මා හිස පිරිමැද 29

විදුර ගේ මව රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන තිබිණ. ඔහු ගේ සොයුරියන් තිදෙනා රෝහලට වී කඳුළු සලමින් සිටියහ. සැබවින් ඔවුන් කොහොම එක මත එක සිදු වන මේ තරම් ව්‍යසන පෙළකට මුහුණ දෙන්න ද? හැම ඇස් දෙකක ම වූයේ භීතියකි. ඔවුන් ගේ එක ම සොයුරා ව හොරු අරගෙන ගිහින් තිබේ. තාත්තා නැති වූ දා පටන් ඒ පවුලට තාත්තා වී තිබෙන්නේ විදුර ය. සොයුරියන් වෙනුවෙන් යුතුකම් ඉටු කොට තිබෙන්නේ ඔහු ය. ඔහු ගේ අතුරුදන් වීම මත දැන් අම්මා ගිලන් වී තිබේ. සොයුරා සේ ම අම්මා ද ඇස් පනාපිට අහිමි වී යනු ඇත ද යන බිය ඔවුන් ගේ මුහුණු වල තිබී මම කියවා ගතිමි.

“හාට් ඇටෑක් නිසා හුඟක් වෙලාවට ජීවිතේ නැති වෙනව නේද අක්කෙ…”

පොඩි නංගී මගේ උරහිස මත හඬමින් ඇසුවා ය.

“අනේ නෑ නංගි. එහෙම වෙන්නෙ නෑ. අම්ම සනීප වෙයි”

මම ඇගේ හිත සනසමින් කීවෙමි. නමුත් මගේ හිතේ ද දෙගිඩියාවක් නොවූවා ම නොවේ. 

“හාට් ඇටෑක් එකක් ආවත් සනීප වෙලා ආයෙ පුරුදු විදිහට ම හොඳට ජීවත් වෙන අය ඕන තරං ඉන්නව. බෙහෙත් බොන්න වෙනව ඉතිං. අම්ම විදුර එනකල් ඉන්න ඕන නංගි. එයා අල්ලං ඉඳී”

“මට අයියත් නැති වුණා. දැන් අම්මත් මෙහෙම…අනේ මං තනි වෙනව නේද අක්කෙ…”

“එහෙම හිතන්නෙපා. ඔයාගෙ අක්කල දෙන්න වගේම මාත් ඔයත් එක්ක ඉන්නව. විදුරවත් මොන විදිහට හරි මං හොයා ගන්නව නංගි. ඕගොල්ලො හිත් දුර්වල කරගන්නැතුව ඉන්න. අපිට එකතු වෙලයි හැම දේම කරන්න පුළුවන්”

“අම්ම හැම තිස්සෙම කිව්වෙ එයාගෙ මිනියට කර ගහන්න එක පුතයි ඉන්නෙ කියල. දැන් එයාට හිතෙනව ඇති ඒ පුතත් නැති වුණානෙ කියල. අපේ අම්ම පුදුම හිතේ හයියකින් හැම දේම දරා ගෙන හිටිය ගෑනියෙක් නංගි”

විදුර ගේ අක්කා ද කම්පිත ව දෙඩවූවා ය.

“අම්ම දැං ඒ දරා ගන්න සීමාව පහු කරල ඉන්නෙ. එයා අයියව බලා ගත්ත හැටියට…කොහොම දරා ගන්නද දෙයියනේ..”

අපි කවුරුත් හදවත් වලින් අන්තිම අඩියට ම වැටී සිටියෙමු. නමුත් එහෙමය කියා අප වෙනුවෙන් නැගී සිටින්නට වෙන කිසිවෙකු ඇත්තේ නැත. මම එය තරයේ විශ්වාස කරමින් ම විදුර ගේ සොයුරියන් ව ද දිරිමත් කළෙමි. එය හරියට නිදි කිරා වැටෙනා දැරියන් අවදියෙන් තබා ගන්නට අම්මා කෙනෙකු දරනා උත්සාහය වාගේ එකකි. නමුත් ගිලෙන්නට යන මිනිසුන් පිදුරු ගස් වලත් එල්ලෙනවා යි කතාවක් තිබේ. ඉතින් ඔවුන් ද මගේ දිරියෙහි එල්ලී ගෙන සිටින්නට තැත් කරන්නට ඇත.

අමමා ව දෙදිනක් ම දැඩි සත්කාර ඒකකයේ තබා ගෙන පසුව සාමාන්‍ය වාට්ටුවට දැමිණ. අපට සැනසුම් සුසුමක් හෙළන්නට හැකි වූයේ එවිට ය. ඉන් පසු ද දින කිහිපයක් රෝහල් ගත ව ඉන්නට ඇයට සිදු විය. එක පැත්තකින් විදුර ගේ අතුරුදන් වීම ගැන කිසිදු හෝඩුවාවක් නැතිව අඳුරු හෝරා ගෙවෙමින් තිබිය දී අම්මා වෙනුවෙන් තුන් වතාවක් රෝහලට දුවමින් ඇය වෙනුවෙන් කැප වෙමින් ඇප උපස්ථාන කරන්නට වීම පහසු දෙයක් නොවේ. විශේෂයෙන් ම මානසික වශයෙන් බිඳී සිටිනා මොහොතක එය අතිශය වෙහෙසකර අත්දැකීමකි. අක්කලා දෙන්නාත් නංගීත් මාරුවෙන් මාරුවට අම්මා ළඟ රෝහලෙහි නතර වූහ. මම ද ඔවුන් ට සහනයක් වනු පිණිස විටින් විට අම්මා බලා ගනිමින් රෝහලේ සිටියෙමි. 

විදුර සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවට පොලීසිය නිවේදන නිකුත් කරමින් සිටියේ ය. අම්මා බලන්නට රෝහලට ගොස් ඇවිත් අක්කලා හෝ නංගී සමග මම ද විදුර වෙනුවෙන් බෝධි පූජා තබන්නට කැළනියේ පන්සල් ගියෙමු. කොච්චිකඩේ පල්ලියට ගොස් බාරහාර වීමු. වැල්ලවත්තේ කෝවිල් ගොස් යාතිකා කළෙමු. හැම දෙවියන්ගෙන් ඔහු ඉල්ලා සිටියෙමු. ඔහු වෙනුවෙන් ඕනෑ ම දෙයක් පුද දෙන බවට පොරොන්දු වීමු. විදුර ගේ හඳහන බැලවීමු. සාස්තර අසන්නට ගියෙමු. අංජනම් එළි බැලුවෙමු. කවුරුන් හෝ හොඳයි කියනා ඕනෑ ම දෙයක් දෙවරක් නො සිතා කළෙමු. ඔහු එන තුරු දිවා රෑ නො බලා නිදි වරමින් පෙරමග බලා සිටියෙමු. දින කිහිපයකින් අම්මා ගෙදර ගෙන එන්නට හැකි විය. නමුත් ඇය විවේක ගත යුතු බව වෛද්‍ය උපදෙස වූයේ ය. ඒ දින ගණනාව පුරා ගෙදර බතක් පිසුනේ නැත. උයන්නට හෝ කන්නට කිසිවෙකුට උවමනාවක් තිබුණේ නැත. කෑම බීම සැපයුනේ අසල්වැසි නිවෙස් වලින් හෝ ඥාතීන්ගෙනි. බොහෝ විට ඒවා ද නොකා මේස මත වියළී යමින් තිබිණ. 

දවස් අලස විය. විඩාබර විය. අඳුරු විය. බලාපොරොත්තුවක ආලෝක පුංජයක් හෝ පෙනෙන තෙක්මානයක වූයේ නැත. සුසුම් වලින් ගෙදර පිරී තිබිණ. අම්මා ඉකි ලන හඬ විටින් විට උස් ව නැගුණේ ය. හදවත් වලින් හඬනා හඬවල් ඇසුණේ නැත ද පෙනිණ. දැනිණ. මරණයක් සිදු වී නැත ද හැම හදවතක ම වූයේ එහෙව් සංකා තත්වයකි. කම්මුල් වල වියළී ගිය කඳුළු පැල්ලම් තිබිණ. ඇස් කෙවෙනි වල රතු පාටක් පැතිරී තිබිණි. නමුත් හැකි තාක් අන්‍යයන් ට පෙනෙන්නට නො හඬා හිඳීමේ නිහඬ කොන්දේසියකට උනුන් එළඹ තිබුණා සේ ය.

මා විදුර ගේ අම්මා ළඟ රෝහලේ නතර වූ දින වල අපේ අම්මා විරෝධය පෑවා ය.

“මොන එහෙකටද එහෙම දේවල් කරන්න යන්නෙ…ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ඒගොල්ලො බලා ගනී. ඔයා ඕනවට වැඩි වෙන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න”

ඇය උත්සාහ කළේ වෙනදා වාගේ වචන වලින් මා බියපත් කොට හෝ කීකරු කොට හෝ ගෙයි තබා ගන්නට ය. නමුත් විදුර ගේ අතුරුදන් වීමත් එක්ක අම්මා කෙරේ මම වඩ වඩාත් මුරණ්ඩු ලෙස හැසිරෙන්නට ගතිමි. ඇය එපා කියනා දේ කිරීමෙන් පොඩි ළමයෙකු වාගේ වියරු සතුටක් ලැබුවෙමි. 

“ඔයා කොහොමද අම්මෙ මට එහෙම කියන්නෙ…ඔයා කිව්වයි කියල ඇයි මං එහෙම කරන්නෙ…”

“තිසුරි. පණ්ඩිත වෙන්න එපා. ඔයා තාම බැඳල නෑනෙ. විදුර කියන්නෙ ඔයාගෙ හිටපු බෝයි ෆ්‍රෙන්ඩ් විතරයි. ඒ ගෙදර මිනිස්සු එක්ක ඔයා ඔච්චර සම්බන්ධකං පවත්තන්න යන්න ඕන නෑනෙ”

“හොස්පිට්ල් ඇඩ්මිට් කරල තියෙන්නෙ විදුරගෙ අම්ම. එයාට හදිස්සියෙ හාට් ඇටෑක් එකක් ආවෙ විදුරව කිඩ්නැප් කරල නිසා. එයාට එහෙම වුණේ මට ආදරේ කරපු නිසා. මගෙ අම්ම වජිරපාණී වික්‍රමබාහු නිසා. ඉතිං මේ වෙලාවෙ මට විදුරගෙ පවුලෙ අය තනි කරන්න බෑ. විදුර වෙනුවෙන් ඒ අම්ම ගැන බලන එක මගෙ යුතුකමක් නෙවෙයි අම්මෙ මගෙ වගකීම. අම්ම විතරක් නෙවෙයි තාම බැඳල නැති එයාගෙ නංගි බලා ගන්න එකත් දැන් මගෙ වගකීමක්. විදුරව හොයා ගන්නකල් මං ඒගොල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරන එක නතර කරන්න ඔයාට බෑ”

“හැබැයි රෑ තිස්සෙ ඔය ගුබ්බෑයං අස්සෙ රිංගල ඉන්න තියාගන්න එපා”

“මොකද්ද අම්මෙ රෑ දවල් කියල තියන වෙනස. ඉස්සර අපි බය වුණේ ගෝනිබිල්ලො එන්නෙ රෑට කියල. දැං මහ දවාලෙත් උන් එනවනෙ. ගස් ගල් වගේ ඉන්න මිනිස්සු රෑ දවල් නැතුව අතුරුදහන් වෙනවනෙ”

“පිස්සු හැදිලද ළමයො. ඔය විකාර නවත්තනව දැන්වත්. වෙච්ච් දේ වුණා. කවුරු කළත් විදුර එයි කියල නිකං බොරුවට බලං ඉන්න එපා. ඒ මිනිස්සුන්ට ඒ දේවල් බලා ගන්න ඇරල ඔයා ගෙදරට වෙලා ඉන්නව”

“මාව ගෙයි තියා ගන්න දැන් ඉතින් ඔයාට බෑ අම්මෙ. විදුර එනකල් මං ඉන්නෙ එහෙ. මං එහෙ යන එක නතර කරන්නත් ඔයාට බෑ. හරි ඔයා නතර කරන්නකො මොකද වෙන්නෙ බලන්න. ආයෙ ආයෙත් මං ඔයාට කියනව අම්මෙ. මහ පාපකර්මයකට අත ගහන්නෙ නැතුව විදුරව එවන්න. එයාව එව්වොත් මේ ගැන ආයෙ වචනයක් කතා කරන්නෑ කියල මං ඔයාට පොරොන්දු වෙනව. හැබැයි එහෙම නොවුණොත්…ඔයාට හුඟක් කරදර වෙන්න වෙයි. මං නඩු දානව. මං මගෙ අම්මට විරුද්දව නඩු කියනව විදුරගෙ අතුරුදහන් වීමට ඔයා සැකයි කියල. ඕගොල්ලොන්ගෙ පොලිටිකල් පවර්ස් යොදෝල නීතියත් අතට ගන්න හැදුවොත් මං හියුමන් රයිට්ස් වලට යනව විදුර වෙනුවෙන් කම්ප්ලේන් කරන්න. අපි පන්සල් පල්ලි දේවාල කෝවිල් ගානෙ ගියා අම්මෙ. බාර වුණා පූජා කළා යාඥා කළා ඒ ඔක්කොම කළා. හැබැයි ඊළඟට මං යන්නෙ සීනිගම දේවාලෙ. විදුරට මෙහෙම කරපු ඕන කෙනෙක් ඇ ඹ රි ල යන්න කියල මිරිස් අඹරනව. මාව බඩේ තියං ඉඳල වදපු හදපු අම්මට එහෙම කරන්න තාමත් හිත හදා ගන්න බැරුව ඉන්නෙ. එහෙම කරන තැනට මාව තල්ලු කරන්න එපා අම්මෙ. මං මේ තවත් ඔයාට කල් දෙනව. හැබැයි විදුර එන දවස පරක්කු කරන්න කරන්න ඔයා මාව එතනට තල්ලු කරනව”

ඒ හැම තත්පරයක ම තැවරී තිබුණේ උණුහුම ය. ගින්දර ය. කඳුළු ය. බලාපොරොත්තු ය. හොඳින් හෝ නො හොඳින් අම්මා ගෙන් විදුර ලබා ගැනීමේ මානුශීය මෙහෙයුමක් මම තනිව දියත් කරමින් සිටියෙමි. ඒ ගමන් ම විදුර ගේ අම්මා ගේ හිත හැදීමේ මෙහෙයුමක නිරත වීමි. මගේ වයසේ ගෑනු ළමයෙකුට මෙය පහසු අත්දැකීමක් වූවා නොවේ. එය අතිශය සංකීර්ණ හා වෙහෙසකර අත්දැකීමක් විය. ඒ මුළු කාලය පුරා සුව පහසුවට මා නිදි ලබා නැත. ඉතා කෙටි නින්දකට වැටුණේ වී නම් ඒ පුටුවක් උඩ හෝ නැගිටින්නට බලා ගෙන ඇඳක් මත අඩමානයට ය. නමුත් විදුර ගේ මව කෑවාද වෙලාවට බෙහෙත් බීවා ද යන්න කොතැනක සිටියත්  සොයා විමසා බලා තහවුරු කොට ගතිමි. මට වගකීමක් තිබිණි. විදුර ට අම්මා ව යහතින් සුවෙන් බාර දීමේ වගකීමක් තිබිණ.

නමුත් විදුර යළි පැමිණෙන්නට නියමිත ද? 

රෑ දවල් නැතිව මගේ හිත මගෙන් විමසූ පැනය එයයි. කවුරුන් හෝ ඇසුවා නම් “නෑ එයා එනවමයි” කියා කියන්නට තරම් මම සුභවාදී හා නිර්භීත වීමි. නමුත් මගේ ම හිත මගෙන් ඒ පැනය විමසා සිටියදී අවංකව මට ඒ පිළිතුර දෙන්නට හැකි වී ද?

දේශපාලනය හා සම්බන්ධ වූ පවුලක දියණිය ලෙස සැබවින් එහෙම හිතීම මා විසින් මා රවටා ගැනීමක් පමණක් විය. මේ ජරාජීර්ණ දේශපාලනයේ නිරුවත කුඩා කල පටන් ම මා දැක තිබූ බැවිනි. මගේ පප්පා ද පසුව මගේ අම්මා ද බලය අතට ගෙන කළ නින්දිත නිහීන වැඩ ගැන යම් තරමකට හෝ මා දැනුම්වත් වී සිටි බැවිනි. ඔවුන්ට මිනිස් ජීවිතයක් හෝ වීදි සුනකයෙකු ගේ ජීවිතයක් අතරේ වෙනසක් තිබුණේ නැත. ඒ ජීවිත වල වටිනාකම එක වෙඩි උණ්ඩයකින් තීරණය කිරීමේ සූත්‍රය ඔවුහු දැන සිටියහ. නො එසේ වී නම් ජනතාවගේ ඇස් වසා ඊටත් වඩා නූල් සූස්තර දමනා සැටි ගැන ද ඔවුහු විශේෂඥයෝ වූහ. එහෙම සිතත්දී මගේ බඩ පපුව දැවී පිච්චී අළු වී යයි. ආයේ කිසි දවසක මට විදුර දැක ගත නො හැකි වනු ඇත් ද? මා මොන තරම් ඔහු ට යුක්තිය ඉටු කර ගැනීමට දැඟලූව ද මේ වන විටත් ඒ පාප බලකාය ඔහු ගේ හුස්ම උදුරා ගෙන තිබෙනු විය නො හැකි ද? ඔහු නැති ලෝකයක කවුරුන් වෙනුවෙන් මම යුක්තියක් සොයා යන්නෙම් ද?

“මේ ජරා දේශපාලනේ එක්ක හැප්පෙන්න පුතාට බෑ පුතේ”

මේ කියන දේ මේ අමතක වී ද තාත්තා දේශපාලනය ගැන සවිඥානක ව සිටියේ ය. ඊට හේතුව එය ඔහු ගේ ජීවිතය හා බද්ධ වී කාලයක් තිස්සේ පැවති විෂයක් වීම වන්නට ඇත.

“අනේ ඒත් මට විදුරව හොයා ගන්න ඕනෙ තාත්තෙ”

තාත්තා මඳ සිනහ පෑවේ ය. මා කීව ඔහුට දැනුණේ නැති වූ සෙල්ලම් බෝනික්කෙකු ගැන  දුක කියවූ අතීතයේ උන් දැරිය කීවක් සේ ද? 

“මං ඔය විදුර කියන හාදයව දන්නෑනෙ. පොඩි දුව මට කලින් පෙන්නුවෙ නෑනෙ”

තාත්තා එහෙම කියත්දී මා කොයි තරම් අසරණ කුරු කුහුඹු ජීවියෙකු ද කියා සිතී මට හැඬුම් ආවේ ය. මම තාත්තා බදා ගතිමි. මට දැන් තාත්තාත් නැති තරම ය. විදුර ද නැත. තාත්තාට විදුර ගැන මතකයක් හෝ වී නම් අඩු තරමින් මට ඔහුත් එක්ක දුක කියා හඬන්නට තිබිණ. තාත්තා නිරෝගී ව සිටියා නම් මේ වෙලාවේ මා තනි කරන්නේ නැත. මාත් එක්ක පොලීසි උසාවි ගානේ ගිහින් පැමිණිලි කරන්නට ද ඔහු ගැන වැඩි විස්තර සොයා බලන්නට ද ඔහු පෙරමුණ ගනු ඇත. හැම අතින් ම මා අසරණ වී තිබේ. මා දෙපසින් උන් මගේ වීරයන් දෙදෙනා ම, පිරිමි ශක්තීන් දෙක ම මගෙන් දුරස් වී තිබේ. 

ඉතින් දැන් මා කාගෙන් ය කියා විශ්වසනීය හැඟීමකින් යුතු ව මගේ විදුර ව ඉල්ලා සිටින්න ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles