සඳ කත් මිණි ඇස් 6

ඉනික්බිති දෙසතියක් ඉක්ම ගොස් තිබිණි ද සූර්යා ආලෝක ට කතා නො කළා ය. තමන්ට ම රිදවා ගැනීමේ මිහිරි රිදුම ද රිදුමක මිහිර ද එහි විය. හරියට හෙලවෙනා දතක් දිවෙන් තද කොට රිදවා ලබන මිහිර වැනි දෙයකි ඒ. 

දවස් දෙකක් ම ඕ අපාට්මන්ට් එක තුළට වී විදේශ හා දේශීය චිත්‍රපට බැලුවා ය. ඒ සියල්ල, උමතුවකින් බලා සිටිය හැකි පෙම් කතා විණි. ආදරය කියන දේ කවදාවත් කාටවත් නිර්වචනය කළ නො හැකි බවක් ඇයට හැඟිණි. හැම කෙනෙක් ම එසේ කිරීමේ යම් උත්සාහයක් දරා ඇතිවා පමණකි. 

මේ අතරේ දවසක නටාෂා කතා කළා ය. සූර්යා කීවේ ඇයට ආලෝක ව සම්බන්ධ කර ගත නො හැකි වූ බවයි.

“සුමන් ටිකක් බිසී තමයි. ඊටත් වඩා කොල්ලා මේ ලේඩීස්ලට ටිකක් ගණං උස්සනව. ඩෝන්ට් කෙයා වගේ තමයි පෙන්නගෙන ඉන්නෙ. අනේ ඒ වුණාට අපි දන්නැද්ද පිරිමින්ගෙ හැටි”

යයි කියමින් නටාෂා හඬ නගා හිනැහුණේ ඇය මෙලොව වන සියලු පිරිමින් ගේ චරිත ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබා ඇති බවක් පෙන්වමිනි. සූර්යා හිත යටින් සිනහ වූවා ය.

“මං කියන්නද…මං ඔයාට ප්‍රවීන් ව කන්ටැක්ට් කරල දෙන්නං. එයත් ඉන්ටනැෂනල් මාකට් එකත් එක්ක වැඩ කරන කෙනෙක් නිසා සූර්යා ට හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි”

නටාෂා සූර්යා ට ප්‍රවීන් ගේ දුරකතන අංකය ලබා දුන්නා පමණක් නොව ප්‍රවීන් අමතා සූර්යා ගැන පූර්ණ විස්තර විකාශයක් කරමින්, ඇයට උදව් කරන ලෙස ඉල්ලා සිටියා ය. ප්‍රවීන් ඒ උදව්ව කරන්නට ඉදිරිපත් වූයේ අධික උනන්දුවෙනි. සූර්යා කතා කරන තුරු නො සිට තෙමේ ම ඇය ඇමතුවේ ය. තරු පන්තියේ හෝටලයක රාත්‍රී කෑමක් සඳහා හමු වී ඇයට ඕනෑ ම උදව්වක් කරන්නට පොරොන්දු වූයේ ය.

ප්‍රවීන් ලිවේරා වූ කලී තේ අපනයන ක්ෂේත්‍රයට පය ගසා සිටි නවකයෙකි. ඔහු ගේ පියා සතුව තේ වතු යායක් තිබුණ අතර, ඒවායේ කැඩෙන දලු වෙනත් කම්හලක් වෙත විකිණුවා මිස වෙළෙඳ පොළට තේ අලෙවි කිරීමක් ඔහු විසින් නොකරන ලදී. පුත්‍රයා ව්‍යාපාරයට අත ගැසූයේ අපනයනයත් ඉලක්ක කර ගනිමිනි. 

ප්‍රවීන් තරමක සෙල්ලක්කාරයෙකි.  ආලෝක සුමනරත්න ගේ ඉඟුරු තේ ව්‍යාපාරයත් සමග සමගාමී වන සේ ඔහු ද තේ වලට විවිධ රස එකතු කරමින් තරඟකාරිත්වයක් ඇරඹූ අතර, ආලෝක සිටියේ ඒ ගැන නො දන්නා ආකාරයෙනි. නමුත් ප්‍රවීන් නිරතුරු තරඟයකට අවතීර්ණ ව ඒ තරඟය තුළ ජීවත් වූයේ ය.

ආලෝක සමගින් ද ප්‍රවීන් ව්‍යාපාරික ඇසුරක් පවත්වන ලදී. ඉඳහිට සුඛෝපභෝගී සුරා සැල් තුළ හමු ව කතා බහ කරමින් ඔවුහු මධු සාද දැමූහ.

මේ කියන දවසේත් ‘ක්ලබ් එකේදි සෙට් වෙමුද මචං’ යනුවෙන් ප්‍රවීන් විසින් ඇරයුමක් කරනු ලදුව ආලෝක ද එහි ගියේ ය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආසන්න වයස් ඛාණ්ඩ වල මිතුරන් කිහිප දෙනෙක් ම එහි වූහ. රොෂාන් සහ දුලිප් ද ඒ අතර වූහ.

මාතෘකාව සූර්යා පැත්තට හැරුණේ කට්ටිය මඳ පමණින් මත් වී ගෙන එත්දී ය. 

“ඒකි ගින්දර වගේ හොට් මචංල. අවුරුදු විසි ගාණක් ෆ්‍රාන්ස් ඉඳල හස්බන් ගෙන් ඩිවෝස් වෙලාලු දැන් ඔය ලංකාවට ඇවිත් තියෙන්නෙ”

ආලෝක ගේ හදවතෙහි අකුණක් පුපුරා ගියේ ය. එහෙම බවක් මේ වන තුරු ඔහු දැන සිට්යේ නැත. මීට වසර විසි ගණනකට පෙර දී ඇය ඔහු ගේ පෙම්වතිය වී සිටියා ය. නමුත් දැන් ඔහු නො දන්නා දේවල් සූර්යා පිළිබඳව සිය ව්‍යාපාර සගයෝ දනිති.

“අන්න බං දාගන්නවනං ගෑනු. ගින්දර ආ”

“දැං උඹ හිතන්නෙ සූර්යා උඹට වැටෙයි කියලද…”

රොෂාන් ඩෙවල් චිකන් කැබැල්ලක් දිව මත තබා ගන්නා ගමන් කෙකර සිනහවක් නගමින් විමසී ය. 

“ඒකිට ඕනෙ බිස්නස් ෆීල්ඩ් එකට එන්නනෙ. ඒකට මේ අපේ උදව් නැතුව බෑනෙ බං. අනිත් එක ඉතිං ඩිවෝස් වෙලා ඇවිත් ඉන්න අම්මණ්ඩි නිසා…ඕව ගේම්ද බං”

ආලෝක ට හිතුණේ ප්‍රවීන් ගේ කමිස කොලරයෙන් ඇද කම්මුල හරහා පහරක් එල්ල කරන්නට ම ය. 

“පාහර කතා කියන්න එපා යකෝ”

ඔහු සිතින් කීවේ ය. නමුත් තර කොට මුව වසා සිටියේ ය. මේ ක්ෂේත්‍රයේ මිතුරන් ඇසුරු කරත්දී ඔහු කොහොමත් වැඩිපුර මුණිවත රකියි. කවුරුන් හෝ සිය පෞද්ගලික ජීවිතය විමසාවියි බියට ඔහු විසින් දමා ගෙන හිඳිනා දොරටුවකි ඒ. ආලෝක කිසි දා ඒ දොර හැර ගෙන සිය ජීවිතය වෙත එන්නට මිතුරෙකුට හෝ ඉඩ දී නැත. අතීතය ගැන දන්නේ ඔහු පමණ ය. මේ සමාජය දැක තිබෙන්නේ ඔහු ගේ ව්‍යාපාරයේ සශ්‍රීකත්වය පමණකි. 

අමාරුවෙන් ඒ කතා අසා උන් ආලෝක ඉක්මනින් ක්ලබ් එකෙන් නික්ම ගියේ ය. ඉක්මනින් කීවාට ඒ වෙත්දීත් මැදියම් රැය ආසන්න වෙමින් තිබිණි. මෝටර් රථයට නැගුණ ගමන් ආලෝක සූර්යා ට ඇමතුමක් ගත්තේ ය. 

ඒ වෙලාවේ ඇය සිටියේ දළදා මාලිගාවේ පත්තිරිප්පුව ඇතුළු ව මහනුවර නගරය දර්ශනීය ලෙස විද්‍යමාන වන හෝටල් කාමරයක විසල් වීදුරු බිත්තියෙන් පිටත බලා ගෙන ය. කඳුකර බිම් වල ඉදි වූ ගොඩනැගිලි වල විදුලි එළි, යායට සරණා කණාමැදිරි එළි සේ දිස් වේ. ටික වෙලාවකට කලින් කාමරයට එන්නට පෙර සූර්යා හිටියේ වීදි ලාම්පු වලින් ද අඩ සඳ එළියෙන් ද කාන්තිමත් වූ වැව රවුමේ, වලාකුළු බැම්ම දිග ඇවිදිමිනි. හදවතට දැනුණා වූ දරා ගත නො හැකි තනිකම තව දුරටත් දරා ගන්නට ඇය තැත් දරමින් සිටියා ය. තනිකම කියන්නේ දැන් අවුරුදු විසි ගණනක් තිස්සේ දැනෙනා දෙයකි. ආලෝක ගෙන් සමු ගත්තා ට පස්සේ ඇය අතැර නොගිය ළබැඳි හැඟීමකි.

ප්‍රංශයේ සිටියදී නම් ඕ බීර විතක් හෝ තොල ගෑවා ය. ඒ තිත්ත රසය ශෝක රසය සමග යහමින් මුසු ව පදම් වේ. නමුත් ශ්‍රී ලංකාවට ගොඩ බට පසු සූර්යා බීර කෑන් එකක් හෝ තොල නොගෑවා ය. ඒ වෙනුවට ඇය ආලෝක පිළිබඳ මතකයෙන් මත් වන්නට රිසි වූවා ය.

මේ මැදියම් රැයේ මේ වාගේ මතකය දොඩමළු ව හිඳිනා නිමේශයක ආලෝක ගේ නම තිරයෙහි සනිටුහන් වෙමින් දුරකතනය නාද වෙත්දී ඇය ඇතුළාන්තයෙන් කැළඹී ගියා ය. එය වූ කලී මිහිරි රසයක් ද දැනවූ කැළඹීමකි. 

“ආලෝක”

පැරණි ප්‍රේමයේ ස්වර සංයුතිය නොවෙනස් ව දැනුදු ඇගේ හඬේ විය. 

“අර ප්‍රවීණයත් එක්ක නටන්න යන නාඩගම මොකද්ද”

ඇගේ කන් අඩිය පැලී ගියා සේ ය. සූර්යා දුරකතනය සවනින් මෑත් කොට ඇස් ඉදිරියට කොට බැලුවා ය. යළික් වටහා ගත නොහැකි බවකින් එය සවනේ තබා ගත්තා ය.

“ආලෝක…මං සූර්යා. ඔයා වෙන කාට හරි ගන්න ගිය කෝල් එකක්ද දන්නෑ”

“නෑ මං තමුන්ට තමයි කතා කළේ. තමුංගෙන් තමයි මං මේ අහන්නෙ. ප්‍රවීන් වගේ එකෙක් එක්ක එකතු වෙලා සල්ලි හම්බ කරන්න ආත්මෙම පාවල දෙන්නද ඒ ගමන හදන්නෙ…”

“ආලෝක…මට තේරුන්නෑ ඔයා මොනාද කියන්නෙ කියල”

“කොහෙද දැං ඉන්නෙ…”

“මං කැන්ඩි වල ඉන්නෙ”

“හරි. හම්බ වෙලාම කතා කරමු. මං දැන් එනව”

“ආලෝක මං අපාට්මන්ට් එකේ නෙවෙයි ඉන්නෙ. කැන්ඩි වල”

“ඒක තමයි මං දැන් එනව කියල කිව්වෙ”

“ආලෝක ඔයා ඩ්‍රිංක්ස් අරං නේද”

“හැබැයි තමුන්ට තරං වෙරි නෑ”

ඔහු එහෙම ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. සූර්යා හිස ද මඳක් සොලවා මේ සිහිනයක් ද සැබෑවක් ද කියා නිශ්චය කර ගැනීමේ උත්සාහයක් දැරුවා ය.

රිය පෙරට ගන්නා ගමන් ම ආලෝක චාන්දනී ට කතා කළේ ය.

“හදිස්සි වැඩකට නුවර යන්න වෙලා අම්මෙ. අම්ම නිදා ගන්න”

ඇය වචනයක් හෝ කියන්නට පෙර ඔහු සම්බන්ධය බිඳ දමා තිබිණ. ඉන්පසු රිය ඉගිළුණා කීවොත් නිවැරදි ය. කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් සූර්යා බලා සිටියා ය.

මේ හදිසියේ සිදු වූයේ කුමක් දැයි ඇයට පැහැදිලි කර ගත නො හැකි ය. ප්‍රවීන් කියන්නේ නටාෂා ඇයට හඳුන්වා දුන් ව්‍යාපාරිකයා වන නිසාවෙන් මේ ඔහු ගැන ප්‍රශ්නයක් බව පමණක් ඇය දැන සිටියා ය. 

“ලොකේශන් එක ශෙයා කරන්න”

කඩුගන්නාව පහු වෙත්දී ආලෝක සූර්යා ට කතා කොට කීවේ ය. ඉන් පසු ඒ හෝටලයේ ම කාමරයක් වෙන් කර ගෙන ඔහු ඈ හමුවට ආවේ ය. සූර්යා කෝපි දෙකක් ඇනවුම් කළා ය.  ලොබියෙහි සම්මුඛ අසුන් දෙකක හිඳ ගන්නා ගමන් ඔවුහු උනුන් ගේ මුහුණු බැලූහ.

“ඔය කෙහෙල්මල් බිස්නස් කිරිල්ල අල්ලල දාල දෙයියංගෙ නාමෙට ආයෙ ප්‍රංශෙටම යනවද…”

කෝපය විදිනා ඇස් වලින් ඔහු පටන් ගත්තේ ම එහෙම ය. සූර්යා ඔහු දෙස ම බලා හිඳ බිම බැලුවා ය.

“යන්නං. ඒත්…මොකද්ද මං ඔයාට කරපු වැරැද්ද කියල දැනගන්න පුළුවන් ද…”

“ඔයාට වරද්දගන්න එපා කියලයි මං කියන්නෙ මැණිකෙ”

එපමණකි. ඔහු දියව යන්නට වූයේ ය. දෙදණහිස් මත දෙවැලමිට තැබූ දෑතින් ඔහු කෝපි කෝප්පය හා පීරිසිය අල්ලා ගෙන, ඔහු හිස බිමට නැඹුරු කර ගත්තේ ය. සිය කෝපි බඳුන වීදුරු ස්ටූල් එක මත තැබූ සූර්යා, නැගිට ගොස් ආලෝක ගේ දෙපා ළඟ බිම හිඳ ගත්තා ය. අතීතයේ දීත් ඔහු ආදරය ඉහ වහා ගිය අවස්ථා වල මැණිකෙ කියා ඈ අමතා තිබේ. කිසිවක් වෙනස් වී නැත්තේ ය. කිසිවක් ඔවුන් ට අමතක කොට දමන්නට කාලය සමත් වී නැත්තේ ය.

“ආලෝක”

ඇය ඔහු ගේ දණහිස මෘදු ලෙස අල්ලා ගන්නා ගමන් මන්ද්‍ර ස්වරයෙන් මිමිණුවා ය. සඳ කත් මිණි ඇස් වල සඳ කිරණ කාන්දු වෙමින් තිබිණ. 

“ප්‍රවීන්ල එච්චර හොඳ මිනිස්සු නෙවෙයි. දැනටමත් උං කතා කරන්නෙ ඔයාව ඇඳට අරං ගිය ගානට”

සූර්යා ගේ රතදරතර මඳහසක් ඇඳිණි. ඒ වාගේ කතා වලට ඇගේ වන බිය නැති කම ඒ සිනහවේ ලියැවී තිබිණි.

“ඉතිං ඔයා හිතනවද මං එහෙම දකින දකින මිනිහත් එක්ක ඇඳට යන ගෑනියෙක් කියල. මං එහෙම කළානං ඒ මගෙ කසාද මිනිහත් එක්ක විතරයි. අඩු ගානෙ…මං ආදරේ කරපු මිනිහත් එක්කවත් මං ඇඳකට ගිහිං නෑ”

හැඬේවියි බියක් සූර්යා තුළ ඇති විය. ඇගේ උගුර ඇයට ම දරා ගත නොහැකි තරමින් රිදෙමින් ද පපුව හිර වෙමින් ද තිබිණි. 

“ඒත් ඒ කතා මට අහං ඉන්න බෑ සූර්යා. ඔයා ඩිවෝස් වෙලයි ලංකාවට ආවෙ කියල මං දැනං හිටියෙත් නෑ”

“මං ඩිවෝස් වුණේ ලංකාවට එන්න අවුරුදු හය හතකට කලින් ආලෝක”

ඔහු ඇගේ ඇස් දෙස ම බලා ගෙන කෝපි උගුරක් බීවේ ය. සූර්යා හෙමිහිට නැගිට සිය අසුන කරා ගියා ය.

“ඒත් ඔයා මේ කිසි දෙයක් ප්‍රශ්නයක් කර ගන්න එපා. මට ඒක දරා ගන්න බැරි වෙයි”

“ඔයාට ඕන විදිහෙ බිස්නස් එකක් කරන්න මට පුළුවන් දෙයක් කරන්නං කියල කියද්දිත්…මොකටද ප්‍රවීන් මීට් වෙන්න ගියේ…”

සූර්යා දිගු සුසුමක් හෙළුවා ය. ආයේ ඔහු ව මුණ නොගැසෙන්නට ඇය විසින් ගන්නා ලද තීරණය ගැන ඕ කිසිත් නො කියා සිටියා ය.

“ඔයා කැමති නැත්තං මං ලංකාවෙ ඉන්නවට…තව දවස් දෙක තුනකිං මං ෆ්ලයි කරන්නං”

කෝපි කෝප්පය ස්ටූල් එක මතින් තැබූ ආලෝක වහා නැගිටින ගමන් සූර්යා ගේ අතනින් ඇද ඇය ව ද නැගිටුවාලූයේ ය. ඊළඟ නිමේෂයේ ඈ සිටියේ ඔහු ගේ දෑතින් ඔහු ගේ පපුවට හිර වී ගෙන ය. 

“ආයෙත් කොහොමද නැති කර ගන්නෙ…”

ඔහු ගේ හිත කෙඳිරුවේ ය. එලෙස උනුන් වැළඳ දෑස් පියා ගෙන ඔවුන් ගේ ම ලෝකයක විනාඩි ගණනාවක් නතර වී උන් ඔවුන් උනුන් ගෙන් මිදුණේ සුසුම් වල බරත් දරා ගෙන ය.

“දැන් නිදියන්න. අපි උදේට කතා කරමු”

ඔහු ඇගේ කාමරයේ දොර ළඟට ඇය ව ඇරලුවේ ය.

“මට එළි වෙනකල්ම ඔයා ළඟට වෙලා ඉන්න ඕනෙ. අද විතරක්…ජීවිතේ ආයෙ කවදාවත් උදා වෙන්නැති දවසක්…මට ජීවත් වෙන්න මතකයක්…”

ඇගේ ඇස් දෙකෙන් කඳුළු දෙපේළියක් ගලා යමින් තිබිණි. ආලෝක වහා කාමරයේ දොර හැර ගෙන ඊට ඇතුළු වී දොර වසා දැමුවේ ය. එසැනෙන් යළිත් ඔවුහු දැඩිව වැළඳ ගත්හ. ඒ වැළඳ ගැනීම එක වචනයකින් හෝ තොර ව හෝරාවක් තරම් කල් උණුහුම හැදූ එකකි. අවුරුදු විසි ගණනක් තිස්සේ අහිමි කර දමනු ලැබූ උණුහුම, අඩි කිහිපයක පරිධිය තුළ අඩු නැතිව තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles