කාල චක්කර ආදර

මං උන්නේ ඔළුව විකාර වෙලා වගෙයි .මේ පාර සගරාවේ ප්‍රධාන ලිපිය ලියන්න භාර දීල තිබුණෙ මට.ඇත්තටම ලිපියක් ලියන එක ඒ තරම් දෙයක් නොවුනට අපේ වගේ ප්‍රසිද්ධ සඟරාවක ප්‍රධාන ලිපිය ලියනකොට ඒක  ටිකක් හරබර විදිහට අමුතු වැදගත් විදිහට ලියන්නයි මට ඕනේ වෙලා  තිබුණේ .ඒ කියන්නේ වෙන කිසිම කෙනෙක් ඒක නොලියපු විදිහකට .ගෙදර හිටියොත් සද්ද බද්ද වැඩි හින්දා මට හිතුනා හිත එකලස් කරගෙන ලියන්න පුළුවන් තැනකට ගිහින් ලිව්වොත් හොඳයි කියලා. වෙනදා වගේම මා ඔය අද්දර තිබිච්ච සිසිලස උද්‍යානයට මම ගියේ පුරුදු පරිදි අඹ ගහ යට තිබුන මේසයට. පෑනයි කොලෙයි අතේ තියාගෙන සෑහෙන වෙලාවක් කල්පනා කළේ  මොකක් ගැනද ලියන්නෙ කියලා.   අන්තිමට මට හිතුනා සාමාන්‍යයෙන් කතා කරන මාතෘකාවක් වුණත් කාන්තාව ගැනම ලියන්න .මට ඕන වුණේ කාන්තාවගේ විවිධ සමාජ වේදනාවල් සාහිත්‍යයේදී කොහොමද එළි දක්වලා තියෙන්නේ කියන දේ ලියන්නයි .වාරිස් ඩයිරි ගෙයි රනු මොන්ඩාල්ගේ යි  ජීවිත කතාවල් ගැන විස්තර හොයා ගත්තු මම ඒක ලියල ඉවර වෙලා ඔලුව  උස්සනකොට මගේ මේසේ එහා පැත්තේ මං දිහා බලාගෙන හිටියේ සුදු උස කඩවසම් මූණ පුරාම රැවුල් කොට කොට තිබුන නිරෝගිමත් ඇස් දෙකක් තිබුණ උද්යෝගිමත් තරුණයෙක් .මම එක පාරටම බය  වුණේ අනාරාධිතව එහෙම කවුරුවත් තවත් කෙනෙක්ගෙ මේසෙක ඉඳගන්න නැති හින්දා .

බය උනාද ..

එයා මහා පුදුමාකාර ගාම්භීර කටහඬකින් එහෙම ඇහුවා. ඒ කටහඬ මිතුරුකම පිරිල  තිබුනයි කියලා මට හිතුණා .

ඔව් එකපාරටම ඔලුව උස්සනකොට ඔයා ඔහොම ඉඳගෙන ඉන්නකොට නම් බය උනා තමයි .

එහෙම කියලා මම හිනා උනා .

මොනවද පනදාගෙන ලියන්නෙ ..

මට හිතුණා නිකමට එයත් එක්ක කතා කරන්න. මම කරන රස්සාව ගැනත්  රස්සාවේ ස්වභාවය ගැනත් වගේම දැන් මම මේ ලියන්න යන ලිපිය ගැනත් මම එයාට ටිකක් වෙලා විස්තර කළා .

ඒක නෙමෙයි මම සංගීතා…. ඔයා….
මම එහෙම කිව්වේ දැන් විනාඩි විස්සකටත් වඩා අපි කතා කරලා තිබුණත් දෙන්නගෙන් කවුරුවත් දැන අඳුනගෙන තිබුණේ නැති හින්දයි .

මං රනු….අහ් සොරි රනුක……

එහෙම කියපු රනුක නළුවෙක් වගේ ලස්සනට හිනා උනා .මට හිතුනා රනුක දිහා ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් කියලා. රනුකගේ  ඇස්වල මහා අමුතු මායා බලයක් තියෙනවා කියලා  මට නිකමට හිතුනා .ඒ හිතනකොටම ඉස්සර කවි පදයක තිබිච්ච

නුබේ නෙතේ කැල්මෙන් මා මනමත් වේ…
කියන කවි පදය මට මතක් උනා .

දැනට මම වාරිස් ඩයරි ගැනයි රනූ මොන්ඩාල් ගැනයි ලිව්වා.මේක මෙතනින් එහාට බිල්ඩප් කරගන්නෙ කොහොමද කියලයි මම කල්පනා කලේ ..

රනු මං දිහා බලාගෙන හිටියා ..

මහා සාගරයට සුවිශේෂී වූ එක් දෙයක් වෙයි. එනම් ලුණු රසයයි. එසේම ධර්මයේ ද  ඇත්තේ අවසානයේ එක් දෙයයි. එනම් විමුක්තියයි .ඕක තියෙන්නේ ඕගොල්ලන්ගේ ආගමේ
පහරාද සූත්‍රයේ….

මම රනු දිහා පුදුම වෙලා බලාගෙන හිටියා . හරියට කොළයක් දිහා බලාගෙන කියනවා වගේ රනු මට මේක ගැන කියන විදිහ විශ්වාස කරගන්න බැරි වුණා .

ඇයි ඔයගොල්ලන්ගේ ආගමේ කියලා කියන්නේ …ඔයා බෞද්ධ නෙමෙයිද .

රනු හිනා උනා.

ඔයා ඔය කාන්තා විමුක්තිය ගැන ලියන්න හදන්නෙ වර්තමානයේ ඉන්න චරිතවලින් නේ .
ඇයි ඔයාට ඔයාගේ ආගමේ තියෙන දෙයක් උදාහරණයට අරගෙන ලියන්න බැරි .ඕගොල්ලන්ගේ ආගමේ බොහොම විශේෂ  දෙයක්නේ තේරී ගාතා පොත.
ඒකෙ කොයිතරම් වැඩිහිටි භික්ෂූනී වහන්සේලාගේ චරිතාපදාන තියෙනවද.
ඒකෙ කතා හරි ලස්සනයි .කියවලා බලන්න. ලිපිය ලියන්න හදිස්සි වෙන්න එපා. තේරී ගාථා වල තියෙන හැම කතාවකම අවසානයේ තියෙන්නේ නිදහසයි විමුක්තියයි ගැන .ඒ වගේම බහුලවම කාන්තාවගේ ජීවිතය විඳින දේ, විඳින දුක , ම්…
උදාහරණ හැටියට අපි ගමුකො සංගීතා, දරුදුක ,ප්‍රිය වියෝගය , බොහෝ දරුවන් බිහි කිරීම නිසා ඇති වන ශරීර දුර්වලතා ,ප්‍රේමය බිඳ වැටීම හින්දා  ඇතිවෙන වේදනාව වගේ දේවල් . අන්න ඒ  වගේම ගොඩක් මානුෂීය සාධාරණ හැඟීම් ගැන ථේරී ගාථා පොත පිරිලා තියෙනවා .
ථේරී ගාථාවල තියෙන අම්බපාලිගේ කතාව කොයි තරම් ලස්සනයි ද ..

මම මහා තීරු ලිපි රචිකාවියක්  කියලා හිතාගෙන හිටියට රනුගෙ දැනුම ඉස්සරහ මම සුළැඟිල්ල ක් තරම් වත් නැහැ කියලා මට හිතුනා. අද ගෙදර ගිය ගමන්ම ලිපිය ලියන්න හදිසි නොවී අන්තර්ජාලය ඔස්සේ කොහොමහරි මේ විස්තර තව හොයාගන්න උනේ කියලා මට හිතුනා. එදා මේ විස්තර කතා වෙලා ඉවර වෙනකොට ගොඩක් හැන්දෑ වෙලා තිබුණා .

ඔයා කොහාටද යන්නෙ.

මං රනුගෙන් ඇහුවා .

මම යන්නෙත් ඔයා යන දිහාවටම තමයි යමු .

ඒක නෙමෙයි ඔයා මට කිව්වේ නැහැනේ. ඔයා මොකද කරන්නේ කියලා .මම මේ පාර්ක් එකට ගොඩක් එනවා යනවා. ඒත් කවදාවත් ඔයාව දැකල නැහැ .

ඔයාට මාව දකින්න විදිහක් නැහැ. මොකද මම අදමයි මෙහාට ආවේ .මම පරිසර විද්‍යාඥයෙක් .මම සත්තු ගැන විස්තර හොයනවා. මල් ගැන විස්තර හොයනවා. ගහකොළ ගැන විස්තර හොයනවා. ඒකයි අද මම මේ පාක් එක බලන්න ආවෙ .

තවත් මොන මොනවදෝ ගොඩක් දේවල් අපි කතා කර කර එළියට ගියා .පුරුද්දට වගේ හැමදාම කිරිහල ගාවින් නැවතිලා මම කිරි එකක් බීලයි ගෙදර ගියේ .
ඒ උනාට එදා මගේ ළඟ ඒ හැටි සල්ලියක් තිබුණෙ නෑ .කොටින්ම කියනව නං තනියම  කිරි එකක් ගන්න බැරි   හින්ද මම ඒ අදහස හිතෙන් අතහැරලා දැම්මා .

සංගීත කිරි එකක් බීල යමුද ..
මගේ ළඟ සල්ලි තියෙනවා මම ගෙවන්නම්..

රනු වීදුරු ඇස් දෙකෙන් මන් දිහා බලල එහෙම කියනකොට මට හරි පුදුම හිතුනා .ඊට එහා පැත්තේ තිබිච්ච වඩේ කරත්තෙන් මං වඩේ පහක්  ගත්තා .එදා මුළු හැන්දෑ  වරුවෙම අපි දෙන්න   හරියට ආත්ම ගානක් දන්න දෙන්නෙක් වගේ හිනාවෙවී කතා කර කර කිරි බිබී වඩේ කෑවා .මාව ගෙදර ගාවට එනකම්ම ඇරලපු රනු ,

මම එහෙනම් ආපහු යනවා මගේ නවාතැන්පොළට .ඔයා හෙටත් පාක් එකට එනවද .

එහෙම  අහලා එයා නළුවෙක් වගේ හිනා උනා .ඇත්තටම ඒ හිනාව යට පුදුම ලස්සනක් තිබුණා .එයා අහපු විදිහටයි අහල හිනා වෙච්ච විදිහටයි මට බැහැයි කියා ගන්න බැරි වුණා.

අනිවාර්යයෙන්ම එනවා. ලියපු ලිපිය එඩිට් එකට දෙන්න කලින්  ඔයාට පෙන්නනවා .

එදා හවස  මම ගෙදර ගිහිල්ලා කලේ අන්තර්ජාලයෙන් ථේරිගාථා ගැන විස්තර හොයපු එක .රනු පෙන්නපු මග ඔස්සේ මට බොහොම ලස්සන ලිපියක් ලියලා ඉවර කරගන්න හම්බවුණා .
පාර්ක් එකට එනවද කියලා ඇහුවට එන්න වෙලාවක් කතා කරගන්න හම්බ වුනේ නැති එක ගැන මට දුක හිතුනා. මෙච්චර කතා කළා ටෙලිෆෝන් අංකෙවත්   ඉල්ල ගත්තෙ ගත්තේ නැහැනේ කියලත් මට හිතුනා .මොනව උනත් ලිපියේ අවසාන ටික ආපහු ටිකක් මට හදන්න ඕන කියල  හිතුන හින්දා එදා උදේ මම පාක් එකට ගිහිල්ලා පුරුදු මේසේ පුරුදු පුටුවේ ඉඳ ගත්තා . ඊට විනාඩි ගාණකට පස්සේ රනු මං  ඉස්සරහ ඉඳගෙන හිටියා .

ඔයා…දෙයියනේ …. කොහොමද උදේ ආවේ .අපි කතා වුනේ හවස එන්නනෙ ..මම හිතෙන් හරිම  අප්සෙට් එකේ හිටියෙ ඔයාගෙන් ටෙලිෆෝන් නම්බර් එක වත් ඉල්ල ගත්තෙ නැහැයි කියලා .මට අද හවස ඔෆිස් එකට යන්න වෙනවා. මේ කොලම් එක භාරදෙන්න. ඒ උනාට මට ඔයාට ඒක කියන්න  අමතක උනා .

කමක් නෑ, කමක් නෑ, දැන් මම ආවා නේ ..
එහෙම කිව්ව රනුක හිනාවෙලා මගේ ලියපු ලිපිය මුල ඉඳන් අගට බොහොම ඉවසීමෙන් කියවලා බැලුවා .හදන්න ඕනා තැන් එහෙන් මෙහෙන් කියලා දුන්නා .

Woman freed is like the moon
Free from darkness and eclipse
Free in mind and free from debt
Free to live on alms and gifts
ඕක ඔය මුක්තා භික්ෂූනියගේ කවියක් ..ඒකත් ලස්සනයි .ඔයාට ඒක මිස්වෙලා..

නිදහස් වූ කාන්තාව සඳ වැනිය. අඳුරෙන් සහ
සූර්යග්‍රහණයෙන් නිදහස්
මනසින් නිදහස් සහ
ණයෙන් නිදහස්
දානයෙන් හා පඬුරුවලින් ජීවත් වීමට නිදහස ඇත.

රනු. ඇත්තටම ඔයාට තේරි ගාතා පාඩම්ද….

ඔයාලගේ ආගම  ඕගොල්ලන්ට වටින්නේ නැහැ . ඒක ඇතුළෙ විස්තර හොයන්න ඕගොල්ලෝ උත්සහ ගන්නෙ නැහැ .

ඒ…රනු ඇත්ත කියන්න ඔයා කොයි ආගමේද .

ඕගොල්ලන්ගේ  බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ජාති කුල මල ආගම් ගැන හොයන්න එපා කියලා නේද .මම කිව්වේ ඕගොල්ලො නියම බෞද්ධයෝ නෙමෙයි .

අහ් සොරි සොරි
මම හිනා උනා .

ඔයා තව දවස් කීයක් මෙහෙ  ඉන්නවද ..දැන් සත්තු ගැන, ගස් ගැන විස්තර හම්බවුනාද ..

ඉන්නේ නම් තව සතියක් විතර .මේ ගඟ පහළ තියෙන මිටියාවත හරියත් මට බලන්න තියෙනවා .කැමතිනම් ඔයාටත් මාත් එක්ක එන්න පුළුවන් .
ඒක නෙමෙයි සංගීතා.ඔයා දැන් යන්නේ මංඩවත්තපාර බස් එකේ නේද ..

ඔව් ඇයි.?

අනේ සොරි සංගීතා, මම මෙහෙම ඔයාගෙන් ඉල්ලනවා ට .ඒ බස් එකේ යන්නේ නැතුව ඔයාට බැරිද 138 බස් එකේ ගිහිල්ලා පිටකොටුවේ බස්ටෑන්ඩ් එකෙන් බහිද්දිම රනකුමාර කෑම කඩේට මේ සල්ලි ටික දෙන්න .

කීයක් ද. කාටද..

රුපියල් පන්දාහක් තියෙන්නේ . විජිත ට දෙන්න කියන්න .

රනු හම්බවෙලා දවසක් වුණාට  හම්බවෙච්ච වේලාව ඉදලා  රනු මට කරපු උදව් හින්දා  මට ඒ ඉල්ලීමට බැහැයි කියන්න හිතුනෙ නැහැ .ඒ වගේම ඒ තරම්  කඩවසම් ලස්සන පිරිමි මුහුණකින් හිනාවෙලා
අහිංසකව එහෙම ඉල්ලීමක් කරන කොට මට මගාරින්න හිතුණේ නැහැ .එයාගෙ සල්ලිත් අරගෙන එදා මම ඔෆිස් ගියේ එක බස් එකකින් යන්න තිබිච්ච ගමන බස් දෙකකින් යන්න වුණා කියන කරදරයත් අමතක කරන ගමන්මයි .යන්න තිබිච්ච ඔෆිස් වෙලාවත් පැයක් විතර පහු වෙනකන්  රනකුමාර කෑම කඩේ මුළු කොටුව පුරහම මම හෙව්වා .කිසිම ත්‍රීවීල් එලවන මනුස්සයෙක්වත් එහෙම කඩයක් ගැන දැනගෙන හිටියේ නැහැ .සමහරවිට මට නම අමතක උනාද දන්නෙත් නැහැ .මට එහෙම හිතුනා .කමක් නැහැ තව සතියක් එයා ඔය ළඟපාත ඉන්නවනෙ. මං එතකොට එයාට සල්ලි දෙනවා .එහෙම හිතලා ඔෆිස් එකට යනකොට

දෙයියනේ සංගීතා ….අපි හිතුවා ඔයා ඉවර තමයි කියලා .අපි හැමෝම දැන් මේ කරන්නේ මොකද්ද කියලා කල්පනා කර කර හිටියේ .සුරංජනුයි  බස්නායකයි
දැන් ජෙනරල් හොස්පිට්ල් එකට දිව්වා .ඔයා එතන හරි ඉන්නවද බලන්න .
ගුවනියි මේනකයි  මාව බදාගෙන කෑ ගහනකොට මට හිතා ගන්න බැරි වුනා .

අනේ මම මුකුත් දන්නෙ නැහැ ..ඇයි මොකද වෙලා තියෙන්නෙ ..මම ඇහුවෙ ඇත්තටම බය වෙලා .

ඇයි ඔයා දන්නෙ නැද්ද? මන්ඩවත්ත පාර බස් එකේ දැන් බෝම්බයක් පුපුරලා .ආරංචියේ හැටියට නං එක්කෙනෙක්වත් බේරිලා නැහැ .

මොනවා .!

ඇයි ඔයා අද ආවේ බස් එකේ නෙමෙයිද .

අහ්.මට යාලුවෙකුට වැඩක් කරන්න අද පිටකොටුවට යන්න උනා. ඒ හින්දා 138 බස් එකේ මම ගියේ.
මගේ මුළු සර්වාංගයම දාඩියෙන් නෑවිලා තිබුණා .දෙයියනේ රනු.ඔයා මගේ ජීවිතේ බේරුවා .
පහුවදා උදෙන්ම මම උද්‍යානයට දිවුවෙ රනූ  කීයට හරි එනකන් ඒ මේසෙ වාඩි වෙලා ඉන්නවා කියලා හිතාගෙන .මම ඈතදිම දැක්ක අපේ සුපුරුදු මේසෙ  එයා වාඩි වෙලා ඉන්නවා.

රනු රනු …මං හති දදා කියවන්න පටන් ගද්දී රනු එයාගේ වීදුරු ඇස් වලින් මං දිහා බලාගෙන හිටියා .

ඊයේ මාර වැඩේ වෙලා තියෙන්නෙ මම වෙනදට යන බස් එකේ තමයි බෝම්බය පුපුරලා තියෙන්නේ .ඔයා නිවුස් බැලුවෙ නැද්ද .

රනූ එයාගේ කඩවසම් මුහුණෙන් මං දිහා බලාගෙන හිටියා .

මටත් ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ .ඔයාට මම කියපු කඩේ නම මට වැරදිලා.කඩේ නම තරුපාය . බලන්නකෝ හාත්පසින්ම වෙනස් නමක් නේ මම ඔයාට කියලා තියෙන්නේ .

අහ්….ඒකනේ මම පැය දෙකක් විතර කඩේ හෙව්වා .මේ තියෙන්නෙ ඔයා ඊයේ දීපු සල්ලි .ඒක මට දෙන්න බැරි වුණා .

ආ.කමක් නෑ සංගීතා .මං අද ගිහිල්ලා එයාට ඒක  දෙන්නම් . අනේ ඔයාට ගොඩක් ස්තූතියි ඊයෙ  මං වෙනුවෙන් මහන්සි උනාට.

මොනවටද රනු ස්තුතියි කරන්නේ.  ඔයා නිසයි මම ඊයෙ බේරුනේ .
ඇත්තටම .

මම එහෙම කිව්වහම රනු එයාගෙ අහිංසක  හිනාව එලියට දැම්මා .
එදා වගේම ඊළඟට උදාවෙන ගොඩක් දවස් වලදී අපි හම්බෙලා එකට කතා කළා .එයා සතියකින් යනවා කියලා කලින් කිව්වට ඊට පස්සේ ඒ කාලය  දික් වුණා කියලත් කිව්වා .
මා ඔය මිටියාවතේ එයා කරපු පරීක්ෂණයට උදව් වෙන්න මමත් ගියා .ඒ පරීක්ෂණයත් හරිම රසවත් .පුංචි කෘමි සතාගෙ ඉඳලා පුංචි මලක්, කොළයක් ගැන හැමදේම රනු දැනගෙන හිටියා .අමුතු පන්නයේ කැමරාවකින් එයා ඒවා ෆොටෝ ගත්තා .මම ඒ වගේ කැමරාවක් කවදාවත් දැකලා තිබුනෙ නෑ .එයා කිව්වා ඒක පිටරට එකක් කියලා .ඒ කැමරාවෙන් ෆොටෝ ගත්තහම හරියට x ray machine එකකින් වගේ සතාගේ ඇතුළතත් ෆොටෝ එකට වැටුණා .අපි කතාබහ කරපු දේවල් වල දී රනු ඇත්තටම ජීවත් වෙන්නේ කොහෙද කියන එක බලන්න මට ආස හිතුනා . වෙනදා වගේම එයා මාව ගෙදර ගාවට ඇරලලා මගෙන් සමු අරගෙන ආපහු යන්න ගියා .මම එයා ටිකක් දුර යනකන් ඉදලා ආපහු එයාගෙ පස්සෙන් යන්න පටන් ගත්තා.මට තිබුණෙ කුතුහලයක් .ඇත්තටම රනු වගේ කෙනෙක් කොහෙද නැවතිලා ඉන්නේ කියන එක මට බලන්න ඕන උනේ එයාගෙන් ඇහුවට කවදාවත් උත්තර නොදුන්නු නිසා .මම රනූට වඩා මීටර්  පහක් හයක් විතර පිටිපස්සෙන් හැංගි හැංගී හැංගී ගියා .එකපාරටම මහ සෙනගක් මැද රනු අතුරුදහන් වුණා  .මම වටපිට  හැමතැනම රනුව  හොයන්න පටන් ගත්තා .

සංගීතා ….ඇයි මාව ආපහු හොයන්නේ ?

එකපාරටම රනූ මගේ පිටිපස්සෙ ඉඳන් එහෙම අහනකොට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා.එයා එයාගෙ සුපුරුදු නළු හිනාවෙන් මං දිහා බලාගෙන හිටියා .මට හිතුනා මම ඒ වෙලාවේ ලැජ්ජාවෙන් රතු වුණා කියලා .

මේක පුංචි පණිවිඩයක් .අද රෑ කොයිම වෙලාවක හරි ඔයාට හිතෙයි මේක දිග ඇරලා බලන්න .දැනුත් ඔයාට  එහෙම හිතෙයි .මම කියන්නේ ඒ හිතුවිල්ල ගැන  නෙමෙයි .අද රෑ එක මොහොතකදී ඔයාට හිතෙයි මේක දිග අරින්න ඕනෙමයි  කියල. අන්න ඒ වෙලාවට මේක දිග අරින්න . ලස්සනට හතරට නවපු ලේස් රෙද්දක් වගේ ගෙත්තම් කරපු කොළයක් රනූ මගේ අල්ල උඩ තිබ්බා.

එහෙම කියලා හිනා වෙච්ච රනු මහ සෙනඟක් මැද  ආපහු අතුරුදහන් වෙලා ගියා . හුළඟක් වගේ ඇවිල්ලා හුළඟක් වගේ අතුරුදහන් වෙලා ගියා. මම සෑහෙන වෙලාවක් ඒ ජන ගංගාව දිහා බලාගෙන හිටියා.

හෙට එයාව ආපහු හම්බ උනාම වෙච්ච වැරැද්දට සමාව ඉල්ලන්න ඕනේ කියලා මට හිතුනා .එයා දීපු හතරට නමපු කඩදාසිය මම බෑග් එකේ දාගත්තා .ඇත්තටම මේක දිගහැරලා බලන්න මට ඕන උනත්  කියපු විදිහටම  රෑට මොකද වෙන්නේ කියන එක බලන්න මට ආස හිතුනා .එදා රෑ ගොඩක් වෙලා මම වැඩ කලා. ඉවර කරන්න තිබිච්ච ලිපි කීපයක්ම ඉවර කලා .මට මේසෙ උඩම නින්ද ගිහිල්ලා තිබුණා .වෙලාව කීයද කියන්න මට මතකයක් තිබුනේ නැහැ .මගේ ඇස් ඉස්සරහ කණාමැදිරියෝ රංචුවක් දඟලනවා වගේ එකපාරටම තේරුනා. .මම ගැස්සිලා ඇහැරෙනකොට මගේ කාමරයේ ජනේලයෙන් එලියේ කිලෝමීටරයක් විතර දුරින් අහසේ මාළු පාන් හැඩයක ගත්තු අමුතු විදිහේ එළිය විහිදුවා ගත්ත දෙයක්  අහසෙ තිබුණා .ඒකෙන් නිකුත් වෙච්ච ආලෝක තීරු තීරු මගේ මූනට වැටිලා තිබුනා .මට විශ්වාස කරගන්න බැරි වුණා .ගෙදර අයට කෑගහන්න   කට ඇරගන්න අමතක උනා .තත්පර 10 කින් විතර ඈතින් ඈතට ඈතින් ඈතට මාලු පාන් ගෙඩියේ හැඩය ගත්තු දේ පුංචි වෙවී  යන්න පටන් අරං නොපෙනීම ගියා .මට හිතාගන්න බැරුව ගියා.කවදාවත් ඒ වගේ දෙයක් මම අහසෙ දැකලා තිබුණෙ නැහැ. අනිච්චානුකව  මට සිහියට ආවේ රනුගේ ලියුම.ආපහු සැරයක් මට තදින්ම ඕන උනේ රනු ගේ ලියුම  දිගහැරලා බලන්නයි .

ආදරය.
ඒ හැඟීම හරිම ලස්සනයි .
ඒ බැඳීම හරිම ලස්සනයි .මම ගෙනාපු එකම උපකරණයකට වත් ඒ හැඟීම ඒ බැඳීම එකතු කරගන්න බැරි වුණා. අපි දියුණු තාක්ෂණයයි බුද්දියයි අතින් විතරයි. ඔයාලගේ හැගීම් සංවේදනා, බැදීම් , ඉස්සරහා දී
මම… නොමේරු බිත්තරයක්..
ගිහින් එන්නම් .
රනු.

අඬනවද හිනාවෙනවද කියලා හිතාගන්න බැරුව මම ඒ කොලේ දිහා බලාගෙන හිටියා . මගේ ඇස් දෙකට පේන අන්තිම දුර තරුව දිහා මං ඔහේ බලාගෙන උන්නා …

More Stories

Don't Miss


Latest Articles