“ඔයා ඇයි කෝසල මං වගේම තව ගෑණියෙක්ට එහෙම කලේ?”
අනුරාදි ආවේ කෝසලට ඇප ලබා ගන්නටය. දන්නා හඳුනන නිතිවේදීන් කොතෙක් උන්නද කැලුමිනීට උපකාර කරන්නට පැමිණ තිබුණු හස්තය තමා සිතුවාටත් වඩා බල සම්පන්න බව කෝසල තේරුම් ගත්තේ ඒ කිසිවකින් ඇප ලබා ගැනීමේ කාර්‍යය අසීරු වෙද්දීය.
අනුරාදි දෙනෙත් අස්සේ කැටිකොට තිබුනේ බිඳුණු සිතක වේදනාවයි. ඒ වේදනාව කඳුලු බිඳු ලෙසින් දෙනෙත් මුල ගොඩ ගැසී තිබෙද්දී කෝසල බිම බලාගෙනම උන්නේය. ඒ මුහුන දෙන්නට ලැජ්ජාවෙන්ද කියා සිතන්නටවත් නිස්කලංකයක් අනුරාදිට තිබුනේ නැත.
“මං හිතුවෙ…මං හිතුවෙ නෑ ඇත්තටම මොන ප්‍රශ්න වලට මූණ දෙන්න උනත් ඔයා කවදාවත් මේ වගේ දේවල් කරන මනුස්සයෙක් කියල කෝසල. ඔයා කී දෙනෙක් එක්ක චැට් කරල අහු උනත් මම ඒ හැමදේකටම සමාව දුන්නෙ කවදහරි ඔයා වෙනස් වෙයි කියල හිතල.
ඒත්…ඒත් මෙහෙම දෙයක් අහන්න වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ. අනේ ඇයි කෝසල ඔයා මෙහෙම කරේ? මම කොච්චර ඔයාට ආදරේ කරාද? අපිට ගමේවත් ඉන්න බැරිවෙලා තියෙන්නෙ මේව හන්දා. මිනිස්සු කතා කර කර අහනව මොකද්ද වෙලා තියෙන්නෙ කියල
මට වහ ටිකක් බොන්න හිතිල තියෙන්නෙ”
කෝසල කිසි දිනක තමාව මේ අයුරින් රවටනු ඇතැයි කියා නොසිතෙද්දී දරාගන්නට බැරි වේදනාවක්, සංවේගයක් කුස අස්සේ සිට පපුව මත්තට එන අයුරු අනුරාධිට දැනුනේය. එහෙත් සියල්ල වී හමාරය. කල යුතු දෙයක් තීරණය කල යුතු වන්නේ කෝසල මේ දෙයින් නිදහස් වූ පසුවය. අනෙක් අතට කුමන තීරණයක් ගත්තද මේ සිදු වූ දේවල් වලින් තමා මත තැවරුණ අඳුරු පැල්ලම් ඉවත් කරන්නට කිසි දිනක පුලුවන් කමක් ලැබේවිද?
“ඒ ගෑණු ළමයගෙ හස්බන්ඩ් එයාව ඩිවෝස් කරලලු. ඒ ලමය අනික ප්‍රෙග්නන්ට් කියල මට ඇහුන පොලිස් ඔෆිසර්ස්ල කතා කරනව. ඔයා එහෙම දෙයක් කරන්න හිතුවෙවත් කොහොමද කෝසල?
අනික එහෙම දෙයක් කරල වෙන ගෑණු කෙනෙක් ගෙන දෙයක් ලබාගන්න මං ඔයාට මොනවයින්ද කෝසල අඩුපාඩුවක් කලේ?”
අනුරාදි අසන කිසිවකට උත්තර දෙන්නට හැකියාවක් කෝසලට තිබුනේ නැත. මේ කිසිවක් මෙහෙම වෙතැයි කියා සිතාකල කී දේවල් නොවන බව කියන්නද?
තමාගේ එකම පරමාර්තය වූයේ කැළුමිනීව බියට පත් කර ඒ ඔස්සේ ඇයගේ පහස ලැබීම බව කෙසේ අනුරාධිට කියන්නද?
අනුරාධි කොතෙක් හඬා වැලපුනද මේ සියල් ව්‍යසන වල පිටුපස තිබෙන්නේ තමාගේ කල්කිරියාවේ අයහපත් කම බව තේරුම්ගන්නට හෝ පිලිගන්නට සුදුසු මානසිකත්වයක කෝසල උන්නේ නැත. ඔහුට අනුව තවමත් වැරදි කැලුමිනීය. තුරුණු වියේදි පෙම්වතා සමග ලැගුම්හල් වලට ගිය එකියක තම අතීතය නිසාවෙන් අවසානයේ විවාහය කඩාකප්පල් කරගෙන අවසානයේ එයම තම ජීවිතය ගිනිබත් කරන්නට තැත් කිරීම ගැන කෝපය කෝසලගේ සිත ඇතුලින් මොහොතකටවත් නික්ම ගියේ නැත.
කෝසල උන්නේ කැලුමිනීව මරා දමන්නට හැකි අන්දමේ කෝපයකිනි. එහෙත් අරවින්ද විසින් කැලුමිනී වටාත් ඇගේ ජීවිතය වටාත් එලා තිබුනු දැල ආදරයත් ආරක්ෂාවක් හැකි උපරියෙන්ම ගෙන තැනුවක් බව ඒ සිතුවිලි අස්සෙනුත් කෝසල තේරුම් ගනිමින් උන්නේය.
මිලින්ද කතා කර සියලු විස්තර අරවින්ද සමග බෙදා ගත්තේ රාත්‍රියේය.
“මං කියන්නෙ නෑ මචං අපිට ඌව මේ සදහටම හිරේ දාන්න පුලුවන් කියල. උඹ දන්නවනෙ ඉතින් අපේ නීතිවලත් මචං ලූප් හෝල් තියෙනව කියල. ඒ උනාට උගෙ ලඟ තිබුන ඔක්කොම ඒ වීඩියෝස් අපි අයින් කරල දැම්ම.
අපෙ අයියල ගැනත් දන්න හන්දා මම සම්පූර්ණයෙන්ම ඒ ප්‍රොසෙස් එක ඕවර් ලුක් කරා. ඒක ගැන උඹ වොරි වෙන්න ඕන නෑ. ඒ උනාට මේව අපි හැමෝටම හොඳ පාඩම් බං. බලපන් දැන් ඒ කෙල්ලගෙ හස්බන්ඩ් ඒ කෙල්ලව ඩිවෝස් කරන්න හදල තියෙන්නෙ මේ කොහෙවත් ඉන්න කසඩයෙක් කිව්ව දෙයක් අහලනෙ.
පුදුම උන් තමයි. කොයි රටේද යකෝ තමන්ගෙ ගෑණිට චරිත සහතික දෙන්න වෙන උන්න තෝරගන්නේ මිනිස්සු?”
“ජීවිතේ ඔහොම තමයි බං. ඒ මනුස්සයටත් මම හිතන්නෙ එහෙම ලොකු උවමනාවක් තිබිල නෑ මැරේජ් එක පරිස්සම් කරගන්න. අපි දන්නෙ නෑනෙ බං ඒ මිනිස්සුන්ගෙ හිත්වල මොනව තිබුන්ද කියල. එක එක මිනිස්සු ඉතින් එක එක ප්‍රශ්නවලට රිඇක්ට් කරන විදි තමයි”
මිලින්ද ගෙන ආවේ සතුටු දායක ආරංචියකි. අරවින්ද ඇමතුම අවසානයේ දුරකතනය පසෙක තබා පරිගණකය දිග හැර ගත්තේ රාජකාරියට අදාල යම් ලිපි ගොනු කිහිපයක් පිරික්සනු පිණිසය. කැළුමිනී ආවයින් පසු සියලුම මූල්‍ය වාර්තා පරිගණක ගත කර තිබූ නිසාවෙන් සියල්ල වෙනදාට වඩා පහසුවෙනුත් පිලිවෙලිනුත් සොයා බලන්නට හැකියාව ලැබී තිබේ.
අම්මාගෙන් ඇමතුමක් ආවේ ඒ අතරවාරයේය.
අම්මාගෙන් ඇමතුමක් ඒම ඇතැම් වෙලාවට සිත බියපත් කරන්නක් විය. අම්මා ඉන්නේ ලෙඩ ගාණේය. අනික් අතට සාත්තු සේවිකාවක ලඟ උන්නද සිතෙන් තනිකමේ රස විඳිමිනි. ඒ බිය අම්මාගෙන් එන ඇමතුමක් පලමු නදින්ම අමතන්නට අරවින්ද පුරුදු වි උන්නේය.
“හෙලෝ”
“පුතා බිසී ද?”
“නෑ අම්මෙ කියන්න හදිසියක් ද?”
“හදිසියක් කියන්නෙ පුතා මට කෝල් එකක් ආවා. කවුද කියල මං කියන්නෙ නෑ. කිව්ව දේ සහමුලින්ම බොරුවක් කියල මං කියන්නෙ නෑ. ඒ උනාට මට පිට මිනිස්සුන්ගෙන් දේවල් අහන්න කැමති නෑ. මම ඒකයි පුතාට කතා කරේ
පුතාගෙයි අර පබෝදාගෙ ගෙදර ඉන්න ගර්ල්ගෙයි සම්බන්ධයක් තියෙනවද?”
ඒ පැනයෙන් අරවින්ද තිගැස්සුනේ නැත. එහෙත් කැළඹුනේය. අම්මා විසින් කෙදිනක හෝ මේ පැනය අසන්නට නියමිත බව දැන උන්නද කිසිසේත්ම මෙවන් මොහොතක අම්මා මේ ගැන අසාවි කියා සිතුවේ නැත.
“ඇයි අම්මා එහෙම ඇහුවෙ?”
“පුතා මම එහෙම ඇහුවෙ පුතාව සැකයක් හන්ද නෙවෙයි, මිනිස්සු කියන කතා මට විස්වාස කරන්න ඕන නෑ. පුතා මොන දේ කරත් මට ඒක දැනගන්න ඕන පුතාගෙන් මිසක් පිටින් නෙවෙයි පුතා.
ඒකයි මම ඔයාගෙන්ම මේ ගැන අහන්න හිතුවෙ. පුතා මට කවදාවත් බොරු කරපු ලමේක් නෙවෙයිනෙ. ඒනිසා මට ඇත්ත කියාවි කියල මම හිතනවා”
අම්මා කොහොමත් කිසි දිනක කලබල වී තීරණ ගත් කාන්තාවක් නොවන වග අරවින්ද අත්දැකීමෙන් දැන උන්නේය. මෙවන් මොහොතක වුව මෙතරම්ම සියුම් ලෙසත්, නිස්කලංකවත් අසන්නේ කෙසේද කියා අරවින්ද දැන උන්නේ නැත.
තාත්තා නැති වූ මොහොතේ පවා කඩාවැටෙන්නට බොහෝ හේතු කාරණා තිබුනත් අම්මා විසල් ගසක් මෙන් නැගී හුන් අයුරු අරවින්දට අමතක නැත.
“මම ඒ ලමයට ඇත්තටම කැමතියි අම්මෙ. මම එයාගෙන් ඒ ගැන ඇහුව. නැත්තෙ නෑ. ඒ උනාට එයා මං අහපු දේට කැමති උනේම නෑ”
අම්මා ඉන්පසුව නිහඬ වූයේ ඇයිද කියා සිතද්දීම ඇය නැවත කතාව ඇරඹුවාය.
“ඒකට ඒ දරුව මොකක් හරි හේතුවක් කිව්වද?”
“එයා බයයි. මිනිස්සු එයා ගැන වරදක් හිතාවි කියල. එයා ප්‍රෙග්නන්ට් හන්ද. එයා මාව රවට්ටගෙන කියල. අනික එයා ඔක්කොටම වඩා බයයි අම්මා ඒකට තරහ ගනීවි කියල”
“ඇයි?”
“එයාට දරුවෙක් ලැබෙන්න ඉන්න හන්දා”
“ඒ දරුව දන්නෙ නැද්ද පුතා ගැන ඇත්ත විස්තරේ?”
ඒ තීරණාත්මක කතාවකි.
බොහෝ මිනිසුන් නොදන්නා කතාවකි.
තමා තවම ඒ ගැන කිසිවක් කැලුමිනී සමග බෙදා නොගෙන ඇති බව අරවින්ද දනී. එයට හේතුව ආදරය දිනාගත යුත්තේ ආදරෙනි. මේ කේවල් කිරීමක් නොවේ. ආදරයක් සිතේ තිබේ නම් එය ඇතිවන්නට හේතුව විය යුත්තේත් ආදරයම නොවේද?
ආදරයක් ලබා ගන්නට එහි සුන්දරත්වය අඩු කරන්නට හේතුවන, එහි නිකැලැල් බව අවම කරන්නට හේතු වන නිදහසට කාරණා දක්වන්නට හේතුවක් තිබිය යුතුද?
ඇයගේ ආදරයට හේතුවක් වන්නට කොතරම්ම ආසා වුවද එය අනුකම්පාවේ සඳ කිරණින් නහවන්නට අරවින්දගේ තුන් සිතකවත් අදහසක් තිබුනේ නැත.
ඉතින් කාරි නැත. කැලුමිනීම කෙදිනක හෝ සිතා තමාට ආදරය කරන තුරුම බලා හිඳින්නට තමාට බැරිකමක් නැත
අනෙක් කිසිත් හේතුවක් මත නොව තමා කැළුමිනීගේ ආදරය දිනාගන්න නම් එය දිනාගත යුත්තේත් ආදරය නිසාවෙන්ම බව අරවින්ද සිතුවේය.