සතුටු මන්තර 13

යශෝදර රාමනායක කාමරයේ සක්මනෙහි යෙදෙමින් කල්පනා කළේ ය. හිස මත මන්දර පව්ව පතිත වී ඇතිවා වන් බරක් ඔහු ට දැනේ. ඒ කිසිත් ඔහු ගේ ප්‍රශ්න නොවේ. නමුත් එහෙම කියන්නේත් කෙසේ ද? ගිම්හාන් යනු ඔහු ගේ සමීපතම මිතුරා ය. ඒ මිතුදම පාසල් සමයේ පටන් පැවත එන්නකි. ඔහු උන් හිටි ගමන් ජීවිතයෙන් සමු ගෙන ගියාට පස්සේ එතැන, ඒ ගෙදර අලුත් අර්බුධ රැසක් හට ගනිමින් පවතී. අහිංසක කෙල්ලකට හා සිඟිති දියණියකට තනිව විසඳුම් සෙවිය නො හැකි තරමට ඒ අර්බුධ උග්‍ර ය. සයුරංගනා ඔහු ගෙන් විසඳුම් ඉල්ලන්නේ නැතිවා වී ද එසඳි ඕනෑවටත් වඩා ඔහු බලාපොරොත්තු වන්නී ය. ඒ නිසා ඉස්සරහා ගෙදර නොදුටු සේ ඉවත බලා ගෙන යන්නට පුළුවන් කමක් ඔහු ට නැත. යශෝදර ගෙන් දිගු සුසුමක් බැහැර විණි. 

එක්වර ම කාමරයට කඩා පාත් වූයේ පාරමී ය. ඇගේ අතේ ජංගම දුරකතනය තිබිණි.

“මොකද ඕයි…ත්‍රස්තවාදියෙක් වගේ ඔහොමත් කඩං පනිනවද කාමර වලට…”

“ත්‍රස්තවාදියෙක් නෙවේ..මේක දැක්කට පස්සෙ ඔයාට මං දේවතාවක් වගේ පෙනෙයි”

ඇඳෙහි හිඳ ඇඳ විට්ටමට පිට දී ගෙන පාරමී හරි බරි ගැහුණා ය.

“එන්න ඉතිං පෙන්නන්න”

“අනේ මේ ඕකත් අරං යනව මට නිදහසේ ඉන්න දීල. කාගෙහරි කුණු ගොසිප් එකක් වෙන්නැති”

“ගොසිප්…හැබැයි මිස්ට යශෝදර මේක බලන්නැතුව ඔයා ලොකු පසුතැවීමක් ඉතුරු කර ගන්නයි යන්නේ…”

පාරමී එය කී තාලයට යශෝදර ගේ මුහුණට ක්ෂණික සිනහවක් ආවේ ය.

“එනව එනව”

පාරමී ඔහු ට හිඳ ගන්නට යහනේ ඉඩ දුන්නා ය. යශෝදර ඕනෑවට එපාවට වාගේ දුරකතන තිරය දෙස බැලුවේ ය. පාරමී, සයුරංගනා බ්‍රෙඩ් පීට්සා හදනා වීඩියෝව ක්‍රියාත්මක කළා ය. එහි ඇය ඉතා සොඳුරු ය. අමුතු හුරුබුහුටි කමක් ඇය කතා කරනා රිද්මයෙහි වේ. එය කොහොමත් ඈ කතා කරනා තාලය වී ද මෙහෙම තිරයක් මත දකිත්දී එය විශේෂ ය. අනිත් අතට ඒ ඉදිරිපත් කිරීමෙහි සයුරංගනා ඒ තරම් ආධුනික බවක් නො පෙන්වන්නී ය. 

“මොකද…කට වහගන්න බෑ වගේද…”

වීඩියෝව ක්‍රියාත්මක වී අවසාන වූ පසු ද යශෝදර විශ්මිත ව සිටියදී පාරමී ඔහු ව පියවි ලෝකය වෙත ගෙන ආවා ය. යශෝදර මඳ සිනහවක් නගා ගත්තේ ය.

“මොකද හිතෙන්නෙ..”

“අවුලක්මත් නෑ වගේ නේද…දැං එයා කැමතිද ඔය වැඩේට…”

“එච්චර කැමැත්තකින් නෙවේ..මගෙ බලේට මේක කළේ…හැබැයි රංගිට මේකට ටැලන්ට් එකක් තියනෝ අයිය. මං එයාට මේ ටයිප් එකේ යූ ට්යුබ් චැනල්ස් ටිකක් හොයල දුන්න පොඩ්ඩක් ස්ටඩි කරන්න කියල. මේකට මං එයාව ඇදල දැම්මට පස්සෙ හෙමීට කරගෙන යයි. දැං ඉන්නෙ කිරිහොදි හදන්නෙ කොහොමද කියලත් යූ ටියුබ් සර්ච් කරන ක්‍රවුඩ් එකක්. රංගනා ට ගෙදර ඉඳංම ගොඩ යා ගන්න බැරි වෙන්නෑ කියල මට ශුවර්”

යශෝදර සොයුරිය ගේ මූණ දෙස කෙළින් බැලුවේ ය. පාරමී ද අයියා දෙස නො සැලී බලා සිටියා ය. ඔහු ගේ ඇස් වල අලුත් ගැස්මක් වන බව නංගී මුල් වරට හැඳින්නා ය. 

“කාලෙත් එක්ක හුඟක් තුවාල සනීප වෙනව නංගි. මේ වෙලාවෙ හිත හදාගෙන කාලෙත් එක්ක ඉස්සරහට යන්න පොඩ්ඩක් එයත් එක්ක ඉන්න “

“හරි හරී…බය නැතුව ඉන්නව”

කියමින් යශෝදර ගේ කම්මුලක් මිරිකූ පාරමී දොර ද වසා ගෙන කාමරයෙන් පිට ව ගියා ය.

වැස්ස නිසා පුතා ගේ ගෙදර පැමිණිය නො හැකි ව තිලකා දියණිය ගේ ගෙදර ම නතර වූ දා යම් කිසි දෙයක් සිදු විය.  බෑ කියා අප සිතා ගෙන සිටිනා දෙයක් එක වතාවක් කිරීමෙන් පස්සේ ඒ බෑ කියනා අදහස තුනී වී යන්නට පටන් ගනී. වැස්ස දා රෑ දුවගේ ගෙදර නතර වීමෙන් පස්සේ, සයුරංගනා සිය මාමණ්ඩිය සමග ගෙදර තනිව ඉන්නා එක ගැන තිලකා ගේ සිතේ වූ ජුගුබ්සාව ද යටපත් විය. නැතහොත්, එය සාමාන්‍ය දෙයක් බවට පත් විය. මේ නිසා කම්මැළි හිතුණොත් ඇය එහි ම නවතින්නට පටන් ගත්තා ය.

“එහෙ අප්පච්චි ඉන්නෙ. එයාට මොකද්ද ඉතිං තනිය”

කියා ශක්‍යා ද බැලුවේ අම්මා ව තමන් ගේ ගෙදර නතර කර ගන්නට ය. තිලකා සිටින එක ශක්‍යා ට හැම අතින් ම පහසුවක් විය. එතකොට ඇයට කඩේ වැඩක් කරගෙන සිටිත හැක. අම්මා ගෙදර වැඩ බලා ගන්නී ය. 

තිලකා දවල් දවසේ ගෙදර නැති එක සයුරංගනා ගේ මානසික නිදහස සඳහා ඉවහල් වූයේ ය. පාරමී වුව ගෙදර ඉන්නා වෙලාවට ඇවිත් කතා කර කර ඉන්නේ තිලකා නැති නිසා ය. සැබවින් ම පාරමී නිසා සයුරංගනා ගේ හුදෙකලා දුක්මුසු දවස් මත ඇයටත් නොදැනී සතුටක්, සිනහවක්, සැහැල්ලුවක් තැවරෙන්නේ ය. ගිම්හාන් නැති අනාගතය කෙබඳු වේවි ද යන බියකරු කළු කුහරය තුළ ඇය ගිලී නොයා සිටිනුයේ පාරමී ගේ සැහැල්ලු සුන්දර අව්‍යාජ හිතමිතුරුකම් හින්දා ය. තිලකා සිටියොත් සිදු වන්නේ එහි අනිත් පැත්තයි. ඇගේ අනවශ්‍ය අතපෙවීම් නිසා සයුරංගනා ට හිත රිදවා ගන්නට ද සිදු වේ. නොරිස්සීම්, නො සන්සුන්කම් ඇති කර ගන්නට සිදු වේ. 

සියල්ලට පෙරමුණේ ගමන් කරනුයේ මනස යයි ධම්මපදය පාඩමක ඉගෙන ගත්තා සයුරංගනා ට මතක ය. ඒ නිසා හිත සන්සුන්ව තිබෙනවා නම් ඇය කැමති ය. ගැඹුරේ වේදනාවක් වන බව සදාතනික සත්‍යයකි. නමුත් ඉතා ගැඹුරු දියක වුව මතුපිට නිසල ය. එහෙම ජීවත් වන්නට තිබෙනවා නම් පහසු ය.

නමුත් තිලකා පැමිණෙන සන්ධ්‍යාවන් හි දී සයුරංගනා ඇයට ඉතා හොඳින් සැලකුවා ය. තිලකා හිතා මතා කරනා ඇතැම් හිත් රිදවීමක් වුව ඒ තරම් හිතේ ගැඹුරට කාවදින්නට නො දුන්නා ය. අනුන් ගේ හිත් රිදවන, අසංවේදී, අකාරුණික, කටවාචාල ස්ත්‍රීන් ලැව් ගිනි සේ ය. සයුරංගනා නිතර ම ඒ බව කල්පනාවේ තබා ගත්තා ය. තිලකා විසින් අවුළුවා ලන්නට තැත් දරනා ගිනි වලට හිතා මතා ම නො ඇවිලී සිටියා ය. මිය ගිය ගිම්හාන් වෙනුවෙන් ඒ ඔහු ට දිය යුතු ගෞරවයකැයි ඇය විශ්වාස කළා ය.

මේ නිසා සයුරංගනා ගේ ආත්මය ගිම්හාන කාලයක අහස සේ නිශ්චල විය. පැහැදිලි විය. 

එසඳි වැඩි වැඩියෙන් යශෝදර ව බලාපොරොත්තු වූවා ය. ඉක්මන් කෙටි නින්දකින් අවදි වන ඇය ඇස් අරින්නේ ම ‘අපාචි’ කියාගෙන ය. 

“අප්පච්චිව හීනෙන් දැක්කද පුතේ”

දරා ගන්නට බැරි වේදනාවකින් සයුරංගනා එතකොට දියණිය ගේ හිස පිරිමදී. 

“යං..යං…”

කියමින් දැරිය අම්මා ගේ අතින් අදී. හැන්දෑවේ ඉතිරි කාලය, යශෝදර ගේ යතුරු පැදියේ හඬ ඇහෙනා තුරු ඇය ට ඉන්නට ඕනෑ ට්‍රයිඩැක්ස් මිටියාවතේ ය.

නමුත් දැන් සයුරංගනා ට්‍රයිඩැක්ස් මිටියාවතේ තනි වන්නට බිය ය. ඒ තනි වීම තුළ වඩා හොඳින් ඇයට ඇය හමු වේ. ඒ සම්මුඛ වීම ඇය තිගස්සවයි. විශේෂයෙන් ම ගිම්හාන් මිය ගියාට පස්සේ ඔහුත් ඇයත් අතරේ වූ සම්බන්ධතාවයේ හිස් තැන්, නො පිරුණු තැන්, කවදාවත් පියවා ගත නො හැකි වූ පරතරයන් ඇයට පෙනෙන්නට ගනී. ඔහු කිසි දාක ඇයට පෙම් නොකළා ද කියා ඇය නොදනී. නමුත් ඉතාම හොඳ ස්වාමි පුරුෂයෙකු වීම ඔහු ගේ එක ම අධිෂ්ඨානය වූ බව දනී. ඇය ද යහපත් බිරියක ලෙස ඔහු ගේ සෙවනැල්ල යට හිටියේ ප්‍රේමයක් ගැන හැඟීමක් හෝ නොමැතිව ය. සැබවින් එතැන වූයේ ආත්මීය බැඳීමක් නොවන බව එදාට වඩා හොඳින් අද ඇය දනී. ඔවුන් එක ගමනක් යන්නට අත් අල්වා ගත් අය ය. ඔවුන් ගේ අරමුණු තිබුණේ දෙපසක ය. මේ අත් අල්වා ගැනීම ප්‍රේමයක් මත නොවී වෙන වෙනත් කාරණා මත වීම නිසා ඔවුන්ට එකිනෙකා මත සමපාත වන්නට පහසු වූවා නොවේ. ගිම්හාන් ට අඩුපාඩුවකින් තොර යුග දිවියක් ඕනෑ වූ නිසාත්, සයුරංගනා  ගෙදරින් වෙන් වෙන එක ගෙදර බර අඩු කරනා හේතුවක් වූ නිසාත් ඒ කුළගෙය තැනිණ. නමුත් හැමදාමත් එහි කාටවත් නො පෙනෙනා අඩුවක් වූයේ ය. ඇතැම් විට ඒ සබඳතාවය තුළ උන් ඔවුන් දෙදෙනාට පවා ඒ කුමක් දැයි හරියට ම අල්වා ගත හැකි වූයේ නැත. හරියට හොද්දක ලුණු මදි ද ඇඹුල් මදි ද මිරිස් හෝ වෙනත් තුනපහ වර්ගයක් අඩු ද කියා නිශ්චිත කර ගත නො හැකිවා මෙනි. සියල්ල යස පදමට ඇති බව පෙනුණේ ය. නමුත් දැනෙනා නො දැනෙනා ගාණට යම් කිසි අඩුවක් විය.

ඒ ප්‍රේමය බව දැන් සයුරංගනා දනී. ඔවුන් විවාහයකින් බැඳී සිටියාට ප්‍රේමයකින් වෙළී සිටියේ නැත. යුතුකම් වගකීම් කොටසක් ඉටු කරමින් සිටියාට ඒකාත්මික වීමක් අත්වින්දේ නැත. කිසියම් පරතරයක්, මොකක්ද කියා නො දන්නා පරතරයක් ගිම්හාන් මිය යන තුරු ම විය.

යශෝදර ගේ යතුරු පැදිය ඈතින් හඬ ඇසෙත්දී ට්‍රයිඩැක්ස් මිටියාවතේ සිට එසඳි පෙත් මග අයිනට දිව යයි. යශෝදර ඇය ව ඔසවා බයිසිකලය මත තබා ගෙන පෙත් මග පහලට එයි. ඒ අතරේ සයුරංගනා වත්ත මැදින් ගෙදරට යයි. යශෝදර අනිවාර්යයෙන් එසඳි වඩා ගෙන ගෙට ගොඩ වන්නේ ය. දැන් දැන් සයුරංගනා වතුර කේතලයේ පේනුව ගසන්නේ ඒ වෙලාවට යි. එසඳි සමගින් හුරතල් වී ගෙදර යන්නට හදනා යශෝදර ට,

“තේ හදනව යශෝදර බීල යන්න”

කියා මුල් දින වල ඇය ආරාධනා කළා ය.

“එපා සයුරංගනා මං ගෙදර ගිහිං වොශ් එකක් දාගෙන ම බොනව”

කියා ඔහු කීවේ ය.

“හරි ඉතිං ගෙදර ගිහිල්ලත් නාකියාගෙන බොන්න බැරියෑ. මෙහෙනුත් එකක් බීල යං”

ඒ ආරාධනය ජයරත්න ගෙනි.

“අපිත් තාම හවසට තේ බිව්වෙ නෑ”

එසඳි මග බලා සිටින්නේ හවසට යශෝදර ගෙදර එන තුරු ය. ඇගේ දවස සම්පූර්ණ වන්නේ ඔහුත් එක්ක හුරතල් වී ඔහුත් එක්ක සෙල්ලම් කොට ඔහු ගේ උරහිසේ ම නින්ද ගියොත් ය. නමුත් සයුරංගනා හැකි ඉක්මනින් එසඳි ගෙන් යශෝදර මුදා ගෙදර යවන්නට උත්සාහ කරයි. කෙසේ වෙතත් එසඳි වෙනුවෙන් යශෝදර කරනා කැප කිරීම නිමිත්තෙන් ඔහු ට හවසට තේ එකක් හදා දෙන එක ඇය ට සතුටක් විය. ගිම්හාන් ඉද්දී හවසට ගෙදර එන්නේ සයුරංගනා මෝල්ටඩ් මිල්ක් දමා හදන තේ එක බී නව පණක් ලබන්නට බලාගෙන ය. ඒ වාගේ තේ එකක් යශෝදර ට හදා දීමෙන් ඇය අතීත මතකයක් ගිලිහී නොයා ළඟ තබා ගන්නට උත්සාහ කළා විය යුතු ය.

යශෝදර පිට පාරෙන් ම ගෙදර යන්නට හැදුවොත් “තේ එකක් බීල යන්න යශෝදර” කියා සයුරංගනා වාගේ එසඳි කියන්නී ය. ඇය එසේ කියත්දී මැවෙන්නේ පුදුමාකාර හුරතලයකි. එතකොට යශෝදර දැරිය මිරිකා සිප ගනී.

“මගෙ පැහිච්ච ආච්චි”

තිලකා ඉන්නා හවසක නම් ඔය නිදහස පවත්නේ නොවේ. එතකොට යශෝදර දෙවන වතාවට ගෙට ගොඩ වන්නේ එසඳි ගෙන් බේරෙන්නට බැරි තැන ය. ඇතැම් විට ඔහු නෑවිත් හිටියොත් ඇය හඬා දොඩා හිතුවක්කාරකමක් කරයි. රෑ කෑම ප්‍රතික්ෂේප කරන්නට තරම් මුරණ්ඩු වෙයි.

“යශෝදර අංකල් නැතුව මං කන්නෑ”

“මේක යස වැඩක්නෙ. එයාගෙ කටින්ද ඔයා කන්නෙ…”

තිලකා දැරියට තදින් සිටින්නී ය. සයුරංගනා එසඳි සනසා කෑම ටිකක් කවා ගන්නට තැත් කරයි. එතකොට ඇය “යශෝදර අංකල්…එන්නකො අනේ” කියමින් කෑ ගසන්නී ය. හැඬුම්බර ඒ හඬ ඇසෙන විට යශෝදර ට ගෙතුළට වී සිටිය නො හැකි වෙයි. ඔහු ගේට්ටුව ළඟට විත් එසඳි වඩාගනී. ඇයට කෑම ටිකක් කවා ගන්නට සයුරංගනා ට හැකි වන්නේ එවිට ය.

එසඳි බත් කටක් කන අතරේ යශෝදර පෙත් මගෙහි අඩි කිහිපයක් දුරට ඇය වඩා ගෙන ඇවිදියි. ඇයට කණාමැදිරියන් අල්ලා දෙයි. වැටකින් මලක් කඩා දෙයි. සිය දෙඋර මත එසඳි ව වාඩි කරවා ගනී. දැරිය බඩ පිරෙන්නට බත් ටිකක් කන්නේ යශෝදර ළඟ සිටියදී පමණකි. ඇයට බත් ටිකක් කවා ගන්නට ලැබෙනා එක සයුරංගනා ට සැනසිල්ලකි. 

 💜️සතුටු මන්තර ගැන ඔබ කියනා කතන්දර අසන්නට මම ආශාවෙන් බලා සිටිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles