නම නොදන්න කඳු පන්ති 06

ස්ත්‍රිය වර්ණනා කරන හැටි නම් අපි සාහිත්‍ය ලෝකය පුරාවටම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ කොයිම වෙලාවකවත් පුරුෂයා වර්ණනා කරන හැටි අපි දැකලා නැහැ.ගීත සාහිත්‍යයේදී උනත් ස්ත්‍රියගේ වර්ණනා අපි දැකලා තියෙනවා.පුරුෂ වර්ණනාව පිළිබඳව කියැවෙන එකම ලාංකීය ගීතය සීත හිමගිරි හිමව් අරණේ ගීතය විතරයි.
හැබැයි ඉතින් චක්ක වරංගිත රත්ත සුපාදෝ අමතක කරන්නත් බැහැ.නරසිහ ගාථා වලින් කියන්නෙත් බුදු හිමිගේ රූප සෝභාව ගැන.

නල කුමාරයා රත්තරන් පාට හංසයෙක් දැකලා ඒ හංසයට දුන්නෙන් විඳින්න යනකොට හංසයා ජීවිත දානය ඉල්ලුවලු.

කුමාරයාණෙනි ඔබවහන්සේ මට ජීවිතය දෙනවා නම් රූපය කියා නිම කරන්නට බැරි සුන්දර කාන්තාවක් වන දමයන්ති කුමරියව ඔබවහන්සේට මුණගස්වන්නම් කියලා හංස රාජයා පොරොන්දු වුණාලු.

ඉතින් මේ ධමයන්ති කුමාරියට නල කුමාරයා ගැන හංසයා ගිහිල්ලා කරන වර්ණනාව තමයි
ගීත සාහිත්‍යයේ එකම පුරුෂ වර්ණනාව හැටියට ගන්නේ.

තවත් පුංචි වෙලාවක් අරගෙන මම  ගීතයේ පුංචි හිත් ගත්  අවස්ථාවක් කියන්නම්..
දැන් මේ හංසයා ගිහිල්ලා  දමයන්තියට මේ අසහාය යුග පුරුෂයා ගැන වර්ණනා කරනවා.
ඒ කාලේ රජ මාළිගා සිටු මාලිගාවල සඳළුතලය නිර්මාණය කරලා තිබුණේ චන්ද්‍රකාන්ති පාෂාණ වලින් .  ඒ කියන්නේ දැන් අපි ටයිල් අල්ලනවා වගේ ඒ කාලේ මේ මාලිගාවල්වල සඳළුතල වල බිමට අල්ලලා තිබුණේ චන්ද්‍රකාන්ති පාෂාණය.චන්ද්‍රකාන්ති පාෂාණ වල තියෙන විශේෂත්වය තමයි හඳ පායන රාත්‍රියක හඳ එළිය මේ සඳළුතලයට වැටුනහම මේ පාෂාණ කැට දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට මේ ගීතයේ එක පදයක් තියෙනවා

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලද ලියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ…

කියලා ..

ඒකෙන් අදහස් කරන්නෙත් අර මම කලින් කියපු චන්ද්‍රකාන්ති පාෂාණය අල්ලපු සඳළුතලා ගැන .
සඳැල්ල කියලා කියන්නේ සඳළුතලාවට.මිණිතලාවේ කියලා කියන්නේ මැණික් අල්ලපු…
තාරකා පිපි වෙලාවේ..කියන්නේ හඳ එළිය වැටුනහම මේ සඳළුතලාවම අහසක් බවට පත්වෙනවා කියන එකයි.
ලදැලියන්ගේ සීන අතරේ ඒ කියන්නේ ගැහැනු ළමයින්ගේ සිහින අතරේ මැවෙයි ඒ රූපේ කියලා කියන්නේ..මේ නල කුමාරයා කියන්නේ සිහින කුමාරයෙක් මයි කියන එකයි..

එහෙනම් රසවිදිමු..
මේ මහගමසේකර ශූරීන් විසින් රචිත  අමරදේවයන් විසින් සංගීතවත් කර ගායනා කරන
ඈත හිමගිරි හිමව් අරනේ.. ගීතයයි….

එදා තමයි පළවෙනියෙන්ම මම සංගීත වැඩසටහන සජීව කරන්න පටන් ගත්තෙ.වැඩසටහන මුල ඉඳලම නිෂ්පාදකතුමාත් ළඟින්ම ඉඳගෙන හිටියා.මම ඒ විස්තරය කරලා ඉවර වෙනකොට දකුණු අතේ මහපොට ඇඟිල්ල උඩට උස්සලා වෙල්ඩන් කියලා නිෂ්පාදකතුමා මට කිව්වා..එදා දුරකථනයට නිවනක් තිබුණේ නෑ..ලංකාවේ හැම පැත්තකින්ම කතා කරන්න පටන් ගත්තා.
මට මං ගැනම සන්තෝස හිතුණා.ගන්න වැටුපට වඩා බිංදුවක් හරි වැඩිපුර වැඩ කරන්න ඕනෙයි කියන මතය මගේ හිතේ එදා ඉඳන්ම තිබුණා.

ඔන්න අපිට දුරකථනයෙන් තවත් කෙනෙක් සම්බන්ධ වෙනවා.
හරි කතා කරන්න අපිට ඔයාව ඇහෙනවා .. කවුද මේ..

ම්ම්..මම නම කියන්න නම් කැමති නැහැ.. ඔයා වැඩසටහන නම් ලස්සනට කරනවා.. ඔයාට සුභ පතන්න වගේම ලස්සන සින්දුවකුත් ඉල්ලන්න තමයි මං කතා කළේ..

කටහඬ ඇහෙනකොටම ඒ කවුද කියලා අඳුනගන්න මට පුළුවන් වුණා..මාව සීතල වෙලා ගියා..

නම නොකිව්වට ඒ කවුද කියලා මම අඳුනගත්තා.ඒ අසාද් ..
මට හිතාගන්න බැරි විදිහට ඒ වෙලාවේ මට මහා අමුතු හැඟීමක්  දැනුනා . වැඩසටහනට කතා කරන්න මිනිස්සු පෝලිමේ ඉන්න නිසා අසාද් ට ඇමතුම ගන්න එච්චර ලේසි වෙන්නෙ නැතුව ඇති. ඒ වගේම එයා වැඩසටහන ඇහුම්කන් දෙන්නත් ඇති. ඩෝරගෙන් හිස් වෙච්ච එයාගේ හිත මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් මට දැනෙන්න පටන් ගත්තා.කේසර පහුරු ගාලා විනාශ කරලා ගියපු හිත ඇතුලේ හෙමින් හෙමින් තුවාල හොඳ වෙවී තිබුණා. ආපහු සැරයක් ඒවගේ තුවාලයක් හිත ඇතුලේ හැදුනොත් මට මාවත් නැති වෙයි කියලා බය හිතුනා.

බොහොම ස්තූතියි .. ඉතින් කියමු තමන් කැමති සින්දුව මොකක්ද කියලා..

කතා කරන කෙනාව අඳුන ගත්තෙ නැති විදිහට මමත් ඇහුවා.

ඔයාට ආස ඕන සින්දුවක්..

විහිළුවටත් එක්ක මම ඇන්ටන් මහත්තයා ගෙ
කන්දේ හැපුනා මහා වනාන්තරේ
සින්දුව දැම්මා.ඒ සින්දුව ඇතුලෙ තියෙන්නෙත් සප්ත කන්‍යා කඳුවැටියේ හැපිච්ච ගුවන්යානයේ විස්තරය. ඒ උනාට මට පස්සේ හිතුනා මම කළේ මහ කැත වැඩක් කියලා.අසාද් ගෙ රස්සාව මම ඒ තරම් විහිළුවකට ගණන් ගැනීම ගැන  මං මටම දොස් කියා ගත්තා. මං වෙනුවෙන් ඒ තරම් කැප කිරීමක් කරලා ඒ තරම් කාලයක් වැය කරලා වැඩසටහනට කතා කරපු මනුස්සයාගේ හිත රිද්දුවද කියලා මට හිතුණා.නස්‍රියා ආච්චි  ලොකු අම්මා එහෙමත් ඒ වෙලාවේ එතන ඉන්න ඇති කියලා මට හිතුනා.ඒගොල්ලන්ට මොනවා හිතෙන්න ඇද්ද.. එදා වැඩසටහන ඉවර වෙලා radio station එකෙන් මම එලියට එනකොට හුඟක් රෑ වෙලා තිබුණා. අපිට වෙන්වෙලා තිබිච්ච වාහනයෙන් මාව ගෙදරට ගෙනල්ලා දානකොට රෑ එකොලහමාරත් පහුවෙලා තිබුණා. ලොකු අම්මත් එක්ක අසාද්  ඒ මහ රෑ මම එනකම් මග බලාගෙන හිටියා. ප්ලැට් එක පාමුල තියෙන ආරක්ෂක කුටිය ළඟ තියෙන සිමෙන්ති බැම්මේ  ඒ දෙන්නා පින්න බානවට තොප්පි දෙකකුත් දාගෙන බලාගෙන උන්නා.
මට අසාද් ට මුහුණ දෙන්න බෑ වගේ හැඟීමක් දැනුනා.

මට එයාගෙන් සමාව ගන්න ඕනෙ උනත් ලොකු අම්මා එතන හිටපු හින්දා මට වචනයක්වත් කතා කරගන්න බැරුව ගියා.
මං හිතුවා ලොකු අම්මා මට බනී කියලා.ඒ උනාට මොකුත් කිව්වේ නෑ.
වෙල්ඩන් භානු.. ඔයා ලස්සන ට කලා.. අසාද්  හිනා පිරුනු ලස්සන මූනෙන් කිව්වා  . මං හිතන්නේ මගේ ඇස් වලට කඳුළු පිරුණා.ඒ තරං හිත හොඳ මනුස්සයෙකුගේ හිත රිද්දන්න තරම් මම නපුරු වුනේ ඇයි කියලා හිතුනා.

පහුවදා උදේ නැගිටිනකොට දවල් වෙලා තිබුණා.එකේම එක දිගට වැඩ තිබුණ හින්දා නිවාඩු දවසක් අහම්බෙන්  වගේ හම්බ වෙලා තිබිච්ච හින්දා එලාම් එක තියන්නෙ නැතුව මමත් නිදාගෙන හිටියා.මට ඇහැරෙනකොට උදේ හතත් පහුවෙලා තිබුණා. හුඟක් වෙලාවට උදේට අසාද් වහලෙ උඩට එනවා ඉර පායන හැටි බලන්න. මට ඕනෙ උනා එයාව එතනදි තනියම හම්බවෙන්න.ඊයෙ මගෙන් වෙච්චි වැරැද්දට සමාව ගන්න. මම පුළුවන් තරම් ඉක්මනට මූණ කට හෝදගෙන කාටත් නොකියා ඉක්මනින්ම වහලය උඩට දිව්වේ අසාද් ව හම්බවෙන්න . ඒත් ඒ  වෙලාවේ කවුරුවත්ම වහලෙ උඩ හිටියේ නෑ. නස්රියා ආච්චිගෙ ගෙදරින් බදින සුවඳක් ආපු හින්දා මම එහෙට ගියා.

ගුඩ් මෝර්නින් ආච්චි .. මම එහෙම කිව්වේ එකපාරටම අසාද් කෝ කියලා අහන්න මට බැහැ කියලා හිතිච්ච හින්දයි.

ආහ්.. මෝර්නින් පුතේ..අද නිවාඩුද.. ආච්චි ඇහුවෙ බටු බදින ගමං මයි.

ම්ම් කාලෙකට පස්සේ නිවාඩුවක් හම්බ වුණා ආච්චි.. මම වහලෙ උඩට ගියා.බදින සුවඳක් ආපු හින්දා තමයි මේ පැත්තට ආවේ..
ආච්චි තනියම ද ඉන්නේ..

කෙලින්ම අසාද්  කෝ කියලා අහන්නේ නැතුව මේ විදිහට වටෙන් වටෙන් අහන එක වැරදියි කියලත් මට හිතුනා.සමහරවිට නස්රියා ආච්චිට තේරෙන්නත් ඇති..

ආ.. අසාද් උදෙන්ම නුවර ගියා පුතේ.. එයාගේ ඉස්කෝලේ කාලේ යාලුවො වගයක් ඉන්නවා කියලා හම්බවෙන්න ඕන කියලා.

මං හිතන්නේ මගේ මූණ එකපාරටම වෙනස් වුණා වෙන්න ඇති.ඒ වුණාට නස්‍රියා  ආච්චිට් ඒක පේන්න නැතිවෙන්න ඇති. එකපාරටම මගේ හිතට එහෙම දුකක් ඇතිවුණේ ඇයි කියලා හිතාගන්න බැරුව ගියා. කේසරගෙන් මම ලැබුවේ නොසැලකීම් වගේම  නොසලකා හැරීම් විතරමයි.අසාද්  ගැන මගේ හිතේ පුංචිම පුංචි බලාපොරොත්තුවක් දළු දැම්මා විතරයි. මටත් නොකියා අසාද්  යන්න ගිහින් කියලා මට දැනුනේ දුකක්. අපි දෙන්නා අතර ඒ වගේ බැඳීමක් ඇතිවෙන්න තව මොනවද මදි කියලා මම තනියම කල්පනා කළා.ආයෙත් සැරයක් මට මගේ හිත රිද්ද ගන්න වෙයි කියලා සමහර විට  මම හිත යටින් බය වෙලා ඉන්න ඇති.මට කියලා යන්න ඕනෙයි කියන තැන අසාද්  තවමත් නැතුව ඇති.

දවල්ට බටු මෝජුවක් හදනවා දුව කනවද..

මං හිනා වුණා. මං දවල්ට එන්නම් ආච්චි.අද දවසම මම ගෙදර.මම එහෙම කියලා ගෙදර එන්න පිටත් වුනේ හිතට මොකක් හරි දුකක් දැනුනහම මට කාත් එක්කවත් කතා කරන්න හිතෙන්නේ නැති හින්දා. මට මේ ගැන කෙලින්ම කියලා අසාද්  දොස් කියන්න විදිහක් තිබුනේ නෑ. මොකද එයාගේ හිතේ එහෙම අදහසක් නැතුව ඇති. ලොකු අම්මා ටවුන් එකට යනවයි කියලා මට දොර වහගෙන ඉන්න කියලා ගියා.මම ඇඳට වෙලා ඔහේ කල්පනා කර කර උන්නා. සමහර බලාපොරොත්තු හේදිලා ගියහම ආපහු අපිට හිත හදාගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඊයෙ රෑ ජාත් එකට ගහපු මගේ ජංගමයව ආපහු පණ ගහලා ගත්තේ මොනවද අලුත් විස්තර බලන්නයි.

හදිසියේම මට නුවර යන්න වෙලා.හවසට එනවා.උදේට තනියම වහලෙ උඩට යන්න එපා.මං එනකන් ඉන්න..

එහෙම කියලා අසාද් ඉංග්‍රීසියෙන් whatsapp පණිවිඩයක් එවලා තිබුණා පාන්දර දෙකට.

තරු පාට තෝරන්න
තෝඩුවට ගාවන්න
මං ආස දේදුන්න
කලුවරෙත් දැකගන්න
හඳට හැකිනම් ටිකක්
දේදුන්න අල්ලන්න
සුදු පාට තීරුවක්
අලුතින්ම අලවන්න
වහිනකොට මුතු වැස්ස
දේදුන්න මැද්දෙන්ම
පාට පාටින් වතුර
බැරිද බිම විසිරන්න

මම එහෙම කියලා අසාද් ට උත්තරයක් ඇරියා.. මම අඬල තිබුණා. මට දැනුනා මම ගොඩ කාලයකට පස්සේ ආපහු සන්තෝසෙන් හුස්ම ගන්නවා කියලා.
ජීවිතයේ සමහර දේවල් අපි නොදැනීම අපට අහිමි වෙලා යනවා.සමහර දේවල් අපි හිතන්නෙවත් නැති විදිහට අපිට ලංවෙනවා.කෙලින්ම වචනයෙන් ආදරෙයි කියනවට වඩා මේ විදිහට ව්‍යංගාර්ථයෙන් ගලාගෙන යන ආදර කතාවක් මගේ හැමදාම හීනයක් වෙලා තිබුණා.

ඒ කවියෙ මුතු අකුරු
ගුලි කරන් පපු කැවුතු
කදුලු බර මහ රෑලු
නිදි නොමැති ඇස් ඇරුනු

පොද වැස්සටත් වැටුනු
කිනිත්තෙන් මල් ඇරුනු
මඩ වෙච්ච බිම එලපු
සොදුරු පලසකි නිවුනු

ටික වෙලාවකින් බොහොම පැහැදිලි සිංහලෙන් අසාද්  එහෙම එවලා තිබුණා . මට තනියම හිනා ගියා.ඒ අපූරු මනුස්ස ශරීරය ඇතුලේ මං හොයපු කවි කාරයා ඒ විදිහටම හැංගිලා උන්නා.

පාලු අහසක තරු රටා තියෙනවා
අහස හැඩිවී  මට නිකං හිතෙනවා …
දේව දුන්නෙත් නැති පාට තියෙනවා ..
පාට පෙට්ටියෙ ඒ පාට තියෙනවා …

මම අසාද් ට එහෙම ඇරලා කඳුළු එනකං හිනාඋනා …

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles