පෙඟුණු මල්පෙති 18

එල්විස් ප්‍රෙස්ලිගේ ෆෝලින් ඉන් ලව් විත් යූ ගීතය සෙමින් වාදනය වන්නේ චරිත්‍රාගේ සිත තුලය.

ගෙවී ගියේ මොනතරම් නම් සුන්දර නිමේශයක්ද?

මොනතරම් නම් සුන්දර රැයක්ද?

ඒ තරම් සුන්දර රැයක් යුවතියකගේ ජීවිතයට එළඹිය හැකිද යන්න පවා චරිත්‍රාට තවමත් සිතා ගත නොහැක.

එහෙත් තමා යුවතියක නොවේ.

තමන් විවාපත් ගැහැණියකය.

සැමියා දුරු රටක වාසය කරද්දී මහගෙදරින්ද ඈත්ව තනිව කොළඹ වාසය කරන ගැහැණියකි.

ඉතින් ඒ හෝරා කිහිපයකට පෙර එළඹුණු ඒ සුන්දර රාත්‍රිය පිළිබඳව තමාට සැබෑවටම අයිතිවාසිකම් කිව හැකිද යන්න චරිත්‍රාගේ සිතට දැනේ.

සිත සතුටිනි. ඉමහත්ම සතුටිනි. සැබෑවටම ආදරය යනු මෙවන් ප්‍රහර්ශයක් විය හැක. මෙතරම්ම සතුටක්, ප්‍රහර්ශයක් ආදරය නිසා සිතට ලැබිය හැකි නම් ඒ ආදරය මෙයට පෙර තමන්ගේ සිතට ලබා දෙන්නට මිහිකට හැකියාවක් නොතිබුනේ මන්ද යන්න චරිත්‍රා ඇසුවේ තමාගේම සිතෙනි.

ජෙට්වින් කොළම්බෝ 7 හෝටලය පසු කරමින් කොපමණ වාරයක් ඒ අසලින් ගොස් තිබුනද එම හෝටලයට එක්වරක් හෝ යන්නට චරිත්‍රාට අවස්තාව නොලැබිණි. අද ළහිරු චරිත්‍රාව රාත්‍රී ආහාරය සඳහා රැගෙන ගියේ එහිය.

ජෙට්වින් කොළම්බෝ 7 හෝටලයේ ඉහලම ඇති රූෆ් ටොප් රෙස්ටුරන්ට් එකෙහි නාන තටාකය අසල දෙදෙනෙකු වෙනුවෙන් වෙන් කල මේසයකි. නාන තටාකය අසලා ඇති අන්ධකාරය මකාලනු පිණිස ලන්තෑරුමක් දල්වා එම මේසය මතත් අනෙක් මේස මතත් තබා ඇත.

බොහෝ සෙනගක් නොවූ එහි සිටියේ තවත් පෙම් යුගල තුන හතරක් හෝ එයටත් වඩා අඩුවෙනි.

ඉතින් නිහඬතාවය බොහෝ සෙයින් රජ කළ මොහොතකි. වටපිටාවකි. නාන තටාකයේ දිය රැලි සෙමෙන් සුලඟ හා එක්වී නඟන කෙඳිරුම් හඬට එහා කිසිඳු බාධාවක් එහි නැත.

ඉඳහිට ඉදිරිපස මහ මාර්ගයේ යන වාහනයක නලා හඬක් ඇසුනද ඉතාම උසකින් තිබෙන මේ එලිමහන් අවන්හලට එය එතරම්ම බාධාවක් නොකරයි.

ස්ටාටර්ස් ලෙස උණුසුම් වඩේ බන්දේසියකි.

පොල් සහ මින්ට් චට්නි සමග ආ වඩේ බන්දේසියේ උළුඳු වඩේ තුනක්, ඉස්සන් වඩේ තුනක් සහ පරිප්පු වඩේ තුනකි.

පරිප්පු වඩේ චරිත්‍රා ඉතාම ආසා කරන ආහාරයකි.

ටොනික් මුසු කල සීතල ලෙමන් මොහිතෝ වීදුරුවක් අඩුපාඩු සියල්ල මකාලයි. ඒ සීතල දිය බිඳිති නැගුණු වීදුරුවට එහායින් පෙනෙන්නේ වීදුරු බෝල දෙකක් බඳු තද කලුවන් දෑස් යුගලක් හිමි චරිත්‍රාගේ සිතේ සනිටුහන් වී හිඳින ප්‍රේමයේ පිළිරුවයි. රාත්‍රියේ අන්ධකාරය මැදින් සුන්දරව දිලෙන ළහිරුගේ ප්‍රේමය නිසාවෙන්ම අඩවන් වූ දෙනෙත් වලින් කියන්නට තනන ප්‍රේමණීය කතාව ලෙහාගන්නට චරිත්‍රාට ලැජ්ජය. මේ මෙයට පෙර බොහෝ පිරිමින් ඉදිරියේ මොහොතක්වත් නොසිතා තමා හැඳ පැළඳ හුන් සියල්ල උනා දමා නිරුවත් වූ චරිත්‍රා නොවේ. අලුත්ම වෙනස්ම චරිත්‍රා කෙනෙකි. ආදරය නිසාවෙන් ආතුර වූ හදවතක් ඇති, සබකෝලය නිසාවෙන් දෑස් බිමට බර වූ චරිත්‍රා කෙනෙකි.

ඇය දෙස බලා හිඳින ළහිරුගේ දෙතොල් අග රැඳී ඇති මද සිනහව ඉතාමත් සුන්දරය.

“කන්නේ නැද්ද?”

ඔහුගේ ගැඹුරු එහෙත් සුන්දර කටහඬ සෙමෙන් වචන ගළපගෙන අවුත් චරිත්‍රා දෙසවන්ද අනතුරුව හදවතෙහි ඇතුළාන්තයේ කෙලවරක හැපී නතර වේ.

පරිප්පු වඩේ එකක් අතට ගෙන එහි කෙලවරක් සෙමෙන් සපමින් බිමට යොමා හුන් දෑස් අඩවන් කර මදක් ඉහළට ඔසවා සබකෝලයෙන් බලන්නී, “කනවා” යැයි පිළිතුරු දුන් හඬ ළහිරුට නොඇසුණ නමුත් දෙතොල් චලනයෙන් ඒ එයම බව වටහාගන්නට ඔහුට හැකි විය.

“ඔයා ආස නිසාමයි මම වඩේ ඕඩර් කරෙ”

ඒ වදන් පිටවන්නේ අනුන්ගේ බිරිඳක හා යහන්ගත වන සෙල්ලක්කාරයෙකුගේ මුවින් නොව, ප්‍රේමය නිසා හදවත අලුතෙන් පිබිදුන සුන්දරම තරුණයෙකුගේ මුවකිනි.

කහ පැහැයෙන් දිදුලනු දැක සූරියකාන්ත මලකැයි සිතා කපුරු මලෙක පෙති මත ගොස් වැසූ ප්‍රේමණීය වන බඹරෙකු බඳු ළහිරුගේ මුවිනි.

“ඉතින් අද මොකද ඔෆිස් එකෙ කරේ?”

මේ නිහඬ බව බිඳින්නට ඉතින් සිතින් සහ දෙනෙත් වලින් පමණක් කතා කිරීම ප්‍රමාණවත් නොවේ.

මුව අග වචන ගළපා ගත යුතුය. එකෙකුගේ වදන් නැවතුණ තැන අනෙකා වදන් ඇරඹිය යුතුය.ප්‍රේමය ගලා යන්නේ එහෙමය. පළමුවෙන් දෙනෙතට දෙනෙතය, අනතුරුව මුවින් මුවය.

“ඔෆිස් එකෙ ඉතින් මේ දවස්වල ටිකක් බිසී”

“කියන්නකො ඉතින් ඔයාගේ ඔෆිස් එකේ වැඩ ගැන. මට ඔය ඇඩ්වටයිසින් සයිඩ් එක හරිම ඒලියන්”

“අමුතු දෙයක් නෑ ඉතින්. ඇයි ඉතින් බෑන්කින් වලත් තියෙනවනෙ ඇඩ්වටයිසින් ඇන්ඩ් බෑන්කින්. අපේ එක ක්ලයන්ට් කෙනෙක් බෑන්ක් එකක්. එච් ඇන්ඩ් කෝප් එක”

“ඔයා දන්නවනෙ මම බෑන්කින් ජොබ් එක කරන්නෙත් අර නිකමට කියල. තාත්තිට නම් ඕන මාව ෆුල් ටයිම් බිස්නස් වලට ගන්න. අයිය ඉන්නවනෙ ඒව බලන්න. ඉතින් මං කුරුල්ල වගේ ඉන්නව. කියන්නකො ඉතින් ඔෆිස් එක ගැන”

“ම්ම්ම්ම අපේ ඉතින් ටීම්ස් කීපයක් තියෙනව. මගෙ ටීම් එකෙන් බලන්නෙ ඩෙලිස් බ්‍රදර්ස් එක තමයි. ඒක දැනට අපිට තියෙන ලොකුම අකවුන්ට් වලින් එකක්”

“ඔයා මුල ඉඳලම ජොබ් එක කරේ ඔතන කිව්ව නේ. ඇයි වෙන තැනකට යන්න හිතුවෙ නැත්තෙ?”

“ම්ම්ම් ඉතින් පේ එක හොඳයි අනික ඉතින් දන්න යකා හොඳයි කියනවනෙ නොදන්න දෙවියට වඩා”

ඉතින් සිනාසෙන්නට කාළයක් වෙන් කල යුතුය. කාලය ගෙවී යන්නේ ඉතාම සෙමෙන් බව කියමින් අහස තවමත් තාරකා සලු පොරොවා හිඳිමින් උත්සව ශ්‍රීයක් කොළඹ 7ට ඉහළින් අහසේ මවා ඇත.

කොළඹට ඉතින් හඳ පායන්නෙ මෙලෙසිනි.විසල් කොන්ක්‍රීට් වනයකට ඉහළින්, ප්‍රේමණීය හිත් දහසක් ගැහෙන නගරයකට ඉහළින් කොළඹ අහසේ හඳ පායා ඇත්තේ මේ සියල්ල දකිමිනි, විඳිමිනි.

කතාවෙන් කතාවෙන් පරිප්පු වඩේ බඳුන සෙමෙන් සෙමෙන් අවසන් වි ඇත. එයට සමගාමීව ලයිම් මොහිතෝ ටොනික් වීදුරුවද අවසන් වී ඇත.

එහෙත් කතා බඳුන තවමත් පිරී ඇත. 

ඊලඟට එන්නේ මේන් කෝස් එකය.ස්පැගති පුටනෙස්කා වලට චරිත්‍රා ඉතා ආසා කරන බව ළහිරු දැනගත්තේ මෙයට පෙර දිනක රැයක් ගෙවූ හෝටලයේදී රාත්‍රී ආහාරය සඳහා ඇනවුම් තබද්දීය. සබඳතාවයට ගෙවී ඇත්තේ කුඩා කාලයක් වූ නමුදු හදවතින්ම ආදරය කරන දෙදෙනෙකුට එකිනෙකා සහ එකිනෙකාගේ ආසාවල් හොඳින්ම තේරුම් ගන්නට ඒ කාලය ඕනෑවටත් වඩා වැඩිය.

ළහිරු සඳහා ඔහු ඇනවුම් කරේ හනි රෝස්ටඩ් පෝක් චොප්ස් ය.

තමන් ආසා දේ ඇනවුම් කරගත්තද තමා ආසා දේට ඇයත්, ඇය ආසා දේට තමාත් ආසා කරන බව දැනගැනීම පෙම්වතුන් දෙදෙනෙකුට ගෙන එන්නේ මෙතෙකැයි කිව හැකි සන්තුශ්ටියක් නොවේ. එය එකිනෙකා හොඳින් ගැලපෙන බවට කියා පානා සලකුණක් වැනිය.ඉතින් මිහිරිතම මිමිණීම්‍ ය. කැවීම් ය. අතැඟිලි එකිනෙක පැටලීම් ය. දෙනෙත් දෙස සමවැදී බලා හිඳීම්‍ ය.

ආදරයය.

ආදරයම පමණකි.

කොළඹ පුරාවටම කරක් ගැසූ මද පවනක් කොළඹ හතෙන් නික්මුනේ චරිත්‍රා සහ ළහිරුව සීතලෙන් සිප ගනිමිනි. ඒ සීතල සුළඟට චරිත්‍රාගේ මුහුණ ඉදිරිපසින් වාඩි වී හිඳි ළහිරුව ඇයගේ දකුණු පසට ගෙන එන්නට හැකි විය. ඉතින් දකුණු පස කම්මුල ප්‍රේමයේ උණුසුමින් රත්වන අයුරු චරිත්‍රාට දැනේ.

දැන් දැන් ඔහු තමාගේ දකුණු පස කම්මුල මත හාදුවක් තබනු ඇතැයි යන ප්‍රේමණීය සැකයෙන් හිත කිතිකැවී යැයි. මෙවැනි හැඟුම් සිතට දැනෙන්නේ පළමු වතාවටය. තමා ආදරය අතැඹුලක් සේ දන්නා අයෙකැයි සිතූ චරිත්‍රා කෙනෙකු හදවත තුල හිඳ සමච්චලයෙන් සිනාසෙනු ඇයට ඇසේ.ආදරය යැයි සිතා තමා සිතූ කිසිවක් ආදරය නොවන බව ඇයට හැඟෙන්නේ දැන්‍ ය. ආදරය යනු මෙයයි. හිතත් වතත් උණුසුම් කළ හැකි සොඳුරුතම හැඟීමකටයි. නොඑසේනම් ආදරය යනු ළහිරු ය. උදෑසනත්, දිවා කලකත්, රාත්‍රියේත් එකම ලෙසට සිත් අහසේ පායා දිදුලන ළහිරුය.

“ඇයි අහක බලාගෙන ඉන්නේ?”

ඒ හඬ හඬක් නොවේ. ප්‍රේමණීය කෙඳිරුමකි. ළහිරුගේ දෙතොලින් නික්ම තමන්ගේ සවන් පත් මත රැඳී අනතුරුව හදවත කෙළවරකට ගොස් සටහන් වන ප්‍රේමණීය කෙඳිරුමකි.

“මුකුත් නෑ”

“මුකුත් නැත්තම් අහක බලාගෙන ඉන්න එපා. මම දිහා බලන්නකො”

ඉතින් සිතට ලැජ්ජය. විළිබරය.

ළහිරුගේ ශක්තිමත් අතැඟිලි හෙමින් පැමිණ චරිත්‍රාගේ සිහින් දිගු අතැගිලි අතර පටලැවේ. ඒ නම් විදිලි සැරයක් බඳු හැඟීමකි.

ළහිරුගේ අතැඟිලි කෙලවරකින් නික්මී චරිත්‍රාගේ අතැගිලි අගින් හිත වෙත නික්මෙනා ඒ වචනයෙන් මෙයැයි කියා අරුත් දැක්විය නොහැකි අපූර්වතම හැඟීමකින් හිත කිතිකවයි. ප්‍රේමය මෙතරම්ම අපූරු බව චරිත්‍රා කෙදිනකවත් දැන හුන්නේ නැත. ආදරය යනු ශාරීරික වශයෙන් සංතර්පණය වීමයැයි සිතා හුන් අයෙකුට සිත මෙන්ම ගතද කුල්මත් කළ හැකි අන්දමේ ප්‍රේමයක් අබියස මෙසේ සිතීම ඉතින් අරුමයක් නොවේ.

ඒ සුන්දර රැය මෙනෙහි කිරීම පවා සිතට සතුටත් ගෙන දෙන්නක් වුව රැය අවසන් වුයේ පිලිතුරක් දිය නොහැකි අන්දමේ ගැටලුවකට මුල පුරමින් නොවේද?

මේ සතුට විඳින්නට තමාට සැබෑවටම හිමිකාරිත්වයක් නොදැන හුන්නද සතුටක් විඳින්නට ලැබෙන තැන එය ප්‍රතික්ශේප කිරීම මනුශ්‍ය ස්වහාවය නොවේ. 

සතුට තමාගේ වුව, නොවුවද සතුට හිත කුල්මත් කරයි.

ඉතින් තමා විසින් කල දෙය හරිද වැරදිද යන්න පිළිබඳව සිතමින් ලතවිය යුතු නැත.

ඉදිරි දින කිහිපය තීරණාත්මක වන බව පමණක් දැන සිටීම ප්‍රමාණවත් ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles