දෙහිතක කතාවක් 26

“ඔයා කෝල් කරලා තිබුනා ඊයෙ රෑ. අනේ සොරි අනේ එතන සද්දෙට මට ඇහුනෙ නෑ. දන්නවනෙ ඉතින් HQ එකේ ෆ්‍රයිඩේ නයිට් එකක් කියන්නෙ මාරම සද්දෙනෙ”

අමීෂා එසේ කියුවේ උදෑසන ප්‍රමාද වී අවදිවුණ ප්‍රභාත් නිදි ගැට කඩමින් ඇඳ මත හිඳ ගනිද්දීය.

ඊයේ රාත්‍රියේ අමීශා හොඳින් විනෝද වී ඇති බවත්, නිදිමරා ඇති බවත් තවමත් නිදිමත බේරෙන ඇයගේ දෙනෙතින් මොනවට පෙනේ. හිතට දැනෙන්නේ පුදුමාකාර අන්දමේ තෝන්තු ගතියකි. කිසිවක් කිරීමට තබා ඇඳෙන් නැගිටින්නටවත් උවමනාවක් හෝ හැකියාවක් නොමැති පරිද්දෙන් හිතත් ගතත් අඩපණ වී ඇති බවක් දැනේ.

“මම ඊයෙ එද්දි රෑ උනා. හොඳ වෙලාට කී එකක් තිබුනේ. ඔයාට කතා කරාට ඇහුනෙ නෑනෙ. ඊයෙ නම් මාරම ෆන් අනේ. අහ් ලබන මාසෙ අපිට වෙඩින් එකක් තියෙනවා. අමෝ බඳිනව. ඔයා ගැන මම අමෝට කියලනෙ තියෙන්නෙ ඕල්‍ රෙඩි. එයා කිව්ව ඔයාටත් එන්න කියන්න කියල වෙඩින් එකට”

අමීෂාගේ කෙලවරක් නැති කතා වම් කණින් ඇතුලු වී දකුනු කණින් පිට වෙද්දීත් ප්‍රභාත් උන්නේ ඊයේ කැළුමිණි විසින් සිත මත තබන ලද මහාමේරුව තරම් විශාල ප්‍රශ්නය ගැන සිතමිනි. එයට තමා වීසින් දුන් පිලිතුර ගැන සැකයක්, අවිශ්වාසයක් නැති උනත් සිතට මෙතරම් නොසංසුන් බවක් දැනෙන්නේ ඇයි ද කියා සිතාගන්නට නොහැක.

“අද මොනවහරි ඕඩර් කරල ගමුද?

ඔයා මොනවද කන්න කැමති? මට නම් කන්නත් කම්මැලි”

අමීෂා නිදි ඇඳේ සිටම දුරකතනය අතට ගෙන ඌබර් ඊටස් යෙදවුම පිරික්සමිනි.

සෙනසුරාදා දිනයක උදේම නැගිටිද්දී කැළුමිනී විසින් සකසා තිබෙන උණු උණු ආහාර වේල සිහියට ආවේ නැතැයි කියන්නට න්හැක. එහෙත් තමාව රැවටූ ගැහැණියක ගැන සිතීම පවා මහත් පවක් ලෙස සැලකූ ප්‍රභාත් ඒ සිතුවිල්ල සිතෙන් ඉවත විසි කරේය.

“අමීෂා”

මේ වේදනාව, කනස්සල්ල, නොසංසුන් බව අමීෂා සමග බෙදා ගන්නට තිබුණා නම් අපූරුය යන වග ප්‍රභාත්ට නොසිතුනා නොවේ. එහෙත් අමීෂා “හ්ම්” කියා එයට පිලිතුරු දුන්නා මිසක උනන්දුවකින් තමා දෙස බැලූ බවවත්, තමා කියූ දෙය ඇසුණු බවක්වත් ප්‍රභාත්ට සිතුනේ නැත.

සිත අභ්‍යන්තරයේ වූ නොසංසුන් බව ඉරා දමමින් එලියට පනින්නට තනන කෝපය ඉවසිල්ලෙන් දරාගනිමින් ප්‍රභාත් නැවත වරක් අමීෂා ඇමතුවේය.

“ඔව් කියන්න”

“අමීෂා මට ඊයෙ කැළුමිණී කෝල් කරා. මම ඒකයි ඔයාට කතා කරේ ඊයෙ රෑ. ඒ වෙලාවෙ ඔයාට කතාකරන්න තිබුනනම් හොඳයි කියල ඇත්තටම මට හිතිච්ච හන්දා”

වචන ගැටගැසුනේත් ඒව මුවින් එලියට නික්මුණේත් ආයාසයෙනි. ඒ වදන්වල තමාගේ අතීතයේ අඳුරු මං සලකුනු තැවරි ඇති බව ප්‍රභාත්ට නොදැනුනා නොවේ. බය තිබුනේ ඒ දරුවා තමාගේ බව තේරුම් ගෙන අමීෂා විසින් තමාව අත හැර දාවිය යන කරුණ ගැනය. 

අමිෂා ප්‍රභාත් දෙස බලා උන්නේ කුතුහලයෙනි. දුරකතනය ඇඳ මත තබා ඇය හිස පිටුපසින් අත් දෙක තබාගෙන කොට්ටය මත හරිබරි ගැහුනේ ප්‍රභාත් විසින් කියන්නට නියමිත දේ අසනු පිණිසය.

“ඔව් කියන්න”

“කැළුමිණී…”

“කැළුමිණි එයා ප්‍රෙග්නන්ට් ලු”

ප්‍රභාත් ඒ වචන කියුවේ ආයාසයෙනි. අමීෂා කෑ ගසාගෙන ඇඟට කඩා පනීවි යන බියෙනි.අමීෂා තමාව අතහැර යාය යන බියෙනි.

“ඒ දරුවා ඔයාගෙද?”

කලබලයක සේයාවක්වත් නොමැතිව කෙටි නිහැඬියාවකින් පසුව අමීෂා ඒ බව ඇසුවේද හරිබරි ගැහුණු ඉරියව්වෙන්ම කොට්ටය මත හිස තබාගෙන හිසට ඉහලින් කැරකෙන පංකාවේ චලිතය දෙස බලාගෙනය. 

“ඔව්”

“ඔයා ඒක දැනගෙනමද එයාව ඩිවෝස් කරන්න ගියේ?’

“මම දැනගෙන ඉඳියෙ නෑ එයා ප්‍රෙග්නන්ට් කියල, අනික අර කතාව දැනගත්තයින් පස්සෙ මම කිසිම වෙලාවක කිසිම විදියකින් එයා එක්ක රිලේශන්ශිප් එකක් තියාගන්න ගියේ නෑ. ඒ උනාට ඒ ප්‍රශ්නෙ නිසා මම බීල ඉඳපු වෙලාවල් කීපයකදිම දන්නෙම නැතුව එහෙම දෙයක් වෙලා.

මගෙ ඔලුව අවුල් වෙලා වගේ.මට තේරෙන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕන කියල”

එසේ කියමින් ආයෙම කොට්ටය මතට වැටුණු ප්‍රභාත් ඉර එලිය වැටුන කාමරයේ ආලෝකය මග හරවා ගන්නට මෙන් දෙනෙත් මට අත තබා ගත්තේය. විදුලි පංකාවේ හඬ පමනක් කාමරයේ නිහඬ බව බිඳිද්දී ප්‍රභාත් උන්නේ කල්පනා ලෝකයේ රැහැන් අතර සිරවීය.

“කැළුමිණී ඩිවෝස් එකකට නොයා ආයෙ සෙට්ල් වෙමු කියල කියනවද දරුවා නිසා?”

ඒ නිහඬතාවය බිඳ දැමුවේ අමීෂා ය.එයටදෙන පිළිතුර මේ සබඳතාවයේ අනාගතය තීරණය කරන්නක් බව දැන උන්නද ප්‍රභාත්ට ඒ ප්‍රශ්නය හමුවේ නිහඬව ඉන්නට හැකියාවක් තිබුනේ නැත. 

“එයා ඇහුවා සෙට්ල් වෙන්න පුලුවන්ද කියල ළමයා ගැන හිතල”

“ඔයා මොකද කිව්වේ?”

“මම කිව්වා කීයටවත් මට ඒක කරන්න බෑ කියල. ළමය නෙවෙයි වෙන කිසිම කෙනෙක් නිසා මට ඒක කරන්න බෑ. මට අමතක කරන්න බෑ කැළුමිනී මට ලොකු බොරුවක් කල බව. අනික එයා දරුවෙක් හදාගන්න ඇත්තෙත් එයා මොන වරද කරත් මම එයාව ඒ දරුව නිසා දාලා යන එකක් නෑ කියල හිතල වෙන්නැති.

ඒකත් එයාගෙ ප්ලෑන්වල කොටසක් කියලමයි මට හිතෙන්නෙ. නැත්තම් එයාම කරපු දේකට මම බීල ගෙදර එද්දි එයා ප්ලෑන් කරල මාත් එක්ක එකට ඉන්න ඕන නෑනෙ.

ඒව කල්පනා වෙද්දි මට එයාගෙ මූනවත් බලන්න හිතෙන්නෙ නෑ”

ප්‍රභාත් තමාගේ සිත දවාලමින් තිබූ ඒ වේදනා ප්‍රවාහය එසේ මුදා හැරියාය. ප්‍රශ්නයක් ලෙස ඒ දරුවාත් කැළුමිනී අතරත් තිබෙන බන්ධනය දුටුවාට එයටත් වඩා තම සිත කලබල කරන්නේත් නොසංසුන් කරන්නේත් අමීෂා සහ තමා අතර තිබෙන නමක් නොමැති බැඳීම බව ප්‍රභාත් තේරුම්ගනිමින් උන්නේය.

“ඔයා මොන හේතුව මතවත් එයාව ඩිවෝස් කරනවා කියන තීරණය වෙනස් කරන්නෙ නැත්තම් ඔයාට හිත කරදර කරගන්න මෙතන ප්‍රශ්නයක් නෑනෙ ප්‍රභාත්.

ඔයා කැළුමිනීට එක්ස්ප්ලේන් කරල දෙන්න ඔයා ඩිවෝස් එක කොහොමත් ගන්නවා. ඔයා ඕන නම් නඩත්තු වගේ ගෙවන්නම් කියලා. එයාත් අර්න් කරනවා නේද? ඉතින් ඉශූ එකක් නෑනෙ”

ඒ ප්‍රභාත්ගේ අමීෂාගේ මුවෙන් අසන්නට බලාපොරොත්තු වූ වදන් පෙලක් නොවේ. එහෙත් අමීෂා මුල සිටම වෙනස් ආකාරයකට හිතන පතන අයෙකු බව දැන ගෙන හිඳීම මෙවෙලේ සිතට ඇතුලු වූ විමතියේ ප්‍රමානය මදක් හෝ අඩු කරගන්නට උදව්වක් විය.

“ඔයාට ප්‍රශ්නයක් නැද්ද කැළුමිනීට මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නව කියන එක?”

ප්‍රභාත් එසේ ඇසුවේ ඒ විමතියේ ශේෂ වූ හැඟීමන් සිත මත ඇති කල කුතුහලයක් ගැනය.

“මට ඒක ගැන වොරි වෙන්න දෙයක් නෑ ඕර් හිතන්න දෙයක් නැනෙ ප්‍රභාත්. ඔයාගෙන් එයාට ලමයෙක් ලැබෙන්න ඉඳපු එකවත් ඔයාලා දෙන්න ඩිවෝස් වෙන්න යන එකවත් අපි අතරෙ තියෙන රිලේශන්ශිප් එක බ්‍රේක් කරගන්න හේතුවක් විදියට මම දකින්නෙ නෑ.

අනික ඔයාට දැන් උනත් හිතෙනවනම් දරුවා වෙනුවෙන් හරි ආයෙම කැළුමිනී එක්ක සෙට්ල් වෙන්න ඕන කියල මම ඔයාට ඒකට එපා කියන්නෙත් නෑ. හැබැයි කරන දෙයක් මට කියල කරන්න”

එසේ කියූ අමීෂා දෙනෙත් පිගාගෙන අනෙක් පසට හැරවුණද ඇය විසින් කියූ කාරනා ඔස්සේ සිතන්නට බොහෝ දේවලුත් ඒ ඔස්සේ අසන්නට එකම එක පැනයකුත් ප්‍රභාත්ට තිබුණි.

“ඔයා එච්චර සරලව මේ දේවල් දිහා බලන්නේ ඔයාට මාව ඕන නැද්ද?”

එහෙත් ඒ ප්‍රශ්නය සිත අස්සේ අඳුරු පතුලක සිරවුනා මිසක වදන් මත තැවරී මුවග රැඳුනේ නැත. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles