මංජුල සයුරංගනා ට අතවර කරන්නට පැමිණි බව දැන ගැනීම යශෝදර තුළ ඇති කළේ බරැති හැඟීමකි. තමන් අතින් බරපතල වරදක් සිදු වූවා වන් පසුතැවීමනින් ඔහු පීඩා විඳින්නට වූයේ ය. එය වගකීමක් පැහැර හැරීමකට අදාල පශ්චත්තාපයකි. මංජුල ගේ බොටුවෙන් අල්වා මිරිකන්නට තරම් ඔහු කෝපයකින් දැවේ. ඒ වෙලාවේ අහු වුණානම් මංජුල ඉතිරි නොකරන බව ද ඔහු ට විශ්වාස ය. නමුත් එය සිදු වී හෝරා ගණනක් ගෙවී ගිය තැන මංජුල සොයා ගෙන ගෙදරට යන්නට තරම් අයිතිවාසිකමක්, සිය හෘද සකේෂිය මිස වෙනකෙකු ඔහු ට දෙන්නේ නැත. සයුරංගනා ට වූ අසාධාරණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කෑ ගසන්නට කරම්, මංජුලගේ කන හරහා පහරක් එල්ල කොට එන්නට තරම් අයිතිවසෙිකමක් නොවීම ගැන ඔහු තමන් එක්ක ම නො රිස්සුම් වූයේ ය. සයුරංගනා ගේ මූණ දෙස කෙලින් බලන්නට තරම් ඔහු තමන්ව ම වරදකරුවා කළේ ය.
“මට සමාවෙයං ගිම්හාන්. එහෙම දෙයක් වෙන එක නතර කරගන්න මට බැරි වුණා. මං දන්නව උඹ ඉන්නකොට මැස්සෙක්වත් සයූගෙ ඇඟේ වහන්න ආවෙ නෑ කියල. හැබැයි දැං මේ කොහෙවත් ඉන්න නිලමැස්සොත් සද්ද දදා කැරකෙන්න් අරං. මේ සැරේට මට සමාවෙයං. ආයෙ එහෙම වෙන්න දෙන්නෑ”
ගොම්මන් ඇඳිරිය වැටීගෙන එන හැන්දෑ යාමයේ යතුරුපැදියේ නැගී, කොහේ යනවාදැයි කිසිවෙකුට නො කියා යශෝදර ගිහින් තිබුණේ සුසාන භූමියට ය. ගිම්හාන් මිහිදන් කළ තැන ක්ෂය වෙමින් යන පස් කන්ද ළඟ බයිසිකලය නවතා ගෙන, දෙපා බිම තබා යන්තම් එහි හිඳගෙන ඔහු තනිව මිමිණුවේ ය. පිටතට එන්නට අවසර නැති කඳුළු කැට දෙකක් ඇස් කෙවෙනි අස්සේ හිර වී ගෙන දුක් වින්දේ ය. උගුර මතු නොව යශෝදර ගේ පපුවට යනතුරුත් එක ම දැවිල්ලක් පැතිර තිබිණ. එක අතක් පපුව මත බැඳ ගෙන, අනිත් අතින් රැවුල් කොට වැවී ඇති නිකටත් කම්මුලුත් පිරිමදිමින් ඔහු තමන්ගේ ම සිතිවිලි සමග පොරබදන්නට වූයේ ය.
“උඹම කියහං ගිම්හාන් මං මොකද්ද කරන්න ඕන කියල. සයූ කොහොම කෙල්ලෙක්ද කියල උඹ දැනං හිටියටත් වැඩිය සමහර විට දැන් මං දන්නව. ඒකිට තනියම ජීවත් වෙන්න හයිය තියනව කියල දැනටමත් ඔප්පු කරල පෙන්නල තියෙන්නෙ. මට කොහොමත් ඕන නෑ බං ඒකිට අනුකම්පා කරනව කියල දැනෙන්න අරින්න. එහෙම ඕනෙනං…පොඩි එකී එසඳි නිසාහරි මං සයූට කියනව අපි බඳිමු කියල. මං දන්නව ඒ ගැන උඹ මං එක්ක තරහ වෙන්නෑ කියල. සමහර විට උඹ මගෙන් බලාපොරොත්තු වෙන එකම දේත් ඒක වෙන්නැති. හැබැයි…සයූට ආයෙම සැරයක් එහෙම කසාදයක් ඕන නෑ බං.. උඹ නැති වෙලා ගිය එක පැත්තකින් තිබ්බොත්…සයූ දැං සතුටෙන් ඉන්නව. ඒකි සතුටෙන් ඉන්න හේතු හොයාගන්නව. මොහොතකටවත් ආයෙ මේ ජීවිතේ මැද්දෙ හතරගාතෙං වැටෙන්නැතුව ඉන්න හයිය එකතු කරනව. එහෙම කෙල්ලෙක් ඉස්සරහට ගිහිං ඔයාවයි දරුවවයි ජීවත් කරවන්න මට පුළුවන් කියල ඒකිගෙ ධෛර්යය බාල්දු කරන්න මට බෑ ගිම්හාන්. උඹ තරහ වෙන්නෙපා මං මෙහෙම කිව්වට. මං ටික ටික සයුරංගනා ට ආදරේ කරනව කියල මට දැනෙනව. හැබැයි ඒක එයාට දැනෙන්නැතුව මං එයාට ලං වෙන්න යන්නෑ. ඒත් මෙහෙම එක එක හාල්පාරුවො ගෙට රිංගල සෙල්ලං දාන්න එනකොට මට බලං ඉන්නත් බෑ මචං”
එවර කඳුළ ඔහුව පරාජය කළේ ය. යශෝදර ඇඟිලි තුඩු අගින් ඇස් කෙවෙනි මිරිකා හැරියේ ය. ඊළඟට බයිසිකලයෙන් මෑත් වී පස් ගොඩැල්ල මත වැවෙමින් තිබූ තණකොළ වැල් කිහිපයක් ඇද දැමුවේ ය. වතාවක් සයුරංගනා සිටවූ කහ මල් දරන රුක්අත්තන පැලය මතු වූයේ එවිට යි. කහ පාට මල් පොහොට්ටු කිහිපයක් පිපෙන්නට අරාඳිමින් තිබිණි. යශෝදර මහා බර සුසුමකින් මිදුණේ ය.
“හැබැයි කොහෙදි හරි මට අහුවුණොත්නං මං ඔය මංජුලයගෙ කන රත්කරනව ගිම්හාන්”
එන ගමන් මිල දී ගත් බීර ටින් එක හුදෙකලාවේ ම හිස් වත්දී ඔහු සිතිවිලි වලින් බෙහෙවින් දොඩමළු ව සිටියේ ය. යශෝදර සුසානයෙන් නික්ම ගියේ හතර වටින් අඳුර බෝ වන්නට ගත්තාටත් පසුවයි. ඔහු බයිසිකලය පැද ගියේ බෝ සෙමෙනි. කනාමැදිරි තිත් සීතලක් එක්ක ඇඟේ හැපිණි. නමුත් ඔහ වටා වූයේ සැහැල්ලුවක් නොව බරකි. යශෝදර බයිසිකලය ගිම්හාන් ගේ ගෙදොරකඩ නතර කළේ ය.
“අපා…චි…”
කියාගෙන එසඳි ඔහු වෙත ඉගිල ආවා ය. යශෝදර ඇය වඩා ගෙන ඉතා තදින් සිප ගත්තේ ය. වෙනදාටත් වැඩිය ඔහු ට ඈ කෙරේ සෙනෙහස දැනෙන්නටට විය.
“සොරි මැණික..ඒත් ඔයාගෙ අම්මිට මොනාහරි වුණානං ඔයා කවදාවත් මට සමාවක් දෙන්නෙපා”
ඔහු පුරුද්දට එසඳි ගේ බඩ සිම්බේ ය.
“මොනාද අනේ ඔයා කියන්නෙ…මට තේරෙන්නෑ”
දැරිය සිනහ වී සුරතලයෙන් කීවා ය. සයුරංගනා ගේ ඇස් ඔහු වෙත ම යොමු වී තිබිණි. නමුත් යශෝදර ඒ ඇස් දෙක මගහැරියේ ය.
“නර්සරි එකේ නිවාඩු දීපු ගමං ගමේ යන්න ඕනෙ යශෝදර”
මංජුල ගේ සිදුවීමෙන් දිනකට පසු රූපවාහිනී නාලිකාවට යන ගමන් උදයේ සයුරංගනා සිහිපත් කළා ය.
“මං අද ප්‍රඩියුසර්ටත් කියනව. සතියක් මං මෙහෙ නෑ කියල. එතකොට දවස් තුනක් ප්‍රෝග්‍රෑම් එක මිස් වෙනව. කවද ගියත් ඒක වෙනවනෙ ඉතිං…”
“කොහොමද යන්නෙ…බස් එකේද…”
තත්පර කිහිපයක නිහැඬියාවකට පසු ඔහු මුණිවත බින්දේ ය.
“කා එකේ යන්නං නේ…දැන් මට පුළුවන්නෙ…”
“නෑ නෑ තනියම යන්නෙපා”
ගින්දරක් ද සීතලක් ද එකවර සයුරංගනා ගේ පපුවට දැනිණ. උදර අතුණුබහන් පෙරළියක් කරමින් පෙරළිණ. ඇය දෙනෙතු විදා ඔහු දෙස බලා ගත්තා ය.
“ඔච්චර දුර…එසඳිවත් අරං…”
ඔහු ඌණ පූර්ණය කළේ ය.
“මං ගිහිං දාල එන්නං”
සයුරංගනා යශෝදර දෙස බලාගෙන ම ඉතා හෙමිහිට හුස්මක් ගත්තා ය. එය මුව මඳක් විවර කොට ගන්නා ලද හුස්මකි. මොකක්දෝ රිදුමක් ඇවිත් උගුර මුල හිර විය. කන් දෙක පාමුල ද රිදුමක් තෙරපෙන්නට ගති. සයුරංගනා පැති වීදුරුවෙන් පිටත බලා ගත්තා ය. සමහර රිදුම් මිහිරැති ය. එබඳු රිදුම් සිපිරි ගෙදරක සෙයින් හදවතෙහි හිර කොට ගෙන ඔහේ ඉන්නට හිතෙනා තරම් ය.
මෙවන් මොහොත වල සයුරංගනා ට ගිම්හාන් සිහිපත් වේ. නමුත් කිසිවක් හෝ කිසිවෙකු ඔහු සමග නො සසඳා ඉන්නට ඇය කැමති ය. ඇයව මෙතැනින් තබා ගියේ ඔහුයි. ඇගේ හදවතේ ඉහළ ම මළුවෙහි ඇය ගිම්හාන් ගේ පිළිරුව නිමවා අවසන් ය.
ශක්‍යා ගෙන් දුරකතන ඇමතුම පැමිණියාට පස්සේ මංජුල දෙදරා ගියේ ය. මෙතෙක් ඔහු සිතා සිටියේ ජයරත්න ඒ සිදුවීම රහසක් සේ තබා ගන්නට ඇත කියා ය. සමහර විදුලි පහන් දැල්වෙන්නේ පමා වී ය.
ගෙදර ගැහැනිය ගේ කනට වැටෙන සේ පිරිමියෙකු වරදක් කරනවාට වඩා දිවි නසා ගන්නා එක හොඳ බව මංජුල දනී. මේ සිදුවීම මේ තරම් දුර දිග යනු ඇතැයි ඔහු සිතුවේ ම නැත. මුලදී පොඩි විරෝධයක් පෑවත් සයුරංගනා ඔහු ට අවනත වන බවට විශ්වාසයක් මංජුල ට විණි. ඔහු බය නැතිව ඒ පියවර තැබුවේ එනිසා ය. නමුත් සියල්ල බලාපොරොත්තු නොවූ ලෙස ගැස්සී ගියේ ය. ගෙදර යම්දෝ නො යම්දෝ කියා සිතමින් ඔහු රැකියා ස්ථානයට වී පමා වන තුරු වැඩ අත පත ගාමින් සිටියේ ය. රෑ වැඩ මුරයක් වී නම් ඔහු ඒ කරනු ඇත. අන්තිමට රෑ වන තුරු මග රස්තියාදු වෙමින් සිට, වෙන යන්නට තැනක් නැති කමට ඔහු ගෙදර ගියේ ය. බයිසිකලයෙන් බැස හොර පූසෙකු සේ ගෙට රිංගා එන මංජුල දුටු විට ශක්‍යා ගේ සිරුරෙහි ලේ කුපිත වූයේ ය.
“මොකද්ද මිනිහො ඒ කරල තියන කුපාඩි වැඩේ…”
ඇය ඇඟට ම කඩන් පැන්නා ය.
“මේ…මං කරපු කුපාඩි වැඩක් නෑ හරිද…එක එක ගෑනු කියන ඒව නෙවෙයි තමංගෙ මිනිහ කියන එක විශ්වාස කරනව”
ශක්‍යාට වැඩිය සද්දෙට කතා කොට මංජුල බැලුවේ නිවැරදිකාරයා ලෙස රඟපාන්නට ය. පිරිමින්ගේ සද්ද වලට ගැහැනුන් බිය වන බව ඔහු විශ්වාස කරයි.
“විශ්වාස කරන්න කියලද කියන්නෙ…තමුසෙ අපේ මූණෙ දැලි ගෑව. අපිට පාරට බහින්න නැති කළා. තමුනගෙ එවුං ඉස්සරහම අපිට නින්දා කළා”
ඇය ඔහු ගේ කමිසයෙන් අල්වා සෙලවූවා ය. මංජුල ශක්‍යාව තල්ලු කොට දැමුවේ ය. ඇය වැටෙන්නට ගොස් බේරුණේ තිලකා විසින් අල්ලා ගනු ලැබීමෙනි.
“දැං ඕක නතර කරහං”
ඇය දියණියට කෑ ගෑවා ය.
“පිට ගෑනුංගෙ ගුටි කාල මූ ගෙදර ගෑනිට ගහන්න එනව. මහ ලොකු වීරය. බයිසිකලෙන් වැටුණ කියල පච ගහල මට කියල වතුරත් උතුරෝගත්ත තවන්න. තවනෝ මං…”
ශක්‍යා කේන්ති වැඩිකමට දත්මිටි කෑවා ය.
“බයිසිකලෙන් වැටිල අඬු කැඩෙන්න ඕන දෙයියනේ. මට ලැජ්ජ කළාට හොඳක් වෙන්න එපා තමුසෙට. දෙයියො කියල කෙනෙක් ඉන්නවනං බලා ගන්න ඕන මේ තිරිසනා ගැන”
ශක්‍යා බැන වැදුණේ ද ශාප කළේ ද තමන් ගැන උපන් ලැජ්ජාවෙන් හා වේදනාවෙනි. ඇයට මහත් පරාජිත හැඟීමක් දැනෙමින් තිබේ. කිසි දාක සයුරංගනා ගේ මූණ දෙස බලන්නට ඈ ඉදිරියට යා නො හැකි ලැජ්ජාවක් දැනෙමින් තිබේ. සිය සැමියා ඇය සයුරංගනා ගේ දෙපයට පෑහෙන දුහුවිල්ලක තත්වයට පත් කළායි අපේක්ෂා භංගත්වයක් ඇති වී තිබේ. තිලකා කෙතරම් එපා කීව ද ඇය මංජුල ට බැණ වැදෙනා එක නතර කළේ නැත. රාත්‍රියේ ඔහු ට බත් පත හෝ බෙදා නොදුන්නා ය. ඒ කියවීම පසු දා උදයේත් නො නැවතී පැවතිණ. ඔහු ට ඉතිරි ජීවිත කාලය ම ඔය දෙස් තැබීම සමගින් ජීවත් වන්නට සිදු වන බව ඇතැම් විට මංජුල නො දැන ඉන්නට ඇත.
“එල්ලි එල්ලි යන්න එපා. ඔය මිනිහ දමල ගහල ගියොත් ළමයි දෙන්නව හදාගන්න උඹට තනියම පුළුවන්ද…”
බත් මුල තබා උදේ තේ එකවත් නැතිව මංජුල නික්ම ගිය පසු තිලකා දුවට අනතුරු ඇඟවූවා ය. කට කියවූවාට ඒ බිය ශක්‍යාගේ හිතට ද නො දැනුණා නොවේ.
ගමේ යන්නට සයුරංගනා කල් ඇතිව ම සූදානම් වූවා ය. ගෙදර හැම කෙනෙකුට ම ඇඳුම් මිල දී ගත්තා ය. ගිම්හාන් උදව් කළ ද ඇය ඉපයූ මුදලකින් අම්මා තාත්තාටවත් ඇඳුමක් මිල දී ගෙන දෙන්නට මීට පෙර ඇයට හැකි වී නැත. ඉතින් මේ සාප්පු සවාරිය ඇගේ අභිමානය තීව්‍ර කොට තිබිණ.
“ඔයා යන්න එපා අනේ…ඔයා ගියාම මට පාළුයිනෙ”
යශෝදර එසඳි ට කීවේ ය.
“ඉතිං ඔයත් අපිත් එක්ක ගමේ යං”
ඇය සිඟිති මුව උල් කරමින් හුරතල් වූවා ය. සයුරංගනා හිටියේ ඒ දෙන්නාගේ කෝලිත්තම් නො දුටු නො ඇසුණු ගානට ය. වෙනදා නම් ගමේ යන එක තරම් ප්‍රීතියක් ඇයට නැත. නමුත් මේ වතාවේ යන්නේ නොයා බැරි නිසා ය. වැඩසටහන අතපසු වන නිසායි සිතන්නට ඇයට ඕන විය. නමුත් කිසිදු ගැටළුවකින් තොර ව ඒ සතියට ඇයව ඔවුන් ඉන් නිදහස් කොට තිබේ. ඉතින් ගැඹුරට හිත හාරා පාරා කරුණු විමසන්නට නොයා ඇය මතුපිටින් ඒ දවස් ගත කළා ය.
💜️සතුටු මන්තර ගැන ඔබේ අදහස් දැනගන්නට මග බලා ඉමි. අධික කාර්ය බහුලත්වය නිසා වෙනදා සේ ඒවාට ප්‍රතිචාර දැක්විය නො හැකි වී ද එකක් නෑර මම ඒ සියල්ල ආශාවෙන් කියවමි.
💜️ Shinie’s Writings යූ ටියුබ් නාලිකාව ඔස්සේ මගේ තවත් නවකතා දෙකක් කියවන්නට ඔබට ඇරයුම් කරමි.