“සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
ඔබ වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ”
මහිල් උන්නේ පුදුමාකාර සන්තෝසයකිනි. ඒ සන්තෝසය ඔහුගේ දෙනෙතිනුත් දෙතොලිනුත් දෝරේ ගලා යන්නට තරම් වෑහෙන්නකි.
එහෙත් මහිල්ගේ ඒ සතුටට හේතුව කුමක්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. මහිල් ඉන්නේ හිත අස්සේ සඟවාගත් යම් කිසි රහසිගත සතුටකින් බව දැන උන්නද ඒබ්‍රහස ඔහුම කියන තුරු හාරවුස්සා බලන්න උවමනාවක් තාරාට නැත.
“අද මෙහෙන් ඩිනර් අරගෙන යන්න ඉන්න බැරි ද?”
ගීය ගයා අවසානයේ තාරා අසලට ආ මහිල් තාරාගෙන් එබව ඇසුවේ සිනා කටක් පුරෝගෙනය. ඒ වෙනදා නොලැබුන අන්දමේ ආරාධනාවක් වූ නිසාවෙන්ම තාරා කුහුලක් රැඳුණු නෙතකින් මහිල් දෙස බලා ඇසුවද මහිල් උන්නේ සිත අස්සේ ඉපිලෙමින් පවතින ඒ රහස නියමිත වෙලාව ආ විගස එලියට දාන බලාපොරොත්තුවෙන් මිස ඉක්මන් වී එය කියන බලාපොරොත්තුවකින් නොවේ.
“හ්ම්ම් ඉන්න නම් පුලුවන්. ඒ උනාට ඇයි කවදාවත් නැතුව එහෙම ඇහුවෙ”
“නිකන් නිකන්”
“නිකන් නම් වෙන්න බෑ. කියන්නකො ඉතින්”
“නිකන් තමයි ලමයො. ඉතින් මං ආසයි ඔයා එක්ක ඩිනර් එකක් ගන්න. ඇයි ඔයා ආස නැද්ද?”
“හරි හරි ආස නැතුව නෙවෙයි. හ්ම්ම් මං එහෙනම් ඉන්නම්කො.ඔයා සින්ග් කරල එන්න”
“අහ් මේ අද මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එනව හොඳේ නිශාලි” කියා මහිල් ඔච්චමට මෙන් සිනාසෙද්දී ඒ සිනාවට එකතු නොවී හිඳින්නට හැකියාවක් තාරාට තිබුනේ නැත. මේ සියල්ලෙහි ආරම්භය නිශාලි නිසා සිතේ පැලපදියම් වූ වේදනාව බව තාරාට අමතක නැත.
“ඔයා හරි නරකයි. ඔය මට කෝචෝක් එකටනෙ කියන්නෙ ඕව”
“අයියෝ ඕකනෙ. පිස්සු කෙල්ල. මේ මමටක් ගාලා එන්නම් හරි. අහ් ඔයානෙ වෙනදට ඕඩර් එක දන්නෙ. අද ඔන්න ඕඩර් එක දාන්නෙ මම හොඳේ”
කියා මහිල් එතනින් නික්මුනේ සිනාව තාරා ලඟ ඉතිරි කර තබාය.
අද තාරාගේ තිස් එක් වැනි උපන්දිනයයි. උදෑසන පලමු උපන් දින සුබ පැතුම ලැබුනේ අම්මගෙනි.
“පුතේ, හැපි බර්ත් ඩේ”
“තැන්ක්‍යු අම්මේ”
“දැන් අද මොකද කරන්නෙ? ඔෆිස් එකේ ලමයිට මොනවද ගෙනියන්න හැදුවෙ?”
“මුකුත් හැදුවෙ නෑ. හැබැයි මම ප්ලැටර්ස් වගේකට ඕඩර් එක දුන්න අම්මා”
“චිරායු හවසට මොනව හරි ස්පෙශල් දෙයක් කරනවා ඇති නේද?” කියා අම්මා තනන්නේ පෙර දවසක තමා හඬමින් කියූ කතාව තාම එලෙසම දැයි කියා දැනගන්නට වග තාරාට අපහසුවක් නැත. එහෙත් තම චිරායුගෙන් දික්කසාදය ඉල්ලන්නට හිතාගෙන හිඳිනබව මේ මොහොතේ අම්මාට කියන්නට උවමනාවක් තාරාට තිබුනේ නැත. උපන්දිනයක් යනු සන්තෝසයෙන් පිරී ඇති දවසකි. ඒ දවස ආරම්භයේදීම හිතේ ගින්නක් අවුලුවාගන්නේ කුමටද?”
“හ්ම්ම්,ඔව්” කියා තාරා කිව්වේ එය එසේ වනුඇතැයි බලාපොරොත්තුවෙන් නොවේ. චිරායු කිසිම විටෙක තමන්ගේ රාජකාරි වැඩවලින් මිදී තමන්ගේ උපන්දිනය සමරන්නට නොඑන බව තාරා හොඳින්ම දැන සිටියාය.
එහෙත් අද තමන්ගේ උපන්දිනය වග මහිල් දැන සිටියානම් මොන තරම් අපූරුද කියා නොසිතුනා නොවේ. එහෙත් අද තමන්ගේ උපන්දිනය බව් වයිබ්ස් කැෆේ දී හමුවී යන්නට ලංවී කියා මහිල්ගේ මුහුණේ මතුවන හැඟීම් දැනගන්නට තාරාට තිබුනේ පුදුමාකාර ආසාවකි.
“ඔයාට ඉතින් උවමනාවක් තිබුනනම් මගේ බර්ත් ඩේ හොයාගන්න පුලුවන් නෙ” කියා මහිල් සමග බොරුවට අමනාප වන ආසාවකි.
“දැන් ඔන්න බර්ත් ඩේ එක දවසෙ විශ් කරේ නැති හන්දා මට තෑග්ගක් ඕනෙ” කියා හුරතල් වන ආසාවකි.
මේ සියල්ල තමන්ගේ වයසට තරම් නොවන බව දන්නා නමුත් තාරා උන්නේ අලුත් ආදරයකින් ජීවිතය අලුතෙන් පුබුදුවා ගනිමිනි.
සුපුරුදු මින්ට් තේ වීදුරුව පමණක් ඇණවුම් කර තාරා සුපුරුදු කොබෝලීල ගහ යට බංකුවේ වාඩි වී මහිල් ගීගයන මණ්ඩපය වෙතටම දෙනෙත යොමු කරගෙන උන්නාය. නිශාලි සුපුරුදු පරිදි සුන්දරව මහිල්ට එහා පසින් වාඩිවී මයික්‍රෆෝනය අත දරා උන්නාය. එහෙත් එදා මෙන් අද තාරාගේ හිතේ ඒ ගැන කිසිත් බියක් වේදනාවක් ලතැවිල්ලක් තිබුනේ නැත.
මහිල් තමාගේය. ඔහුගේ ආදරයත් හදවතත් හිමි තමාටය. තමාටම පමණකි. ඉතින් තවදුරටත් ඒ ගැන ලතැවිල්ලකින් සිතන්නට උවමනාවක් නැත.
චිරායුට හොර රහසේ මෙවන් බැඳීමක රැඳීම වරදක් වුවත් හදවතින්ම බලාපොරොත්තු වූ ආදරයක් අත් හැර ගන්නට නොහැකි වීම වරදක් ලෙස පිලිගන්නට තාරාට හැකියවක් තිබුනේ නැත.
“සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත් සියක් සියපත් මතින්//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා//
මහිල්ගේ ප්‍රේමණීය ගැඹුරු හඬ වයිබ්ස් කැෆේ එක සිසාරා යද්දී නිශාලිගේ හඬ ද එයට එක්වූයේ මධුර මනෝහර සන්ධ්‍යාවක සිරිය එහි පතුරුවාලමිනි. තාරා උන්නේමින්ට් තේ වීදුරුවෙන් ලැබුණු උණුසුම් නිසල බව හදවතින්ම විඳින අතරතුර මහිල්ගේත් නිශාලිගෙත් ගී ගායනය විඳිමිනි.
“ඔබ ළඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුණා”
එකී ගී ගායනය අවසන් වෙද්දීම වාගේ වයිබ්ස් කැෆේහි පහන් නිවී ගියාවෙන් කලබල වූත් පුදුමයට පත් වූත් හඬ සිසාරා යද්දී එකින් එක කහ පැහැති විදුලි එලි දැල්වුනේත් මහිල්ගේ ගිටාරයේ නාදයට අනුව ඔහුගේ හඬ “හැපි බර්ත් ඩේ ටූ යූ” නාදයට ගැයුණේත් තාරා පුදුමයට පත් කරමිනි.
ඒ පුදුමය තව තවත් වැඩි වුනේ ඒ පහන් එලි අතරින් උපන්දින කේක් ගෙඩියක් රැගෙන වේටර්වරයා තමා ඉදිරියට එන බව දැකීමෙනි. මහිල්ගේ සිනාබර සුපසන් මුහුණ ප්‍රේමයේ උපරිම සන්තුශ්ටියෙන් පිරී ඇති බව දකිද්දී තාරා සන්තුශ්ටියේ කඳුලු පිරි නෙතින් මහිල් දෙස බලා උන්නාය.
සිනහව අතරින්ම හඬ නොනගා, ඈත හිඳ දෙතොල් පමණක් සොලවා “අයි ලව් යූ” කියද්දී තාරා විලිබර සිනාවකින් තමා දෙස සිනාමුසුව බලා හිඳින, මහිල් සමගම උපන් දින ගීය ගයන සියල්ලන්ටම හිස නමා ස්තුතිවන්ත වූවාය.
එදා සැඳෑව ගෙවුනේ තාරාව අපරිමිත සතුටකින් නැහැවමිනි. රාත්‍රී ආහාරය අතර තුරේදිත් “ඔයා හරි නරකයි, මට හොරෙන් ඔක්කොමරෙඩි කරල” කියා මහිල්ට බොරු අමනාපයක් පෙන්වුවද තාරා උන්නේ පුදුමාකාර සන්තෝසයකිනි.
රාත්‍රී ආහාරයෙන් පසුව නැවත නිවසට එන්නට කාරය ලඟට යද්දී තාරා අහන්නට අමතක වූ යමක් අසන්නට සිතුවාය.
“හෙට කීයටද යන්නේ?”
“ම්ම්ම් මම හිතුවෙ ටිකක් හවස් වෙලාම යන්න. උදේම ගිහිල්ල තේරුමක් නෑනෙ. ඔයාට ඉන්න තැනකුත් නෑනෙ”
“ම්ම්ම් දෙයක් අහන්න තරහ වෙන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න”
හිස මදක් ඇල කර තාරා අසන්නීය.
“හරි කියන්නකො. තරහ ගන්නෙ නෑ”
“අපි හෙට ගෝල් යනවනෙ” තාරා කියන්නෙ වචන වඩාත් ඇදය.
“ඔව්ව්”
“අපි හෙට රෑට ගෝල් වල නතර වෙමුද?”
අපහසුවෙන් වචන කරගත් තාරාගේ වදන් ලඟ මහිල්ගේ හිත මොහොතකට ගැස්සුණි. ඒ ඇරයුම හිතේ එක් පැත්තකින් ප්‍රේමයෙනුත් සරාගයෙනුත් පිලිගනිද්දි ඒ හිතේම අනෙක් පස “එහෙම කරන එක හරිද?” කියා නැවත නැවතත් ඇසුවේය.
“තාරා ඒත්…”
“බෑ කියන්න එපා මහිල් ප්ලීස්. මට දෙන බර්ත් ඩේ ගිෆ්ට් එකක් කියල හිතල එන්න. ප්ලීස්”
“ඔයාට කරදරයක් වෙයි කියල මට බයයි තාරා”
“ඔයා ලඟ ඉද්දි මට කරදරයක් වෙන්නෙ නෑ මහිල්. ප්ලීස්”
“ඔයා එහෙම කිව්වට මට බයයි තාරා මං හින්ද ඔයාට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි කියල. හරි මම ඒක හෙට හිතල උදේටඔයාට කියන්නම්. ම්ම්ම්. දැන් පරිස්සමෙන් යන්න”
“තැන්ක්‍යු. තැන්ක්‍යු වෙරි මච් ෆො එව්‍රිතින් මහිල්. මේ තමයි මට ලැබුණ හොඳම බර්ත් ඩේ ට්‍රීට් එක. තැන්ක්‍යු වෙරි මච්”
තාරා සූදානම් වුූයේ රියට නගින්ටය. එහෙත් එයට ඉස්සර වූ මහිල්ගේ අත තාරාව නැවැත්තුවේය.
“යන්න හදිස්සි ඇයි? බර්ත් ඩේ ප්‍රසන්ට් එක එපාද?”
මහිල්ගේ දෙනෙත් වල තැවරී තිබෙන්නේ අරුමැසි බැල්මකි. ඒ දරාගන්නට නොහැකි තරම් දිස්නෙ දෙන්නකි.
“ප්‍රසන්ට් එකක්? මේ දුන්න දේවල් මදෑ”
“ඒ උනාට ප්‍රසන්ට් එකක් නොදී බෑනෙ. කෝ ඇස් දෙක පියාගන්න”