බෙල් එක ගහන සද්දෙට දොර අරින්න ගියේ මම.දොර ඉස්සරහ හිටගෙන හිටියේ කළු කලිසමට යට කරපු අත් කොට සුදු ශර්ට් එක ඇඳලා උරපතු දෙකේ ෆ්ලයි ඩුබායි කියන රෙදි ලාංඡනය මහලා තිබුණු ප්‍රථාපවත් නිල ඇඳුම ඇඳගෙන උන්නු අසාද් ..
මගේ ඇස් දෙක නිලංකාර වෙලා ගියා.මාව තේරුම් නොගත්ත මිනිස්සු දහස් ගණනක් මැද්දේ තේරුම් ගත්තු එකම එක හදවතක් හිත් වේදනාවෙන් මිරිකිලා ඉන්න වෙලාවක තමන්ගේ ඇස් ඉස්සරහට ආවහම දැනෙන හැඟීම කියන්න කොච්චර දක්ෂ ලේඛකයෙක් වුණත් මගේ ළඟ වචන තිබුණේ නැහැ.ඊයේ කතා වුණු විදිහටම ඒ පොරොන්දු වෙච්ච විදියටම හරියට ඩී.එච්.එල් වලින් ගෙනල්ල තිබ්බ වගේ අසාද් එයාගේ නළු හිනාවත් එක්ක මං දිහා බලාගෙන හිටියා.මං හිතන්නේ ඒ වෙලාවේ මුළු ලෝකයම එක තැන නැවතුනා.
නී නීලී කන්නුල්ලෝනේ සුප්‍රසිද්ධ තෙළිඟු සින්දුව කොහේදෝ ගෙදරක රේඩියෝ එකක දාලා තිබුණ මට ඒ වෙලාවේ ඇහුණා.
මං හිතන්නේ මං විනාඩි ගානක් අසාද් ගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. දරාගන්න බැරි ඇනුම් බැනුම් දරාගන්න බැරි හිත වේදනා හතර වටේම මිනිසුන්ගෙන් එල්ල වෙලා තියෙන චෝදනා කියාගන්න බැරි දුක ඇහුම්කන් දෙන්න කෙනෙක් නැතිකම මේ හැමදේම මිරිකිලා තිබිච්ච පීඩනය මාවත් නොදැනීම අසාද්ගේ පපුව හොයාගෙන තුරුල් වෙලා උන්නා.හිතේ දුක ඉවර වෙනකන් මම අඬනකන් අසාද්ගේ අත් දෙකේ උණුසුම මට බොහොම තදින් දැනුනා. මිස්ට් එයාර් විලවුන් සුවද මට සැනසීමක් ගෙනාවා..මම කොච්චර වෙලාවක් අසාද් ගේ තුරුලේ අඬා වැළපුණාද කියන්න මම දැනගෙන හිටියේ නැහැ. පියවි සිහියට එනකොට මට හිතුණා මගේ පිටිපස්සෙන් ගෙදර ඇතුලේ හිටපු ප්‍රේක්ෂකයෝ ගණනාවක් අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා කියලා.මේ අගක් මුලක් කිසි දෙයක් දැනගෙන හිටියේ නැති ලොකු අම්මා අම්මා තාත්තා වගේම එහා පැත්තෙ දොරෙන් එළියට ඇවිල්ලා හිටපු නස්‍රියා ආච්චිත් ඇහි පිය නොහෙලා අපි දෙන්න දිහා බලාගෙන හිටියා.
අපි මේ ගැන පස්සේ කතා කරමු කරමු..කියලා අසාද් ඉංග්‍රීසියෙන් නස්රියා ආච්චිට කිව්වා.
මට ආපහු පිටිපස්ස හැරිලා ගේ ඇතුලේ ඉන්න අය දිහා බලන්න බය හිතුනා.මට බය හිතුනා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මාව වැරදියට තේරුම් අරගෙන ඇති කියලා. මගේ හිත මටත් වඩා හොඳින් අසාද් කියවලා තිබුණා.
මට විනාඩි පහක් දෙන්න.මං ඉක්මනින් චේන්ජ් එකක් දාගෙන ඔයත් එක්ක පොඩ්ඩක් එලියට යන්න එන්නං.. එහෙම කියපු අසාද් එයාගේ තඩි බෑග් එකත් තල්ලු කරගෙන අනිත් අතින් නස්‍රියා ආච්චිවත් ඇදගෙන ගේ ඇතුලට ගියේ මම දොර ළඟින් මගේ ගේ ඇතුලට යනවද නැද්ද කියලා තීරණය ගන්න ඉස්සරවෙලා..
මොකාද ඒ…
මගේ පිටිපස්සෙන් ඉඳන් අම්මා ඇහුවා.අම්මට මුහුණ පේන්නෙ නැති හින්දා මම ඇස් දෙක තද කරලා වහගෙන ශක්තිය ගන්න උත්සාහ කළා.
අසාද් …
මුස්ලිම් ද…
දන්නෑ…
මොකක්….දන්නෑ….
ඔව් දන්නෑ….
ඒ පාර මොන නාඩගම ක්ද උඹ නටන්න යන්නේ…
මට වචනයක්වත් කතා කරන්න හිතුනෙ නෑ.මාව මේ තරමට අවුල් වෙච්ච දවසක් මගේ ජීවිතේටවත් මතක නැහැ.අඩුම තරමේ කේසර වානි එක්ක එකට ඉන්නවා දැකපු දවසෙවත් මට මෙච්චර පැටලිලි සහගත බවක් දැනුනේ නැහැ.
මම කතා නොකර එහෙම්මම පල්ලෙහාම තියෙන කොහොඹ ගහ වට කරපු සිමෙන්ති බැම්ම ගාවට ගියා. කිව්වා වගේම හරියටම විනාඩි පහකින් අසාද් පල්ලෙහාට ආවා.
අපි යමු… කියපු අසාද් මගේ අතින් අල්ල ගත්තා.මගේ අතින් ඇදගෙන එයාගේ වාහනයට ගිහිල්ලා නැග්ගා.කොහාටද යන්න ඕන කියලා අහන්නෙවත් නැතුව අසාද් වාහනය එලවගෙන යන දිහා මං බලාගෙන හිටියා.
මට බඩගිනි.අපි මොනාහරි කාල ඉමුද… අසාද් ඇහුවා.
බෙස්‍ට් ෆුඩ් එකෙන් අපි දවල් කෑම කෑවා.එතන හරි නිස්කලංක තැනක්.වම් පැත්තෙන් පේන නිස්කලංක මුහුද හිත නිව්වා…
බටර් නාන් එක්ක ගාර්ලික් චිකන් කරි අසාද් ඉල්ලුවා. චිකන් ස්වීට් කෝන් සුප් දෙකකුත් ඉල්ලුවාම මට මතක් වුනේ එදා සුජී දීපු සුප් එක…
හරි .. දැන් ඔයාට බාධා කරන්න කවුරුවත් නෑ..දැන් කියන්නකෝ මුල ඉඳන් මොකද උනේ කියලා..
අසාද් එයාගේ වීදුරු ඇස් වලින් මන් දිහා බලාගෙන එහෙම අහනකොට ආපහු සැරයක් මට නොදැනීම මම අඬන්න පටන් අරන් තිබුණා.
අසාද් .. මගේ අතක් තද කරලා අල්ල ගත්තා.
බද්‍රා… මේ අහන්න.කුණාටු පිරුණු මුහුදු තමයි කුණාටුව හිඳුනහම නිල් පාටට දිලිසෙන්නේ.කුණාටුවට අහුවෙච්ච නැව් තමයි කොහොම හරි ගොඩබිමක් හොයා ගන්නේ..
දුක් වෙන්න එපා… ඔයා කැමති වුණත් අකමැති වුණත්..
මං ඔයාට ආදරෙයි … ඇත්තටම ..
අසාද් …
වචනයක්වත් කියන්න එපා..ඉස්සරහට එන හැම ප්‍රශ්නයකටම මං ඔයත් එක්ක ඉන්නවා.
අසාද් .. මමත් ඔයාට ආදරෙයි..ඔයා මහා පුදුම විදිහට මාව තේරුම් ගත්ත කෙනෙක්.මගේ මිනිස්සු මට ආදරේට වෙන්න ඇති..ඒත් මට ඒ විදිහට සලකනවට මම කැමති නෑ..ප්‍රශ්නයක් උනාම ප්‍රශ්නයක් වෙච්ච කෙනාට සහනයක් වෙන එකයි මුලින්ම කරන්න ඕනේ.ඒ මනුස්සයට තවත් පීඩාවක් වෙන දෙයක් නෙමෙයි.
එදා කොයිතරම් නං මුහුදේ රැලි එන්න ඇද්ද .. මගේ හිත නිදහස් වෙනකන් මගේ කතාව අසාද් ට කියල තිබුනා.
ඇයි ආවෙ නැත්තේ..
කේසර වට්සැප් පනිවිඩයක් එවලා තිබුනා.
හෙට වැඩට එන්නම් කියලා අරින්න..
අසාද් කිව්වා .
මට බයයි.රස්සාව ගැන නෙමෙයි.කේසර ආපහු සැරයක් මට ලංවෙන්න හදනවා කියලා මට දැනෙනවා. වානි ඊයේ ලන්ඩන් ගියා කියලා මාත් එක්ක කිව්වා.ඒ හින්දා උදෙන්ම ඔෆිස් එකට එන්න කියලා කිව්වා.
මෙහෙමයි බානු.. සාම්ප්‍රදායික පිරිමියෙක් වගේ ඔයාව ගෙදරට කොටු කරලා තියන්න මම කැමති නැහැ. ගෑනියෙක් උනහම අනිත් පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වෙනවා කියලා කියන්නේ ඒ ගැහැණු මනුස්සයා ළඟ හැබෑම දක්ෂකමක් තියෙන හින්දා.හැබැයි ගෑනු කෙනා දැනගන්න ඕනේ නම්බුව ගෞරවය ආරක්ෂා කරගෙන වැඩ ටික කරගන්න.ඒකට තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි ලගින්ම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. තම තමුන්ගේ ගෞරවය රැක ගන්න තමන් දැනගන්න ඕනේ.
මට ඔයා කියන දේ තේරෙනවා.මේ ත්‍රිකෝණ ජූඩ් ගැන ලියවිච්ච ලිපිය ගැන මට මහා සැකයක් තියෙන්නේ.තාමත් මට ඒක මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බැරුව ඉන්නේ.
අපි එදා ගෙදර යනකොට ටිකක් රෑ වෙලා තිබුණා.අම්මයි තාත්තයි ගෙදර ගියේ හිත හොඳින් නෙමෙයි කියලා ලොකු අම්මා මට කිව්වා.
පුතේ.. මෙච්චර දවසක් මම දැනගෙන හිටියේ නැහැ ඔයා… අසාද් එක්ක…
මට හිනාගියා…
අද වෙනකං ඒක මම දැනගෙන හිටියෙත් නෑ ලොකුඅම්මේ…
නස්‍රියා නං වචනයක්වත් කිව්වේ නෑ.එයා නං ඉස්සර ඉඳලම කිය කිය හිටියේ ළමයින්ගේ දේවල් වලට එයා විරුද්ධ වෙන්නෙ නැහැයි කියලා.ඒ නිසා සමහර විට එයා නම් මොකුත්ම කියන එකක් නැහැ.හැබැයි අක්කයි අයියයි තමයි වැඩේ.දන්නවනේ ඒ ගොල්ලන්ගේ අදහස්…හරි දැන් ඕවා හිතන්න එපා. ඇත්තටම අසාද් හරි හොඳ කොල්ලෙක්.
ඇත්තටම ඔයාව ආරක්ෂා කරයි.
ලොකු අම්මේ.. ඇත්තටම ඔයාට මාව වදයක්ද… ඇත්තටම මම බෝඩිමක් හොයාගෙන යන්නද..
තාත්තා මට හොඳටම බැන්නා මම මෙහේ ඉඳගෙන ඔයාට කරදර කරනවා කියලා.
නෑ.. පුතේ කවදාවත් නෑ. ඔයා මේ ගෙදරින් යන්න ඕනේ නම් මං ඔයාට ඒක කියන්නම්.වෙන කාගෙවත් දේවල් ඔයා ඔළුවට ගන්න එපා..
එදා රෑ මම අසාද් ව ආපහු සැරයක් වහලය උඩදි හම්බවුණා . තමන්ගේ හදවතට දැනෙන ඇත්තම ආදරයකදී දෙන හාදු ඒ තරම් උණුසුම් කියල මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ.මට මං ගැනම පුදුම හිතුනා.
කේසර … ගෙන් ලැබුණු හාදුවලදී මේ තරම් සුවයක් දැනුනා ද..මේ තරම් ආරක්ෂාවක් මේ තරම් සැනසීමක් දැනුනා ද…
ත්‍රිවිධ හමුදාවම ළඟ ඉන්නවා වගේ හැඟීමක් දැනෙන්නේ තමන්ගේ හදවතින්ම ආදරය කරන කෙනා ළඟ ඉන්නකොට විතරයි නේද…
පහල ගෙදරක කව්දො රාහත් ෆටේ අලිකාන්ගේ ඔරෙ පියා ගීතය දාලා තිබුණා . අපි දෙන්නම තුරුල් වෙලා ඒක අහගෙන උන්නා.
කේසර නැති කර ගත්තේ මැනිකක් බානු …
අසාද් එහෙම කිව්වම මං හිනාඋනා ..
පපු ගැබම අරගන්න
ලෝබ නැතුවම දුන්න
කුමරි මනමේ කඩුව
වැදි රජට දුන්නා …
කොපුව ලග මං අතරමං කෙරුවා
නාටකේ කුමරුන්ට
හැමදාම ඇන්දාට
අවැසිනං වැදිරජුට
රිදවන්න තිබුනා
නුබ හඩයි මං බයෙන් උන්නා …
හැමදාම රැවටෙන්න
එපා කුමරිය ඔන්න
නාටකෙන් පසු එන්න
කඩු කොපුව පටලන්න
වැදි රජුට එක වරක් පැරදෙන්න දීලා..
එහෙම කියලා මහ රෑ වට්සැප් එකට අසාද් එවලා තිබුණා …