පවතින රජය යටතේ අම්මා යළිත් ඇමතිවරියක ලෙස දිව්රුම් දුන්නා ය. දේශපාලන ලෝකය තුළ මොනවා කෙසේ සිදු වී ද අපේ ගේ ඇතුළේ පැවතියේ සන්සුන් සාමකාමී බවකි. නමුත් ඒ සාමකාමී බවට යටින් මොකක්දෝ ගුප්ත ඝෝෂාවක් මට ඇසිණ. කොරහේත් කිඹුලන් දකින්නට උත්සාහ නො කරන්නැයි මගේ ම හිතේ පැත්තක් මට කීවේ ය.
“බය වෙන්නැතුව ඉන්න. ස්ට්‍රෙස් වුණාම හැම දේම අවුල් වෙනව තිසූ. පැහැදිලිව දේවල් සිද්ද වෙන දිහා බලන් ඉමු. මේ නිශ්ශබ්දකම ඇතුළෙ මොකක් හරි වෙනසක් දැනෙන නිසා මාත් මේ දවස් වල බෝඩිමේ ඉන්නෑ. යාළුවෙක්ගෙ ගෙදර ඉන්නෙ”
විදුර පරිස්සම් ඇතිව සිටීම මට ඇති එක ම සැනසිල්ල විය. මේ දින වල ඔහු ගේ ආදරය මට වඩ වඩාත් දැනුණේ ය. සැබවින් මුල දී ඒ තරම් දොඩමළු පුද්ගලයෙකු නොවූ විදුර වරදත්ත වැඩියෙන් ම කතා කළේ මේ කෙටි කාලයේ දී ය.
“තව අවුරුදු දෙක තුනකින් මං අවුරුදු පණහක් ජීවත් වෙච්ච මිනිහෙක් වෙනව. ඒ ජීවිතේදී පිරිමියෙක් විදිහට මං සතුටෙන් ම හිටිය දවස් ටික හම්බුණේ ඔයා හම්බ වුණාට පස්සෙ. ඇත්තටම මං සතුටෙන් තිසූ. ගෑනු හිතක ආදරයක් කියන්නෙ මෙච්චර ගැඹුරු දෙයක් කියල මං හිතල තිබුන්නෑ. ඒක මහ අගාධයක් වගේ හැඟීමක්. ඇත්තටම දැන් මට ඒ අගාධෙන් ගොඩ එන්න ඕන නෑ. ආදරයක් මත්තෙ මිනිස්සු මැරිල තියෙන්නෙ ඇයි කියල දැං තමයි තේරෙන්නෙ. ඒ දවස්වල එහෙම කරපු උන්ට මං හිනා වුණා. වෙන කරන්න වැඩ නෑ වගේ ආදරයක් නිසා මැරෙනව කියල. ඒ වුණාට මේ ලෝකෙ අනිත් හැම දේටම වැඩිය වටිනම දේ තමයි ඒක. දැං මං ඒක විඳිනව. මට ඒක දැනෙනව. තිසූ මොන හේතුවක් නිසා හරි මගෙ ජීවිතේ ඉක්මනට කෙළවර වුණොත්…ඔයා දුක් වෙන්න එපා තේරුණාද…මං මැරෙන්න බය නෑ තිසූ. ඔයා වගේ ගෑනියෙක් වෙනුවෙන්…ඒ වගේ ආදරයක් වෙනුවෙන්…බයගුල්ලෙක් වගේ ජීවත් වෙන්නෙ නැතුව මැරෙන එක සනීපයි”
“අනේ ඔහොම දේවල් කියන්න එපා දෙයියනේ”
වචන ඉකියක් තුළ බිඳී නොයා තබා ගන්නට මම උත්සුක වීමි. ඔහු වීරයෙක් වගේ මැරෙන්නට සූදානම් ව හිඳිය දී මට අපේ ප්‍රේමය අස කඳුළක් ව දිය වී යා නො හැකි ය.
“තිසූ. වෙන්න බැරි දෙයක් නෑ. මේ දේවල් මං මැරුණ දවසක කියවන්න කියල ඔයාට ලියුමක ලියල තියන්න පුළුවන්. ඒත් මට ඕනෙ ඔයාටම කියන්න. ජීවිතේ කියන්නෙ හරි අමුතු දෙයක්. අවිනිශ්චිත දෙයක්. එහෙම ජීවිතේක සිද්ද වෙච්ච හොඳම දේ ඔයාව මුණගැහීමයි කියල මං ඔයාට කියන්නම ඕනෙ. මේ කතා කරන මොහොතෙ වුණත් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ වෙනකොටත් ඔයාගෙ අම්ම මං ගැන නොදන්න දෙයක් නැතුව ඇති. මට දැං අමුතුවෙන් රකින්න දෙයක් නෑ තිසූ. මං ඔයාට ඇත්තටම ආදරෙයි. ඔයා ඒක දන්නව. මං නැති ජීවිතේක වුණත් ඔයා ලස්සනට ඉන්න ඕනෙ. හිත හයිය කරගෙන හැම දේටම මූණ දෙන්න ඕනෙ. මං නැති වුණොත් ඒ දුක දරාගන්න ඔයාට අමාරුයි තමයි. ඒත් කොහොම හරි ඒක කරන්න ඕනෙ. ටික දවසක් ඔහේ යන්න ගියාවෙ. ඔයා හෙමිහිට හිත හදාගෙන ආයෙ කාට හරි ලං වෙන්න ඕනෙ. ඔයා තාම හුඟක් පොඩියි. ජීවිතේ තව ඉස්සරහට තියෙන්නෙ. මට දීපු ආදරේ තව කෙනෙකුට දීල…ඒ ආදරේ මැරෙන්න නොදී ජීවත් කරවන්න ඔයා මට පොරොන්දු වෙන්න ඕනෙ. ආදරේ එක මරණෙකින් ඉවර වෙන්නෑ තිසූ. ඔයාට තේරෙනව නේද…”
ඒවා අහගෙන ඉන්නා එක පහසු වූයේ නැත. මගේ පපුව පැලෙන්නට ආවේ ය. නමුත් ඔහු ට කිව යුතු ම වූ යමක් මට තිබිණ.
“මමයි වැරැද්ද කළේ. ආදරේ කියන්නෙ අයිති කර ගන්න එකම නෙවෙයි කියල දැන් මට තේරෙනව. මීට ටික කලකට කලින් ඒක තේරුං අරං ඔයාගෙං ඈත් වෙලා ඉඳං ඔයාව දැකලවත් නැති කාලෙ වගේම ආදරේ කළානං…ඔයා මෙහෙම අනතුරක නෙවෙයි”
“තිසූ තිසූ…ඒ පසුතැවීම නං තියාගන්න එපා. ඔයා නිසා නොවුණත් දවසක මං මුං අතින් ඉවර වෙන්න තිබුණ. ඒ කාලෙත් මං මැරෙන්න බය වුන්නෑ. ඒත්…”
විදුර ඒත් කියා කියන්නට ගිය දේ නො කියා හැරියේ ය. නමුත් මට ඒ නතර කළ දේ දැන ගන්නට ම ඕනෑ විය.
“ඒත් දැං මං ජීවත් වෙන්න ආසයි. ඒ කාලෙ වගේ මැරුණදෙං කියල හිතන්න හිත ඉඩ දෙන්නෑ”
ඔහු එය කීවේ සිනහවකිනි. නමුත් මට දැනුණේ විලාප තබා හඬන්නට තරම් දුකකි. අපට ජීවිතය දෙන්නැයි මම දෘශ්‍ය අදෘශ්‍ය සියලු බලවේගයන්ගෙන් ඉල්ලා සිටියෙමි.
තාත්තා ජීවත් වූයේ මේ මොහොතේ හා අතීතයේ ය. ඒ කිසි තැනෙක විදුර කියා කෙනෙකු සිටියේ නැත. නමුත් මම ඔහුත් එක්ක විදුර ගැන ම කියවීමි.
“අම්මගෙ කේන්ති නිවුණහම මං මේ ගැන කතා කරන්නංකො. අම්ම මහ හිතුවක්කාර ගෑනි. සද්ද කරන්න එපා. කලබල කරන්න එපා. පොඩි පුතා මූණ හෝදල පවුඩර් දාල පාඩං කරන්න ලෑස්ති වෙන්න. හොඳට පාඩං කරන්නැතුව විභාග පාස් වෙන්න බෑ. අම්ම වගේ පොලිටික්ස් වලට යන්න හිතන්න එපා. උං මේ රට කාල තියෙන්නෙ. හපයක් ඉතුරු කරල තියෙන්නෙ. ඉගෙනගෙන වෙන කොහේහරි රටකට යන්න ඕනෙ. ලොකු වුණාම මං හොඳ මහත්තුරු හොයල මගෙ කෙල්ලො දෙන්නව දෙනව. එතකොට මං නිදහස්…”
පොඩි ළමයෙක් වාගේ තාත්තා කියවූයේ ය. කොතැනින් පටන් ගත්ත ද ඔහු ගේ කතා නතර වූයේ අතීතයේ ය. වර්තමානයත් ආසන්න අතීතයත් තාත්තා ගේ ලෝකයෙන් මැකී යමින් තිබිණ. එහෙම වෙලාවට මට හිතෙන්නේ කෑ ගසා හඬන්නට ය. එය කෙතරම් අසරණ හැඟීමක් ද කියා එදා නො දැනුණ තරමට අද මට දැනේ.
අක්කා ගේ දික්කසාද නඩුව එහි අවසාන භාගයේ පැවතිණ. එය ඒ තරම් දිගට ඇදෙමින් තිබුණේ තමන්ට වූ අලාභය වෙනුවෙන් අක්කා වන්දි ඉල්ලා සිටි නිසාවෙනි.
“මාත් එක්ක හරි ඔයාට එළියට යන්න චාන්ස් එකක් හදාගන්න බෑනෙ”
අක්කා කිහිප වරක් එසේ කරන්නට උත්සාහ කොට අම්මා ගෙන් බැනුම් ද අසා ගත්තා ය. නමුත් විදුර අපේ ගෙදර පැමිණීමෙන් පස්සේ මම කුඩා හිතුවක්කාරකමකට හෝ මට ඉඩ නොදුන්නෙමි.
නමුත් එක අවාසනාවන්ත දිනෙක එය සිදු විය. එදා අහස අඳුරට හැරී තිබිණ. වහින්න අරෑඳුවාට උදේ සිට ම අහස මුරණ්ඩුකම් පෑවේ ය. මම මතු මහලේ ජනේලයක් අයිනේ තැබූ පුටුවක හිඳ ගෙන හඬනා හිතක් දරා ගෙන හඬන්නට අරාඳින අහස දෙස බලා සිටියෙමි. වැහිලිහිනි රංචුවක් ඉගිල ගියෝ ය. ඈතකින් මොනර විලාපයක් ඇසිණ. කොළඹ දිස්ත්‍රික්කය තුළ මොනරුන් සුලභ නොවී ද හුදෙකලා වූ කුරුල්ලෙකු දෙදෙනෙකු තැන් තැන් වල ගැවසෙමින් සිටියහ. මොනරා ගේ හඬ අශුභ නිමිත්තක් සේ ඇතැම් ප්‍රදේශ වල සලකන බව මට සිහි විය. තුන්බියෙන් මුසපත් මේ විසාලාවේ මොනර විලාප පමණකුදු නොව බට්ති මලිති කූජන ද ශුභ ආරංචි නම් ගෙන එන්නේ නැත.
අක්කා දිවැවිත් රූපවාහිනිය ක්‍රියාත්මක කළා ය.
“මෙන්න එම නිවේදනය නැවතත්. ප්‍රවීණ මාධ්‍යවේදී විදුර වරදත්ත මහතා අද අළුයම සිට අතුරුදන් ව තිබෙනවා. පෙර දා රාත්‍රියේ දී මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති සුහද හමුවක හිඳ සිය නවාතැන බලා යන අතරේ කිසියම් පිරිසක් විසින් එතුමාව පැහැර ගෙන ඇති බවයි ප්‍රකාශ වෙන්නේ. විදුර වරදත්ත මහතා ගේ මෝටර් රථය කිරුලපන ප්‍රදේශයේ තිබී හමු වී තිබෙනවා”
තව දුරටත් නිවේදකයා එම ප්‍රවෘත්තිය විස්තර කරන්නට වූව ද මට ඒවා පැහැදිලිව ඇසුණේ නැත. මා අවට ලෝකය භ්‍රමණය වෙන්නට ගති. මම පුටු අත් තද කොට අල්වා ගතිමි. අක්කා විත් මගේ හිස සිය සිරුරට හේත්තු කර ගන්නවා දැනිණ. මට මතක එපමණ ය. නැවත සිහි ලබනා විට මා සිටියේ මගේ කාමරයේ යහන මත ය. මට මත්තෙන් විදුලි පංකාව කැරකෙමින් තිබිණ. මුහුණේ තෙතමනයක් දැනුණේ ය. මුලින් සියල්ල ඝණ සුදු හිස්කමක් ව දැනිණ. විදුර සිහියට ආවේ හෙමිහිට ය. එසැනෙන් මම යහනෙන් බිමට පැන්නෙමි.
“නංගි”
අක්කා මා නවතා ගන්නට හැදුවා ය. නමුත් ඒ වෙලාවේ මට ආවේශ වී තිබි ශක්තිය කිසිදු බලවේගයකට නතර කළ නො හැකි එකකි. මම දුවගෙන ම පහළ මහළට ආවෙමි. අම්මා කොයි වෙලාවේ ගෙදර ආවාද කියා මා දන්නේ නැත. කෙසේ නමුත් ඇය මා ඉදිරියේ සිටගෙන සිටියේ පොඩි බබෙක් වාගේ ය. හයක් හතරක් නො දන්නා පොඩි බබෙක් වාගේ ය. මම හයියෙන් සිනහ වීමි. හඬ නගා සිනහ වීමි. අම්මාත් අක්කාත් බිය වී උනුන් ගේ මුහුණු බලා ගත්හ.
“තිසුරි…මොකද ළමයො මේ…”
ඒ කතා කළේ අර කමකට නැති දේශපාලන චරිතය නොවේ. ඊට වඩා තැති ගත් ස්ත්‍රියකි. ඇගේ ඇස් ලොකු වී තිබිණ. ඒවායේ වරදක් හංගා ගන්නට දරනා උත්සාහයක් මට පෙනිණ.
“කෝ විදුර…”
මම ඇගේ ඇස් දෙස කෙලින් බලා ගෙන ප්‍රශ්න කළෙමි. අම්මා ඒ ඇස් මගෙන් සඟවා ගැනීමේ උත්සාහයක් දැරුවා ද?
“මමත් බ්‍රේකිං නිවුස් එකක දැක්ක. විදුර වරදත්ත අතුරුදහන් වෙලා කියල”
“අතුරුදහන්….”
එසේ විමසමින් මම යළිත් මහ හඬින් සිනහ වෙන්නට ගතිමි. අක්කා මගේ අතකින් අල්වා ගෙන හැඬුම්බර ව අනේ නංගි යි කීවා ය.
“අතුරුදහන් කියන්නෙ අඟහරු ලෝකෙන් ඇවිත් එයාව එහෙට අරං ගියාද…ආ…කරුණාකරල එයාව ආපහු එවන්න අම්මෙ. මං දන්නව…මං දන්නව මේක ඔයාගෙ තක්කඩි වැඩක් කියල. මං දැනං හිටිය ඔයා සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්නෙ නිකංම නෙවෙයි කියල. සුනාමි එන්න කලින් මුහුදත් හරි සාන්ත වුණානෙ…නේද….නිකං බොරුවට රඟපාන්න හදන්නෙපා. මට ආපහු විදුරව දෙන්න. එහෙම නොවුණොත් මං මොනා කරයිද මේක කොහෙන් කෙලවර වෙයිද කියල මංවත් දන්නෑ අම්මේ…”
එය තර්ජනයකි. මගේ දබර ඇඟිල්ල අම්මා ගේ මූණ ඉදිරියේ හොලවන්නට තරමින් මම එඩිතර වෙමින් සිටියෙමි. අනිත් අතට සිහිසන් වෙමින් සිටියෙමි.
“මොනාද තිසුරි මේ කියන්නෙ…ඔල්මාදෙද…මං මොකටද එහෙම කරන්නෙ…මගෙ දුව ආදරේ කරන කෙනාට එහෙම කරන්න මට පිස්සු කියල හිතුවද…”
“රඟපාන්න හදනවද ඔයා…මේක බයිස්කෝප් මඩුවක් නෙවෙයි අම්මෙ. මට ආපහු විදුර ඕනෙ”
මම දත්මිටි කෑවෙමි. අම්මා ගැන ඒ තරම් ද්වේශී හැඟීමක් ඊට පෙර මට දැනී නැත්තේ ම ය.
“ළමයො. ඔය විකාරෙ නවත්තන්න. මේක දැනගත්තහම මාත් මේ ගෙදර දුවගෙන ආවෙ මොකද්ද කරන්න පුළුවන් කියල ඔයත් එක්ක කතා කරන්න”
“ශෝක්. හරි ශෝක්. ඕව ගිහිං කියන්න ඕගොල්ලොන්ට චන්දෙ දෙන බත් කන හරක්ට. මං ඔයාට කියන්නෙ මෙච්චරයි. පැය විසි හතරක් යන්න කලින් ඉන්න තැනකින් විදුර නිදහස් කරන්න. හැබැයි එයාගෙ ජීවිතේට කරදරයක් කරන්නනං හිතන්නවත් එපා. එහෙම කළොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහටයි මං පළි ගන්නෙ”
මගේ ඇස් වල ගින්දර තියෙන්නට ඇත. මගේ ස්වරයේ පළිදැරීමේ ආවේගයක් තිබෙන්නට ඇත.
“ඔයා ඕන විදිහකට හිතා ගන්න. හැබැයි මං එහෙම දෙයක් කළේ නෑ. ඔය විදුරට තර්ජන තිබුණෙ අද ඊයෙක නෙවේ. අන්තිමට ඔක්කොම කුණු මගෙ ඇඟට ඇවිත්නෙ දෙයියනේ”
කියා ගෙන අම්මා එතැනින් නික්ම ගියා ය. මම වහ වහා ගොස් මගේ රියට නැග ගතිමි.
“නංගි ඉන්න මාත් එන්නං”
කියමින් අක්කා විත් රියට ගොඩ වූවා ය. ගේට්ටුවේ ආරක්ෂක අංශය මා වැළකූයේ නැත. මම කැලණිය බලා රිය ධාවනය කරන්නට පටන් ගතිමි. ඔබ විශ්වාස කරන්න. මගේ ඇස් වල එක කඳුළක් හෝ වූයේ නැත.