සතුටු මන්තර 27

ට්‍රයිඩැක්ස් මිටියාවතෙහි ශෝකී හුදෙකලාවක් වේ. මන්දාරම් ගතිය නිසා වෛවර්ණ අහසක් නැත්තේ ය. බුම්මාගෙන හිඳින අහස කොයි මොහොතක හෝ කඩා වැටී ඒ බරින් නිදහස් වනු ඇත. සයුරංගනා සුසුමක් හෙළුවා ය. ඇගේ හදවතෙහි වන්නේ කඳුළක් හෙළා සැහැල්ලු කර ගත නො හැකි බරකි. මංජුල නිසා ඇති වූ ප්‍රශ්නය ඇති කළ වේදනාව තවමත් එහෙමම ය. ඔහු ගේ නොහොබිනාකම මට්ටු කළා යයි සිතා එය අමතක කොට දැමිය නො හැක. අප්පච්චි ඇත්ත ඇති සැටියෙන් දුටු නිසා නිවැරදි බව ඔප්පු කළ හැකි වී ද හිත සකසා ගත නො හැකි ය. ඒ සිදු වූයේ කිසි සේත් නො විය යුතුව තිබූ යමකි. මංජුල කියන්නේ ගිම්හාන් ගේ සොයුරිය ගේ ස්වාමි පුරුෂයා වේ. ඔහු හැමදාමත් සහෝදරයෙකු සේ දුරින් වුව සිටියා නම් හොඳ ය. ගිම්හාන් නැති වී ගියායින් පස්සේ සිදු වන මේ දේවල් නිසා ඔහු ට මිය ගිහින්වත් සැනසිල්ලක් නැති වන්නේ ය. සයුරංගනා ට වාවන්නට බැරි එසේ සිතත්දී ය. ඔහු නැති වීමෙන් ඇති වූ සියල් හිස්තැන් ඇයට කෙසේ හෝ දරා ගත හැකි ය. වෙහෙසී යමක් උපයා සපයාගෙන දරුවා උස් මහත් කර ගන්නටත් පිළිවන. බැරි, මේ බාහිර ප්‍රශ්න වලට මුහුණ දෙන්නටයි. එය පවුල තුළින් ම මතු වෙත්දී වඩාත් අසීරු ය. වෙන මොනවා නැතත් පවුලේ අය සමග පවුලක් වශයෙන් නො බිඳී ඉන්නට තිබුණා නම් යෙහෙකි. පවුලක් තුළ බිඳීම් කියන්නේ යළි පිරියම් කළ නො හැකි වූවක් සේ ඇයට දැනේ.

“ඇති ඇති දැං මට මහන්සියි. හම්මෝ…”

එසඳි සමගින් සෙල්ලම් කරමින් සිටි පාරමී ඇවිත් සයුරංගනා ළඟින් බිම හිඳගත්තා ය. පෙරදාත් වට වැහි නිසා බිම තරමක් තෙත ය. 

“දාහට අරං දහයට දීල වගේ ඉන්න එපා අප්ප. වෙච්ච දේ වුණා. මටනං දුක රෝලර් පින් එකෙන් අරූගෙ ඔළුව පලපු නැති එක ගැනයි”

පාරමී එය කී තාලයට සයුරංගනා ට සිනහ නැඟිණ. ඒත් එක්ක ම ඕ බරැති සුසුමක් හෙළුවා ය.

“ඔයාට තාම තේරෙන්නැති ගොඩක් දේවල් තියනෝ පාරි. මොනා වුණත් මට හිතට අමාරුයි. මගෙ හස්බන්ගෙ නංගිගෙ මහත්තයනෙ ඒ. ඒත් දැන් කවදාවත් අපිට මූණවත් බලන්න බෑනෙ. මේ මංජුලය කරපු හරක් වැඩේ අප්ප. කවදාවත් නොවෙන්න ඕන දෙයක්නෙ ඒ”

“හික්මීමක් නැති කුළු හරක් වගේ එවුන්ට එහෙම දුර දිග හිතන්න මොළයක් නෑ රංගි. පොල් ගෙඩියක් වගේ ඔළුවක් තිබුණට ඉන්නල ගෙඩියක් තරං මොළයක් නෑ උන්ට. හැඟීම් කියන දේවල් සත්තුන්ටත් තියනවනෙ. හැබැයි ඒ දේවල් පාලනය කරගන්න පුළුවන් මොළයක් තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි කියලවත් මේ කුළු හරක් දන්නෑ. එක්කො උං හිතනව උං වගේමයි අනිත් අයත් කියල. ඌ ඇවිත් බදාගන්නකොට ඔයාත් කතාවක් බහක් නැතුව තුරුල් වෙයි කියල හිතාගෙනනෙ ඔය දේ කරන්න ඇත්තෙ. ජරා සත්තු”

“මට හරි දුකයි පාරි. ගිම්හාන් නැති වුණාට පස්සෙ මේ පැත්තෙම පිරිමි කී දෙනෙක් අමුතු භාෂාවක් දාල ඇද්ද මට…අප්පිරිය හිතෙනව ඒ වෙලාවට. මිනිහෙක් මැරුණට පස්සෙ ගෑනුන්ට තියන ලොකුම අඩුපාඩුව ඒක තමයි කියලයි මේ මිනිස්සු හිතං ඉන්නෙ. නිකමට කවුරුවත් අහනවද දරුවට මොන්ටිසෝරියට මොනාද අඩුපාඩු…කොහොමද ඒ වැඩ කර ගන්නෙ කියල…හරි..කමක්නෑ. ඒ පිට මිනිස්සු කියල හිතමුකො. තමුංගෙ මිනිස්සුත් මෙහෙම වෙනකොට. ඊටත් වඩා අප්පච්චි ඒ වෙලාවෙ දෙයියො බලල වගේ එතකට ආවෙ නැත්තං මේ මුළු කතාවටම මමයි වැරදිකාරි වෙන්නෙ”

“උඹේ නැන්දම්මයි නෑනයිනං මරු මොංගල් ජෝඩුව. සීනි දාල වෙඩිතියන්න ඕන ඕකුන්ට…කූඹි කාල මැරෙන්න”

මං කියන්නෙ…මේ විදිහට තනි වෙන ගෑනු ගැන කරුණාවක් හිතෙන්නැද්ද මේ මිනිස්සුන්ට…එහෙම ගෑනු ආරක්ෂා කරගන්න එක මනුස්සකමක් කියල දැනෙන්නැද්ද…”

“එහෙම දැනෙන අය නෑ නෙවෙයි. අඩුයි. හරියට මිස්ටර්…යශෝදර රාමනායක වගේ…”

එහෙම කියා පාරමී යෙහෙළිය ගේ මූණ ට එබුණා ය. සයුරංගනා ඇගෙන් ඇස් ඉවතට ගත්තා ය. පාරමී ඇස් වලින් සිය ආත්මයට රිංගනවාට සයුරංගනා බිය ය. ටික දිනෙක සිට ඇය යශෝදර ගැන යම් යම් විහිළු කරමින් ඒ ගැන සයුරංගනා ගේ අදහස දැන ගැනීමට උත්සාහ කරයි. ඒ වෙලාවට සයුරංගනා ඉන්නේ ඇස් වලින් ආත්මය නොව සිතිවිල්ලක්වත් කියවා ගන්නට ඉඩ නොදී පවුරක් තනා ගෙන ය.

“ඇත්තටම යශෝදර ගිය ආත්මෙක හරි මගෙ සහෝදරයෙක් වෙලා ඉන්න ඇති”

පාරමී අඩ සිනහවක් නගා ගත්තා ය. සයුරංගනා ගේ හිත විවර කර ගන්නට ඇය දරනා සියලු උත්සාහයන් අසාර්ථක වන්නේ සයුරංගනා යෙහෙළිය හඳුනන බැවිනි. පාරමී ට විවර කරනවා තබා සයුරංගනා ඇය විසින් හෝ සිය හිත විශ්ලේෂණය කිරීමට තරම් එඩිතර නැත. හදවත කියන්නේ රහස් ගුහාවකි. ඇතැම් විට ඒ රහස් ගුහාවේ වන ඇතැම් රහස් වෙනකෙකු නොව තමන් හෝ හාරා පාරා අන්වීක්ෂීය කදා මත නංවා පරීක්ෂා නොකර ඉන්නා එක හොඳ ය. 

හදවත් රහස් ගුහාවේ ලේ ගලන තුවාල ද පරණ වූ තුවාල කැළැල් ද අපමණ ය. කොපමණ පැලැස්තර දැමූව ද සුව වීමට කල් ගත වන තුවාල එහි හැම තැන ම තිබේ. ඉඳහිට කොහේදෝ සිට සුළඟක පාව හා සිනහ මුහුණක ලැජ්ජාවෙන් රක්ත වර්ණ වූ කොපුල් තල දිළිසේ. එහෙම සිනහ මුහුණක් දෙස ටිකක් නතර වී බලා ඉන්නට සිතේ. නමුත් එතකොට හදවත සුසුමකින් පිරී ගෙන පිරී ගෙන යයි. බැලුමක් වාගේ කොයි මොහොතක හෝ පුපුරාවිද කියා සිතෙන තරමට සුසුමින් පිරේ. තිබෙනා තුවාල වල හැටියට හදවත පුපුරලාම ගිය හොත් ජීවිතයේ ඉතිරි අඩ කෙසේ නම් අල්ලා ගෙන සිටින්න ද? එහෙම හිතෙත්දී වහ වහා හදවත් රහස් ගුහාවේ ලෙන් දොර වසා දමන්නට ම සිතේ. එය වසා දමා කිසිත් නොවුණා සේ, කිසිත් නො දන්නවා සේ ඉන්නා එක පහසු ය. තවත් තුවාල වෙන්නට හදවත ට නො හැකි ය!

එදා මංජුල ගෙදර ගියේ හෝරා කිහිපයක් ම ගරාජයෙහි ගත කිරීමෙන් පස්සේ ය. යතුරු පැදිය සාදා නිම වූ පසුත් ඔහු කොල්ලන් එක්ක කයිවාරු ගසමින් සිටියේ ය. ගෙදර යන්නට බයිසිකලයට නැගෙන්නට ගිය දෙතුන් වරෙක ම යළි ඉන් බැස්සේ ය. ගෙදර යන්නට හිත හදා ගන්නට මේ තරමින් ම අපහසු ඇයි?

ශක්‍යා දෙවරක් ම දුරකතන ඇමතුම් ගත්තා ය. මංජුල පිළිතුරු නොදී සිටියේ ය. දැනටමත් බොහෝ දේ විදු වී තිබිය හැක. ඒ වෙලාවේ ජයරත්න පැමිණියේ ඔහු ගේ නරක වෙලාවට ය. තුන් වෙනි වතාවේ දුරකතනය හැඬවෙත්දී වෙන දෙයක් වුණාවේ කියා මංජුල කොලු නඩයෙන් ඈතට ගොස් ‘හෙලෝ’ කීවේ ය.

“තාම ඔය යකඩ ගොඩ හදනවද”

ශක්‍යා සැර වූවා ය.

“ඔව්. ඇයි…”

“හොව් හැයි තමයි. ගෙදර ඉන්න දවසටත් රස්තියාදු ගගහ ඉන්නව. ගෙදරට වෙලා ළමයෙක්වත් බලාගන්න එපා. අප්පච්චි එන්න කියල කෝල් කරල අම්මත් අයියලගෙ ගෙදර ගියා. මේ ළමයි එක්ක කඩේ වැඩක් කරගන්නත් බෑ උයාගන්නත් බෑ”

“හරි මං දැං එන්නං”

මංජුලට කිසියම් සහනයක් දැනිණ. නමුත් එය ගිනි සිසිලක් වාගේ ය. ජයරත්න තිලකාවද කැඳවූවා කියන්නේ දැනටමත් ගින්න ඇවිලී තිබේ. නමුත් ශක්‍යාගේ කනට තවමත් කිසිත් පැමිණ නැත. සයුරංගනා සපා කෑ තැනට ඔහු ප්ලාස්ටර දෙකක් දමා ගත්තේ ය. බයිසිකලේ පෙරළුණායි කල් තියාම බොරුවක් කීවේ ය. එතකොට ශක්‍යාගේ අනුකම්පාව ලද හැක. රෑ වෙන්න වෙන්න ඇඟ පත රිදෙන්නට ගති. සයුරංගනා ගෙන් පොලු පහර ලද තැන් තැලී නිල් වෙමින් පැවතිණ. තවා ගන්නැයි ශක්‍යා වතුර උණු කොට දුන්නා ය. නැන්දම්මා අද ගෙදර නොපැමිණි එක වාසනාව යයි මංජුල සැනසුණේ ය. 

තිලකා මහ ගෙදර නො ගියේ හිතා මතා ම ය. ඇය පුතාගේ ගෙදර තැන් තැන් වලට වී දස අතේ කල්පනා කරමින් සිටියා ය.

“අපි ඕක ශක්‍යාට කියන්න යන්න ඕන නෑ”

අන්තිමට ජයරත්නට කසු කුසු ගා කීවා ය. ඔහු ඇය වෙතට දැඩි බැල්මක් හෙළුවේ ය.

“ඇයි…එයා මිනිහව හදා ගන්න ඕන නැද්ද…”

“ජයේ…පොඩ්ඩක් කලබල නොවී ඉන්න අනේ. කොයි ගෙදරද ඔය වගේ පොඩි පොඩි දේවල් සිද්ද වෙන්නැත්තෙ…අද ඊයෙ නෙවෙයි හැමදාම ඕව උනා. හැබැයි ලෝකෙට අඬබෙර ගහන්නැතුව ගෙවල් ඇතුළෙම රහසින් ඕව යටපත් කරගත්ත එකයි හැමදාම වුණේ”

“අනේ මේ තිලකා. මිනිහෙක්ගෙ වරදක් හංගල ඒ මිනිහව ආරක්ෂා කළොත් හැමදාම ඌ කරන්නෙ වැරදිමයි. කවදාවත් හැදෙන්නෙ නෑ”

“එහෙමයි කියල මේව කලබලේට ශක්‍යාට කියල ඒකිගෙ හිත කඩල දාන එක හොඳද මං අහන්නෙ…හිත විතරක්ද…ඒකි කලබල වෙලා පවුලත් කඩා ගත්තොත් එහෙම…ඒ දරු පවුල බලා කියා ගන්නෙ කවුද…”

තිලකා ගේ තර්කය හමුවේ ජයරත්න තරමක් පසු බෑ සෙයකි. ඇය කියනා කතාවෙහි ද ඇත්තක් නැත්තේ ම නොවේ.

“ඕන දෙයක් කර ගන්න එකයි ඇත්තෙ. හැබැයි අරූට මේ හතර මායිමේ පස් පාගන්නනං බෑ ඕං”

“හරි හරි. මේ උණුහුම ගියාම මං හෙමිහිට ශක්‍යාට මේක තේරුං කරල දෙන්නංකො. එයාගෙ පවුලත් රැකෙන විදිහට…”

ඒ කීවා වාගේ ම තිලකා මේ ගැන ශක්‍යා ට කීවේ දින කිහිපයක ඇවෑමෙනි. ඒ ගමන් දුවට මෙවන් අවවාදයක් ද දුන්නා ය.

“පිරිමි ඔහොම තමයි. ගෑනු අපි දැනගන්න ඕන ආංබාං කරගන්න. ඕවට රණ්ඩු සරුවල් කරගෙන පවුල් කඩා ගන්න ගියොත්…මේ ලෝකෙ පවුල් කියල දෙයක් ඉතුරු වෙන්නෑ ළමයො”

ශක්‍යා ට දැනුණේ කේන්තිය මුසු ආත්ම වේදනාවකි. අම්මා මේ ගැන තමන්ට කියන්නට පමා වීම ගැන ඇය තිලකාට ද දොස් කීවා ය. අම්මා එපා කියත්දී ම මංජුලට දුරකතන ඇමතුමක් ගෙන මේ ගැන කියා ඇඟට කඩං පැන්නා ය.

“ඒ ගෑනිට පිස්සු. දොරවල් හායි ගාල ඇරල දාල කුස්සියට වෙලා තනියම ඉන්න නිසා මං හෙමීට ගිහිං ඇස් වහන්නයි හැදුවෙ. ඒකි කොටි දෙනක් වගේ මගෙ ඇඟට කඩං පැන්නනෙ. ඔයාගෙ අප්පච්චිටත් ඉතිං ඒකි කියන ඒවනෙ විශ්වාස”

“ඇත්තද…ඇස් වහන්නද ගියේ…මොන ම ගුලකටද මිනිහො ගරාජ් එකට යනව කියල එහෙ ගියේ…ගරාජ් එක තියෙන්නෙ කොහෙද…”

“හරි ඉතිං…පොඩ්ඩක් ඒ පැත්ත බලන්න කියල ගොඩ වුණේ”

“ඕක තමයි පහුගිය ටිකේ අන්න ගෑනු කිය කිය කෙල හල හල හිටියෙ. අන්න ගෑනු. දීල ඇද්දා නේද මෝල් ගහෙං…”

“පයිත්තියන්ද ඕයි…”

“එනවකො තමුසෙ අද ගෙදර…මං ගන්නෙ මෝල්ගහ නෙවෙයි…”

ශක්‍යා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ දත්මිටි කමිනි. 

“ඔය ඉතිං…ඕකනෙ මුකුත් කියන්න බැරි. බොරුවට දඟලන්න ගිහිං කඩා ගනිංකො උඔත් පවුල”

“අනේ මේ අම්මෙ කෑ නොගහ ඉන්න. මිනිහ මැරිච්ච ගෑනුත් අර ලස්සනට ජීවත් වෙන්නෙ. මගෙ සායම හෝදල යැව්ව මේ මිනිහ”

ශක්‍යා ගේ මූණ කළු වී තිබිණ. ඇගේ දත් ඇඳි කටස් ගා එක මත හැපිණ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles