කෝසල උන්නේ පුදුමාකාර කෝපයකිනි. තමා විසින් විවාහය බිඳ දමන ලද කැලුමිනී මෙවන් තර්ජනයක් තමා වෙත කරාවි යැයි තමා සිහිනෙන්වත් නොසිතා තිබූ බව මතක් වෙද්දී කෝසලට ඇය ගැන කෝපයකුත් මෙවන් දෙයක් කරනු පිණිස ඇය සතුව තිබූ හැකියාවත් ගැන පුදුම සිතුනි.
එදා ඇයට කතා කර බිය වැද්දු දවසේ ඇය තමා කියූ දෙයට අවනතව තමා වෙත එනු ඇතැයි කියා උදක්ම බලාපොරොත්තු තබාගෙන ඉද්දී ඒ කිසිත් ගැන වගක් නැතුව මෙන් මැරයින් එවා තමාට බියපත් කරවන්නට තරම් හයියක් ඒ ගැහැණියට ලැබීම ගැන කෝසල උන්නේ උමතු කෝපයක ගිලීය.
“බැල්ලි”
අත මිට මොලවා බිත්තියට වැරෙන් පහරක් එල්ල කල කෝසල දෙස අනුරාදි බලා උන්නේ පුදුමයෙනි. මේ වෙනස දකින්නට ලැබුනේ පෙර දින රැයේ කෝසල බොහෝ පමාවී බියෙන් මෙන් නිවසට ආ මොහොතේ සිටය. තමාට නොකියන යම් කිසි අඳුරු කතාවක් ඔහුගේ කෝපයටත්, ඊයේ රැයේ ඔහුගේ මුහුණමත ඇඳී තිබුන බියටත් හේතුවක් බව තේරුම් ගන්නට අනුරාදි අපොහොසත් නොවුවාය. එහෙත් කෝසල වනාහි පහසුවෙන් සිත අස්සේ තිබෙන දෙයක් එලියට නොදාන මිනිසෙකු බැවින් එවන් දෙයක් ඇසීම පවා තේරුමක් නැති වග අනුරාදි දැන උන්නාය.
කැලුමිනීගෙත් ප්‍රභාත්ගෙත් නඩුවේ දෙවන නඩු වාරය යෙදී ඇත්තේ එලඹෙන බ්‍රහස්පතින්දා දිනයට බව සොයාගන්නට කෝසලට අපහසුවක් වූයේ නැත. එදිනටම කැලුමිනී හමුවී තමාට කල මේ අපහාසයට හොඳ පාඩමක් උගන්වන්නට සිතූ කෝසල දුරකතන ඇමතුමක් දී ඇයව බිය වද්දන්නට සිතුන තිරණය අසීරුවෙන් මැඩ ගත්තේය.
මේ කිසිවක් නොදත් කැලුමිනී උන්නේ විශ්ව විද්‍යාලයට යන්නට තේරුණ සඳරු වෙනුවෙන් ඔහුගේ නිවසේ සූදානම් කර තිබූ රාත්‍රී කෑම සඳහා පිටත්ව යන්නටය.
හෙට උදෑසනින්ම කොළඹ යන්නට තිබෙන නිසාවෙන් රෑ බෝ වන්නට පලමුව පැමිණිය යුතු නිසා කැලුමිනීත් පබෝදාත් කලින්ම සඳරු ගේ නිවසට යන්නට පිටත් වුණහ
“හෙට යන්න අරවින්ද මහත්තය වාහනේ ලෑස්ති කරල දෙනව කිව්ව එක හොඳයි නේද?”
පබෝදා ඇසුවේ සිනාසෙමින් වුවද අරවින්ද සූරියබණ්ඩාර මේ හැමදෙයක්ම කරන්නේ ඔහුගේ නෙතු අතරේ ඇඳී තිබෙන හදවතේ රැඳී තිබෙන ආදරය නිසා බව පබෝදා නොදන්නවා නොවේ. වෙන මොහොතක වෙන යම් පුද්ගලයකු වූවානම් කැලුමිනීට ඔහු මෙතරම් සමිප වීම හිත බියපත් කරන්නට හේතුවක් වුවද අරවින්ද සූරියබණ්ඩාර වනාහී එවන් පුද්ගලයෙකු නොවන බවට විශ්වාසයක් ඇය හොඳින් දැන උන්නාය.
“ඔව්, මම එදා නිවාඩු ඉල්ලුවම සර් ඇහුව මොකටද කියල. මම ඊට පස්සෙ හේතුව කිව්වම සර් කිව්ව සර් එක්ක යන්න පුලුවන්. සර් එදාට කොළඹ යනව අපිටත් ඒ එක්කම යන්න පුලුවන් කියල”
“ඒක හොඳයි. නැත්තම් බස් වල යන්න ගියානම් මේ වෙලාවෙ පුතාට අමාරුත් එක්ක”
“අනේ මන්ද නැන්දෙ ඒ උනාට මට නම් ඇත්තම හිතට හරි නෑ ඒ මනුස්සයට එහෙම කරදර කරන්න වෙනවට. මොන දේ උනත් ඒ මිනිස්සු කවුද මං කවුද නැන්දෙ? අනික මං ව්ගේ මනුස්සයෙක්ට උදව් පදව් කරන්න ගිහිල්ල ඒ මනුස්සයට කාගෙන් හරි කතාවක් අහගන්න වෙයිද ප්‍රශ්නයක් වෙයිද කියන බය මට හැමතිස්සෙම තියෙනව”
“ඒක නං එහෙම තමයි” කියා කතාව මගින් නතර කලද පබෝදා උන්නේ සිතෙන් දොඩමලු වෙමිනි. කැළුමිනි එක්කෝ හිඳින්නේ අරවින්ද සූරියබණ්ඩාරගේ සිතුවිලි තේරුම් නොගෙනය. නොඑසේනම් තේරුම් ගත්තා නමුත් එයට කිසිත් රුකුලක් නොදෙන පිණිසය.
ඒ ඉතින් ඔවුනොවුන් ගත යුතු තීන්දු තීරණය.
“දැන් සඳරු කැම්පස් යන්න කලින් මං හිතන් ඉන්නෙ පුතේ ඇඳුමක් පැලඳුමක් ගන්න හරි කීයක් හරි දෙන්න කියල”
පබෝදා කතාව වෙන පැත්තකට හැරෙව්වේ අරවින්ද ගැන කල කතාව ඔස්සේ කැලුමිනී බොහෝ දුර සිතන්නට වෙලා ගන්නා බව තේරුම් ගෙනය. කොහොමත් බරැති හිතකට තවත් බර වැඩි කාරණා නොකීම වඩා සුදුසුය.
“මගෙ ලඟත් සල්ලි ටිකක් තියෙනව නැන්දෙ. හෙට කොළබ ගියාම එහෙන් ගමු නේද ඇඳුම් ටිකක්? මෙහෙට වඩා හොඳ ඒව එහෙ තියෙන එකේ”
නිවසට ඇතුලුවන දොර අසලම සිටගෙන සඳරු උන්නේ සිනා කටක් පුරවාගෙනය. ඒ සිනහව විශ්ව විද්‍යාලයට යන්නට තේරී පත් වී හිඳින නව යොවුන් තරුණයෙකුට වඩා දඟකාර පොඩි එකෙකුගේය.
“මොකද මේ එලියට බැහැල?”
“අක්කල එනවද කියල බලන ගමන් හිටියෙ”
“එහෙම එලියට බහින්න හොඳ නෑ දැන්”
“නැන්ද මොකෝ එහෙම කිව්වෙ/”
“ඇස්වහ කටවහ වැදෙනව” කියා පබෝදා සිනාසුනාය.
“ඇස්වහ කටවහ කෙසේ වෙතත් මෙයා එක්ක නම් බෑ අක්කෙ. උයන උයන පපඩම ඇඉල්ල කනවා” කියාගෙන බත් බන්දේසිය උස්සගෙන කෑම කාමරයට ආවේ සඳරුගේ අම්මාය. නෝක්කාඩු කීවද ඇගේ මුහුණ පුරාත් රැඳි ඇත්තේත් සොම්නසක සේයාවන් ය.
“දැන් ඉතින් කාලා යන දෙයක් තමයි නේද නැන්දෙ?” කියාගෙන එලියට ආවේ සඳරුගේ අක්කාය. ඒ ඔච්චමට කියන කතා ගැන සඳරුගේ සිතේ අහිතක් නැති බව මුහුණ පුරා ඇඳී ඇති සිනහවෙන්ම පෙනේ.
“වාඩිවෙන්න අක්කෙ. නැන්දලට වාඩි වෙන්න කියන්න පුතේ” කියාගෙන සඳරුගේ අම්මා නැවත කුස්සියට යන්නට සැරසුනද ඉතින් එහෙම සිරිතක් මේ ගමේ ගෙවල්වල නැත.
“අනේ මේ පුටු රත් කර කර ඉන්න අපි මේ නොදන්න මිනිස්සුද? යංකො කුස්සියටම” කියාගෙන සඳරුගේ අක්කාත් අම්මාත් සමගම දොඩමලු වෙමින් පබෝදා මුලුතැන්ගෙට යද්දී සඳරු කැලුමිනී දෙස බලා සිනා සුනේය.
“අක්ක වාඩි වෙන්න”
“එලියෙන් ඉමුකො. සනීපයි එලියෙ”
“එහෙනම් අපි මිදුලෙ බංකුවෙන් වාඩිවෙමු”
“දැන් මොනවද තව තියෙන අඩුපාඩු ඔයාට කැම්පස් එකට?”
“අඩුපාඩුවක් නෑ අක්කෙ. ලැප්ටොප් එකක් ගන්න වෙනව. ඒ උනටා ගියාට පස්සෙ කැම්පස් එකේ හැඳුනුම්පතට ගන්න ඇහැකිලු අඩුවට. හදිසියක් නෑ ඉතින්”
“දැන් ඔයාලා එක්ක තව යන අය කවුද කියල දන්නෙ නැද්ද?”
“දන්නෙ නෑ අක්කෙ. හොයාගනන් විදියක් නැනෙ”
“නෑ ඒ උනාට ඒක හොඳයි. ඔයා කියන්නෙ අපි කැම්පස් යද්දි ඔහොම කලින් යන්නෙ කවුද කියල හොයාගෙන සෙට් වෙලා ගිය අයට මාර වැඩ තමයි උනේ. රැග් කාලෙදි එහෙම හරි ප්‍රශ්න ඉතින්. දැන් නම් මතක් වෙද්දිත් හිනා අපිට”
“රැග් එක අමාරු වෙයිද අක්කේ?”
“අනේ නෑ, බයවෙන්න එපා. සීනියර්ස්ලා මොනව කිව්වත් ඔයා ලොකු කම් පෙන්නන්නත් එපා හැබැයි එහෙම ඕනවට වඩා ඔලුව නවන්නත් එපා. ටික කාලයයිනෙ මල්ලි තියෙන්නෙ. ඒ කාලෙදි ඕක වදයක් වගේ දැනුනට පස්සෙ ඉතින් මතක් කරල හිනාවෙන්න හරි ඉතුරු වෙලා තියෙන්නෙ ඕව තමයි”
“ගිහින්ම තමයි බලන්න වෙන්නෙ” කියා සඳරු සිනාසෙද්දී සිනාවට හවුල් වූ කැලුමිනීගේ දෙනෙත් ගොස් නතර වූයේ සඳරුගෙ නිවසේ වැට පනිමින් වත්තට ඇතුලු වෙමින් උන් අරවින්දගේ දෙනෙත් මතය. අරවින්ද ආවේම සැඳෑවේ පිපුනු කඩුපුල් මලක සිරියාවැති සිනහවක් මුව මත රඳවගෙනය.
“මොකෝ මේ අක්කයි මල්ලියි දෙන්න එලියෙ”
“අම්මල උයනවනෙ මහත්තය” කියමින් සඳරු ඉඳගෙන උන් බංකුවෙන් නැගිටිද්දී කැලුමිනීත් තැනුවේ බංකුවෙන් නැගිටින්නටය.
“නෑ නෑ නැගිටින්න එපා” කියමින් අරවින්ද කැලුමිනී හිඳගෙන උන් බංකුවෙ කෙලවරකින් අසුන් ගත්තේ එතෙක් වේලා අතේ රඳවගෙන උන් මල්ල සඳරු අත තබමිනි. අරවින්ද දෙනෙතින් කියු යමක් තේරුම් ගත්තාක් මෙන් එයත් රැගෙන සඳරු නිවසට යද්දී කැලුමිනි අපහසුවෙන් හිස ඔසවා සිනා සෙන්නට වෙර දැරුවාය.
“ඉතින්” අරවින්ද කතාවට ආවේ ප්‍රශ්නාර්තයක් සමගිනි. එහෙත් එයට කිව යුත්තේ කුමක්ද කියා කැලුමිනී දැන උන්නේ නැත. උදෑසන සිට සවස තෙක්ම එකම කාර්‍යාලයක වැඩ කරන අයෙකුට තමා හොඳින් බව නැවත අමෞතුවෙන් කිව යුතු නොවන බව මතක් වෙද්දි අරවින්ද ඉතින් කියා අසන්නේ කුමක් ගැනද කියා වගක් කැලුමිනීට නොවුනාය.
ඉතින් සිනහවක් එයට පිලිතුරු ලෙස දෙන්නට ප්‍රමාණවත් ය.
රාත්‍රී කෑම කන අතරේ අරවින්ද සඳරුගේ නිවසත් කෑම මේසයත් සිනා ගංගාවකින් පුරවන්නට සමත් කතන්දර කියුවේය. ඒ වූ කලී නිමා නොවන්නට තිබූ රැයකැයි කැලුමිනිට සිතුනේ එතරම්ම සිනා සුනු දවසක් මෑත කාලයේ තමාට නොවුනු නිසාය.
රසබර ආහාර අතරම අරවින්ද විසින් කියන්නට යෙදුනු කතා බහට මද අවසරයක් ලැබුනේ රෑ කෑමෙන් පසු බොන්නට කෝපි වක්කරන්නට සඳරුගේ අම්මාත් අක්කාත් සමග පබෝදා යලිත් මුලුතැන්ගෙට ගියයින් පසුවය.
සඳ පායා තිබුනේ දෙණියායට ඉහල අහසින් වටාපතක් ලෙසිනි. ඒ සඳ කිරණ විත් පොලො තලය සිපගනිද්දී නිවසින් පිටතට ආ කැලුමිනී පස්සේම අරවින්ද ආවේය. එයට හේතුව දැන හුන්නක් මෙන් සඳරු සාලයේම රැඳෙද්දී අරවින්ද ඔහු වෙතට පෑවේ කෝල සිනාවකි. ඒ සිනාව වූ කලී දහසක් කතා කියන්නකි.
“දැන් චුට්ටක් බඩ පේනව නේද?” අරවින්ද ඇසුවේ සඳ කිරණ පාවඩය මතින් පා තබා මිදුලේ කෙලවරක තබා තිබූ බංකුව වෙත පියනගමිනි. කැලුමිනී අරවින්ද තමා පසුපස හිඳින වග දැන ගත්තේ ඒ මොහොතේය.
“ටිකක් විතර”
“එයා බඩට එහෙම ගහනවද?”
“කවුද?”
“බබා”
“තාම එයා එච්චර ලොකු නෑනෙ සර්” කියා කැලුමිනී සිනාසුනේ ඇත්තටම අරවින්දගේ නොදැනුවත්මක සිතට සැහැල්ලුවක් එක්කරද්දීය.
“එහෙනම් එහෙම උනාම මට කියනවද?”
අරවින්ද ඒ ඇසූව තේරුම් ගන්නට අපහසුය. කැලුමිනී ඔහු දෙස බැලුවේ ඒ කුතුහලය සමගිනි.
“ඒ කිව්වේ සර්?”
“බබා බඩට පයින් ගහද්දි මට කියනවද?”
“ඇ ඇයි ඇයි එහෙම ඇහුවෙ?”
“මම ආසයි බලන්න. මට නෑනෙ බබෙක්” කැලුමිනීගේ දෙනෙත් ඉදිරියටම ආ අරවින්ද එසේ කිව්වේ සිනාවක් සමගිනි.
“ඉතින් සර්ට පුලුවන්නෙ දැනුත් බැඳල දරුවෙක් හදන්න?” කැලුමිනී කිව්වේ අරවින්ද කියූ දෙය සමග සිතට ආ අපහසුව සමගිනි. සඳ වලාකුල් සමග පෙරලි කරමින් අහසේ රජ කරවන්නට ගත් වෑයම කැලුමිනීවත් අරවින්දවත් දුටුවේ නැත. ඔවුනොවුන්ගේ දෙනෙත් තිබුනේ එකිනෙකා තුල අතර මං වීය. ඒ මතුපිටින් බලන්නෙකුට විනාඩියකටත් වඩා අඩු කාලයක් බව සිතුනද කැලුමිනීටත් ඇගෙ දෙනෙත් තුල අතරමං වී මග සොයමින් හුන් අරවින්දටත් එය ජීවිත කාලයටත් වඩා දුර ගමනක් බව සිතී තිබුණි.
අරවින්ද හඬ දිග හැරියේ ඒ නිහඬබව දරාගන්නට අපහසු තැනය.
“වෙන දරුවෙක් හදන්න මට ඕන නෑ කැලුමිනී. ඔයා කැමති නම් මම කැමතියි මේ දරුව අපේ කියල හිතන්න”