අරවින්ද සූරියබණ්ඩාර උන්නේ නින්දත් නොනින්දත් අතරය. නින්ද ලං නොවීමට හේතුව කුමක්දැයි කියා තේරුම් ගන්නට පුලුවන්කමක් නොවුනද සිතට දැනෙන මේ මනහර නොසංසුන්තාවයට හේතුව ඒ කෙල්ල බව ස්තිරය.
ඇය කාගේ කවුදැයි කියා නොදන්නා මොහොතක වුව සිත සසල කරන්නට ඒ කාලවර්ණ විසල් දෙනෙත් හේතු වූ බව අරවින්දට අමතක කරන්න අපහසුය. ඇය පබෝධාගේ ඥාති දියණියක බව දැන ගත් විටද ඒ සසල වීම මදකින් හෝ වෙනස් නොවූ බව අරවින්දට මතකය.
මේ සීතල රාත්‍රියේ කිසිවක්, කිසිවෙක් ගැන නොසිතා නිදාගන්නට තිබුනා නම් කියා හිතුවද සිතට අවශ්‍යව තිබුනේ නිදාගන්නට නොවේ. ඇහැරී ඇය ගැන කල්පනා කරන්නට උවමනාවකිනි. මේ නින්දට වඩා ඇය ගැන සිතීම සිතට සනීපවත් හැඟීම් පොද බැඳලන්නකි.
සිතල නිසාවෙන්ම ජර්සියක් පෙරවාගෙන උන්නද අරවින්දගේ හිත තිබුනේ උණුසුම්වය. ඒ ආදරණීය හැඟීම් හිත අස්සේ පොරකමින් තිබෙන නිසාවෙන්දැයි අරවින්ද දැන උන්නේ නැත. අනික් අතට මේ ආදරයද යන පැනය ද සිතට නොදැනුනා නොවේ.
ආදරය ගැන තමා දන්නේ මොනවාදැයි කිසා සිතෙද්දි අරවින්ද උන්නේ ජීවිතයේ පලමු ආදරයෙන්, වසර අටක ආදර කතාවකින් පැරදීය. විශ්ව විද්‍යාලයේදි හමු වූ ඒ සුන්දරිය තමාගේ සංසාරගත ආදරය යැයි සිතා ගෙන ගෙවූ වසර අටක කාලය අවසන් වූයේ තමා දරුණු රැවටීමක විත්තිකරු වී ඇති බව දැනහඳුනා ගනිද්දීය.
වයස අවුරුදු තිස් අටක් වන තුරුත් තමා තනිව ගෙවන්නට හේතු වූ කාරණාව එය බව දැන උන්නේ අරවින්ද පමණකි. එහෙයින් වසර ගණනාවකට පසු යලිත් මේ සිත උණුසුම් වී තිබෙන්නේ ඒ ආදරය නිසාවෙන්මද? ගිනි පෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරි එලියටත් බිය බව බොරුවක්ද?
මම මේ දකින සඳ එයාටත් එහෙම පේනවද දන්නෙ නෑ කියා නිල් අහසට නෙත් යොමා අරවින්ද සිතද්දීත් කැළුමිණී උන්නේ හඬා හෙම්බත් වූ දෙනෙතින් ඒ නිල් අහස දෙස බලාගෙනය. එහෙත් සඳවත් තරුවත් නොදකින මානයක තම සිත නතර වී තිබුන බව දැන හුන්නේ කැළුමිණී පමණකි.
“මම ඩිවෝස් එකට ඔක්කොම ඇරේන්ජ් කරා. ඔයාට ලෝයර් කෙනෙක්ව හොයාගන්න පුලුවන් වෙයිද?”
තමාට ඒ වචන ඇසුණේ ඇත්තටම දැයි සිතාගන්නට බැරි උනත් මේ මෙතෙක් දුර අපහසුවෙන් අල්ලාගෙන උන් රැහැන් පට මුදවන්නට කාලය බව කැළුමිණී තේරුම්ගත්තේ ප්‍රභාත් විසින් දුරකතන ඇමතුමකින් කියන්නට යෙදුන ඒ වදන් ඔස්සේය.
“අපිට මේ ප්‍රශ්නෙ මීට වඩා හොඳ විදියකට වෙනස් කරගන්න බැරිද ප්‍රභාත්?”
හඬන්නට ආසන්න හඬකින් කැළුමිණී එහා ඉමේ සිට අමතනු ඇසුවද ප්‍රභාත් උන්නේ ආපසු හැරෙන බලාපොරොත්තුවකින් නොවේ. අනෙක් අතට අතීතයේ දිනක සිදු වූ දෙයක් වුව තමාට නොකියා හිඳීම මගින් කැළුමිණී කර තිබෙන්නෙ තමාව රැවටීමක් යැයි නොසිතා ඉන්නට ප්‍රභාත්ට හැකියාවක් තිබුනේ නැත. මේ ඇමතුම වුව ගෙන කැළුමිණීට මේ බව පවසන්නට ප්‍රභාත් තීරණය කරේ අමීශා කියූ නිසාවෙන් මිස කැළුමිණී සමග කතා කරන්නවත් අවශ්‍යතාවයක් නොවූ නිසාවෙනි.
“මට එයාට කෝල් කරන්නවත් හිතෙන්නෙ නෑ”
“ඒ උනාට අමතක කරන්න එපා එයා ඔයා එක්ක අවුරුදු ගාණක් එක ගෙදර, එක ඇඳේ එක බත් එක බෙදාගෙන කාලා ජීවත් වෙච්ච කෙනා කියල. එයා කරපු එක දෙයක් නිසා ඔයාගෙ හිත රිදුනත් මනුස්සකම් අමතක කරල හැසිරෙන්න එපා ප්‍රභාත්. සම්බන්ධයක් පටන් ගන්නත් ඕන ඉවර වෙන්නත් ඕන ගෞරවනීයව කියල ඔයා අහල නැද්ද? ඒ නිසා ඔය දෙන්නගෙ ජීවිතේ ගන්න ඔය තීරණේ නිකන් වට්සැප් මැසේජ් එකක් දාල කැළුමිනීට ඉන්ෆෝම් කරන්න හිතන්න එපා. ඒක මහ කැත අමනුස්ස වැඩක්. ඔයා එයාට කෝල් කරල කියන්න”
මේ ප්‍රශ්නය වෙන විදියකට විසඳා ගන්නට හැකිදැයි කැලුමිණී අසද්දි වුව ප්‍රභාත් උන්නේ තම සිත ඇතුලතින් අමීශා කියන්නට යෙදුන වදන් මෙනෙහි කරවමිනි. ඒ වදන් ඔස්සේ කලබල වී කෝප ගන්නට හේතු කාරනා නොසාදමිනි.
“මම හිතන්නෙ නෑ අපිට මේ ඇරෙන්න මේ ප්‍රශ්නෙට ගන්න පුලුවන් හොඳ ඩිසිශන් එකක් තියෙනවද කියල”
“ඒත්…ඒත් ඔයාට පුලුවන්ද ප්‍රභාත් මාව මෙහෙම අතෑරල දාන්න. මම මගේ ජීවිත කාලෙ පුරාවටම ඔයාට කිව්වෙ එකම එක බොරුවක් ප්‍රභාත්. ඒකත් මම කිව්වෙ එහෙම නොඋනනම් ඔයා මට ආදරේ කරන එකක් නැ කියල හිතල. එහෙම එකේ මට මේ විදියට සලකන එක, මාව මේ විදියට අතෑරල දාන එක හරිද ප්‍රභාත්? ඔයා හොඳටම දන්නව මේ ලෝකෙ මට වෙන කෙනෙක් නෑ කියල. අනේ මට මෙහෙම කරන්න එපා ප්‍රභාත්”
හිත හදාගන්නවා යැයි මේ රැහැන් පට මුදා හරිනවායැයි කියා සිතුවද දෙයක් කිරීමට ඇති අපහසුතාවයන් අපට මතක් වන්නේ ඒ දේට මුහුණ දෙද්දීය. තමාට ප්‍රභාත්ව අමතක කර දමන්නට පහසු නොවන බව කැළුමිණී පසක් කරගත්තේ මේ වේදනාවෙනි. එහෙත් තනි අතකින් අත්පුඩි ගසන්නට නොහැකිය.
“මොන දේ අමතක කරත් ඔයා මට බොරුවක් කරා කියන එක මට අමතක කරන්න බෑ. මම ඔයාට සමාව දීල ආපහු මේ සම්බන්ධෙ පටන් ගත්තත් මට ඔයාව සැක නොකර ඉන්න බෑ. ඒ නිසා අපි මේ ගැන තව කතා නොකර ඉමු. අනික මට අමීශාව අමතක කරන්න බෑ. එයා වගේ ඇත්ත කතාකරන මනුස්සයෙක්ව මට අමතක කරල දාන්න බෑ කැළුමිණී ඔයා මාව දන්නවනෙ හොඳටම”
“මම අමීශාට කතා කරන්නම් ප්‍රභාත්. මම එයාට සොරි කියලත් කියන්න. ප්ලීස් අපි තව පාරක් මේ ගැන හිතමු”
ඒ වදන් කියන්නටත් පෙරාතුව එහාපසින් ඇසුණ බීප් බීප් නාදය කිව්වේ ඇමතුම විසන්ධි වූ බවකි. ඒ ප්‍රභාත් විසින් හිතාමතාම ඇමතුම විසන්දි කල නිසාවෙන්ද නොඑසේනම් නිතරම ඇති බීරුම් තත්ත්වය නිසාවෙන් ඇති වූවක්ද කියා නොදන්නා නමුත් කැළුමිණීට ඕන උනේ පළමු කාරණාව හේතුව කරගන්නටයි.
ඒ ඔස්සේ දැනටමත් බිඳුණ හිත රිද්දා ගන්නටයි. පලුදු කරගන්නටයි.
වේලෙන්නට සිතාවත් නොතිබුන තුවාලයට ඇඟිල්ලෙන් අනිමින් පාර පාරා රිදවාගන්නටයි.
උදෑසන හිරු එබිකම් කලේ එකම අහසක් යට එකම සඳ එලියක එක හිතක් ආදරයේ පලමු හී පහරිනුත්, එක් හිතක් විරහවේ දුක් ගංගාවකිනුත් තිගැස්සී, සසල වී නින්දත් නොනින්දත් අතර කාලය ගෙවද්දීය.
නිදි නොලබා පහන් කල රාත්‍රිය අවසන් වූයේ කුස්සිය දෙසින් ඇසෙන වලං පිඟන් ශබ්ද වන හඬිනි . නැන්දා උදෑසනම අවදි වී කෑම සකසන්නට පටන් ගෙන බව හැඟුණද කැළුමිණී උන්නේ ඇඳෙන් නැගිට ගන්නට පුලුවන්කමක නොවේ.
සිත තිබුනේ විඩාපත්වය. අනෙක් අතට නිදි නොලබා ගෙවූ රැක ගත අඩපණ කර තිබුණි. කඳුලින්ද සුසුමින්ද ගෙවී ගිය රාත්‍රිය අමතක කර, ඇඳට ගුලිවී සීතලේ නිදියන්නට තිබුණා නම් අපුරූ යැයි සිතුවද තනිවම ජීවිතයේ බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දුන් නැන්දාව කුස්සියේ තනි කරන්නට කැළුමිණීගේ සිතට ඉඩ දුන්නේ නැත.
ඇඳෙන් නැගිට ගත්තේ අපහසුවෙනි. දෙපා අද්දවමින් කුස්සිය දෙසට ඇවිද ගියේ අපහසුවෙනි.
පබෝධා උන්නේ මේ උදේ පාන්දර කැළුමිණීව දැකගන්නට බලාපොරොත්තුවෙන් නොවේ. රාත්‍රිය පුරා ප්‍රභාත් සමග කැළුමිණී කල කතා බහත්, ඉන්පසුව නින්ද යනතුරුම ඇසුණු ඉකිබිඳුම් හඬත් මැද උදෑසන හෝ ඇය සුවසේ නිදාගන්නට ඕනෑ යැයි සිතූ කිරි නොඑරුණ මවක් නොසිතූ මොහොතක දකින්නට ලද පියාපත් තෙමුණු තම දරුවා දැක මුව මත සහසක් මල් පුබුදුවා ගත්තීය.
“මං හිතුවෙ පුතා තාම නිදි කියල”
ඒ සිනා මල් වැස්සට යටින් වැගිරුණ වදන් වල තිබුනේ ආදරයයි. ලෙංගතුකමයි. එය බරක් ලෙස දැණුනත් මේ එවන් හැඟීමක්, බැඳීමක් තමන්ට උවමනාකර තිබුණු වග කැළුමිණී දැන උන්නාය.
“නැන්ද ඇහැරුන සද්දෙට ආවෙ මං. මොනවද හදන්නේ?”
“දවල්ටත් එක්කම බත් හදන්න කියල හිතුවෙ”
“එහෙම එපා. නැන්ද ඇවිත් දවල්ට කද්දි කෑම සීතල වෙලානෙ. දවල්ටත් එක්ක ගන්න බත් ටිකක් හදමු. ව්‍යංජන එකකුයි සම්බෝල ටිකකුයි එක්ක. මං දවල්ට උයන්නම් නැන්දෙ”
ඒ අලුත් බලාපොරොත්තුවක් යැයි පබෝධා වරදවා වටහාගත්තද කැළුමිණී උන්නේ සිතට වදදෙන හැඟුම් දහරාවන් මදකට හෝ අමතක කරනු පිණිස යමක් කිරීමේ බලාපොරොත්තුවෙනි.
“අනේ පුතේ මක්කටද කරදර වෙන්නේ. ඔය උදේට හදන එකක් මට දවල්ට කන්න බැරිය. මං ඉස්සරත් එහෙමනෙ කරේ”
“ඒ ඉස්සර මං උන්නෙ නැති නිසානෙ. දැන් එහෙම ඕන නෑ. නැන්දට ගිහින් වැඩට යන්න ලෑස්ති වෙන්න. මම සම්බෝලෙකුයි පරිප්පුයි හදන්නම්”
“පොල් නම් ගාලා තියෙන්නෙ. බත් එකත් ලිපේ” කියාගෙනම පබෝධා නික්ම ගියේ කැළුමිණීගේ දැඩි පෙරැත්තය මතමය. අනෙක් අතට එහෙම දෙයකින් හෝ කැළුමිණී සිත සදාගන්නවා නම් මොනතරම් අපූරුදැයි කියා පබෝධා නොසිතුවා නොවේ. මෙවන් කාල තමාද පසු කර තිබෙන වග අතිතය මතක පබෝධාට මතකය. තුරුණු වියේදි බොහෝ වැඩපල කරන්නට තමා උත්සුක වූයේත් ඒ විරහ වේදනාව අමතක කරලනු පිණිස බව පබෝධා නොදන්නවා නොවේ.
ඉතින් ඒ ඉඩ කැළුමිණීටත් ලැබිය යුතුම නොවේද?