මේ මොහොත සතුටින් ඉන්න!

ඒ මහ වර්ෂාවකට පසු මොහොතක්. මාවතේ තැන තැන වතුර එකතු වී කුඩා දිය කඩිති සෑදී තිබුණා. පොද වැස්ස තවම ඇද හැලෙමින් පවතින මොහොතක තාත්තා කෙනෙකු සහ දුවෙක් තමන්ගේ නිවස පිහිටා ඇති මාවත පුරා සෙල්ලම් කරන වීඩියෝවක් අන්තර්ජාලයේ අතිශය ජනප්‍රිය වුණා. තාත්තා කෙනෙක් සහ දියණියක් සෙල්ලම් කිරීම අතිශය සාමාන්‍ය දෙයක්. අම්මාගේ චුරුචුරු ගෑම් මැද වුණත් මහ වැස්සේ පවා පිටතට පැන දඟලන තාත්තලා සහ දූලා ඕනෑ තරම් ඉන්නවා. නමුත් මේ වීඩියෝවට ලැබුණේ ඊටවඩා ජනප්‍රිය බවක්.

ඒ ජනප්‍රිය වීමට හේතුවක් තිබුණා!

වීඩියෝවේ සිට ඒ දැරිය ආබාධිත දැරියක්.  ඇය ජීවිතය ගත කරන්නේ රෝද පුටුවක් මත. වාහන නොඑන “ස්කීම් එකේ පාර” පුරා ඇයව තාත්තා රැගෙන ගියේ මහත් උද්‍යෝගිමත් ලෙස. රෝද පුටුවේ රෝදවලින් වතුර විසි වී දැරිය නැහැවෙමින් තිබුණා. ඇය  නොනවත්වාම සිනා සලමින් සිටියා.කුඩා දිය කඩිතිවල දැරියගේ රෝද පුටුව නොනවත්වාම කැරකුණේ තාත්තගේ අතින්. ඇගේ රෝස පැහැ කම්මුල් තවත් රෝස පැහැති වූයේ ඉවරයක් නැති තරමට හිනැහෙමින් සිටි නිසා.

ඒ සත්‍ය සිදුවීමක වීඩියෝ පටයක් වුවත් එය චිත්‍රපටියක දර්ශනයක් තරමටම මන බඳින්නක්. තාත්තා සහ දියණිය “ඒ මොහොත” විඳිමින් සිටියා. ඒ සතුට බලා හිඳීම පවා සන්තෝසය බෝ කරන්නක්. රෝද පුටුවක සිටීම කුඩා දරුවෙකුට විනෝදජනක අවස්ථා ගත කිරීමට බාධාවක් නොවන බව ඒ තාත්තා ලෝකයට පෙන්වමින් සිටියා.

දරුවන්ගේ සතුට වෙනුවෙන් දෙමාපියන් නොකරන දෙයක් නොමැති තරම්. “ආබාධිත වීම” හෝ රෝගී වීම ජීවිතය සතුටින් ගත කරන්නට බාධාවක් නොවේ. මේ වීඩියෝව අතිශය ජනප්‍රිය වීමත් සමඟ හැම කෙනෙක්ම ඒ ගැන කතා කරන්නට පටන් ගත්තා.

ඔබ යම්කිසි පීඩාවක හිඳීම ඔබව නිරන්තරයෙන්ම දුකින් තැබීමට හේතුවක් වන්නේ නෑ. ඒ සිදුවීමට එසේ සිදු වන්නට හැර ඔබ ඔබගේ සතුට සොයා ගැනීම වැදගත්. “මේ මොහොත” සෑම විටම විඳින්නට අමතක කරන්නට එපා. මේ මොහොතේ සිදුවෙන දේ ඔබව සතුටින් තබනවා නම් සිදු වුණු  වේදනාත්මක දේවල් ද ඉදිරියට සිදුවන්නට ඇති කරදරකාරී දේවල්ද සිතමින් ඔබේ ශක්තිය අපතේ යවා ගන්නට එපා.

මේ මොහොතට සතුටින් මුහුණ දෙන්න. වැස්සක් මල් වැස්සක් ලෙස දැකීම ද කරදකාරී මහ වැස්සක් ලෙස දැකීම ද අයිති ඔබටයි! හැම මොහොතකම සතුටක් සොයන “පොලියානා” කෙනෙක් වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles