සතුටු මන්තර 17

එසඳි ට සරුංගලයක් ඕනේ කියමින් අරගල කරන්නට පටන් ගත්තා ය. දැන් දැන් අහසට සරුංගල් පැමිණෙමින් තිබේ. තවමත් පාසල් නිවාඩු නො දුන්න ද ළමයි සරුංගල් ගෙන පාරට බහින්නටත්, අහස දෙස බලා ඉන්නටත් පටන් ගෙන තිබේ. එසඳිටත් ඕන වී තිබෙන්නේ අසල්වැසි පිරිමි ළමයින් වෙලේ සරුංගල් අරිනු දුටු නිසා ය. 

“අපි කඩේ ගියාම සරුංගලයක් ගමු”

සයුරංගනා ඈ සනසනු වස් කීවා ය. ඒ වෙලාවේ පටන් එසඳි කඩේ යමුයි කියමින් කංකෙඳිරි ගාන්නට වූවා ය. 

“දැං කඩේ යන්න බෑ. කඩේ ගිය වෙලාවක ගමු බබා”

නමුත් පුංචි හිතකට එහෙම කල් බලා ඉන්නට බැරි ය. 

“යශෝදර අංකල්ට කියමුකො සරුංගලයක් හදල දෙන්න කියල”

එසඳි මෙහෙම කියාවියි මෙතුවක් සයුරංගනා සිටියේ දෙගිඩියාවේ ය. සැබවින් දැරිය එසේ කියනවාට ඕ බිය වූවා ය. එදා දානයෙන් පස්සේ තිලකා ද ශක්‍යා ද යන්න ගියේ සයුරංගනා ගේ හිත අන්තිමට ම රිදවිය හැකි කතාව ද කියා ය.

“ගමේ යන්නෙත් නැතුව මෙහෙ තනියම හරි ඉන්න ඕන කියන හේතුව අපිට හිතා ගන්න පුළුවන්. අර යශෝදර කියන එකා ගාණට මිම්මට මේ ගෙදර අයගෙ නහය විදගෙන තියෙන්නෙ. බොරුවට ළමය කරගහගෙන ඉන්නව ආදරේ බව පෙන්නන්න. අපි නොදන්න ආදරේ. බලමුකො ඔය ආදරේ කාටද කියල.. එක හීනෙං එළි වෙන්නෑනෙ”

ඒ වචන නම් පිහි තුඩු සේ සයුරංගනා ගේ පපුවේ වැදිණ. ඇය නැන්දම්මාට හෝ නෑනා ට කිසිත් නො කියා හකු තද කොට ගත්තේ ඒ ගැන කතා කිරීමත් අශෝභන හින්දා ය.  අනෙත් අතට ඔවුන් ගේ ඒ අශෝභන කතාවක් රාමනායක පවුලේ කෙනෙකු ගේ සවන් වැකේවියි බියට ය. ඒ තරම් උදව් කළ මිනිසුන් ට ඒ වගේ හිත් රිදීමක් සිදු වන්නට ඕනෑ නැත. ගිම්හාන් ගේ හොඳ ම මිතුරා ට එවන් පදයක් හැදෙන්නට ඕනෑත් නැත.

ඒ නිසා සයුරංගනා එයින් පසු ප්‍රවේසම් වූවා ය. යශෝදර ගෙන් උදව් බලාපොරොත්තු නොවන්නට වග බලා ගත්තා ය. එසඳි ව වුව වැඩිපුර ඔහු ට සමීප නොකර සිටීමට උත්සාහ කළා ය. නමුත් එසඳි වූ කලී කුඩා දැරියකි. ඇය ලොකු මිනිසුන් ගේ ඊර්ෂ්‍යාකාර සිත් ගැන දන්නේ නැත. ළපටි හිත් ලතාවන් සේ ය. ආදරය දැනෙනා තැනෙක වෙලී හිඳීම ඔවුන් ගේ හැටියකි. 

දානයෙන් පස්සේ සයුරංගනා ගේ ඇති වූ වෙනස යශෝදර ට නො දැනුණා නොවේ. තිලකා අතින් සයුරංගනා ගේ හිත බිඳෙනා යමක් කියවෙන්නට ඇති බව ඔහු අනුමාන කළේ ය. තිලකා ඔහු ට ද කිහිප විටක් ම ඇනුම්පද කීවා ය. 

නමුත් යශෝදර ඒ කිසිවකින් සැළුණේ හෝ වෙනස් වූයේ හෝ නැත. ඔහු වැඩ නිම වී එන ගමන් මුලින් ම ගොඩ වූයේ ගිම්හාන් ගේ ගෙදරට එසඳි සොයා ගෙන ය. යශෝදර එන වෙලාවට ට්‍රයිඩැක්ස් මිටියායත මගහැර ඉන්නට සයුරංගනා උත්සාහ කළා ය. එසඳි ට යශෝදර අමතක වෙන සේ ඒ වෙලාවට ඇයට කාටූන් එකක් බලන්නට සැලැස්වූවා ය. නැත්නම් ළමා කතා පොතකුත් එක්ක යහනට ගොස් ඇයට කතා කියා දුන්නා ය. නමුත් “එසඳි මැණික” යනුවෙන් යශෝදර ගේ පීතෘ ස්වරය ඇසෙත්දී එසඳි ඇඳෙන් පනින්නේ අශ්ව පැටවෙකු සේ ය. සයුරංගනා සුසුමක් හෙළයි. ගෙට ගොඩ වෙන යශෝදර ට තේ එකක් නොදී සිටින්නට තරම් සයුරංගනා ට දැඩි විය නො හැකි ය. ඔහු ට වෙනසක් නො දැනෙන සේ කතා බහ කළ ද ඇය යශෝදර සමගින් වැඩි ඇඟෑළුමකට නො ගියා ය.

එසඳි වෙනුවෙන් සරුංගලයක් හදා දෙන්නයි කීවොත් යශෝදර එය නො කර ඉන්නේ නැත. ඉරිදා නිසා ඔහු ගෙදර සිටී. නමුත් සයුරංගනා එසඳි ව නිහඬ කරවූවා ය.

“යශෝදර අංකල්ට නිවාඩු දවසනෙ අද. එයාට කරදර කරන්න එපා පුතේ. ඉන්නකො…අම්මි බබාට සරුංගලයක් හදල දෙන්නං”

“ඉතිං ඕක කලිංම කළානං මං කරදර කරන්නෑනෙ”

එසඳි හිස නගා අම්මා ගේ මූණ බලා හුරතල් සිනහවක් පෑවා ය. ඒ සිනහව ඉදිරියේ සයුරංගනා ට සියල් ජීවන පිරිපත අමතක කරන්නට පිළිවන. 

වෙසක් කූඩු අලවන්නට පසුගිය වසරේ දී ගිම්හාන් ගෙනා පාට සව්කොළ මිටියක් ඉතිරි වී පැන්ට්‍රි කබඩ් එකක තිබේ. සයුරංගනා පොල් පැලයෙන් මේරූ ඉරටු කිහිපයක් කපා ගත්තා ය. මීට පෙර කවදාවත් ම ඇය සරුංගල් සාදා නැත. නමුත් යොවුන් වියේ දී අයියා හා මල්ලිලා සරුංගල් හදනයුරු ඇය ඕනෑ තරම් බලා සිට තිබේ. ඔවුන් කුඩා සරුංගල හැදුවේ පොඩි ම කාලේ ය. ලොකු වන විට ගමේ කොලු නඩය ද සමග එකතු වී හැදුවේ ලොකු ම සරුංගල් ය. ඒවායේ මැද නාරටිය ලෙස ගත්තේ ඉරටු හෝ බට පතුරු නොව විශාල කිතුල් පිති ය. ඒ සරුංගලයක් ඔසවා ගෙන යන්නට ද පස් හය දෙනෙකු උවමනා වේ. වවුලා, කොම්බුවා, මාළුවා, මොනරා, ඉබ්බා…සයුරංගනා ට ඒ සරුංගල් නම් ද සිහි වන්නට විය. 

සාලය මැද තියා ගෙන ඇය සරුංගලයක් හදා සව්කොළ වලින් ඇලවූවා ය. එය සරල ම සරුංගලය වන වවුලා ය. එසඳි ගේ හිත සනසන්නට ඒ හොඳට ම ඇති ය. 

“ශෝයි ශෝයි…දැං අපි සරුංගලේ යවමු”

ගිම්හාන් ගේ ආයුධ පෙට්ටියේ නයිලෝන් නූල් පන්දුවක් ද තිබීම සයුරංගනා ට සැනසිල්ලක් විය. අම්මා හා දුව සරුංගලය උඩ යවන්නට ට්‍රයිඩැක්ස් මිටියාවතට ගියහ. එසඳි සරුංගලය අල්ලා ගෙන සිටියා ය. ගමදී මල්ලිලා කළ සෙයින් සයුරංගනා නූලෙන් ඇද සරුංගළය අහසට ගන්නට උත්සාහ කළා ය. නමුත් සියලු උත්සාහයන් අසාර්ථක ය. 

සුළඟ හොඳින් හමා යයි. අහසේ බැලු බැලු අත සරුංගල් ය. ඔවුන්ටත් සරුංගලයක් තිබේ. නූල් ද තිබේ. නමුත් එය අඩි දෙක තුනක් හෝ ඉහළට නැගී එන්නේ නැත. පැත්තට හැරී බිම පතිත වේ. එසඳි හැඬුම්බර වූවා ය.

“මේක යන්නෑනෙ”

සයුරංගනා ද හිටියේ වෙහෙසට පත් වී ය. ඇය ට්‍රයිඩැක්ස් මිටියාවතේ බිම හිඳ ගත්තා ය. 

“මේක යන්නෑනෙ…වෙන එකක් හදමුකො”

“වෙන එකක් හැදුවත් ඔහොම වෙයි. අම්මි සරුංගල් හදන්න දන්නෑ පුතේ. හොඳට උඩ යන සරුංගල් හදන්න හැමෝටම බෑ”

“ඉතිං අපි අපාචිට…”

දැරියට කියවෙන්නට ගියේ ය. සයුරංගනා ඇගේ මූණ දෙස බැලුවා ය  එකෙනෙහි එසඳි ඇයට වැරදෙන්නට ගිය වචනය නිවැරදි කළා ය.

“යශෝදර අංකල්ට කියමුකො”

“යශෝදර අංකල්ට හැම එකටම කරදර කරන්න බෑ බබා. අපේ වැඩ අපි කරගන්න පුරුදු වෙන්න ඕනෙ”

“කෝ බලන්න එසඳි බබාගෙ සරුංගලේ”

ඒ හඬ නැගුණේ ඔවුන් පිටුපසිනි. යශෝදර පහත් වී සරුංගලය අතට ගනිමින් සිටියේ ය. පපුව මැද්දේ ම සුසුමක් හිර වුණා බඳු නැවතීමක් සයුරංගනා ට දැනිණ. ඇය දෙනෙත් මහත් කොට බලා ගෙන සිටියා ය. යශෝදර ඇදෙස බැලුවේවත් නැත. 

“අම්මි දන්නෑ සරුංගල් හදන්න. එයා හදපු එක යන්නෑ”

එසඳි යශෝදර ට ගතු කේළාම් කීවා ය.

“අනේ මට සරුංගලයක් යවන්න ඕනෙ. උඩ්..ඩ…යවන්න ඕනෙ. ඔයා යවල දෙනවද මේක…මට අල්ලං ඉන්න…”

“මේක බැලන්ස් නෑ පැටියො. අපි චුට්ටක් හදාගමුකො”

යශෝදර සරුංගලයේ එක පැත්තක රැලි අඩු කළේ ය. අනිත් පැත්තේ බර වැඩි කළේ ය. සමතුලිත ද කියා බැලුවේ ය. ඊට පස්සේ එසඳි ට එය අල්වා ගන්නට කියා ඉහළට ඇද්දේ ය. සරුංගලය පැද්දි පැද්දී මඳක් ඉහළ නැග්ගේ ය. එසඳි කුඩා අත් පොඩි ගසමින් ද උඩ පනිමින් ද සිනහ වන්නට වූවා ය.

සයුරංගනා ට මහා සතුටක් දැනිණ. යශෝදර නූල් දිදී තව දුරටත් සරුංගලය ඉහලට ගත්තේ ය. 

“මට සරුංගල් හදන්නත් පුළුවන් නේ..”

යශෝදර දෙස නො බලා, සරුංගලය දෙස බලා ගෙන ඇය එසේ මිමිණුවා ය.

“බැලන්ස් කරන හැටි තව ටිකක් ඉගෙනගන්න වෙනව”

යශෝදර එහෙම කීවේ ද සයුරංගනා දෙස බලන්නේ නැතිව ය. ඔහු ගේ හිතේ යම් නොසතුටක් තිබිණ. දැන් දැන් ඇය ඔහු මගහරිනා බව යශෝදර ට දැනෙමින් තිබේ. හැන්දෑවට ඇය ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි නොවන්නේ ද එහි එක් පියවරක් වශයෙනි. ඔහු එන වෙලාවට එසඳිත් ගෙන කාමරයට වන්නේත් ඔහුට ම ඒ පැමිණීම එපා වන පරිදි ය. මුලදී වාගේ දානයෙන් පස්සේ උදව්වක් ඉල්ලන්නේ ම නැත. වැඩිපුර ඔහු සමග කතා බහට පැමිණීමෙන් ද වැළකී සිටියා ය.

“රංගි මට මුකුත් කිව්වෙත් නෑ. හැබැයි අර එන්සිනා මොනා හරි කියන්න ඇති කියලයි මට හිතෙන්නෙ. එයා මගාරින්නෙ ඔයාව විතරයි. අපිට කිසි වෙනසක් නෑ”

පාරමී එක්ක මේ ගැන කතා කළ වෙලාවේ ඇය කීවා ය. 

“එන්සිනා ඔයා ගැන මොනා හරි කිව්වනං…දැන් රංගිට ඇත්තෙ ඔයාට මූණ දෙන්න බැරිකම…”

එහෙම දෙයක් සිදු වුණත් ඇයට ඔහු හා පවසන්නට තිබුණා යි යශෝදර සිතයි. එක ම කාරණයක් ගැන ගැහැනු හා පිරිමි දෙපාර්ශවය හිතන්නේ දෙආකාරයකට ය. ඔවුන් ගැහැනුන් හා පිරිමින් ලෙස වෙන් වන්නේ එනිසා ය. ඔවුන් එකිනෙකා මත සමපාත වන්නේ ද ඒ වෙනස්කම් හින්දා ය. යශෝදර ට කරදර නො කළ යුතු යයි සයුරංගනා සිතයි. ඇය අහංකාරකමට ඔහු මගහරිනවායි ඔහු නො රිස්සුමෙන් පසු වෙයි.

“මං බොන්න මොනාහරි හදන්නං”

යශෝදර හ්ම් කීවේවත් නැත. ඉහළ අහසට යමින් සිටින සරුංගලය දෙස ම බලා ගෙන සිටියේ ය. සයුරංගනා හිස බිමට හරවා ගෙන ට්‍රයිඩැක්ස් මිටියාව ඉහළට ඇවිද ගියා ය.

ගිම්හාන් එක්ක හැම වසරක ම මේ ඉසව්වේ සරුංගල් යැව් හැටි යශෝදර ට සිහි විය. ඔවුන් ගැටවර කාලයේ පටන් සරුංගල් වාරයට ගිම්හාන් මෙහි ආවේ වෙල් යාය පිස එන මහා සුළඟක් ද දං පඳුරු යායක් වූ හිස් ඉඩමක් ද තිබූ නිසා ය. ඒ පහසුකම් සරුංගල් යවන්නට කියාපු ඒවා ය. පසු කලෙක කට්ටි කඩා විකිණුණේ ඒ දං පඳුරු සහිත ඉඩම් යාය යි. යශෝදර ගේ උනන්දුව මත ගිම්හාන් මිල දී ගත්තේ ද ඒ ඉඩම් කැබැල්ලකි.

“මට දෙන්න දැං අල්ලං ඉන්න…අපාචි දෙන්නකෝ…”

එසඳි යශෝදර ගේ කකුලක දැවටුණා ය. ඇය අපාචි කියා ඔහු ඇමතූ නිසාදෝ ආදරබර සිනා රැල්ලක් යශෝදර ගේ මුහුණේ ඇඳිණි. ඒ සිනහවෙන් ඔහු දැරිය දෙස බැලුවේ ය. එසඳි සිනා කටක් පුරවා ගත්තා ය.

“කවුරුත් නැති වෙලාවට මං ඔයාට අපාචි කියන්නද…”

යශෝදර ගේ පපුවට දැනුණ හැඟීම විශ්ලේෂණය කරන්නට ඔහු දන්නේ නැත. එය සොරොව් බිඳ ගෙන ආ මහා දිය පහරක් සේ ය. එක අතකින් සරුංගලයේ නූල අල්වා ගෙන ම යශෝදර අනිත් අතින් දැරිය වඩා ගත්තේ ය. එසඳි සරුංගලයේ නූල මැදින් අල්වා ගත්තා ය. 

“හොඳ අපාචි”

ඇය ඔහු ගේ හිස වැළඳගෙන හාදුවක් දුන්නා ය. සිය දෙනෙත් ඉදිරියේ වන අප්‍රමාණ අහස මත පා වෙන්නා සේ යශෝදර ට දැනිණ. පපුව පිරී පිම්බී යන ආගන්තුක හැඟීමට ඔහු ආශා වූයේ ය.

“සැනසිල්ලෙ හිටහං ගිම්හාන්. මං උඹේ වස්තුව බලාගන්නව”

ඔහු ගේ හිත කොඳුරා කියනු ඔහු ට ඇසිණ.

💜️ඔබේ එක ආදර බින්දුවක් හෙටත් ලියන්නට මට මහත් දිරියකි. ආදරය තියා යන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles