ඒකනෙ බං මං උඹට වැඩේ බාර දෙන්නේ. දැන් ඔය ජගා ලකා බීරලුවා හිටියට වැඩක් නෑනේ .උන් පොඩි පොඩි ගේම් විතරයි දෙන්නේ.
කුරුන්ජි අයියා… උඹ කියන්නේ මට හෙටක් නැති හින්දා මං මේ වැඩ කරනවා කියලද ..
ඔන්න ඔන්න උඹට තරහ ගියා .එහෙම නෙමෙයි බං.මේ වගේ ගේම් එකක් කරන්න පුළුවන් හරියට ඔලුවක් තියෙන මිනිහෙකුට විතරයි .කොයි වෙලාවක හරි ගේම් එක පත්තු වුනොත් සැනින් පිටවෙලා යන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ .ගෑනි ගැන බලන්නයි ළමයා ගැන බලන්ඩයි ගියොතින් සුනේ සුන්..
මට එන ගමන් කුරුන්ජි ගේ කටහඬ රැවි දිදී ඇහුණා .මට කවදාවත් අනවශ්‍ය බැඳීම් වලට එකතු වෙන්න ඕනෙ වෙලා තිබුණෙ නැහැ .නංගිගෙ මංගල්‍යය ලස්සනට කරලා දුන්න නම් මම නිදහස් .අපේ උන් හිතාගෙන ඉන්නේ මං කොළඹ කොම්පැනියක වැඩ කරනවා කියලා .කුරුන්ජි අයියා මට හම්බවෙන කොට යන්තං අවුරුදු දාසයයි .මේ අවුරුදු 10 පුරාවටම මං කොච්චර දේවල් ඉගෙන ගත්තද .රණසිංහ ආරච්චිලාගේ ක්‍රිශාන්ත වනිගසූරිය .හහ්. කවුද ඕවා දන්නේ .පැලස් ක්‍රිශා කිව්වොත් නං ඉතින් කවුද නොදන්නෙ . මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ 322 ගෙදරට කවුද බය නැතුව තට්ටු කරන්නේ .එහෙම තට්ටු කරපු කී දෙනෙකුට තට්ටු වෙලා තියෙනවද .
ක්‍රාරාස්. ශික් . මම ගහපු බ්රේක් පාරට මගෙම කන් දෙක කීං ගෑවා.
මොකක්ද ඒ .මම දන්න හොඳම කුණුහරපයක් කියාගෙන ජිප් එකේ දොර ඇරගෙන එළියට බැස්සේ මේ මහරෑ වාහන වලට පනින ගෑනි කවුද කියලා බලන්නයි .ඒ මෝහිනි නං මම කට පියාගෙන ආපහු ඇවිල්ල වාහනයට නගිනවා .මොකද පැලස් ක්‍රිශාගේ බ්‍රේන් ගේම් ඒකිට තේරෙන්නෑ .ඇරත් මට
කමසිරියාවක් නැතුව අඩන පොඩි එවුන්ව පෙන්නන්න බෑ .පොඩි එවුන්ව වඩාගන්න එක මට ඊට වඩා පෙන්නන්න බෑ . ගෑනුන්ට රෙදි ඇන්දිල්ල මට ඊටත් වඩා පෙන්නන්න බෑ .
ඕයි. තමුසෙට පිස්සුද .මේ මහරෑ මිනිස්සුන්ගේ වාහන වලට පනින්නේ .මම එහෙම කිව්වේ මම දන්න හොඳම කුණුහරප දෙක තුනකුත් කිව්වට පස්සේ .ඒ උනාට ඒ ඇස් දෙක කඳුළු වක්කර වක්කර මන් දිහා බලාගෙන ගෙන හිටියේ අත් දෙකත් වැඳගෙන .ඔය වගේ වැඳගෙන ජීවිතය යදින මූණු මම කීයක් දැකලා තියෙනවද .කවුද ඕව ගණන් ගන්නේ .
අනේ අයියේ පින් සිද්දවෙයි මාව බේරගන්න .මාව ඉක්මනට ඔයාගේ වාහනයට දාගන්න .ඔයා හිතන විදිය නරක කෙනෙක් නෙමෙයි මම .මට ලොකු කරදරයක් වෙලා .
මම ඒ මල හොල්මන දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා .ඒකි වෙස් වලාගත්ත පොලිස් කාරියෙක් නෙමෙයි කියලා මට තේරුනේ ඒ වගේ බයාදු කටහඬක් කොයිතරම් පළපුරුදු රඟපාන්න දක්ෂ පොලිස් නිලධාරිනියකට උණත් පිහිටන්නේ නැහැයි කියලා අත්දැකීමෙන්ම දැනගෙන හිටපු හින්දයි. මූණ පුරහම දාඩියයි කඳුළුයි වක්කරගෙන ඇඳුම් බෑග් එකකුත් පපුවට තුරුලු කරගෙන බයෙන් ගැහෙන මේ කෙල්ලගෙ මූනේ මහා ලොකු කතන්දරයක් ලියවිලා තියෙනවා කියලා මට නිකමට හිතුනා . වචනයක්වත් කතා නොකරපු මම ඔලුවෙ පැත්තක් විතරක් නිකං ගස්සලා ඇස් දෙකෙන් ජීප් එක පෙන්නුවාම එක හුස්මට කෙල්ල දුවගෙන ගිහිල්ලා ජීප් එකට නැග්ගා .
මොන හේතුවක් ද මම දන්නේ නැහැ .මේ මහා රෑ ඒකිව මට පාර මැද්දේ දාලා යන්න හිතුනෙ නෑ. මට නංගිවමයි මතක් උනේ.
අනේ අයියේ .අපේ ගෙදර අය මාව බලෙන් මිනිහෙකුට බන්දන්න යනවා . ඒ මිනිහා අපේ පුංචි අම්මගෙ නෑදෑකෙනෙක්. මගේ අම්මා නැහැ .ඉවසන්න බැරිම තැන මයි මම ගෙදරින් පැනලා ආවේ. මගේ ගම මීගමුවේ .කාටත් නොපෙනෙන්න මම රෑ තමයි කොළඹ බස් එකේ නැගලා ආවේ .
මම දන්නෑ අයියේ මම කැලණිය හරියෙන් බැස්සා .ඊට පස්සේ කාගේද ලොරියක පිටිපස්සේ හොරෙන් නැඟලා මේ හරියට එනකං ආවා.ඒ මනුස්සයා ලොරිය නවත්තලා කොහාටද ගියා . ඒ වෙලාවේ තමයි මම ඒකෙන් පැනලා ඉස්සරහට දුවගෙන ආවෙ .
එහෙම කියපු ඒ කෙල්ල දකුණු පැත්තෙ උරපත්ත උස්සලා ඇහැ පිහාගත්තා.
මම කුරුන්ජි අයියත් එක්ක හුගදවසකින් එකට කෑම කෑවෙ මාස ගානක් ප්ලෑන් කරලා දවස් තුනක් නිදිමරලා නූලට ගානට අරුනෝද ඇමතියට දුන්නු ගේම බඩේ බත් වගේ සෙන්ටිමෙන්ටල් වෙච්ච සතුට සමරන්නත් එක්කයි.
තමුසේ කාලද…
මං අහපු දේට වචනෙකින් උත්තර නොදී ඒ කෙල්ල දෙපැත්තට ඔලුව වැනුවේ නෑ කියන්න ද ඔව් කියන්න ද කියන එක මට තේරුනේ නෑ .අපේ ෆැලැට් එකේ වාහන පාර්ක් ඒකේ වාහනය දාලා මං බහින්න කලින් ඒකිගෙ මූන දිහා බැලුවා . බය පිරිච්ච ඇස් දෙක ඒ විදිහටම ඉතුරු වෙලා තිබුණා . කඳුළු විතරක් වේලිලා තිබුණා .
මම තමුසෙට නවාතැන් දෙන්නෙ අද විතරයි .තමුසේ සී අයි ඩී එකෙන් නම් තමුසෙට පුළුවන් මාව අල්ලන්න . හැබැයි වැඩක් වෙන්නේ නැහැ . ඒ උනාට මං ඒ ගේම් එකට හරි ආසයි .
ඒ කෙල්ල බයවෙලා වගේ මං දිහා බලාගෙන හිටියා . ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මේ මොන තැනකටද මාව පාත් උනේ වගේ මූනකින් ඒකි මං දිහා බලාගෙන හිටියා .වචනයක්වත් නොකියපු මම ජීප් එකෙන් බැහැලා මගේ ගේ පැත්තට ඇවිදගෙන යනකොට කෙල්ල පිටිපස්සෙන් දුවගෙන එන සද්දේ මට ඇහුණා .දවස් ගානක මහන්සියත් එක්ක මට ඕනෙ වෙලා තිබුණෙ එලි වෙනකම් නිදාගන්න .මම ඒකිවත් ඇතුලට අරගෙන ගෙදර දොර වහලා මගේ කාමරේට ගිහිල්ල දොර වහගෙන එලිවෙනකන් නිදාගත්තා .කීයටවත් ඒකි පොලිසියේ වත් සී අයි ඩී එකේ වත් නෙමෙයි කියලා මට තේරුනේ කොයි වෙලාවකවත් ඒකිගෙ කකුල් දෙක තනි කෙළින් තියාගෙන ඇවිදින්න බැහැයි කියල පෙනිච්ච හින්දයි . කොයිතරම් වෙස් වලා ගත්ත එවුන් මාව අල්ලන්න ආවත් මගේ ඉවෙන් ගැලවෙන්න උන් එකෙකුටවත් මෙච්චර කාලෙකට පුළුවන් වුණේ නැහැ .
මම උදේ නැගිටිනකොට 10 විතර වෙලා තිබුනා.කොහොමත් මම ගෙදර කළේ තේ හදන එක විතරයි .මම එලියට එනකොට නන්නාදුනන්නි නාලා කොන්ඩෙ කඩා දාගෙන බැල්කනියෙන් එළිය බලාගෙන උන්නා .මාව දැක්ක ගමන්
අහ් අයියේ නැගිට්ටා ද.. ඉන්න මං තේ ගේන්නං .
කියලා පිම්මේ කුස්සියට දිව්වා. තප්පර ගානකින් මම දැක්කේ මගේ කාමරය ඇරෙන්න මුළු ගේම මේ කෙල්ල අස්කරලා අතුගාලා කියලයි . මගේ අලුත්ම ශොට්ගන් එක හැමදාම මම තියාගන්නේ මගේ කොට්ට යටින්. ඒ හින්දා ඒකිට ඒක අහූඋනේ නැති එක මට සහනයක් උනා.
තමුසගේ නම මොකක්ද .
මම එහෙම ඇහුවේ මගේ කාමරේට ගිහිල්ලා මගේ ගන් එක ඉනේ ගහ ගත්තට පස්සෙයි.
හෙලනි…
හෙලනි එහෙම කිව්වේ තේක මගේ අතට දෙනගමං.
මොකද තමුසෙට ඊයෙ උනේ.
තමුසේ බඩුවක්ද?
හහ්….මොක උනත් තේකනම් පොල්පොට් ඈහ්…..ඉතිං කියනවා.
මොකද උනේ..
මං ඇහුවේ මගේ පුරුදු දිග පුටුවේ හාන්සිවෙන ගමං.
පුන්චි අම්මා මාව ලමයි දෙන්නෙක් ඉන්න මිනිහෙකුට දෙන්න හදනවා. ඒ මිනිහා සීයෙක්. මට ගෙදර ඉන්න බැරිම තැනයි පැනලා ආවේ..
එහෙම කියපු හෙලනි බිත්තිය ට හේත්තු වෙලා
මං බඩුවක් නෙමෙයි .. ඒත් මෙතනින් එලියට ගියොත් නං ඒකත් වෙයි ,කියලා කුටු කුටුවෙන් කිව්වම මට දුකත් හිතුනා .
ඒවයින් වැඩක් නෑ… අද හවස් වෙද්දී තමුසේ වැනිශ් වෙන්න ඕනේ. හරී…..
එහෙම කියපු මං ජිම් එකට යන්න එලියට ගියා . තමුසෙට දවල්ට බත් එකක් ගෙනල්ල දේවි.බත් එක ගත්තා . ක්ලෝස් ද ඩෝ කලා . හරි . නෝ කතා නෝ සිනා. බත් එක කෑවා. වැනිශ් උනා.
මං එහෙම කියද්දි හෙලනි බිම බලාගෙන උන්නා. නෙලුම් කුලුන පැත්තෙන් ආපු හුලගක් හෙලනි ගේ බාගෙට වේලිච්ච කොන්ඩෙ අවුස්සන් ගියා. එලිසබෙත් අක්කට මං කියං ගියා අපේ නංගී ඇවිල්ලා ඉන්නවා බත් එකක් ගිහින් දෙන්න කියලා .
ක්‍රිශා….පුතා.. ටිකක් පරිස්සමෙන් .උබ ගැන ඉවක් ගිහිං තියෙනවා . කුරුන්ජි අයියා කියද්දි මං උන්නේ ට්‍රෙඩ් මිල් එකේ කිලෝමීටර් ගානක් දුවන ගමං.
ආපහු ගෙදර ආවෙ ඇමතියගේ මරනේ උනුහුම අඩු වෙනකං පොඩ්ඩක් සෙන්ටිමෙන්ටල් වෙන්න කියලා කුරුන්ජි බොසාගෙන් ඔපිනියන් පාරක් ඔන්දස්පොට් වෙච්ච හින්දයි .
ගේ ඇතුලේ කවදාවත් නැති අමුතු පිලිවෙලක් තිබුනා . හෙලනි ලස්සන ගවුමක් ඇදලා උන්නා . මං ගේ ඇතුලට ආවා කියන්න වත් නොදැන උන්නු හෙලනි පිටිපස්සේ බැල්කනියෙන් අහස බලං උන්නා .
එහා ගෙදර ෆරීනාගේ රේඩියෝ වේ ඉන්දියානු සංගීත රටාවක් බොහොම හෙමින් ඇහුනා. නෙලුම්කුලනේ පුන්චි එලි එලි විසිරිලා තිබුනා . හෙළනිට වචනයක්වත් කතා නොකරපු මම ලොක් කරල තිබිච්ච මගේ කාමරයේ දොර ඇරගෙන ඇතුලට ගිහිල්ලා මගේ රිවෝල්වරය පුරුදු පරිදි කොට්ටේ යට තියලා නාන්න ගියා. මම නාල එලියට එනකොට මගේ කාමරය සම්පූර්ණයෙන්ම සුද්ද කරල තිබුණා .හෝටල් කාමරයක වගේ ඇඳ පිලිවෙලට හදලා තිබුණා . මේසේ උඩ බඩු හැමදෙයක්ම පිළිවෙළට ලස්සනට අහුරලා කාමරය අතුගාලා තිබුණා .අපිලිවෙලට විසිරිලා වැටිලා තිබුණු ඇඳුම් හැම එකක්ම නමලා ඇඳුම් රාක්කය පිළිවෙලට දාලා තිබුණා . මම කාමරය ඇරගෙන ඇතුලට ගිහින් නාන කාමරයට ගිය ටිකට මේ සේරම වෙලා තිබුණා .මට යක්ෂයා ආරූඪ වුණා .මගේ කාමරයට කවුරුත් එනවට මම කැමති නැහැ .තාම ඇවිල්ලා පැය හතළිස් අටක් වත් ගියෙ නැති ගෑනි කාමරයට රිංගලා ඒක අස් කරල තියෙන හැටි දැක්කහම මට යකා ගියා .
හෙලනි . තමුසෙට කිසිම අයිතියක් නැහැ මේ කාමරයට රිංගන්න .පොඩ්ඩක් ඔලුව දාගන්න දුන්නහම එනවා සම්පූර්ණයෙන්ම රිංගන්න.
දැන්මම යනවා, දැන්මම යනවා මේ ගෙදරින් . මම තමුසෙට කිව්වනේ මම ගෙදර එනකොට ගිහිල්ලා ඉන්න ඕනේ කියලා .දැන්මම යනවා දැන්මම ,.
මම පිස්සෙක් වගේ කෑ ගහනකොට හෙලනි කඳුලු පිරිච්ච ඇස්වලින් මං දිහා බලාගෙන හිටියා .
තමුසෙට වඩා කඳුළු වක්කරන ගෑනු මම දැකලා තියෙනවා .
එහෙම කියපු මට ඕන වුනේ හෙළනිගෙ කොන්ඩෙන් අල්ලලා එළියට දාන්න .
ඩං ඩං ඩං. ක්‍රිශාන්ත , දොර අරිනවා . අපි පොලීසියෙන් .බොරුවට පැනලා යන්න හදන්න එපා, අපි වට කරලයි තියෙන්නෙ . මං හෙලනි දිහා බලං හිටියේ දත්කූරු කන මූනෙන්මයි. හෙලනි බයෙන් බිරාන්ත වෙලා බිත්තියට හේත්තු වෙලා හිටියා .
මම ගිහිල්ල දොර අරිනකොට පොලිස් නිලධාරීන් හත් අට දෙනෙක්ම හරියට නිකං එයාලගේ චන්ඩි කමින් දොර ඇර ගත්තා වගේ මාව තල්ලු කරගෙන ගේ ඇතුලට ආවා .
ක්‍රිශා. තමුසේ ගැන ලොකු ඔත්තුවක් ඇවිල්ලා තියෙනවා .අපි ආවේ තමුසෙගේ ගෙදර සර්ච් කරන්න .
එහෙම කියපු පොලිස් නිලධාරින් පිස්සු බල්ලො වගේ මුළු ගේම අනිත් පැත්ත හරවන්න පටන් ගත්තා .මගේ පිටකොන්ද සීතල වෙලා ගියේ උන් මගේ කාමරය ඇතුලේ කොට්ට මෙට්ට හැම දෙයක්ම අදින්න පටන් ගන්න කොටයි . මම බය වෙලා හිටියත් ඒ බය මූණෙන් නොපෙන්වා ඉන්න උත්සාහ කරා .පුදුමයකට වගේ මගේ කාමරයේ ඇතුලෙන් මගේ රිවෝල් එක පොලීසියට අහු වුණේ නැහැ . යකඩ කුරකින් බිත්ති වලටයි පොළොවටයි වහලේ කොන්ක්‍රීට් එකටයි ඇන ඇනා මගේ ආයුධය ගේ පෙරළ පෙරළ පොලිස් නිලධාරීන් හෙව්වා .මටත් හිතාගන්න බැරි විදිහට ඒක ඒගොල්ලන්ට හොයාගන්න බැරි වුණා .
ආහ් ක්‍රිශාන්ත . මේ කවුද මේ .බ්‍රෑන්ඩ්නිව් බඩුවක් උස්සලා වගේ.
හෙළනිව පෙන්නලා එහෙම කියපු උසස් පොලිස් නිලධාරියා හිනා උනා .
මුළු ගේම අනිත් පැත්ත පෙරළුවත් තුවක්කුව හොයාගන්න බැරිවෙච්ච නිලධාරීන් ගෙයින් පිට වෙලා ගියේ දඩයම වැරදිච්ච බලු රෑනක් වගේ .පොලිස් නිලධාරීන් ගිය ගමන් ගෙදර දොර වහපු මම පැනපු ගමන් හෙළනිගේ කොන්ඩෙන් අල්ල ගත්තා .
ඇත්ත කියපං, මගේ කොට්ටෙ ලඟ තිබිච්ච තුවක්කුව කොහෙද උඹ දැම්මෙ .අර යක්කු ගේ පීරලාත් හොයා ගන්න බැරි වුණේ කොහොමද ?
හෙලනි කඳුලු බේරෙන ඇස් වලින්
මම අයියගෙ ඇඳ අස් කරනකොට කොට්ටෙ යට තිබිලා තුවක්කුව හම්බවුණා .මම ඒක අයිය ඇදන් ගිය කලිසමට දාලා ඇඳුම් වැටෙන් නමලා තිබ්බා . තුවක්කුව කොට්ටෙ යට තියාගෙන නිදා ගන්න බය නැද්ද .ඒක පත්තු උනොත් එහෙම .ඒකයි මම ඇඳුම් වැටෙන් දැන්මේ .
තප්පර කීපයක් මම හෙලනිගේ මූන දිහා බලාගෙන හිටියා . විදුලි වේගයෙන් හෙළනිව අතහැරපු මම පොලිස් කාරයෝ පයින් ගහපු ඇඳුම් වැටේ සීසීකඩ බිම වැටිලා තිබිච්ච මගේ කලිසම අරං බලනකොට ඇත්තටම තුවක්කුව සාක්කුව ඇතුලෙ තිබුණා . මට හිතාගන්න බැරිවුනා.වාසනාවට හෝ අවාසනාවට මාව නූලෙන් බේරිලා තිබුණා . පොලිස්කාරයෝ හීනෙන්වත් හිතපු නැති තැනක මගේ තුවක්කුව සුරක්ෂිතව රැඳිලා තිබුණා .දහඩියෙන් පෙඟුණු මම ලොකු හුස්මක් ඇරලා පිටිපස්ස බලනකොට හෙළනි ඇඳුම් පොට්ටනියත් තුරුල් කරගෙන මං දිහා බලාගෙන හිටියා . මට හිතාගන්න බැරි වුණා . හිමින් සීරුවෙ මම නැගිටලා හෙළනි ගාවට ගියා . එක අතක් හෙලනිගේ ඔළුවට තියලා හෙමින් අතගැවා .මම කුරුන්ජි අයියට ඇමතුමක් ගත්තා .
කුරුන්ජි අයියේ .
දැන් ගෙදරට පොලිසියෙන් පැන්නා .වෙලාවට මුකුත් අහු වුණේ නැහැ .එහෙනම් අනිද්දා ට මාව මැලේසියාවට අරින්න .
කුරුන්ජි අයියේ .
ට්කට් දෙකක් ඕනේ ..
ඔව් දෙකක් .
ඔව් ඔව් දෙකක් .