අත් හැරීම 

අනුත්තරා එදා නිදාගත්තේ සැහැල්ලුවෙන්.  අකිල එක්ක සියළු සම්බන්ධතා නවත්තලා දාන එක මේ තරම් සැහැල්ලු හැඟීමක් කියලා අනුත්තරා යන්තමටවත් හිතලා තිබුණේ නැහැ. ජීවිතේ විඳින්න , තමන් වෙනුවෙන් ජීවත් වෙන්න තියෙන ඉඩ දැන් අනුත්තරා ට පේනවා.

අනුත්තරා ට අකිලව මුණ ගැහෙන්නේ පාසැල් ප්‍රේමය විදියට. සාමාන්‍ය පෙළ කාලෙදී පටන් ගත්ත ප්‍රේමය ට උසස්පෙල ඉවරවෙනකොටම දෙපැත්තේම ගෙවල් වල ආශිර්වාදයත් ලැබෙනවා. ඒ කාලේ අකිලගේ තිබුණ ගතිගුණ ගැන අනුත්තරා ට තිබුණේ හරිසතුටක්. 

කොහේට වුනත් පස්සෙන්ම එන එක, තනියම;  එයාට නොකියා කොහේ ගියත් අමනාප වෙන එක, බස් එකේ යනකොට බස් එකෙන් බහිනකල් ඇමතුමක ඉන්න ඕනි එක…., මේ වගේ රතු කොඩි පෙන්වන ගතිගුණ සිය ගාණක් දැන් අනුත්තරා ට මතක් වෙනවා. ඒත් ඒ කාලේ අනුත්තරා ඒ හැමදේම තේරුම් ගත්තේ ආදරේ විදියට. ඒ තියා අනුත්තරා ගේ අම්ම පවා අකිලගේ ඒ හැසිරීම් හරිම ආදරයෙන් පිළි ගත්තා.

“අකිල පුතා මෙයා පස්සෙන්ම ඉන්න බව දන්න නිසා ඉතින් අපි මෙයාව බය නැතිව කොළඹ එවන්නේ…”

උසස්පෙල සමත්වෙලා අනුත්තරා ට ඕනි වුනේ පේරාදෙණියේ යන්න. අකිලට ඕනි වුනේ කොළඹ  විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන්න. ඒ නිසා අම්මලත් අනුත්තරා ට බල කරා කොළඹ විශ්ව විද්‍යාලයටම අයදුම් කරන්න. අකිලට තිබුණ ආදරේ නිසාම අනුත්තරා තමන්ගේ  ආශාව මැරෙන්න දීලා කොළඹ ආවා. 

ඒත්, ඒ තීරණේ එක්ක අනුත්තරා ගේ ජීවිතේ වැටුණේ හීනෙකින්වත් නොහිතපු අපායකට. අකිල පුදුම තරමේ මානසික වද කාරකයක් වුණා. අතිශය ආක්‍රමණශීලි විදියට අකිල අනුත්තරා ගේ ජීවිතේ හසුරවන්න ගත්තා. කොටින්ම අනුත්තරා ට ගැහැණු යාලුවෝ ආශ්‍රය කරන්නවට් නිදහසක් තිබුණේ නෑ. බැච් එකේ පිරිමි ළමයෙක් එක්ක හිනා වෙලා කට්ජා කරත් අහන්න පුලුවන් උපරිමෙන්ම කුණු කතා අහන්න අනුත්තරා ට සිද්ද වුණා. 

ඒත් පිට ඉඳන් බලන කිසිම කෙනෙක්ට අනුත්තරා මේ විඳින මානසික වේදනාව පෙනුනේ නැහැ. හැමෝම කිව්වේ,

“අම්මෝ. මෙයාට නම් ශෝක් ඉතින් … බඩගිනියි හිතන්න විතරයි ඕනි, අකිල මතුවෙනවා…”

“මෙයා හෙන ලක්කාරි.. අකිල වගේ කොල්ලෙක් ලේසියෙන් හම්බෙන්නේ නෑ…”

අනුත්තරා ඒ හැම වෙලාවකම මානසික වේදනාව සඟවගෙන හිනාවුනා. 

කොහොමම හරි අකිලගේ වද වේදනා, සිත් රිදවීම් එක්කල අනුත්තරා කැම්පස් ජීවිතේ ඉවර වෙනකල් දරාගෙන හිටියා. ඒත් කැම්පස් ඇවිල්ලා කරන්න ආසාවෙන් හිටපු කිසිම දෙයක් අනුත්තරා ට කරන්න වුණේ නැහැ. ට්‍රිප් එකක් ගියත් අනුත්තරා ට ඉන්න වුණේ අකිලගේ ළඟට වෙලා. ෆීල්ඩ් විසිට් එකක කියලා වෙනසක් තිබුණේ නැහැ ඒ හැසිරීම් හින්දා  සමහර වෙලාවට  බැච් එකේ අනෙක් කොල්ලෝ  කොච්චරක් විහිලු කරත් අනුත්තරා ඒ හැමදේම දරාගත්තා. 

“අකිල මට හරි ආදරෙයි .. මාත් එයාට ආදරෙයි ..”

දවසට සිය දහස් වතාවක් මේ කතාව තමන්ටම අවශෝෂණය වෙන්න ඉඩ හරින්න අනුත්තරා සෑහෙන්නම වෙහෙසක් ගත්තා.   ඒ වෙහෙස එක්කම අකිලගේ හැම නොමනාකමක්ම ආදරේ යටතට දාලා ඉවසුවා. 

ඒත්, හැමදේම පුපුරලා යන්න පටන් ගත්තේ කොන්වර්කේශන් එකෙන් පස්සේ අනුත්තරා ට නුවර රැකියාවක් ලැබුනට පස්සේ. ඒ වෙද්දී අකිල රැකියාව කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ කොළඹ. නුවර යන්න අකිල කොහොමටත් එකඟ වුණේ නැහැ. අනුත්තරාට අකිල වෙනුවෙනුත් රැකියාවක් හොයලා දෙන්න පුලුවන් කම තිබුණත් අකිල උත්සාහ කරේම් තමන්ගේ තීරණේම ඉන්න.

උපාධිය අවසන් වුන ගමන්ම සෑහෙන්නම වැටුපක් එක්ක පිළිගත්ත නමක් තියෙන ආයතනයක ලැබුණ රැකියාවට යන්න එපා කියන අකිල ගැන අනුත්තරා ගේ තාත්තා මුලින්ම අප්‍රසාදය පල කරා. ඒත් එක්කම මස්සිනා.ඊට පස්සේ අක්කායි නෑනයි. ඊට පස්සේ අය්යා. අන්තිමේදී අම්මත් කිව්වේ, අනුත්තරා ට රැකියාවට යන්න ඉඩ දෙන්න කියලා .

එතනින් පස්සේ අකිලයි අනුත්තරා ගේ ගෙදර අයයි අතරේ සීතල යුද්ධයක් පටන් ගත්තා. අනුත්තරා මුල් දවස් වල ඒ ගැන කණස්සලෙන් හිටියත් මස්සිනා ගේ පැහැදිලි කිරීමෙන් පස්සේ අනුත්තරා යථාර්තය පැහැදිලි කරගත්තා. 

“මේක හොඳට තේරුම් ගන්නවා චූටි … ඔය කරගන්න යන මඟුල තමුසෙගේ ජීවිතේ  මහ අපායකට ඇදලා දාන එකක්… මේ වෙලාවේ හරියට තීරණයක් නොගත්තොත් ජීවිතේ ඉතිරි කාලෙත් මහා දුකා විඳින්න වෙන්නේ ..

බලනවා අක්කා දිහා.. මම ටීචර්.. අක්කා ඇඩිශනල් ඩිරෙක්ටර් .. අක්කා එස් එල් ඒ එස් පාස් උනාම මං එයාව නැවැත්තුවා නම් එයා තවම ඩී ඕ…. 

හැබැයි ඔය ඔහොම එග්සෑම් එකක් පාස් උනොත්, කවදාවත් ඔයාට ඒ නිදහස ලැබේද?

අක්කා ගෙදර උයන්නේ වීකෙන්ඩ් විතරයි බොහෝ දුරට.. එයා හයේ කෝච්චියට යන්න වේලාසනම ලෑස්ති වෙනවා.. උයලා බත් ඔතලා කවන්නේත් මම…

හැබැයි ඔය අකිලය අඩුම තරමේ කාපු පිඟානවත් සෝදලා තියාවිද?….”

මස්සිනා සෑහෙන්නම පැහැදිලි කලා.

ඊට පස්සේ අනුත්තරා හිතවත්ම මිතුරියන් දෙදෙනෙක් එක්ක ඒ ගැන කතා කලා. ඊටත් පස්සේ නෑණා එක්ක. ඊටත් පස්සේ අක්කා එක්ක. අන්තිමේදී අය්යයි, අම්මයි, තාත්තායි එක්ක. 

හැමෝම අනුත්තරා ගේ තීරණයක් එක්ක එක පයින්ම එකඟ වෙන බව කිව්වට පස්සේ අනුත්තරා සෑහෙන්නම ශක්තිමත් වුණා.

ඊට අස්සේ අනුත්තරා අකිලව මුණ ගැහිලා ඒ තීරණේ ගැන කියන්න උත්සාහ කලා.

 ඒත් අනුත්තරා ගේ වෙනස එක්ක ඒ තීරණේ ගැන ඉඟි වටහාගෙන තිබුන නිසාම අකිල කලේ අනුත්තරාව මඟ හැරලා උන්න එක. තමන් වෙනස් වෙන වග ව්‍යාජව අඟවන්න උත්සාහ කල එක. අකිලගේ අම්මා ලවා අනුත්තරා ව වෙනස් කරවන්න ත් කිහිපවතාවක්ම  උත්සාහ කලා.

අකිල තමන්ට සවන් නොදෙන බව වටහාගත්තාට පස්සේ අනුත්තරා අය්යයි, අක්කයි එක්ක අකිලගේ ගෙදර ගියා. අකිලගේ අම්මලට අනුත්තරා ගේ තීරණේ හේතු එක්කම පැහැදිලි කළා. 

අකිල ගෙදර එනකල්ම ඉඳලා අකිලටත් ඒ ගැන කිව්වා. අකිලගේ සැබැම ස්වරූපය එලි බැස්සේ එවෙලේ. 

” මං උඹට වෙම කසාදයක් කරගන්නනම් දෙන්නේ නෑ…”

එහෙම් කියලා අසැබි වචන එක්කමයි බැන්නේ. අනුත්තරා අක්කටයි  අය්යටයි වාරු වෙලා ඒ ගෙදරින් එලියට ආවේ පුදුමාකාර නිදහසකින්.

ගෙදර ආවට පස්සේ ඇඳට වැටුණේ ඒ නිදහස උපරිමෙන්ම දැනෙද්දී.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles