“දැන් මේ වෙඩින් එකට ඔයා යන්නෙ නැද්ද?”
වන් ගෝල් ෆේස් මෝල්හි ටක්ස් සිලෝන් සාප්පුව වෙත යන්නට පඩිපෙල නගින අතරවාරයේ තාරා ඇසුවේ මහිල්ගෙනි. මහිල්ගෙන් එන්නේ අපූරු සුවඳක් බව තාරාට සිතුනේ ඒ යන අතරවාරයේය. එය සුවඳ මෙන්ම සීතල බවක් මුසුවූ තරුණ පිරිමි සුවඳකි. සිත කුල්මත් කරන සුවදකි.
මහිල් හැඳ සිටින්නේ නිල්පැහැ කොටු වැටුණු කමිසයකි. එය සිරුරට වඩා මදක් විශාල හෙයින් එල්ලා වැටෙන්නාක් බඳුය. එහෙත් මේ ඇතැම් විට මේ කාලයේ හිඳින තරුණයින්ගේ මෝස්තරය වෙන්නටත් හැක. අනෙක් අතට ඒ මෝස්තරය ඕනම පිරිමියෙකුගේ තුරුණු බව, ජවය සහ සෙල්ලක්කාරකම පෙන්වන්නකි.
“මාත් යනවා”
“කොහෙද වෙඩින් එක තියෙන්නෙ?”
“ගාල්ලෙ, ලයිට් හවුස් එකේ”
“ඉතින් ඔයා ඇඳුමක් ගන්නෙ නැද්ද ඇඳගෙන යන්න”
“ගෙදර ඉතින් තියෙනවනෙ ඕනතරම් ශර්ට්. කලින් වෙඩින් එකකට ගත්ත බ්ලේසර් එකක් තියෙනව. ගැණු ලමයිට වගේ ඉතින් පිරිමි ලමයි වෙඩින් එකෙන් වෙඩින් එකට ඇඳුම්ගන්නෙ නෑනෙ”
“ඒක නම් ඇත්ත අනේ. අපිට වෙඩින් එකකට යන්න උනාම ඇඳුම් මේකප් අරව මේව කියල කීයක් වියදම් ද. පිරිමියෙක් වෙන එක ලේසි”
“පිරිමියෙක් වෙන එක ලේසි නෙවෙයි. ඔයාලා කොච්චර හිතුවත් වියදම් වෙන එක අපරාදෙ කියල ඒ මෝමන්ට් එක ආවමඔයාල ඔටෝමැටිකලිම සැලෝන් වලට යැවෙනව. ඒකයි වෙන්නෙ”
මහිල් කියන්නේ සිනාසෙමිනි. සැඳෑවක් නිසාවෙන්ම වන් ගෝල් ෆේස් එක කාර්‍යාල අවසන් වී යන මිනිසුන්ගෙන් පිරී තිබේ. එහෙත් ටක්ස් සිලෝන් එක තිබුනේ පාලුවෙනි. නිල් පාට, කලු පාට විවිධ වර්ණ වල විවිධ මෝස්තර වල මංගල ඇඳුම් ලෝකයකි.
මහිල් එහි කවුන්ටරය වෙත ගොස් අදාල ඇණවුම ගැන අසන තෙක් තාරා එක එක ඇඳුම් මෝස්තර බලමින් උන්නාය. මෙයට වසර කිහිපයක පෙර චිරායු සමග නාමල් බාලචන්ද්‍ර වෙතින් චිරායුගේ මංගල ඇඳුම ගන්නට ගිය ආකාරය මතකයේ ඇඳී නොඇඳී ගියාක් බඳුය.
එහෙත් ඒ දැන් මතකයන් පමණි. ඒ අතීතයේ වු සොඳුරු බව දැන් වර්තමානයේ බිඳක්වත් නැතිවග තාරා නොදන්නවා නොවේ. මේවා ගැන දැන් කොතෙක් කල්පනා කරද පලක් නැති වග තාරා නොදන්නවා නොවේ.
“තාරා, පොඩි කේස් එකක්”
මහිල් ගේ සොඳුරු මුහුණ ප්‍රශ්නාර්තයකින් පිරී ඇතිවග දනිද්දි තාරාත් කල්පනාවට වැටුණාය.
“ඇයි?”
“මම අද මේ ඇඳුම අරගන්න ඕන. ඒ උනාට එයාලට තව පැයක් වත් යනවලු ෆයිනල් ටචස් කරන්න. ඒනිසා මම අද වයිබ්ස් එකටයැවෙන එකක් නෑ. ඔයාට ගෙදර යන්න පුලුවන්ද? එහෙම නැත්තම් ඔයා වයිබ්ස් එකට යන්න. කමක් නෑ”
“ඔයා මොකද කරන්නෙ? මෙතන ඉන්නවද?”
“ඔව් ආයෙ ගිහින් එන්න වෙලාවකුත් නෑ තේරුමකුත් නෑනෙ. අනික අද කොහොමත් මම මේක ගිහිල්ල භාර දෙන්න ඕන. යාලුවා අද තමයි රෑට එන්නෙ ගෙදර”
“ඉතින් මාත් ඉන්නම්” කියා කියූ තාරා “ඔයාට ප්‍රශ්නයක් නැත්තම්” කියා කිව්වේ මහිල්ගේ මුහුණේ ඇඳී තිබුණ කල්පනාබරිත බව දුටු නිසාවෙනි. තමා සමග මෙහි රැඳී සිටීම මහිල්ගේ පැත්තෙන් කුමනාකාරයේ ගැටලුවක්ද කියා තාරා නොසිතුවා නොවේ. තමා කිසිම දිනක ඒ වග සිතුවේ නැති බව තාරාට මතක් වුනේත් ඒ මොහොතේය.
“නෑ ඔයාට කරදරනම් මහිල් මට යන්න පුලුවන්” කියා අත් බෑගය වඩා හොඳින් උරහිසේ රඳවාගත් තාරා ඇත්තටම හැරුණේ මහිල්ගේ මුහුණේ ඇඳී තිබුණ කල්පනා බරිත බව තවදුරටත් දරාගන්නට නොහැකි තැනය. ඒ මුහුණේ ඇඳී තිබුන කල්පනාවට හේතුව තමා සමග මෙහි රැඳී සිටීම මහිල්ට ගැටලුවක් වන්නට හැකි බව කියා හිතෙද්දි හිත රිදුණ බව ඇත්තකි. තමාව සියල්ලන්ටම කරදරයක් වීගෙන එන බවකි.
“ඕකනෙ ඉතින් බැරි. හැම එකටම කලබල වෙන්න එපා ලමයො. මං එදත් කිව්වෙ”
මහිල් කිව්වේ හැරී යන්නට තනන තාරාගේ අතකින් අල්ලගෙන. එය සිදුවුයේ නිරායාසයෙන් ය. හැරී බැලූ තාරාගේ දෙනෙත මුලින්ම තමාගේ අතින් අල්ලාගෙන හිඳින මහිල්ගේ අත වෙතත් අනතුරුව ඒ ඔස්සේ මහිල්ගේ දෙනෙත වෙතත් යාවුණි.තාරාගේ අත අල්ලාගෙන උන් මහිල්ගේ අත ගිලිහුනේ තාරාගේ දෙනෙතේ ඇඳී තිබුණ බැල්ම අනුවය. තමා තාරාගේ අත අල්ලා ගත්තෙ වැඩිදුර සිතා බලා නොවේ. එහෙත් එය හරි දෙයක් යැයි කියන්නට නොහැක.
“අයෑම් සොරි” මහිල් තාරාගේ අත මුදා හැරියේ එසේ කියමිනි.
“මං හිතුවෙ ඔයා කැමති නෑ කියල මම ඉන්නවට”
“නෑ ලමයො මගෙ අකමැත්තක් නෑ..මට ප්‍රශ්නෙකුත් නෑ. මට බය හිතුනෙ ඔයාට කරදරයක් වෙයි කියල. කවුරුහරි දැක්කොත් කියල”
“එහෙම දෙයක් නෑ. අනික අපි වරදක් කරන්නෙ නෑනෙ. යාලුවො දෙන්නෙක්ට එහෙම එලියෙ ඉන්න බැරි ද?”
“අපි යාලුවො විතරමද” කියා තාරාගෙන් අහන්නට තිබුනා නම් කොච්චර හොඳ ද කියා සිතුණත් තාරා විවාහක බව දැන දැනම එවන් දෙයක් අසන්නට නොහැකි බව මහිල් දැන උන්නේය.
“ඔයාට ප්‍රශ්නයක් නැත්තම් අවුලක් නෑ තාරා. මට නම් ඇත්තටම ගැටලුවක් නෑ. මම බය උනේ ඔයාට මොනවහරි ප්‍රශ්නයක් කරදරයක්වෙයි කියල මාත් එක්ක මෙහෙම එලියට වෙලා ඉන්න එකෙන්. ඒකයි මම එහෙම කිව්වෙ. එහෙම නැතුව ඔයා ඉන්න එකට අකමැත්තක් නිසා නෙවෙයි. ඔයා සතුටෙන් නම් ඉන්නෙ අයෑම් ඇට් යුවර් සර්විස් මැම්” කියමින් මහිල් දෑත් දෙපසා විහදමින් කියද්දී එතන මැවුණේ සිනා සාගරයකි. දෙතොල් දෙපසට විහිදා සිනාසෙන තාරා දෙසම බලාගෙනම මහිල් තම සුපුරුදු සිහිලැල් සිනාව විසුරුවන්නට විය. සිතේ ඇති බයසැක දුක නැති කර අරුමැසි සිහිලැල් හැඟුම්වලින් හදවත පුරවාගන්නට අවශ්‍ය වන්නේ කොපමණ නම් කුඩා හේතුද කියා තාරාට සිතුනේ ඒ සිනා කැන් අතරවාරයේය.
චිරායු සමග තමන් අවසාන වරට මෙතරම්ම සතුටෙන් සිනාවුන දවසක් තාරාගේ මතකයේ අහලකවත් නැත. එවන් දින තමාගේ ජීවිතයටපැමිණ ඇත්තේ කොපමණ අඩුවෙන්ද කියා සිතෙද්දී විවාහ දිවියක් වනාහී එවන් වේදනබර සංසිද්ධියක්ද කියා තාරාට නොහිතුනා නොවේ.එහෙත් ජීවිතය භාරගත යුත්තේ ආ හැටියෙන්ම නොවේද?
කල්පනාවක ගිලී උන් තාරා මහිල් දෙස බැලුවේ ඒ සිතුවිලිසමගිනි.
“ඉතින් අපි දැන් මොකද කරන්නේ?”
“දැන් ඉතින් වෙන කුමක් කරන්නද?” කියා අතුල අධිකාරිගේ ගීතයේ තාලයට ඇසුවද එතනින් පසු තිබෙන වාක්‍ය කියන්නට මහිල් නැඹුරු වූයේ නැත. ආදරය මිස වෙන කරන්නට දෙයක් දැන් නොමැති බව තාරාට කියන්නට නොහැක.
“අපි එයාලා කෝට් එක රෙඩි කරනකම් ගෝල් ෆේස් පැත්තෙ රවුමක් දාලා එමුද?”
ඒ අපූරු යෝජනාවකි. සෑහෙන කාලයකින් ගෝල් ෆේස් පැත්තේ ආවෙ නැත. වෙනසකට මෙන් එහි ගොස් මුහුදු හුලඟ සමග පොරබදන්නට තිබුණා නම් අපූරුය.
වන් ගෝල් ෆේස් මෝල් එක ඉදිරිපස කහ ඉරෙන් පාර පැන මහිල් සහ තාරා ගාලු මුව දොර පිටිය වෙත ඇවිද එද්දී ඉර තිබුනේ මුහුදු පත්ලේ සැඟවෙන්නට යමිනි. එහි රත් පැහැයත් රන් පැහැයත් මුසුවූ අවසාන රැස් කදම්බය මුහුද මත වැතිර තිබුනේ සදට අහසට නැග එනු පිණිස අතුරා ලූ පාවඩයක් මෙනි.
තාරාත් මහිලුත් ඒ ඉර එලිය දෙස බලාගෙනම ඉදිරියට ඇදුනේ වචනයක්වත් නොකියා තමන්ගේම කල්පනා ලෝකයක ගිලීය. ඒ කල්පනා ලෝකය තුල තාරා සමග අතිනත ගෙන මෙහි ඇවිදින්නට තිබුනා නම් අපූරු වග මහිල් සිතද්දී චිරායු කුම කරගත්තද කියා තාරා සිතමින් උන්නාය.
චිරායුගේ ඉල්ලීමට කන් නොදී උදෑසන රාජකාරියට ආවද තමන් කල දේ කොතෙක් දුරට නිවැරදිද කියා තාරා නොසිතුවා නොවේ. චිරායු කොපමණ තරහකින් ඉන්නවාද කියා සිතාගන්නට අපහසුය. එහෙම තැනක නිවෙස බලා ගොස් චිරායු සමග රන්ඩු වෙනවාට වඩා මුලු දවසම වුවත් මෙහි හිඳින්නට තිබුනා නම් අපූරුය. තරුණ අවදියෙදි රස්සා සොයා ගන්නට මුදල් සොයන්නට තමන් අපමණ වෙහෙසුණු බව ඇත්තකි. එහෙත් මිනිසෙකු ලබාගත යුත්තේත්, උපයාගත යුත්තේත්, අපහසුවෙන් හෝ හිමි කර ගන්නට කටයුතු කල යුත්තේත් ඒ කිසිවක් නොව මානසික නිදහස බව තාරා කාලයත් සමග ඉගෙනගත්තාය.
“වඩේ එකක් අරගෙන දෙන්නද?”
ඒ සිහිල් සුලඟ මැද හිඳ මහිල් අසද්දී ඔහුගේ කෙහෙ රැලි තිබුනේ සුලගේ විසිරෙමිනි. අත දිගු කර ඒ කෙහෙ රැලි විසිරීම නවත්තන්නා තිබුනා නම් මොනතරම් අපූරුද?
අනෝරා මල් වැහි 21