පාරමී සමගින් කතා බහ කරමින් ම සයුරංගනා සැන්ඩ්විචස් හැදුවා ය. පාරමී ඒ කතා බහත්, යෙහෙළිය ගේ හුරුබුහුටි ක්‍රියාකාරකමුත් වීඩියෝ ගත කළා ය. හිතේ අමුතු පිරුණ ගතියක් සයුරංගනා ට දැනිණ. නමුත් ඇය ඒ ගැන හිතන්නට නො ගියා ය. ඇයට උවමනා සතුටක් නොවේ. ස්වාමි පුරුෂයා මිය ගිය පසු බිරිඳක ගේ සතුට ද වළලන්නට සිදු වන්නේ ය. දැන් ඇයට උවමනා වී තිබෙන්නේ ජීවත් වන්නට ය. ජීවත් වීම වූ කලී කෙතරම් නම් යුද්ධයක් දැයි පොඩි කාලේ සිට ම මැනවින් දැන සිටිනා ඇයට ඒ ගැන අමුතුවෙන් බිය වෙන්නට හේතුවක් නැත. සයුරංගනා ගේ හදවත මැද්දේ ම ගැස්මක් ඇත්තේ එසඳි ගැන සිතත්දී ය. සැපට හැදුණ සැප පුරුදු දැරියක වූ ඈ ගැන සිතත්දී ය.
මධ්‍යහ්නයේ සිට ම අඳුරු කරමින් පැවති අහස දිය වී වැස්සක් ව වැගිරෙන්නට පටන් ගත්තේ ය. හැන්දෑ නින්දෙන් අවදි වූ එසඳි ට සයුරංගනා කඩදාසි බෝට්ටුවක් තනා දුන්නී ය. මිදුල හරහා ගලා යන වැහි දිය ගඟට දිගට ම බෝට්ටු දමන්නට දැරියට උවමනා විය. ඒ අනුව සයුරංගනා ත් පාරමී ත් බෝට්ටු ගණනාවක් ම සෑදූහ. ඒවා පා වී යත්දී එසඳි අත්පුඩි ගසමින් සතුටු වූවා ය. වැහි වතුර ට ඒවා පෙරලී, කඩදාසි පෙඟී විතැන් වෙත්දී ඇය දුක්මුසු වූවා ය. ජීවිතය ද ඒ වගේ යයි දැන් සයුරංගනා නම් දනී. සතුටත් දුකත් එක ම කාසියක දෙ පැත්ත වාගේ ය. ඕනෑ ම මොහොතක ඕනෑ ම පැත්තක් පෙරළිය හැකි ය. වඩා වැදගත් වන්නේ පෙරලෙන පැත්ත නොවේ. ඒ පෙරලෙන පැත්තට මූණ දෙන්නට කෙනෙකුට වන දිරිය ශක්තියයි.
එසඳි සැන්ඩ්විචස් කෑවේ සතුටෙන් බෝට්ටු පා කරමිනි. සයුරංගනා සැන්ඩ්විචස් කිහිපයක් ඔතා ‘අම්මට ගෙනියන්න’ කියා පාරමී ට කීවා ය.
“මටත් වෙනම ටිකක් ඕනෙ”
ඒ දැක එසඳි මැද්දෙන් පැන්නා ය.
“වෙනම…ඒ මොකටද…”
“මගෙ යශෝදර අංකල්ට දෙන්න. එයා හැමදාම මට ස්වීට්ස් ගේනවනෙ. මාත් එයාට රස දෙයක් දෙන්න ඕනෙ”
සයුරංගනා ත් පාරමී ත් මූණෙන් මූණ බලා ගත්හ.
“මේකි බලහංකො”
පාරමී එසේ කීවේ ඉණෙහි අත් දෙක ගසා ගෙන ය.
“මගෙ යශෝදර අංකල්…කොහොමද ඒක…එයා කොහොමද ඔයාගෙ වෙන්නෙ…එයා මගෙනෙ…එයා මගෙ අයියනෙ”
එසඳි එක් වර ම මූණ නරක් කර ගත්තා ය. එකෙනෙහි කට ඇද කර ගෙන හඬන්නට ගත්තා ය.
“ඒ..යි…එසඳි මැණික..ඇයි මේ..”
“යශෝදර අංකල් එයාගෙලු”
දැරිය හැබෑ දුකින් ඉකිබින්දා ය.
“ඉතිං අපේ අයිය නේන්නං…ඒක බොරුවක් නෙවේනෙ”
“අනේ එයා මගේ..”
එසඳි මුරණ්ඩු වූවා ය.
“නිකං ඉන්නවකො ළමයව අඬවන්නෙ නැතුව. මගෙ පුතා කන්න පැටියො…අඬ අඬ කාල හිස්මොල්ලෙ යයිනෙ”
එසඳි කෙතරම් තදින් හැඬුවේ ද යත් ඉකි ගැසුවා ය. අන්තිමට ඇය නලවා ගනු වස් යශෝදර ට දුරකතන ඇමතුමක් ගන්නට පාරමී ට සිදු විය. ඒ වෙලාවේ යශෝදර සිටියේ තද වැස්ස නිසා බයිසිකලය නවතා කඩ පිලක කොනකට වී ය.
“මෙන්න මේ එසඳිය මාත් එක්ක රණ්ඩු වෙනව ඔයා එයාගෙ කියල”
කියමින් ඇය එසඳි ගේ සවනට දුරකතනය ලං කළා ය.
“එසඳි…මැණික් කැටේ…”
“ඔයා කෝද ඉන්නෙ…”
“මං…මේ මග පැටියො…වැස්සනෙ…එන්න බෑනෙ…ඇයි…ම්…”
“ඔයා ඉක්මනට එන්නකො”
එහෙම කියත්දීත් එසඳි ට හැඬීගෙන ආවේ ය. පාරමී සිනහව තද කර ගත්තා ය.
“අනේ එන්නකො. මට හරි පාළුයි ඔයා නැතුව…අපාචිත් නෑ…යශෝදර අංකලුත් නෑ”
“හරි පුතේ…මං ඉක්මනට එන්නං හොඳේ. අඬන්නැතුව…පාරමී නැන්දි එක්ක රණ්ඩු කරන්නැතුව ඉන්න ඕනෙ හොඳේ”
“හා. ඔයා ඉක්මන්ට එන්න”
එසඳි දුරකතනය පාරමී වෙත පෑවේ කඳුළු අතරින් සිනහ මලක් එබිකම් කරත්දී ය.
හදවතෙහි අමුතු තද වීමක් යශෝදර ට දැනිණ. තව විනාඩියක් හෝ ඒ සෙවනේ වැස්ස ට මුවහ වී ඉන්නට බැරි හදිස්සියක් ඔහු ට දැනෙන්නට ගති. ජැකට් එකේ සිප් එක ඉහළට ම ඔසවා ගත් හෙතෙම නතර කොට තිබි යතුරුපැදිය වෙත ගොස් නැගුණේ ය. කඩ පිලේ සෙවන යට උන් කිහිප දෙනෙකු ඔහු දෙස බැලුවේ අමුතුවට ය. මේ තරම් වෙලාවක් සෙවනට වී උන් ඔහු වැස්ස මෝරා වැඩෙත්දී වැස්සට පැන යන්නට යාම සැබවින් අමුතුවට බලන්නට කාරණයකි.
වහිනවා කියා ගාණක්වත් යශෝදර ට නොවී ය. මොර ගෙඩි තරම් ලොකු වැහි බින්දු ඔහු වට කොට ගෙන තදට පහර එල්ල කළේ ය. නමුත් යශෝදර ගේ දෙතොලතර වූයේ තෘප්තියේ මඳහසකි. එසඳි ගේ අවංක ආදරණීය ආයාචනය හමුවේ මෙහෙම වැස්සකට නොව හිම කුණාටුවකටත් ඔහු ව නතර කළ නො හැකි වනු ඇත. වැහි ලිහිනියෙකු සේ තෙමි තෙමී ඔහු එක සීරුවට පැමිණියේ ය. යතුරු පැදිය නතර කළේ ද ගෙදර නොව ගිම්හාන් ගේ ගෙදර පිවිසුම් දොරටුව ඉදිරියේ ය. එසඳි ගෙදොරකඩට දිව ගෙන ගියා ය. යශෝදර ජැකට් එක ගලවා දමන්නටත් පෙර දැරිය ඔහු ගේ කකුල් දෙකේ එල්ලී ඉවර ය.
“යශෝදර අංකල් තෙමිල ඉන්නෙ සඳී. ඔයාවත් තෙමෙයි ඉතිං…”
පාරමී ගේ වදන් එසඳි ට ඇහුණේ හෝ නැත. ජැකට් එක ගලවා වැරැන්ඩා පුටුවක් මත දමා යශෝදර එසඳි ව වඩා ගත්තේ ය.
“පව්…ඔයා තෙමිල”
ඔහු ගේ කොණ්ඩ ගස් අතරේ ද මුහුණේ රැවුල් කොට අතරේ ද තිබූ මුතු වැහි බින්දු ඇය සිය ළපටි අත් දෙකෙන් පිස දැමුවා ය.
“මගෙ මැණික එන්න කියපු නිසා මං තෙමි තෙමීම ආවනෙ ඉතිං”
“ඔයා මගෙ නේද…”
“ඔව්නෙ”
“අරයගෙ නෙවෙයි නේද…”
“නෑනෙ. එයා බොරුවට කියන්නෙ ඔයාව තරහ ගස්සන්න. ඔයා ඒව ගණං ගන්නෙපා හොඳේ. මං ඔයාගෙ විතරයිනෙ”
“මගෙ හොඳ…පැටිය”
එසඳි යශෝදර ගේ හිස බදා ගත්තා ය. ඇය ඒ කිව් හුරතල් තාලයට කාගේත් මුවට සිනහවක් ආවේ ය. ඒ අතරින් සයුරංගනා ගේ ඇස් වලට තෙතමනයක් ද කාන්දු විය.
“අපේ ගිම්හාන් නැති පාළුව කෙල්ල යශෝදර පුතාගෙන් නැති කර ගන්නයි බලන්නෙ”
ජයරත්න ඒ දර්ශනය දෙස බලා හිඳ වටහා ගත් දේ ඒ ය.
“ඉඳගන්න යශෝදර…මං කෝපි එකක් හදන්නං. පුතා බහින්න යශෝදර අංකල්ට තෙත පිහිදාගන්න”
කියමින් කාමරයට ගිය සයුරංගනා, අල්මාරියෙන් ගත් කුඩා සාළුවක් පාරමී අතට දුන්නා ය.
“අයියට පිහිදගන්න කියන්න”
ඇය කෝපි හදා ගෙන එන විට යශෝදර එසඳි ගෙනැවිත් දුන් සැන්ඩ්විචස් කමින් සිටියේ ය. ඔහු තවත් ටික වෙලාවක් කෝපි එක හිස් කරමින් ජයරත්න එක්ක කතා කරන්නට වී ය. ගෙදර යන්නට නැගී සිටින විට එසඳි ඇවිත් නැවත ද ඔහු ට ඇවිටිල්ලක් කළා ය.
“වොශ් එකක් දාං ඔයා ආයෙ එනෝද…අපාචි තාම ආවෙ නෑනෙ…ඒත් මට හෝස් රයිඩ් එකක් යන්නෝනෙ. ප්ලීස්…”
ඇය හුරතලයට හිස ඇද කළ තාලයට බෑ කියා ඇගේ හිත රිදවන්නට පුළුවන් කමක් යශෝදර ට වූයේ ම නැත.
වැස්ස දිගට ම වැස්සේ ය. ගෙදර ගිහින් දිය නා ගෙන යශෝදර නැවත ගිම්හාන් ගේ ගෙදරට එන්න සූදානම් වූයේ ය. ඔහු ලොකු කුඩය හොයත්දී මල්කාන්ති අඩ බැල්මක් ඔහු වෙත හෙළුවා ය.
“දැං ඉතිං ආයෙ මොකටද යන්නෙ..මේ වැස්සෙ…”
අකුණක් පිපිරූයේ වහින අහසේ නොව රාමනායක ගෙදර ආලින්දය මැද්දේ ය. යශෝදර මොහොතකට ගල් විය. දුරකතනයට ඇස් තබා ගෙන ම පාරමී හොඳින් සවන් පෑවා ය.
“කෙල්ලගෙන් වදේ. හෝස් රයිඩ් කරන්න එන්න කියල. පව්. ගිම්හාන් නැති නිසා ඒ කෝලං ටික කරගන්න විදිහක් නැතුව පාළුවෙ ඉන්නෙ”
යශෝදර මිමිනුවේ තමන්ට ම සේ ය. නැත්නම් වහිනා වැස්සට සේ ය. අද අම්මා ගේ වචන ද හඬ තානය ද වෙනස් යයි ඔහු ට දැනෙමින් තිබේ. ගෙදර නෑවිත් කෙළින් ම ගිම්හාන් ගේ ගෙදර ගිය එක ගැන ද ඇය මුලින් ආඩපාලි කීවා ය.
“ඒ වුණාට අර මහ මනුස්සයගෙ හැටි දන්නැද්ද…ඔයා එහෙ නිතර යන එක ගැන වුණත් වැරදි දෙයක් කියන්න බැරි නෑ”
“අනේ එයානං”
යශෝදර තරමක් නො රිස්සුම් වූයේ ය. නමුත් ඔහු ට වැඩිය කැපී පෙනෙන ලෙස නැගී සිටියේ පාරමී ගේ හඬයි.
“ඒක මාර වැඩක්නෙ. අපි කවදටත් ගිම්හාන් අයියලගෙ ගෙදර ආව ගියානෙ. ඒ එන්සිනා නිසා අපි ඒක නවත්තන්න ඕනද…”
“අනේ මේ කට වහගන්න පාරමී. ඕගොල්ලොන්ට තේරෙන්නෑ මං කියන දේ. ඉස්සර වගේ නෙවෙයිනෙ දැං. දැන් ගිම්හාන් නෑනෙ”
“ගිම්හාන් අයිය නැති නිසා තමයි අපි වැඩිපුර ඒ පැත්ත බලන්න ඕනෙ. ගිම්හාන් අයිය අපි මෙතන ඉන්න නිසයි ඔය ඉඩම අරං ගේ හැදුවෙ. මතක නැද්ද කිව්ව…එයා ඔෆිස් ගියාම රංගියි සඳියි තනියම හිටියත් බය නෑ අපි ඉන්න නිසා කියල…”
“හරි ළමයො. මං කියන්නෙ…අර මහ මනුස්සය හරි එක විදිහක්නෙ. ගිම්හාන් පුතාගෙ තාත්ත වගේ නෑ”
“ඉතිං අර කොහෙවත් ඉන්න කෙනෙක් නිසා අපි මොකටද වෙනස් වෙන්නෙ. මෙන්න මෙහෙ එනව යන්න. නැත්තං අර පොඩි එකී ආයෙ අඬන්න ගනී”
පාරමී අයියා අතින් කුඩේ උදුරාගෙන එය දිගහැරියා ය. ඊළඟට යශෝදරව අතකින් අල්ලා කුඩය යටට ඇද්දා ය.
“අම්මත් එනවනං යමු. ටිකක් රෑ වෙලා එමු”
“අනේ අර අම්මණ්ඩි මෙලහකට ඇවිල්ලත් ඇති. මං ආස නෑ ඔය මනුස්සයගෙ වචන අහන්න”
පාරමී යශෝදර ව ඇදගෙන ම වහිනා මිදුලට අඩිය තැබුවා ය. ඔවුන් එන තුරු මග බලා සිටි එසඳි ගේ සතුට මුහුණෙන් දෝරෙ ගැළුවේ ය. කිරි දත් පෙන්වා ඇය නගනා කිරි සිනහව මුළු ලෝකයක් අමතක කළ හැකි විදිහේ සිහිනයකි. ආලින්දයේ බිම හිඳ ගෙන යශෝදර එසඳි සමගින් සෙල්ලම් කළේ ය. සයුරංගනා පාරමී එක්ක මුළුතැන්ගෙට වැදී රෑ කෑම පිසුවා ය. ජයරත්න එසඳි ගේ සෙල්ලම් දෙස, පුටුවකට වී සිනහ වෙවී බලා සිටියේ ය.
තිලකා වැස්සට කොටු වී සිටියා ය. පුතා ගේ ගෙදර එන්නට සූදානම් වී, වැස්සට ශාප කරමින් ඇය ඒ මේ අත සක්මන් කළා ය. වැස්සේ බෑනා එක්ක යතුරුපැදියේ නැගී ඒම තරයේ ප්‍රතික්ෂේප කළ ඕ තොමෝ, වැස්සට ත්‍රීරෝදකරුවන් රිය ගෙතුළට කොට තබා ගන්නවායි ඔවුන්ට ද දෙස් තැබුවා ය. අන්තිමට ජයරත්න ට දුරකතන ඇමතුමක් දුන්නා ය.
“එන්න හැටියක් නැත්තං ඉතිං ඔහේ නවතින්න. වෙන මක්කරන්නද…”
ඔහු ගණනකට නැතිව කීවේ ය.
එදා යශෝදර හා පාරමී ගෙදර ගියේ තරමක් රෑ වූවාට පස්සේ ය. කෑම කන්නට කියා සයුරංගනා පෙරැත්ත කළ ද ඔවුන් කෑවේ නැත. ගෙදර උඩ තට්ටුව කුළියට දෙන්නට ගත් තීරණය ගැන යශෝදර සතුටු වූයේ ය. රැකියාවට යන යුවළක් සොයා දෙන්නට උත්සාහ කරන බවට ද ඔහු පොරොන්දු විය. සයුරංගනා රැකියාවකට යාමට හදිසි වෙනවාට වඩා එවන් අතිරේක ආදායමක් ගැන හිතනා එක සුදුසු ය යන්න ඔහු ගේ අදහස විය. එසඳි දැනටමත් සාංකා තත්වයකට පත් වෙමින් හිඳින්නී ය. ඇය යශෝදර වෙතින් සිය පියාව සොයන්නට පටන් ගෙන තිබෙන්නේ එබැවිනි. සයුරංගනා ද දවල් දවස පුරා ළඟ නැති වෙන එක ඇගේ මනසට අයහපත් බලපෑමක් කළ හැක.
“එසඳි රිකවර් වෙනකල් ජොබ් හොයන්න හදන්නෙපා. ප්ලීස්..හැම දේටම වැඩිය මේ කෙල්ල වටිනව”
ඔහු ගේ උරහිසෙහි නිදා ගත් එසඳි ව යහනේ තබා නැගිටින ගමන් යශෝදර සයුරංගනා ට කෙළින් ම සිය අදහස කීවේ ය. ඇය අතීරණාත්මක ව බිම බලා ගත්තා ය.
💜️ඔබ ඇවිත් කතාව කියවා ගිය බවට ඉඟියක් තියා යන්න!