වාසල.. අයිසේ..අනුරාධපුරේ පැත්තේ මෙහෙණින් වහන්සේ කෙනෙක් අන්න තමුසෙව හම්බවෙලා මොනවද කියන්න තියෙනවා කියලා කිව්ව.කොච්චර ඇහුවත් මට කිව්වේ නෑ..පොඩ්ඩක් පුළුවන් නම් ගිහිල්ලා බලනවා මොනාද කියන්න තියෙන්නේ කියලා.
එහෙම කියලා අපේ ලොකු සර් මට කිව්වම මම එදාම ගියා ඒ මෙහෙණින් වහන්සේව හොයාගෙන.
ඔබතුමා ගේ නායකයාට දරුණු අපලයක් තියෙනවා. ඒක නැති කරන්න නම් රුවන්වැලි සෑය වටේට පූජා වට්ටි අතුරන්න ඕනේ.ඊට පස්සේ පරාක්‍රම සමුද්‍රයෙන් නාන්න ඕනේ. හැබැයි මේ හැම තෝත්රයක්ම කරන්න කලින් මාව මේ රටෙන් පිට කරලා ඉන්න ඕනේ…නැත්තං ඒ ග්‍රග අපලය මගේ පිටින් යන්නේ කියලා ඒ මෙහෙණින් වහන්සේ මට කිව්වා. එතකොට අපේ ලොකු සර් ජනාධිපති වෙච්ච අලුත හින්දා මමත් ඉක්මනින්ම මේ විස්තරය කිව්වා.කියපු ගමන් හැබැයි ලොකු සර් මේ පූජාව කරන්න හා කිව්වා.කවුරුවත් මේකට සහභාගි වුණේ නෑ අපි දෙන්නා විතරයි ගියේ.අපි දෙන්නා පූජාව කළාට අර මෙහෙණින් වහන්සේව පිටරට අරින වැඩේ දවසකින් කල් ගියා. මොකක්ද වීසා ප්‍රශ්නයක් ඇවිල්ලා.මාර වැඩේ කියන්නේ අපේ පූජාව ඉවර වෙනකොටම ලොකු සර්ට කෝල් එකක් ආවා ඒ මෙහෙණින් වහන්සේ අන්තරා වුණා කියලා..එදානං ඇත්තටම අපි දෙන්න බය වුණ..
නමුත් වාසල මහත්තයා .. චෝදනාවක් තියෙනවා ඔබතුමා හිතලම ඒ මෙහෙණින් වහන්සේව ඝාතනය කළා කියලා.. මොකද ඒ මෙහෙණින් වහන්සේ තවත් මොකක්ද ලොකු රහසක් ජනාධිපතිතුමා ගැන ඔබතුමාට කියලා තියෙනකොට එක වසන් කරන්න ඔබතුමා එහෙම කළා කියලා තමයි කියන්නේ..
ඕවා කට කතා නේ..කවුද ඕවා ගණන් ගන්නේ..ලොකු සර් දන්නවා මම කවුද කියන්න.අපි ඉස්කෝලේ කාලෙ ඉඳලම යාළුවෝ.ඒ මෙහෙණින් වහන්සේ මැරුණේ හාර්ඇටෑක් එහෙකින්. මට පුළුවන්ද එයාගේ පපුව ඇතුලට රිංගලා පපුව නතර කරන්න. පපුව මිරිකන්න නම් පුළුවන්…
ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා ජනාධිපතිවරයා සමඟ බොහොම ළඟින් ඇසුරු කළා.නමුත් එදා මහවැලියේ තිබිච්ච උත්සවයේදී ඔබතුමා හිතාමතාම ඒ උත්සවය මගහැරියා කියලා චෝදනා තියෙනවා. එතනදි ජනාධිපතිතුමා ඝාතනය වෙනවා.ඒක ඔබගේ වැඩක් කියලා චෝදනා තියෙනවා ..
අනේ බානු … ඕගොල්ලෝ තාම පොඩි ළමයි.මොනවා ද ඕගොල්ලෝ මේවා ගැන දන්නේ..මම ජනාධිපතිතුමාව මරන්න ප්ලෑන් කලානම් මම නොගිහින් කොහොමද..මගේ ප්ලෑන් එක ක්‍රියා කරවන්න මම යන්න ඕනෙ නැද්ද..ඇත්තටම එදා මට යන්න බැරුව ගියේ ජනාධිපතිතුමාගෙ ඊලඟ රැස්වීම ලෑස්ති කරලා තිබුණේ නුවර.මම ඒකෙ සංවිධාන කටයුතු කර කර හිටියේ.එතකොට තමයි මට ඇමතුම ආවේ ජනාධිපතිතුමාව ඝාතනය වෙලා කියලා.මට පිස්සු හැදුණේ නැති ටික විතරයි..
එතකොට ඔබතුමාගේ කණ්ඩායමේ තමයි බටු අජිත් හිටියේ.ඒ වගේ නම ගිය අපරාධකාරයෙක්ව සම්බන්ධ කරගෙන හිටියේ ඇයි…
බටු අජිත් අපරාධකාරයෙක් කියලා කවුද කියන්නේ..කොහෙද එයා අපරාධකාරයෙක් කියලා ඔප්පු වෙලා තියෙන්නෙ..බටු අජිත් කියලා කියන්නේ අනික් අයට වැඩිය ටිකක් මිටි හින්දා.ඒ අහිංසක මනුස්සයව අපරාධකාරයෙක් කරලා තියෙන්නේ ඕගොල්ලෝ වගේ මාධ්යකාරයෙන් තමයි.ඒ ගොල්ලො අපේ පක්ෂයට උදව් කරපු බව ඇත්ත..අපේ පක්ෂය ඡන්දේ දීනුවට පස්සේ ඒගොල්ලෝ ඒක සමරපු බවත් ඇත්ත.ඊට පස්සේ කා කොටා ගත්ත දේවල් එයාලගේ පෞද්ගලික ප්‍රශ්න.ඒවා ඉතින් සාමාන්‍ය දේවල්..
එතකොට අකලංක රනවීර ඇමතිතුමාගේ ඝාතනය ගැන ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ..ඒකටත් මූලිකවම චෝදනා එල්ල වෙලා තියෙන්නේ ඔබතුමා ට නේද …
චෝදනා නම් මොනවද ළමයා…දේශපාලනය කරන ඕනම කෙනෙකුට චෝදනා තියෙනවා තමයි.හැබැයි ඒවා ඔප්පු කරලා පෙන්නන එක තමයි හපන්කම..
හැමදේටම මගේ නම ගෑව්වහම හරි කියල තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ..ඊටත් ඡන්දයක් කටේ තියාගෙන කවුද ඔය වගේ ප්‍රබල ඇමති කෙනෙක්ව ඝාතනය කරන්නේ..එහෙම වුණහම නිකන්ම කළු පැල්ලම එන්නේ අපිටනේ..ඉතින් එතකොට තේරෙන්නෙ නැද්ද ඕක විරුද්ධ පක්ෂයේම වැඩක් කියලා..
එතකොට ඔබතුමාට විතරක් විනය විරෝධී පරීක්ෂණයක් පැවැත්වූයේ ඇයි..
ඒකනම් පෞද්ගලික ප්‍රශ්නයකට වෙච්චි දෙයක්..ඒ ගැන මම කතා කරන්න කැමති නෑ..
වාසල කන්දටියා ආරච්චිත් එක්ක මම තියපු සම්මුඛ සාකච්ඡාවේ පළවෙනි ලිපිය ජනසුවඳ පත්තරේ මැද පිටේ පළවුණා..
කතිරයේ කවුළුවෙන් එහා කියන ලිපි සංග්‍රහයට අදාළව තමයි පළවෙනියෙන්ම ඒ ලිපිය ලියැවුණේ.ඒ ලියවිල්ලත් සෑහෙන ආන්දෝලනාත්මක වුණා.වාසල කන්දෙටියආරච්චි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් සම්මුඛ සාකච්ඡාවක් තියන්න කැමති ඇමති කෙනෙක් නෙමෙයි.වාසල කියන්නේ නයෙක් කියලා තමයි හැමෝම කියන්නේ.ඒ උනාට මට ඒකට අවස්ථාව හම්බවුනේ මගේ තිබුණු සුව උත්සාහය හින්දමයි.දවස් ගානක් වාසලගේ පස්සෙන් ගිහින් ගිහින් කොහොම හරි සාකච්ඡාවකට දිනයක් ඉල්ලගෙන නොවදිනා වැදුම් වැන්දා සාකච්ඡාවට එන්න කියලා. ඒත් මම අහන ප්‍රශ්න ටික එයාට කලින් ඕනි බව මට දැනුම් දුන්නා. එහෙම නැත්තං එයා එන්න කැමති නැති බවත් දැනුම් දුන්න.වෙන කරන්න දෙයක් නැති නිසා මම අහන ප්‍රශ්න එයාට කලින් දුන්නා.ඇත්තටම ඒ ප්‍රශ්න කලින් මම කිව්වේ නැත්නම් වාසලට කොහොමවත් ඒවට උත්තර දෙන්න බැරි බව මම දන්නවා.හැබැයි සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ එයා දීපු උත්තර එයාට සාර්ථකයි කියලා හිතුන හින්දා මිනිහා සතුටෙන් සාකච්ඡාව අවසන් කළා.
මම ලියපු ලිපිය කියෙව්වට පස්සේ කේසර පුදුම උනා.
බානු .. ජීවිතේ පරදුවට කියලා වැඩ කරන්න ගත්තෙ කවද ඉඳලද.. කේසර ඇහුවා..
හිත පිච්චිලා අලුවෙලා ගියදා ඉඳන් කියලා මම කිව්වා…
එයින් එහාට වචනයක්වත් කතා නොකරපු කේසර කිසිම දෙයක් සංස්කරණය නොකර මේ ලිපිය පළ කරන්න කියලා භාර දුන්නා.
එතකොට ඔබ වහන්සේ එළිපිට බොහොම සිල්වත් හාමුදුරු නමක්.. ඒත් හැංගිලා මේ වැඩ කරනවා..
හැංගිලා නෙමෙයි මම ගැන දන්න හැමෝම මාව දන්නවා.යන්තර මන්තර ගුරුකම් වැඩ කරගන්න ඕන තරම් රාජයේ උසස් නිලධාරීන් වගේම දේශපාලන තලයේ උසස් නිලධාරිනුත් මාව හොයාගෙන එනවා.ඒවා කිරි ගහට ඇන්න වගේ හරි යනවා.
එතකොට ඔබවහන්සේට චෝදනා තියෙනවා කාන්තාවන්ට දරුඵල දෙනවා කියල..
ඒක මාර කතාවක්..එතකොට දරුවො නැති ගැහැණුන්ට දොස්තරලා බෙහෙත් කරලා ළමයි හම්බවෙන්නේ නැද්ද..එතකොට දොස්තරලත් වැරදි කාරයෝ ද…
ඔබ වහන්සේට චෝදනාව තියෙන්නේ දරුපල ප්‍රාර්ථනා කරගෙන එන ගැහැණුන්ව දූෂණයට ලක් කරනවා කියලයි..
ඒ කතාව පිළිගන්න පුළුවන් දෙයක්ද..දරුපල ඉල්ලගෙන එන්නේ ගැහැණු කෙනා තනියමද..ඒ අයගේ මහත්තයා එන්නේ නැද්ද.. මම කරන ශාන්ති කර්මයට ඒ ගැහැණුන් ගැබ්බර වෙන එකට මම මොනවා කරන්නද…
එතකොට ඔබවහන්සේට දැඩිව චෝදනා තියෙනවා ඒ හුඟක් ස්ත්රීන්ට ලැබෙන ළමයි ඔබවහන්සේගේ හැඩරුව තියෙන ළමයි කියලා..
දැන් ඔය ගැහැණුන් කිසි කෙනෙක් පිළි අරගෙන තියෙනවාද තමන්ව අතවර වලට ලක්වුණා කියලා..නැහැ නේද ..මම බොහොම සිල්වත් හාමුදුරු නමක්.මගේ සිල්වත් බව නිසා මම බොහොම රූපයෙන් උසස්.මෙතනට එන හුඟක් ගැහැණුන්ගේ හිත් වල මගේ රූපය ඇඳී පවතිනවා. ඉතින් ඒගොල්ලෝ ශාන්ති කර්මයෙන් පස්සේ ඕනවටත් වඩා මගේ රූපය හිතේ තියාගෙන ඉන්නවා ඇති.මම බණකට වඩිනකොටත් තාමත් මගේ රූපයට වශී වෙච්ච ගැහැණු දරුවෝ බණ අහන්න ඉස්සරහින්ම වාඩිවෙලා ඉන්නවා ඕන තරම් දකින්න පුළුවන්.ඉතින් ඒ විදිහට මගේ රූපයම තුන් තිස් පැයේම හිතේ තියාගෙන ඉන්න අම්මණ්ඩිලාට හම්බවෙන ළමයින්ගේ මූණුත් මගේ වගේ වෙන එක අහන්න දෙයක්ද.ඔය නෝනා උනත් ටිකක් හරි ඉගෙනගෙන තියෙනවානම් අහලා තියෙනවා ඇති නේද වෛද්‍ය විද්‍යාවෙත් පිළිගන්නවා නිතර දෙවේලේ තමන්ගේ හිතේ ඇඳෙන රූපය තමයි දරුවට බලපාන්නේ කියලා.ඔච්චරම සැක නං ඒ ඇත්තන්ගෙ පිය පාර්ශ්වයට පුළුවන් නොවැ ඩී එන් ඒ පරීක්ෂණයක් තියලා ඒ බව හොයාගන්න.. ඔයාලා සේරමල්ලා කරන්නේ ලෙහලා බලන්න තියෙන මල්ල ඔබල බලන එක නේද..
එතකොට ඔබ වහන්සේට බාහිර සමාජයෙන් බලපෑම් තියෙනවා නේද ඔබවහන්සේට හරියට පන්සිල් පද පහවත් කියාගන්න බැහැ කියලා…
ඔය ඉතින් ගිහියන්ගේ හැටියක්ම තමයි.අනුන්ගේ ඕපදූප අනුන්ගේ ඇදකුද හොය හොය තැන තැන කියවන එක තමයි වැඩේ.ඔය ඕපදූප කතා කරන කිසි කෙනෙකුට පුළුවන් උනාද මං වගේ දෙයක් මේ ලංකාවේ මිනිස්සුන්ට කරන්න.පන්සිල් පද පහනං මොනවද..ඔය ගිහියො උදේ හිට රෑ වෙනකන් පන්සිල් ගත්තත් ඒවා එකක්වත් පිළිපදිනවද කියලා මට කියන්න..
කටපාඩම් තිබුණට විතරක් මදි..ඒවා පිළිපදින්නත් ඕනේ..යථාකාරී තථාවාදී වෙන්න ඕනේ..
ඔබවහන්සේ මේ රටේ ප්‍රධාන සංඝ නායක හිමිවරුන්ගෙන් කෙනෙක්..එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දී හදි හූනියම් අන්තර් මන්තර ගුරුකම් බැහැර කරපු දේවල්..ඔය තරම්ම දේවල් කරන්න ඕනෙනං ඇයි සිවුරක් පොරෝගෙන ඉන්නේ..
මහණ වීමේ අයිතිය තියෙන්නේ මට.මහණ වී සිවුර රැක ගැනීමේ අයිතිය තියෙන්නේ මට.මේක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ ගිහියො..බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙන්නේ පැවිදි උතුමන්ට විතරක් නෙමෙයි.ගිහියන්ටත් ධර්මය දේශනා කරලා තියෙනවා.ගිහියන්ගෙත්…
දෙමව්පියන්ට වෙනම රාජ්‍ය පාලනයට වෙනම දරුවන්ට වෙනම ඒ විවිධ කොටස් වෙන් කරලත් ධර්මය දේශනා කරලා තියෙනවා . තමන්ට අදාළව දේශනා කරපු ධර්මයන් කවුරුහරි පිළිපදින එක ගිහියෙක් මට පෙන්නන්න.හරියටම පිළිපදින එක ගිහි කෙනෙක් මේ ලංකාව ඇතුලේ ඉන්නවා නම් අන්න එයාට පුළුවන් මට ඇඟිල්ල දික් කරන්න. තමන්ට අදාළ කොටස් තමන් කරන්නේ නැතුව තව කෙනෙකුගේ ඇදකුද පෙන්නන එක නියම බෞද්ධයෙකුගේ හැටියක්ද..
එදා වැලිවතුරේ විජිත හිමිත් එක්ක කරපු සංවාදය මගේ ජීවිතය කණපිට පෙරළුවා.