සමාන සංඛ්‍යාත වලින් හදවත් සුසර වන මිනිසුන් එක් වූ විට එතැන ඇති වන්නේ ඉතා පහසු වූ දිව්‍යමය සුවයකි. එය හුස්ම ගන්නටත් හිතන්නටත් දොඩන්නටත් වඩා සුවපහසු කලාපයක් නිර්මාණය කරයි. ඊට වඩා වෙනස් සංඛ්‍යාතයන්ට අදාල මිනිසුන් එතැන නොවන තාක් ඒ සුවබර බව වෙනස් නොවී පවතී. ඒ දවස් දෙක ඔවුන්ට දැනුණේ ද එසේ ය. හරියට සතුට ජීවිතයේ තේමාව කරගත් පුංචි පවුලක් මෙනි. හැන්දෑව උදා වෙන විට, වචන වලට පෙරළිය නොහැකි හීං කාන්සියක් හදවත් වලට කාන්දු වන්නට ඇත. වෙන් ව යාම කියන්නේ තව තවත් හදවත් වලින් බැඳෙනවාට කියනා පර්යාය පදයක් විය හැක. ඔවුන් සිටින්නේ අඩි කිහිපයක් ඈතින් පිහිටි ගෙවල් දෙකක වී ද මේ වෙන්ව යාම සයුරංගනා ගේ හදවතට ඉතා තදින් දැනිණ. හදවතට අයිති ව තිබූ කොටසක් වෙන් ව යනවා සේ, නැතහොත් එක ම හදවතක් කොටස් වී යනවා සේ ඇයට දැනිණ. නමුත් යළි හමු වන්නට නම් වෙන් ව යා යුතු ම ය!
සයුරංගනා ගේ නිවස ඉදිරියෙහි රිය නතර වන විට ම මල්කාන්ති ගේට්ටුව විවර කර ගෙන පිටතට ආවා ය. ඇගේ මුහුණේ සිනහ මලක් පිපී තිබිණ.
“මහන්සි ඇති නේද…මං තේ ටිකක් ලෑස්ති කරන්නං ඔක්කෝටම..”
ඇගෙන් එහෙම පිළිගැනීමක් සයුරංගනා නම් බලාපොරොත්තු වූයේ ම නැත. හදවත උණුහුම් වෙනු ඇයට දැනිණ. මිනිසුන් ආදරණීය වෙත්දී මොන තරම් සැනසුම් සහගත ද? මේ වෙලාවේ ඇය පුපුරමින් සිටියා නම් දවස් දෙකක් පුරා හෙමි හෙමිහිට එකතු කරගන්නා ලද සතුටු බින්දු, මුතු අහුරක් ඉහිරුණා සේ විසිර යනු ඇත.
ඩිකියෙහි පුරවා තිබූ ඇඳුම් බෑග් ඉවත් කිරීමෙන් පසු අසල්වැසි ගෙවල් දෙකේ උදවිය සමු ගත්තේ කාලයකට විදෙස් රට දෙකකට වෙන් ව යන පවුල් දෙකක් වාගේ ය. පාරමී සයුරංගනා වැළඳ ගෙන තත්පර කිහිපයක් පමා වෙත්දී තේමිය ද විත් ඔවුන් දෙදෙනාව ම වැළඳ ගත්තේ ය.
“ඒක කවදාවත් අමතක වෙන්නැති ට්‍රිප් එකක්. මං ගිය හොඳම ට්‍රිප් දෙක තුන අතරෙත් උඩිංම තියන ට්‍රිප් එකක්”
“ඇත්තටම රංගි. ඒක අපි එක පවුලක් කරපු ට්‍රිප් එකක්. කාටවත් බෑ දැන් ඉතිං ඒක වෙනස් කරන්න”
“තෑන්ක් යූ ඕගොල්ලොන්ට. වැටෙන්න යන හැම වෙලාවකම පුළුවන් තරං හයියෙන් මාව අල්ලන් හිටියෙ ඕගොල්ලො. මං තනි වෙලා නෑ කියල මට දැනෙන්න ඇරියට තෑන්ක් යූ. ආදරෙයි මහ ගොඩක්”
රියෙහි යතුර අතැතිව යශෝදර මඳහසකින් ඔවුන් අස සිටියේ ය. සොයුරා හා සොයුරිය සයුරංගනා ව අත්හැර ඉවත් වීමෙන් පස්සේ ඔහු ඒ අඩ සිනහවෙන් ම ඇයට ලං වූයේ ය.
“මට නැද්ද…”
ඔහු කීව ඇයට වැටහුණේ නැත.
“ආ …මොනාද…”
යශෝදර ගේ සිනහව වඩාත් පුළුල් වූයේ ය.
“අර කිව්ව ආදරේ”
ක්ෂණයකින් සයුරංගනා ගේ කොපුල් රත් පැහැ ගැන්විණ. පොපියන සිනහව යටපත් කර ගන්නට තැත් කරමින් ම ඇය ඔහු දෙස බලා බිම බැලුවා ය. නැවත ද හිස නගා කවුරුන් හෝ ඒ කතාව ඇසෙන මානයක වූයේ ද කියා බැලුවා ය.
“මොනා කියනවද මන්ද..”
“කෙල්ලව ඇඳෙන් තිබ්බද…”
“ඔව්”
යශෝදර ඇගේ ඇරයුමකින් තොරව ම කාමරයට ගොස් දණහිසක් ඇඳෙහි තබා නැඹුරු වී එසඳි ගේ හිස සිම්බේ ය.
“දැන් ගෙවල් අස් කර කර ඉන්න මහන්සි වෙන්නෙපා. හෙට උදේ චැනල් එකට යන්නත් තියනවනෙ. කාල නිදියන්න”
ඇය යන්තම් හිස සැළුවා ය. යශෝදර ගෙයින් පිට වී යන විට පාළුවක් ද සන්තාපයක් ද සංකාවක් ද කියා නිශ්චිත නැති හැඟීමක් හෝ හැඟීම් වල මුසුවක් හිතට ගොඩ නො වැදුණා නොවේ. ඇය ඒ හැඟුම් රළ පහර මැද ගොඩබිමක් සොයාගනු වස් පොරබදමින් පිහිනුවා ය.
සයුරංගනා දිය නා සැහැල්ලු වී පිටතට එනකොට ම ‘රංගනා’ කියාගෙන මල්කාන්ති ගෙට ගොඩ වූවා ය. ක්ණණික ගැස්මක් හදවතේ ඇති වී නැති ව යනු ඇයට දැනුණ.
“යං තේ ටිකක් බොන්න”
“අපිටත් හැදුවද…”
“කෑම ටිකකුත් එහෙංම කාල එමු. දැං උයන්න බෑනෙ”
“අනේ කරදර වෙන්නෙපා ඇන්ටි. නූඩ්ල්ස් ටිකක් හරි හදාගන්නව. එසඳිත් නිදි”
“යංකො”
කියමින් මල්කනාන්ති එසඳිව දෝතින් ගත්තා ය. ඇගේ කරුණාව ගැන සැකයක් නැතත් මේ එබඳු දයාවක් බලාපොරොත්තු විය හැකි අවස්ථාවක් ය කියා පිළිගන්නට සයුරංගනා ගේ හිත ඉඩ දෙන්නේ නැත. එනයින් ඇයට දැනුණේ දෙගිඩියාවකි. එසඳි දෝතින් ගත් මල්කාන්ති පිටුපස ඕ ඒ ගෙදරට ගොඩ වත්දීත් මුහුණේ එම දෙගිඩියාව තිබිණි.
තේ බොන ගමන් සාමීචියෙහි යෙදී මඳ වේලාවකට පසු මල්කාන්ති විසින් කල් ඇතිව ම සකසා තබන ලද සරල රාත්‍රී භෝජනය භුක්ති විඳ ඔවුන් යළි ගෙදර ආවේ රෑ බෝ වී ය.
මල්කාන්ති ගේ හිතේ බොහෝ දේ විය. සයුරංගනා කෙරේ ඈ රළු ලෙස හැසිරුණාය යන වරදකාරී හැඟීම තදින් ම විය. ඇය එහෙම වෙන්නට කැමති කෙනෙකු නොවේ. සයුරංගනා ගැන පෞද්ගලික අමනාපයක් හෝ අප්‍රසාදයක් ඇගේ නැත. එක ම ගැටළුව යශෝදර ඇය කෙරේ දක්වන අනවශ්‍ය ඇඟෑළුම් බවයි. මේ දෙක දෙකකි. එකක් නිසා අනෙකට බලපෑමක් වෙනවාට ද ඇය කැමති නැත. සයුරංගනා ගේ හිත රිදෙනවාට ඇය කොහෙත් ම කැමති නැත. අනිත් අතට යශෝදර ගේ හිත වෙනස් කළ හැකි මාර්ගය සයුරංගනා හරහා කපා ගැනීම පහසු බව ද ඇය සිතුවා ය.
“වෙන දවසක හරි අර මනමාලි බලන්න යන්න මේ කොල්ලව කැමති කරල දෙන්න රංගනා. ඊළඟ සෙනසුරාදාට හරි”
පසු දා සයුරංගනා රූපවාහිනී වැඩසටහනින් පසු ගෙදර ආ ඉක්බිති, ඇය එක්ක කතාවක් දමන්නට පැමිණි මල්කාන්ති ඉල්ලීමක් කළා ය. ඒ වූ කලී සයුරංගනා ට කෙසේවත් පැහැර හැරිය හැකි ඉල්ලීමක් නොවේ.
“මං කියන්නං ඇන්ටි”
“ඔයා කොහොමහරි මේකට හිත හදල දෙන්න රංගනා. ඔයා කිව්වොත් යශෝදර නොකර ඉන්න එකක් නෑ කියල මට විශ්වාසයි”
“හවසට යශෝදර ආවහම මං කියන්නං”
“එහෙනං මං දැං කපු මහත්තයට කතා කරල ලබන සෙනසුරාදා දාගන්නං”
මල්කාන්ති ගේ ඒ ප්‍රීතිමත් උනන්දුව විනාශ කොට දමන්නට සයුරංගනා ට සිතුණේ නැත. ගමන ගිහින් එන්නට හෝ ඔහු කැමති කර ගන්නට ඇය සිතා ගත්තා ය. නමුත් මල්කාන්ති ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ වෙනත් ආකාරයකට ය.
“ආයෙනං මේ මනමාලයව පැත්ත පලාතෙ එක්කං එන්න එපා කියල මනමාලිගෙ තාත්ත කිව්ව නෝනා. හම්මෝ…ඒකනං ආයෙ කතා කරන්න පුළුවන් කමක් නෑ. වචනෙ වචනෙ විදිහට නැති පවුලකට දුව දෙන්නෙ නෑ කියල ඒ තාත්ත කිව්ව”
මල්කාන්ති ගේ බලාපොරොත්තු දියට කැපු ඉණි සේ විය. ඇය හිත නරක් කර ගත්තා ය.
“අපි යශෝදර මහත්තයට වෙන කටයුත්තක් බලමු”
ඔහු කීවේ ය. මේ පුවත අසා පාරමී බඩ අල්වා ගෙන සිනහ වූවා ය. තේමිය කොක් හඬ ලෑවේ ය. යශෝදර නිහඬව මුත් සතුටු වූයේ ය. නිහඬ ව සිටියා ට මල්කාන්ති ගේ හිත නරක් වී තිබිණ. ඒ කටයුත්ත හිතා මතා ම යශෝදර විසින් මගහැරීම නිසා ඇයට මවක වශයෙන් පරාජිත හැඟීමක් දැනෙන්නට ගත්තේ ය. හිත සවිමත් කර ගෙන සිටියාට ඇගෙන් කෑම රුචිය ඈත් විය. මහ රැයක් වන තුරු ඇයට නින්ද ගියේ නැත. ඇතැම් දිනෙක එළිවන තුරු ම නිදි නැතිව අවදියෙන් ඉන්නට සිදු විය. ඒ නිසා දහවල දැඩි වෙහෙසකර එකක් විය. සිතින් ගතින් මලානික වී ඕ ඔහේ යහනේ වැතිරගෙන සිටියා ය.
“ඇන්ටිගෙ ඇස් ලෙඩපාට වෙලා..මුකුත් අසනීපයක්ද…”
සයුරංගනා ඇගේ වෙනසක් දැනුණ ගමන් විචාලා ය.
“අසනීපයක් නෑ රංගනා. ඒත් මගෙ හිතට හරි නෑ. දරුවො තුන්දෙනාගෙන් පොඩි කාලෙ ඉඳලම අහිංසක කීකරු ළමය වුණේ යශෝදර. තුන් දෙනාටම එක වගේ හැම දේම කළාට මං පැඩිපුර බලාපොරොත්තු තියාගන්න ඇත්තෙ යශෝදර ගැන. එයා මෙහෙම හිතුවක්කාර වෙයි කියල මං හිතුවෙම නෑ”
“යශෝදර එහෙම කරන එකක් නෑ ඇන්ටි”
හිත යට වැරදිකාර හැඟීමක් වී ද සයුරංගනා එසේ මුමුණා ගත්තේ මල්කාන්ති ගේ හිත හදන්නට ය.
“රංගනා…යශෝදර ඔයාට යෝජනාවක් කළොත්…කවදාවත් ඔයා ඒකට කැමති වෙන්න එපා. ඔයා හරිම හොඳ ළමයෙක් තමයි. ඒත් අම්ම කෙනෙක් විදිහට මේ වෙලාවෙ මගෙ හිත ඔයාට තේරෙනව නේද…එසඳි දවසක ඒ විදිහෙ තීරණයක් ගත්තොත් ඒක ඔයාට කොහොම දැනෙයිද කියල හිතාගන්න පුළුවන් නේද…මං දන්නව යශෝදර මේ විදිහට හැසිරෙන්නෙ ඔයා ගැන අදහසක් හිතේ තියාගෙන. මං ගැන අහිතක් හිතන්න එපා රංගනා”
“අනේ නෑ ඇන්ටි…ඇයි මං එහෙම හිතන්නෙ…”
“ඔයා යශෝදර එක්ක උදේට යන එක නතර කරන්න”
“මං එහෙම කරන්නං”
“මේක අම්ම කෙනෙක්ගෙ ඉල්ලීමක් රංගනා…ඔයත් අම්ම කෙනෙක් නිසා තේරෙන්න ඕනෙ”
සයුරංගනා හැඬුවේ නැත. හඬන්නට හෝ අයිතියක් නැති බව ඇය දැන සිටියා ය.