දේ උනත් මට ඇත්ත කියනව. එහෙම කෙනෙක් එක්ක ලේසි ජීවත් වෙන්න.”
“මං අවුරුදු හතරක් තිස්සෙ ඔයා වෙනුවෙන් කරපු හැමදෙයක්ම මේ එකම එක දෙයක් නිසා අමතක කරන්න පුලුවන් උනේ කොහොමද ප්රභාත්?”
ඉකිබිඳුම අතරින්ම අහන්නට ගිය පැනය අසා නිමකරන්නට වූයේ නැත. දුරකතන ඇමතුම විසන්ධි විය.
කඳුපන්ති වලින් වට වී ඇති මේ දෙණියායේ දුරකතන ඇමතුමක් ගැනීම මෙතරම් අමාරුවක් දැයි වෙන දවසක හිත කෝප ගන්නට හේතුවක් වුවද අද ඒ සියල්ල කඳුලට බර වී ඇත. ඇමතුම මග විසන්ධි වීම නිසා ප්රභාත් නැවත තමා අමතනු ඇතැයි බොහෝ වේලාවක් බලා උන්නද එය එසේ නොවෙතැයි පසක් වූ තැන කොට්ටය අස්සේ මුහුන ඔබා ගෙන හිඳිනවා හැරෙන්නට කරන්නට වෙන දෙයක් කැළුමිණී දැන උන්නේ නැත.
අනෙක් අතට තමා ඉන්නේ කොහේද? සල්ලි තියෙද කියා අසන්නටවත් උවමනාවක් ප්රභාත්ට නැති බව හිත කීරි ගස්සන හැඟීමකි.
කඳුලු වලින් කොට්ටය පැයක් තිස්සේ පොඟවා කැළුමිණී නැගිට්ටේ කුසගින්න ඇවිස්සෙද්දීය. රැයම කඳුලින් පහන් කර තමා උදෑසන නිදා වැටෙද්දී වදනක්වත් නොකියා නැන්දා පසුගිය දින කිහිපයේම දෙදෙනෙකු වෙනුවෙන් වැඩ කරන්නේ කිසිත් හිත් අහිතකින් නොවන බව කැළුමිණී දනී.
එහෙත් කුස්සියේ මැටි වලංවල පිරී තිබුණ සුදු බතුත්, ගෝවා කොල මැල්ලුමත්, කරවල හොද්දත්, පරිප්පු කරියත් දකිද්දී හිතට ආවේ වගකීම් පැහැර හැරි පසුතැවිල්ලකි. තමාටද උදේ නැගිට නැන්දා වෙනුවෙන් කුමක් හෝ උදව්වක් කරන්නට තිබුණාය යන්න ඒ පසුතැවිල්ලට සමගාමීව හිත කොණිත්තන්නට විය.
සුදු බතුත්, ගෝවා කොල මැල්ලුමත්, කරවල හොදිත් පරිප්පුත් සමග අනා කෑ ඒ බත් පතේ වූ දර ලිප් සුවඳට යටින් කැළුමිණීට දැනුනේ මව්වත් ගුණයකි සුවඳයි. වසර කිහිපයකට පෙර ජීවිතයනෙ නික්ම ගිය අම්මාත් තාත්තත් සිහිවී ආ කඳුලු බත් පතට වැටී බත් ආ මිශ්ර වී ලුණු රස කට කාරවන්නක් නොව සිත පාරවන්නකි.
“මගෙ ජීවිතේ තියෙන්නෙ අහිමිවීම් විතරමද කොහෙද?” යන සිතිවිල්ල සිතට බරක් වුවද තමාගේ ජීවිතය දෙස බලන ඕනම අයෙකුට එය සිතීම අමුතු කරුණක් නොවේ.
අනෙක් අතට ප්රභාත් විසින් තමාව අතහැර යාමට වඩා කැළුමිණීගේ සිත බියපත් කරවන්නට හේතුවක් වූයේ කෝසල ළඟ තිබෙන වීඩියෝවයි. මෙතෙක් වසර ගණනක් පුරාවට තමා ළඟ තබාගෙන හුන් ඒ වීඩියෝ පටය භාවිතා කර තම විවාහය සුණු විසුණු කලාක් මෙන්ම තමන්ගේ ජීවිතයේ බේරී ඇති ඉතිරි අඩ ද විනාස කරන්නට කෝසලට පුලුවන් බව කැළුමිණී දනී.
මැරෙන්න හිතෙන්නේ ඕව හිතෙද්දීය. එවන් දෙයක් සමාජ ගත වුවහොත් තමා ලෝකයේ කොයි අත ගොස් සැඟවුණද සමාජයෙ වපරැසින් තමාට ගැලවීමක් නැති බව කැළුමිණී නොදන්නවා නොවේ.
එහෙත් මේ බවක් කියන්නට, කියා විසඳුමක් ඉල්ලගන්නට කෙනෙකු තමාට නැත. තමා ඒ පැත්තෙන් ගත්තොතින් මොනතරම් නම් අසරණද? නීතිය ඉදිරියට යාමට වුව හැකියාව තිබුනද වීඩියෝවක් ලීක් වුන කෙල්ලක ලෙස නීතිය ඉදිරියට යාම පවා බොහෝ අපවාද වලට හේතුවකි.
නැන්දා ආවේ දහවලේය. හති දමමිනි. සිහිලස් පරිසරයක වුව දහදිය වගුරුවමිනි.
“කන්ද නැගල නැන්දට හති”
නිවසේ ඉදිරිපස දොරටුව අසල හිටගෙන හුන් කැළුමිණී පැවසුවාය. කෙල්ලගේ මුවේ හිනාවක් දකින්නට ලැබේවායි සිතමින් ආවද තවමත් ඒ මුහුන වසා ඇත්තේ අඳුරක් වුවද පබෝධා සිත සනසාගත්තේ කාමරේ අස්සටම වී ඉන්නේ නැතුව ඇය එලියට බැස හිඳීම ගැනය.
“හති කියන්නෙ පුතේ දැන් මේ හතියත් පුරුදු වෙලා. උදේ හවා නගිනව බහිනවනේ”
“නැන්ද නාගෙන එන්න. මම බත් එක ඩිංගක් රත් කරා නැන්ද ඈත එනව දැකල. හීතලේ කන්න අමාරුනෙ”
“දූ කෑවයි?”
පබෝධා කාමරයට ගියේ එය අසමිනි. හැඳ හුන් සාරිය ගලවා දමා හැට්ටයත් යට සායත් පිටින්ම නාන අඩුම කුඩුම ගත් පබෝධා සීතල වතුරෙන් නාගත්තේද කැළුමිණී ගැන සිතමිනි.
දුවෙක් දීගය අත හැරී ගෙදර ඒම දෙමව්පියන්ට දුකකි. බරකි. දෙමව්පියන් නැති කැළුමිණීට හිඳින එකම ලේ නෑ කම තමා පමණක් නිසාවෙන් ඒ දුකත් බරත් ඉහිලිය යුත්තේ තමාය. එහෙත් ඒ ආදරයෙන් දරාගන්නා දුකකි බරකි. අම්මා නැති දරුවන් වෙනුවෙන් කිරි එරෙන්නේ මාමා ටය කීවද පබෝධා උන්නේ අම්මා කෙනෙකුගේ බඳු ආදරය කැළුමිණී වෙනුවෙන් සිත අස්සේ ගොඩගසා ගෙනය.
බත් අනමින් කද්දී වතුර වීදුරුවක් ගෙනවිත් තිබූ කැළුමිණීද කුස්සියේ මේසයේ පුටුවක් ඇද එහි වාඩි වූ වාය. ඒ යමක් කියන බලාපොරොත්තුවෙන් බව දන්නා නමුත් ඇය යමක් කියන තුරුම පබෝධා උන්නේ නිහඬවමය.
“ප්රභාත් කතා කරා”
“මොකද කියන්නේ?”
“එයාගෙ තීරණේ වෙනසක් වෙන්නෙ නැලු”
දිග නිහැඬියාවේ කැළුමිණී නහය සුරුස් ගා උඩට අදිනු ඇසුණද කිව යුත්තේ කුමක්දැයි පබෝධා තවමත් වචන ගලපමින් උන්නාය.
“ඒ දරුව තීරණේ වෙනස් කරන්නෙ නැත්තම්, පුතාට හිතෙන්නෙ නැද්ද පුතා වෙනස් උනානම් හොඳයි කියල”
නැන්දා විසින් සිත අද්දර ගෙනවිත් තිබුනේ කන්දක් තරම් බර පැනයකි. ආදරය කල හිතකට එසේ පහසුවෙන් ජීවිතයෙන් ගැලවී යන්නට ඉඩ දෙන්නට හැකිද?”
එමෙන්ම තනි අතකින් අත්පුඩි ගසන්නටද නොහැකිය.
දහවල් ආහාරයෙන් පසු ලද කෙටි නින්දේ පවා කැළුමිණී උන්නේ ඒ පැනය තම සිතෙන්ම අසමිනි. සිහිනයෙන් හෝ පැනයට පිලිතුරක් ලැබේවායි පතමිනි. එහෙත් සැඳෑවේ හතරට පමණ ඇහැරෙද්දීත් ඒ පැනය පැනයක් ලෙසින්ම සිත තුල පැලපදියම් වි තිබිනී.
නිවස පුරා සිසාරා ගිය ඉඳි ආප්ප සුවඳ දිගේ කැළුමිණී කුස්සියට ඇදුණාය. නැන්දා උන්නේ දුම් කකා ඉඳි ආප්ප තම්බමීනි. උදේ වරුවේ තැපැල් කාර්යාලයේ රාජකාරිය කර එන නැන්දා රාත්රියේ මෙසේ ආහාර පිසින්නෙ අග හිඟකම් නිසාවෙන් නොව වෙන කරන්නට දෙයක් හෝ පාලුව මකාගන්නට කෙනෙක් හෝ නැතිනිසාවෙන් බව කැළුමිණිට පැහැදිලිය.
තමන්ට කෙදිනක හෝ එසේ කිසිවෙකුත් නැතිව අසරණ වන්නට වේද යන්න දරාගත නොහැකි තැන එය අමතක කරනු වස් පොල් මැල්ලුමක් හදන්නට තීරණය කරාය.
“ඔයාගේ පොල් මැල්ලුම් හරි රසයි” කියමින් කුණිස්සන්ද දමා හැදූ පොල් මැල්ලුම් ඉස්සර ප්රභාත් තලු මරමින් කන යුරු මතක පොතේ ඇඳි ඇඳී යද්දී ඇස් වෙත ඇදී ආ කඳුලු පසුවට ගනු පිණිස පරිස්සමෙන් අරන් තබා ඉඳි ආප්ප බෝල් එක මේසය මතින් තබන්නට කැළුමිණී යුහුසුලු වූවාය.
සඳරු ආවේ ඉනුත් විනාඩි කිහිපයකට පමණ පසුවය.
“හප්පා සුවඳ”
සඳරු ආවේම එසේ කියාගෙනය.
“ඔන්න අද පොල් මැල්ලුම හැදුවෙ අක්කා පුතේ”
පබෝධා සදරු අත ඉඳිආප්ප බෝල් එක තැබුවේ එසේ කියමිනි.
“ඒකයි එහෙනම් මෙච්චර සුවඳ”
සඳරුගේ සිනහවට එකතු නොවී හිඳින්නට හැකියක් කැළුමිණී දැන උන්නේ නැත.
“ඔයාගෙත් පංගුව හදල තියෙන්නෙ. කාලම කියන්නකො හොඳද කියල”
“අක්කට කම්මැලි නැද්ද ගෙදර ඉන්න?”
“නැන්ද වැඩට ගියාම කම්මැලියි දවල් වරුවට”
“අක්ක එන්න අපේ අහ, අපේ අක්ක ඉන්නවනෙ. අපේ අක්ක එක්ක කතා කර කර ඉන්න ඇහැකි”
“මං දන්නෙ නෑනෙ ඔයාලගෙ ගෙවල් තියෙන අහ”
“ඉතින් යන්කො. මං අක්කට පෙන්නන්නම්. අපේ අහ පහු කරන්නෙ යන්න තියෙන්නෙ වත්තට. අක්කට ආපහු හැරිල තනියෙන් එන්න පුලුවන් නේ?”
ඒ සිත හා කියන ඇරයුමකි. කැළුමිණී නැන්දාගේ මුහුණ බැලුවේ අවසර පතමිනි.
නැන්දාගේ සිනාවේ සැඟවී තිබුණ පිළිතුර කැළුමිණී හඳුනගත්තාය.
කැරලි කෙස් කලඹ පිට දිගේ විසිරුවාම් දෙදණ තෙක් දිග කහ පාට ගවුමක් හැඳගත් කෙල්ලකගේත්, ඇය තරමටම උස් සිහින්, ඉඳි ආප්ප නඳුනක් අතින් ගත් කොල්ලෙකුගේත් රුව දෙණියායේ බැස යන හිරු එලිය මැද චිත්රයක් මෙන් අපූරුවට සටහන්ව තිබුණාය.