හරි තීරණ

පාරමී ඉස්කෝලේ දෙමාපිය රැස්වීම ඉවර වෙලා කාර් එකට නැග්ගේ ඔලුව ගිණි අරගෙන. හිතේ කලබලය කොච්චරක්ද කියනවා නම්, කාර් එක පණ ගන්වගන්න සෑහෙන්නම වෙලා ගියා. පාරමී කාර් එක ධාවනය කලෙත් හෙමින්මයි. හිත ඒ තරමට කලබලයි. කෙලින්ම අම්මලාගේ ගෙදර නොගිහින් පාරමී ගෙදර ගියා. ඒ ගිහින් තමයි ධනුකට ඇමතුමක් දුන්නේ. 

පාරමී කලබල වෙලා ඉන්න බව වැටහුණු නිසත්, ඒක පුතා ගැන කාරණාවක් කීව නිසාත් ධනුක විනාඩියක් වත් ප්‍රමාද නොවී ඔෆිස් එකෙන් පිටත් වුණා. ඊළඟ දවස වෙනුවෙන් වැඩ ටික ඉතුරු කලා.

ධනුක කාර් එක මිදුලට දානකොට පාරමී කාර් එකේ දොර ළඟ. පාරමීට උඩින් ධනුක බැලුවේ පුතා කොහේද කියලා. ඒත් වෙනදා තමන් එනකොට එළියට දුවලා එන පුතා අද නෑවිදින් ඉන්නකොට නම් ධනුකටත් අමුත්තක් දැනුණා.

“කෝ… පාරා පුතා…”

“යංකෝ..”

පාරමී ධනුකව ඉස්සර කරගෙන ගේ ඇතුළටම ගියා. ඊට පස්සේ එහෙමම් සෙටියෙන් වාඩි වුණා.

“අනේ … අපිට මේ මොකක්ද වුණේ ධනූ…”

පාරමීට මහ හය්යෙන් ඇඬුණා. ධනුකට අගල් මුලක් තේරෙන්නේ නැතිව ගියා.  

“අද පේරන්ට්ස් මීටින් එකේදී ටීචර් ප්‍රසිද්ධියේම එහෙම කිව්වේ ධනූ.. මට හිතාගන්න බැරිව ගියා…. මට ඊට පස්සේ කීව දේවල් මතකත් නෑ… කොටින්ම මීටින් එක ඉවර වෙලා දමයන්ති අක්කා යමු කියනකල් මට ඒ සිහියක් තිබුනෙත් නෑ…”

පාරමී පෞද්ගලික ආයතනයක මානව සම්පත් කලමනාකාරවරියක්. ධනුක පෞද්ගලික ආයතනයට විධායක නිලධාරියෙක්. 

පාරමීගෙයි, ධනුකගෙයි එකම පුතා විසල් හත වසරේ ඉගෙන ගන්නේ. විසල් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, ක්‍රීඩාවට වගේම සංගීතේටත්  දක්ශයි.  ඒ නිසා ප්‍රාථමික පාසැලේ වගේම දැන් පාසැලේත් විසල් ජනප්‍රිය සහ කාර්‍යබහුල දරුවෙක්. 

ඉස්කෝලේ ඉවර වෙලා විසල් කෙලින්ම යන්නේ ආච්චිලාගේ ගෙදර. ඊට පස්සේ රෑ හතට විතර තමා පාරමී අම්මලාගේ ගෙදරින් විසල්වත් අරගෙන ගෙදර එන්නේ.  ධනුක එන්නෙ අට හමාරට වගේ. ඒ වෙනකොට පාරමී රෑ කෑම හදන ගමන්. නැත්නම් ධනුක ආවම දෙන්නා එක්කම කෑම හදනවා. 

විසල් ඒ වෙලාවේදී එක්කෝ ඉස්කෝලේ වැඩ කරනවා, එහෙම නැත්නම් කම්පියුටර් ගේම් සෙල්ලම් කරනවා. 

විසල්ගේ ඉස්කෝලේ විස්තර කතා කෙරෙන්නේ කෑම කන ගමන්. නවය හමාර දහය වෙනකොට විසල්ට නින්ද යනවා.

විසල් ගෑණු ළමයෙක්ට ලියුමක් දීලා.  ලියයුම දුන්නේ විසල් වුණාට ඒ ලියුම ඒ ගෑණු ළමයාට දෙන්න පන්තියේ පිරිමි ළමයි ඔක්කෝමලා උදව් කරලා.

කෝපි ගාලා පාට කවපු කොලේක, පැන්සලකින් ඒ ලියුම ලියලා තිබිලා තියෙන්නේ. ලියුම එක්ක වේලපු මල් පොකුරකුත් දීලලු. ඒ ගෑණු ළමයා ඒක විදුහල්පතිතුමා ට ගිහින් දීලා. ඒ විතරක් නෙවෙයි ගෙදර ගිහින් අම්මලාටත් කියලා. ඒ අම්මලා ඉස්කෝලේ ට ඇවිල්ලා විදුහල්පතිතුමා ට හොඳටම කෑ ගහලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අද දෙමාපිය රැස්වීම කැඳවලා තිබුණේ.

පාරමී ඉකි ගහ ගහ ඇඬුවත්, ධනුක කල්පනාවෙන් හිටියේ. ධනුක කල්පනා කරේ මේ මොහොතේ ඉඳන් ඉස්සරහට දේවල් ගලපගන්න විදිය.

ඉස්සෙල්ලාම ධනුක පාරමීට වතුර වීදුරුවක් ගෙනාවා. ඒක ඉවර වෙනකල්ම බොන්න කිව්වා. 

” ඔයා මං කියන එක හොඳට අහන්න ඕනි පාරා… මේ ගෙවෙන්නේ, ඔයාගෙයි , මගෙයි, පුතාගෙයි ජීවිත වල වටිනාම පැය භාගේ කියලා හිතන්න….

මං දන්නවා මේ ප්‍රශ්නේ ඔයාට දැන් මාරම පීඩනයක් .. එතැන ලැජ්ජාව, අසරණකම, ඩ්සපොයින්ට් වීම, ඔක්කොම ඔයාටයි විඳින්න උනේ… ඒත් පාරා, අපි මෙවෙලේ ඒ ලැජ්ජාව ඉස්සර කරග්න පුතාට වද දුන්නෝත් අපිට එයාව නැතිවෙනවා… අනිවාර්යයෙන් ඒක වෙනව.. ඒ නිසා අපි ඔය හැමදේම දරාගෙන පුතාගේ පැත්තෙන් හිටගන්න ඕනි…”

“මොකද්ද ඔයා කියන්නේ ??”

පාරමී සාරි පොටෙන් මූණම පිහිදන ගමන් ඇහුවා. පාරමි සන්සුන් වෙලා ඉන්න බව වැටහුම නිසා ධනුක තව පැහැදිලි කරන්න සූදානම් වුණා.

“ඔයා දැන් වෙනදා වගේ ගිහින් පුතාව එක්කන් එන්න… මම කෑම හදන්නම්.. අපි කාලා වෝර්කින් පාත් එක පැත්තේ යමු… ගිහින් කතා කරමූ…. 

ඔයා මුකුත් නොකියා ඉන්න.. මම පුතා එක්ක කතා කරන්නම්… අපි බලමු එයා මොකක්ද කියන්නේ කියලා ….”

“ඇයි දෙය්යනෙ පුතා එහෙම දෙයක් කලේ ?”

“මේව එහෙම අහලා විසඳෙන ප්‍රශ්න නෙවෙයි ….. මේ වයසට කොල්ලන්ගේ කෙල්ලන්ගේ සිතුවිලි වල ඉඳන්ම දේවල් වෙනස් වෙන බව අපි දන්නවනේ පාරා… ..එතකොට පොඩි පොඩි නැවුම් කිති හැදෙනවා .

විසල් ඉන්නේ තනියෙන්… අම්මලාගේ ගෙදර ඉඳන් කරන්නේම ගේම් ගහන එක…ඉන්ටර්නෙට් සර්ෆ් කරනෙක…. ගෙදර ආවා කියලත් එයාට වෙනසක් නෑ.. එයා තනියෙන් නෙහ්… අපි දෙන්නම මේ රේස් එකේ නෙහ්.. සමහරවිට අපිට ඒ නිසයි විසල්ගේ වෙනස පවා මිස් වෙන්න ඇත්තේ..

අපි එයාට සල්ලි දුන්නා ,පොත් පත් අරන් දුන්නා… කන්න බොන්න දුන්නා.. ඒත් අර සිතුවිලි වල වෙනස නිසා ඇතිවෙන ගැප් එක පිරෙන්නේ නෑ නේ …. ඉතින් එයා ඒක් පුරවගන්න ලේසිම විදිය තෝරගෙන…”

මානව සම්පත් කලමනාකාරණ අංශයේ සෑහෙන්නම අත්දැකීම් තිබුනත්, පාරමී දැන් ඉන්නේ ළඳැරියක් ගානට.වයස අවුරුදු හතලිහක් වුණත් දෙමාපියන් විදියට ගෙවන දොළොස්වෙනි අවුරුද්ද. පාරමීට වැටහෙනවා මේ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න තරමට නිරවුල් මනසක් තමන්ට නැති බව. 

ඒනිසා ධනුක කියන කියන පිළිවෙලට දේවල් කරන්න පාරමී තීරණය කරනවා.

තුන්දෙන ආයෙම එළියට යනකොට පාරමීටයි, දනුකටයි දෙන්නාටම විසල්ගෙ වෙනස තේරෙනවා. ධනුක කතාව පටන් ගන්නේ එතැබින්මයි.

පාරමී හිතුවට වඩ ඉක්මනට විසල්  කාරණා බෙදාහදා ගත්තා. ධනුක හරි ඉවසීමෙන් ඒ දේවල් අහගෙන හිටියා. සමහරවෙලාවට බාධා කරල විමසීම් කලා.

විසල් බුද්ධිමත් දරුවෙක්.  ඒත් සමහර හැඟීම්, ආවේග් පාලනය වෙන විදිය බුද්ධිය ට අහු වෙන්නේ නැහැ.

කොහොම හරි විසල්ගේ පාසැල් ගමන අඩාල වෙන්න් නොදී ප්‍රශ්නේ සමථයකට පත් කරගන්න පාරමීලාට පුලුවන් වුණා. විසල් යම් පසුබෑමකට ලක් වුනත් ධනුක නිතරම විසල්ගේ පස්සෙන් හිඳින ගමන් විසල්ව ඉදිරියට තල්ලු කරා. 

පාරමී පුලුවන් තරම් සති අන්තේ නිදහස් කරගත්තා. සතියේ දවස් වල කොයි තරම් කාර්‍යබහුල වුනත්, විසල් වෙනුවෙන් කාලය වෙන් කරගත්තා. 

විසල්ගේ යාලුවොන්ගේ අම්මලාවත් මුණ ගැහිලා කතා කරන්න පාරමි දවස් දෙක තුනා වෙන් කරගත්තා. 

කාලේ ගෙවුණා. විසල් ගේ ප්‍රේමවන්තිය මුණ ගැහිලා තිබුණා.

විසල් ඉස්සරවෙලාම පණිවිඩේ කිව්වේ අම්මට. 

“ඒ කවුද අහන්නකෝ…”

“කවුරු උනත් කමක් නෑ….”

පාරමී හිනා වුණා.

“ඒ අර හතේදි ලියුම ලීව එක්කෙනාමයි අම්මේ…  “

“මොකක් ?”

සාමාන්‍ය පෙළ අවසන්වෙලා ඒ ගැහැණු ළමයා විදෙස් ගත වුණා කියලා කියනකොට විසල්ගේ ඇස් වල කඳුළු පිරිලා තිබුණා පාරමීට මතකයි.

“ඔව් ඔව්ව්..”

විසල් හිනාවුණා.

“පුතේ…?”

“එයාමයි මට කතා කලේ අම්මේ… ඒලෙවල්ස් රිසල්ට්ස් ආව දවස්වල…. තවම ඉතින් මාස ගාණයි කතා කරන්න අරගෙන .. එයත් ඊයේ අම්මලට කියලා …ආන්ටිලා නම් කිව්වලු අම්මලා ට ඒගොල්ලෝ බැනපු හැටියට ඒ සිද්දිය වෙලාවෙ දැන් කොහොමද මඟුල් කතා කරන්න යන්නේ කියලා …. විහිළුවට කියලා තියෙන්නෙ…”

විසල්ගේ ඇස් දිලිසෙනවා. 

පාරමී ධනුක දිහාව බැලුවා. ධනුකත් හිනාවෙනවා ………..!!!

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles