ජීවිතය වූ කලී පහසු තැනිතලා මාර්ගයක් දිග යන ගමනක් නොවේ. ඒ මාර්ගය පහසු තැනිතලා ඔස්සේ සේ ම දුෂ්කර ගිරි දුර්ග, වන දුර්ග ජල දුර්ග ඔස්සේ ද වැටී තිබිය හැක. ගමන විටෙක පහසු ද විටෙක අපහසු ද වනු ඇත. නමුදු අපට අපහසුයි කියා නතර විය හැකි නොවේ. හැර දා පියා යා හැකි ද නොවේ. දුෂ්කර ඉසව් වලදී මන්දගාමී ව වුව ගමන් කළ යුතු ව තිබේ. ජීවිතය කියන්නේ එවැන්නකි. සයුරංගනා දැන් දැන් ඒ බව වඩාත් ප්රත්යක්ෂ කරගෙන තිබේ. කොහොමටත් ඇයට ජීවිතය සුමට වූයේ ගිම්හාන් ළඟ ගෙවී ගිය වසර පහ තුළදී පමණකි. ඔහු හමු වන්නට පෙරත්, ඔහු නික්ම ගිය පසුත් ගොරතර වනයක් සේ ම ජීවිතය කටුක වූයේ ය. මෙයින් ඉදිරියට එය වඩාත් කටුක හා බියකරු වන්නට පිළිවන. එනමුදු එසඳි වෙනුවෙන් සතුටු මන්තරයක් ව ගැයිය යුතු ව තිබේ. සයුරංගනා හිත හයිය කර ගෙන ඊළඟට රූපවාහිනී නාලිකාවට යන උදයේ මෝටර් රථය පණගන්වා ගත්තා ය. ඇය නිකං ම එවැන්නක් නොකරන බව ජයරත්න ඉවෙන් වාගේ හැඳින ගත්තේ ය.
“පරිස්සමෙං ගිහිං එන්න දුව”
කියා ඔහු ඇගේ හිස පිරිමදිත්දී සයුරංගනා දෙතොල් තද කරගෙන මඳහසින් හිස සැළුවා ය. නමුත් ඇගේ ඇස් වල කඳවුරු බැඳ ගෙන සිටියේ කඳුළුයි. කඳුළු අතරින් සිනහ වෙන්නට උත්සාහ දරත්දී ඇස් වඩාත් දිළිසේ.
මෝටර් රථයෙහි හඬට යශෝදර සේ ම පාරමී හා ඊට පිටුපසින් මල්කාන්ති ද ගේට්ටුවෙන් පිටත පෙත් මගට වන්හ. සයුරංගනා රැගත් රිය පෙත් මග පහළට නික්ම යමින් තිබිණ. ජයරත්න උපේක්ෂාවේ දෑසින් බලා සිටියේ ය. යශෝදර කලබල වූයේ ය.
“ඇයි ඒ සයුරංගනා තනියම යන්නෙ…”
“ඕකනං රංගිගෙ තීරණයක් වෙන්න බෑ”
පාරමී අම්මා දෙස බැලුවේ අවඥාසහගත බැල්මකිනි. මල්කාන්ති නිරුත්තරව සිටියා ය. වැරදිකාර හැඟීමක් ඇයට වද දෙයි. නමුත් සියල්ල ඉක්මනින් හොඳ ම විදිහට සිදුවනු ඇතැයි සිතන්නට ඇය උත්සාහ කළා ය.
“බාල වැඩ කරන්නෙපා අම්මෙ”
යශෝදර කීවේ සන්සුන් සරිනි. නමුත් තදිනි. ඒ වචන හී තල සේ මල්කාන්ති ගේ හදවත පසාරු කරගෙන ගියේ ය.
“අම්මත් ඔය ජාතියෙ කියලනං හිතුවෙම නෑ. ලැජ්ජයි අප්ප”
පාරමී ගස්සාගෙන ගියා ය. මල්කාන්ති ගේ හිත හොඳට ම රිදී පෑරී තිබිණ.
සයුරංගනා ප්‍රවේසමෙන් රිය පැදවූවා ය. ඒ වෙලාවට වාහන තදබදය වැඩි ය. එක මොහොතක පමාවක් විශාල ව්‍යසනයක් සිදු කරන්නට පිළිවන. නමුත් හිත අයාලේ ගසා යන එක වලකාලීම පහසු වූයේ නැත. යශෝදර සේ ම පාරමී ද ගේට්ටුවෙන් පිටතට එනු ඇය දුටුවේ ඉදිරියට ඇදෙනා රියෙහි පැති කණ්ණාඩියෙනි. ඇය ගිය පසු එතැන කුමක් සිදු වන්නට ඇත්දැයි හිතෙත්දී සිත රිදේ. ගිම්හාන් සිටියදී කවදාවත් තනිව කර ගත නො හැකි වනු ඇතැයි සිතු දේවල් දැන් සයුරංගනා තනිව ම කර ගනී. ඒ කාලේ ගිම්හාන් හැම දේ ම ඇගේ දෙපා මුලින් තබත්දී ඇයට ජීවිතය නීරස වෙමින් නො තිබුණා නොවේ. ඔහු මත්තේ ම යැපෙන්නට සිදුව තිබියදී, තමන් වෙනුවෙන් යමක් කර ගත නො හැකි වීම ගැන හීන් හීනමානයක් හදවතට වද නො දුන්නා ම නොවේ. ගිම්හාන් ගේ වියෝවෙන් පසු, පිරිමියෙකු ගේ හයියක් නොමැතිව වුව ජීවත් වන්නට හැකි බව ඇය ලෝකය ඉදිරියේ පසක් කළා ය. ගෙදර වෙනුවෙන් ගිම්හාන් කළ සියල්ල තනිව කර ගත්දී ඇගේ හදවතෙහි ඉසිහින් ආත්ම අභිමානයක් ලියලූ බව ඇත්ත ය. නමුත් මේ මොහොතේ, යශෝදර නැතත් ඇයට මේ ගමන තනිව යා හැක යන ප්‍රීතිය දැනෙන්නේ නැත. යා හැකි බව ඇත්ත ය. නමුත් ඇගේ දකුණු පැත්තෙහි ඔහු සිටියදී දැනුණා වූ යමක් මේ මොහොතෙහි නොපවතී. ඒ හිස්වීම ආත්මීය රිදුමක් දනවමින් ඇයට යමක් සිහිපත් කරයි. හදවත යමක් සනාථ කර ගනිමින් හිඳී. ගැහැනියකට තනිව ජීවත් විය හැක. ගැහැනියකට තනිව සිය දරුවන් ඇති දැඩි කර ගන්නට ද පුළුවන. රැකියාව කරගෙන ආත්ම ගෞරවය රැකගෙන ජීවත් වෙන්නට ද බැරි නැත. නමුත් ආදරය හදට දැනවිය හැකි, කුඹුක් සෙවනක් වාගේ සිහිලැති හව්හරණක් තැනිය හැකි පිරිමියෙකු පසෙකින් සිටියදී දැනෙනා මඳ මුදු මොළොක් බව එතකොට ආත්මය අතැර පලා යයි. ලතාවක් සේ වෙලෙන, ළදල්ලක් සේ සැලෙන ගැහැනිය අරටුවක් සේ දැඩි වෙයි. මේ මොහොතේ සයුරංගනා ගේ හදවත මොළොක් වූ යමක් ඉල්ලා සිටින්නට වූයේ ය. ඒ මොළොක් බව, මේ තනි ඇතින්නගේ භූමිකාව තුළ දී බලාපොරොත්තු විය නො හැකි බව ද ඇය ඉඳුරා ප්රත්යක්ෂ කරමින් සිටියා ය. නමුත් අකමැත්ත මත වුව ඇතැම් තෝරා ගැනීම් කරන්නට සිදු වීම ජීවිතයේ හැටියි!
සයුරංගනා ලස්සනට වැඩසටහන කළා ය. මල්කාන්ති රූපවාහිනියෙන් දෑස් ඉවතට නො ගෙන බලා සිටියා ය. ඇගේ දෙතොල් මඳහසින් සැරසී ගෙන ම තිබිණ. ඇය චාම් ය. ඒ මඳහස ඇයට අබරණක් වී තිබේ. ඇගේ සිතිවිලි එහෙ මෙහෙ විසිරීමකින් තොර ව එක ම අරමුණකින් ද එක ම ඉලක්කයකින් ද යුතුව පැවතිණ. ඇගේ පෞරුෂය නොසැලී තිබිණ. සයුරංගනා බිඳී විසිරී යන ඇගේ ආත්මයේ බිඳුණු කැබලිති පිරියම් කරමින් සිටියා ය. නමුත් කිසිවෙකු ඒ බව දුටුවේ නැත.
වැඩසටහන නිමා කොට ඇය පිටතට ආවේ සිංහ ධේනුවක මෙනි. ඒ පෞරුෂය නිසා පිරිමියෙකු ඇයට විහිළුවක් කරන්නේ වුව දෙවරක් සිතා ය. එය දැඩි පෞරුෂයක් නොව අහිංසකකමේ අංශු ඒකරාශී වූ පෞරුෂයකි. ආදරය දනවනා පෞරුෂයකි. මඳහස දිගට ම ඇගේ මුව මත විය. සයුරංගනා දුර තියා ම රියෙහි දුරස්ථ පාලක යතුර අතට ගත්තා ය. ජංගම දුරකතනයෙහි ‘සයිලන්ස් මෝඩ්’ ඕෆ් කළා ය. යශෝදර ගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ තිබේද යන බලාපොරොත්තුව ගැහැනු හිතේ ඈත කෙළවරකින් පෙණ බුබුලක් සේ නැගී ආවේ ය. එවැන්නක් වූයේ නැත. ඔහු මල්කාන්ති සමගින් බහින්බස් වීමක් වන්නට ඇත්ද යන දෙගිඩියාව හිතේ නාඳුනන ගැස්මක් ඇති කළේ ය. සයුරංගනා මෝටර් රථය නවතා තිබුණේ ඇතුළත රථ ගාලේ නොව ගොඩනැගිල්ල ඉදිරියෙහි සීමිත ඉඩෙහි ය. ඇය එතැනට එමින් යශෝදර ට ඇමතුමක් ගත්තා ය. අඩු තරමින් යනවා කියා හෝ නොපවසා යන්නට ඇගේ හිත දැඩි කර ගත නො හැකි ය. ඔහු ගේ රිං ටෝන් එක ඒ අවටින් ම ඇසෙන්නේ කෙසේ දැයි ඇය වටපිට බැලුවා ය. පාර අයිනේ යතුරු පැදිය නවතා ගෙන ඊට හේත්තු වී යශෝදර පෙරමග බලා සිටියේ ය.
“යශෝ…දර…”
සයුරංගනා ගේ මඳහස මල් වෙඩිල්ලක් සේ පුපුරා ගියේ ය. යශෝදර බලා සිටියේ සිනහවක් නැති නිවුණු ඇස් දෙකකිනි.
“මගෙ පස්සෙන් එන්න”
ඔහු සිනහවක් නැතිව ම කීවේ ය. නමුත් ඒ මුහුණේ හෝ ස්වරයෙහි නපුරක් නැති බව ඇයට දැනිණ. යතුරුපැදිය නතර වූයේ බොජුන් හලක රථ ගාලෙහි ය. සයුරංගනා සියුම් ලෙස ඇතුළට ගෙන රිය නතර කොට බැස ගත්තා ය. අවන්හලේ දිගු වැරැන්ඩාවේ කෙලවර මේසයක් වට ඔවුහු අසුන් ගත්හ.
“හරි චණ්ඩියෙක් නේ”
ඔහු ඇගේ දෑස් පොකුණු තුළ කිමිදුණේ ය. සයුරංගනා යටි තොල් පට සපා ගත්තා ය.
“චණ්ඩිකමක් නෙමේ…මට දැං තනියම එන්න පුළුවන් තමයි…ඒත්…”
ඇය ඇස් පියන් තද කොට වසා ගත්තා ය. දෑස් මත්තෙහි වියළි බවක් ඇයට දැනිණ.
“ගිම්හාන් හිටිය කාලෙත් මං තනිවෙලා හිටිය. තනිකම කියන්නෙ සමහර මිනිස්සු ඉරණමේ ම ලියං එන දෙයක්…මටත් ඒක නුපුරුදු දෙයක් නෙවේ. හැබැයි ඔය කට්ටිය කියන තරං ඒක මාර නෑ. ඒක හරි අසරණ හැඟීමක් යශෝදර. ඒත් අනිත් අයගෙන් ඒක හංගගන්න…වහගන්න…අපි ඒක මාරයි කියනව. සමහර විට එහෙම හිතල අපිවම වුණත් රවට්ටගන්න උත්සාහ කරනව ඇති”
“මං මොනාත් කියන්නැතුව ඉන්නං. කාගෙවත් ඕනකමට මං මගෙ වචනයක් වෙනස් කරන්නෑ කියල විතරක් කියන්නං. හරිද…”
තමුන් වෙනුවෙන් විශ්වයේ කොහේ කොතැනක හෝ කෙනෙකු සිටිනවායි දැන ගෙන ජීවත් වීම හුස්ම පහසු කරයි. විඩාපත් පියාපත් මත දිව ඔසු ගල්වා සනහාලයි. දිනෙක ඕනෑ ම දෙයක් විය හැකි බව සයුරංගනා දැන සිටියා ය. ඒ ඕනෑ ම දෙයක් මෙත් සිතින් පිළිගන්නා සූදානමින් මේ මොහොත විඳ ගැනීම ගැන ඇය විශ්වාසය තැබුවා ය. යථා කාලයේ දී විය හැකි ව්‍යසනයක් ගැන දැන් සිට ම ශෝක වෙවී කල් ගෙවීම අසහනය වඩවයි. ශෝක රසය තුළ ද මිහිරක් සොයා ගත හැකි ය.
සයුරංගනා ගෙදර ආවාට පස්සේ එසඳි ට දෙන්න කියා මුරුංගා කිරි හොදි තසිමක් ද ගෙන මල්කාන්ති එහි ආවා ය. ඒ වෙලාවේ සයුරංගනා සිටියේ කලබලයෙන් දිවා ආහාර පිසිමිනි.
“මට හරි මොකද්ද වගේ උදේ රංගනා කා එක ඩ්‍රයිව් කරං තනියම යනකොට. මං හිතුවෙ කැබ් එකක් දාගනී කියල”
වැඩ ගැන උවමනාවටත් වැඩිය අවධානය යොමමින්, සයුරංගනා යන්තම් සිනහ වූවා ය.
“නෑ…මට පුළුවං ඇන්ටි”
“ඉස්සො…අද මාළුකාරය ළඟ තිබුණද…”
“නෑ..එන ගමං මාකට් එකට ගියා”
ඒ වෙලාවේ ඇය ගැන අභිමානයක් සයුරංගනා ට දැනෙමින් තිබිණ. එන ගමන් ඇය සුපිරි වෙළෙඳ සැලට ගොස් අඩුවැඩිය මිල දී ගත්තා ය. මාළු මාකට් එකට ගොස් මාළු ගත්තා ය.
සයුරංගනා ගේ දුරකතනය හැඬවිණ. ඇමතුම යමුනා ගෙනි.
“වැදගත් දෙයක් කියන්නත් එක්කයි කතා කළේ. ඔයා වැඩද…”
“උයල ඉවරයි. කියන්න අම්මෙ”
කඩිමුඩියේ අස් පස් කරනා ඇගේ කඩිසරකම දෙස මල්කාන්ති බලා සිටියේ තරමක ලෝභ කමකිනි.
“අයියගෙ ගරාජ් එකට එන මහත්තයෙක් ඔයා ගැන අහල…”
“මං ගැන…ඒ මොනාද…”
“ඒ මහත්තය බස් පහ හයක්ම පාරට දාල තියන සල්ලිකාරයෙක්. නෝනා මැරිල දැං අවුරුදු තුනක්ද කොහෙද වෙනවලු. ළමයි දෙන්න ලොකුයි. ඔයා ගැන දැනංලු හිටියෙ. ටීවී එකේ වැඩසටහනත් බලනව කිව්වලු. දරුවත් එක්ක ඔයාව බාරගන්න එයා කැමතිලු. මේ ගැන හිතමු රංගනා. ඔයාට හැමදාම තනියම ඉන්න බෑනෙ”
සයුරංගනා තරමක් හඬ නගා සිනහ වූවා ය.
“ඉතිං…බස් පහ හයක් තියන සල්ලිකාරයෙක් නිසාද අම්ම මට එයාව බඳින්න කියන්නෙ…”
“නෑ නෑ එහෙමම නෙවෙයි. ඒත් ඉතින් ළමයි තුන්දෙනා බලාගෙන සැපට ඉන්න ඔයාට පුළුවන්නෙ රංගනා”
“කවුරුවත් දෙන සැප විඳින එක මොන තරං දුකක්ද කියල මං හොඳට දන්නව අම්මෙ. මට සැප විඳින්න ඕනනං දුක් විඳල සල්ලි හම්බකරල සැප විඳින්නයි මට ඕනෙ. අම්ම අයියට කියන්න මට මගුල් හොයන්න එපා කියල”
“එහෙම කියල බෑ. අපි මේ සද්ද නැතුව හිටියෙ ගිම්හාන් නැති වෙලා අවුරුද්දක් පිරෙනකල්. ඊට පස්සෙ ඔයාට තනියම ඉන්න අරින්න බෑ කොහොමත්”
“අපි පස්සෙ ඔය ගැන කතා කරමු අම්මෙ. දැන් සඳී එනව. මං පාර ළඟට යන්න ඕනෙ කෙල්ලව ගන්න”
කියමින් සයුරංගනා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ඒ සංවාදය මල්කාන්ති ට පැහැදිලි ව ඇසිණ. එක වර ඇයට දැනුණේ සැනසීමක් ද නැත්නම් ලෝභකමක් ද කියා වෙන් කර ගන්නට ඇයට ම වැටහුණේ නැත.